දෙවන ලෝක යුධ සමයේ ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලද්දේ 1941 ජූනි 22 වන දා යි. බාබරෝසා මෙහෙයුම නමින් හඳුන්වන ලද එම මෙහෙයුම ලෝක ඉතිහාසයේ දැවැන්තම යුධ මෙහෙයුමයැ  යි සැලකෙනවා.

බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ පසු, හිට්ලර් තුළ වූ එක් බියක් වූයේ ක්‍රිමියාවේ සිටින සෝවියට් ගුවන් හමුදාව විසින් රුමේනියාවේ තෙල් ළිං වෙත පහර දෙනු ඇත යන්න යි. සෝවියට් ගුවන් සේනාංක රුමේනියාවේ තෙල් ළිං ඉලක්ක කර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමත් සමග මේ අවදානම දුරලීම කෙරෙහි හිට්ලර්ගේ අවධානය යොමු වුණා. මේ අනුව ක්‍රිමියාව අල්ලාගැනීම සිය මූලික අරමුණක් විය යුතු බවට හිට්ලර් උපදෙස් දුන්නා. මෙය බාබරෝසා මෙහෙයුමේ මූලික සැලසුම වෙනස් කිරීමක් ද වුණා.

කළු මුහුදේ සෝවියට් හමුදාවන්ට තිබුණ අමතර වාසියක් වූයේ එහි වූ කළු මුහුදු නාවික බල ඇණිය යි. වයිස් අද්මිරාල් ෆිලිප් ඔක්ත්‍යාබර්ස්කි විසින් මෙහෙයවුණු මෙම නාවික බල ඇණියෙහි මූලස්ථානය ක්‍රිමියාවේ සෙවස්තෝපල් හි පිහිටියා.

ෆිලිප් ඔක්ත්‍යාබර්ස්කි (Public Domain)

කළු මුහුදුබඩ සෝවියට් නගර අතුරින් ජර්මනිය ප්‍රමුඛ අක්ෂ බලවතුන්ට මුලින්ම හමුවන විශාල නගරය වූයේ ඔඩෙස්සා නගරය යි (Odessa - රුසියන් උච්ඡාරණය අඩෙස්සා). මෙම නගරය දෙසට 4 වන රුමේනියානු හමුදාව පැමිණෙමින් සිටියා. ඔඩෙස්සා හි නිත්‍ය බලකොටු නොවූ නමුත්, සෝවියට් සේනා නගරය අතැර දැමීමට සූදානම් වුණේ නැහැ. නගරවාසීන් සමග එක්ව ආරක්ෂක වළලු කිහිපයක් ඉදිකිරීමට රතු හමුදාව කටයුතු කළා.

වටලෑම

මේ නිසා රුමේනියානු හමුදාව පහසු සටනක් බලාපොරොත්තු වුව ද​, ඔවුනට මුහුණ දීමට සිදුවූයේ ප්‍රබල සෝවියට් ප්‍රතිරෝධයකට යි. 1941 අගෝස්තු මාසය මුල දී නගරය සඳහා සටන් පටන් ගත්තා. අගෝස්තු 13 වන විට​ ඔඩෙස්සාව සම්පූර්ණයෙන් වටලන්න ජර්මන් හා රුමේනියා සේනාංක සමත් වුණා. එයින් පසු සෝවියට් හමුදාවලට නගරය සමග​ සම්බන්ධතාව පවත්වාගන්නට වුණේ කළු මුහුද දෙසිනුයි.

මේ වන විට ඔඩෙස්සාවෙහි සටන් කරමින් සිටියේ සෝවියට් මුහුදුබඩ හමුදාව සහ අනෙකුත් සේනාංක යි. කළු මුහුදු නාවික බල ඇණිය ඔවුන්ට සමුදුරෙහි සිට ආධාර කළා. සෝවියට් හමුදා අතර ඔඩෙස්සාවේ දී දස්කම් දැක්වූ කැපී පෙනෙන අයෙකු වූයේ ස්නයිපර් වෙඩික්කාරියක වූ ල්‍යුද්මිලා පව්ලිචේන්කෝ යි. ඇය, ඔඩෙස්සා සටනේ දී සතුරු හමුදාවන් හි 187 දෙනකු මරා දමන ලද්දේයැ යි සඳහන් වනවා.

ල්‍යුද්මිලා පව්ලිචේන්කෝ (Public Domain)

සැප්තැම්බර් 21 වන දා වන විට අක්ෂ හමුදා ඔඩෙස්සාවෙහි නැගෙනහිර දෙසින් ප්‍රධාන ආරක්ෂක වළල්ල කරා ළඟා වුණා. මේ අවස්ථාවේ නගරයේ වරාය වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ හැකි දුරකට ජර්මන් හා රුමේනියා සේනාංක ළඟා වුණා. ඒ සමගම ඔඩෙස්සාව හා සම්බන්ධතාව පවත්වා ගැනීම අසීරු වුණා.

මෙම භයානක තත්ත්වයට ප්‍රතිචාර ලෙස සෝවියට් හමුදා සැප්තැම්බර් 22 වන දා ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා. එහි දී, නගරයට නැගෙනහිර දෙසින් වූ අක්ෂ රටවල හමුදාවන්ට පිටිපසින් පැරෂුට් භටයින් ගොඩබස්වනු ලැබුණා. ඔවුන් සහ නගරය දෙස වූ සෝවියට් සේනාංක විසින් දෙපසින් එල්ල කළ ප්‍රහාරයට සතුරු හමුදා කොටු වුණා​. එම ප්‍රහාරයෙන් ජර්මන් ඩිවිෂන දෙකක් විනාශ වූ අතර අක්ෂ හමුදාවන් කිලෝමීටර කිහිපයක් පසුපසට තල්ලු කරනු ලැබුවා.

මේ අනුව, සටන තාවකාලිකව සෝවියට් පාර්ශවය දෙසට හැරුණා. එහෙත්, එම වාසිය වැඩි දිනක් තිබුණේ නැහැ. ඊට හේතු වුණේ වෙනත් සිද්ධියක්.

ඔඩෙස්සාව ආරක්ෂා කරන සෝවියට් මුහුදුබඩ හමුදාව සිසිර ඍතුවේ සටන් සඳහා සූදානම් වන අතරතුර​, 1941 සැප්තැම්බර් 30 වන දා, සෝවියට් ආරක්ෂක මූලස්ථානයෙන් ඔවුන් වෙත නියෝගයක් ළඟා වුණා. ඔඩෙස්සාව අතැර​, ක්‍රිමියාව වෙත හමුදාව යැවිය යුතු බව එම නියෝගයෙන් කියැවුණා. එම නියෝගයට හේතු වුණේ ක්‍රිමියාවේ මතුව තිබූ අවදානම් තත්ත්වය යි.

ක්‍රිමියාවේ තත්ත්වය

සැප්තැම්බර් 11 වන දා ජෙනරාල් මැන්ස්ටයින්ගේ හමුදා ද්නීපර් නදිය තරණය කර පෙරෙකොප් වෙත පැමිණ තිබුණා. එයින්, ක්‍රිමියා අර්ධද්වීපය ප්‍රධාන භූමියට සම්බන්ධ වූ ගොඩබිම් මාර්ගය ජර්මානුවන් අතට පත් වුණා. වැඩි දිනක් නොගොස්, ක්‍රිමියාවේ සෙවස්තෝපල් හැර අනෙක් ප්‍රදේශ ජර්මානුන් අතට පත් වුණා. ක්‍රිමියාව ආරක්ෂා කරගැනීම සඳහා ගෙන්වාගත හැකිව තිබුණු එකම අතිරේක සේනාංකය වූයේ ඔඩෙස්සාවෙහි සටන් වදින මුහුදුබඩ හමුදාව යි.

ඔක්තෝබර් 1 වන දා සිට 16 වන දා තෙක් වූ කාල සීමාව තුළ ඔඩෙස්සාවෙහි වූ හමුදා මුහුදු මඟින් සෙවස්තෝපල් වෙත ගෙන යනු ලැබුණා. හමුදා සාමාජිකයන් 86,000ක්, යුධ ටැංකි 19ක්, කාලතුවක්කු 462ක්, මෝටර් රථ 1,158ක්, අශ්වයින් 3,625ක්, භාණ්ඩ ටොන් 25,000ක් මෙන්ම සිවිල් වැසියෝ 15,000ක් ද මෙසේ ඔඩෙස්සාවෙන් පිටත් කරන ලද බව සෝවියට් වාර්තා කියා සිටිනවා. සෝවියට් පසුබැසීම ආවරණය කිරීම සඳහා ප්‍රාදේශීයව බඳවා ගත් භටයින් ඇතුළු පිරිසක් අවසානය තෙක් රැඳී සිටිය හ​. ඔවුහු බොහෝ දෙනා සාමාන්‍ය ජනයා හා මිශ්‍ර වී ගියා.

සටන අවසානය කරා ළඟා වන විට සෝවියට් භටයෝ ඔඩෙස්සා වරාය අසබඩ ප්‍රදේශයේ බිත්තිවල දැන්වීමක් ඇලවූවා.

"අපි අපේ සදාදරණීය ඔඩෙස්සාව හැර යන්නෙමු. එහෙත්, ඒ සදාකල් නොවේ. දිගු කලකටවත් නොවේ. ම්ලේච්ඡ ෆැසිස්ට් මිනීමරුවන් අප නගරයෙන් පළවා දැමෙනු ඇත​. සහෝදරවරුනි, අපි නුදුරේ දී ම යළි පැමිණෙන්නෙමු!"

ඔඩෙස්සාවේ දී මාස දෙකහමාරක් තිස්සේ සෝවියට් හමුදා ගෙන ගියේ නිර්භීත සංග්‍රාමයක් බව කිව යුතු යි. එමෙන්ම, එහි ප්‍රතිඵල සෝවියට් යුධ ප්‍රයත්නයට සැලකිය යුතු වැදගත්කමකින් යුක්ත වුණා. ෆැසිස්ට් පක්ෂයට​ මෙම සටනේ දී දැඩි හානි සිදු වූ අතර, රුමේනියානු 4 වන හමුදාවෙහි ශක්තිය බෙහෙවින් හීන වී ගියා. එය ප්‍රතිසංවිධානය කිරීම සඳහා රුමේනියාව වෙත ගෙන්වා ගන්නට සිදුවුණා.

කවරයේ ඡායාරූපය: ඔඩෙස්සාවට ඇතුළු වන රුමේනියා හමුදා (Public Domain)

මූලාශ්‍රයයන්:

  1. The Great Patriotic War. The Defence of Sevastopol
  2. The Soviet General Staff at War 1941-1945 (Part 1) - S.M. Shtemenko