Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම යුද්ධයේ සැඟවූ තතු හෙළිකළ පෙන්ටගන් පත්‍රිකා

රහස් රැකීමට දිව්රුම් දී තිබුණ ද යුක්තිය සාධාරණත්වය ඒ තුළ මියැදී ඇත්නම් ජීවිත අවදානම ද නොසලකා යුක්තිය පතා ලොවෙන් වසන් කළ තොරතුරු හෙළිදරව් කිරීමට අභීත ව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ව වරින්වර තොරතුරු අසන්නට ලැබෙයි. මේ දැනට දශක හතරකටත් පෙර මහත් ආන්දෝලනයකට තුඩුදුන් වියට්නාම යුද්ධයේ රහසිගත තොරතුරු හෙළිකළ අභීත කටයුත්ත ගැන යි.

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වන විට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූයේ හැරී ටෲමන් ය. ඒ වන විට යුද බලය හීන ව දණින් වැටී සිටි ජපානයට පරමාණු බෝම්බ හෙළා තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් පර්යේෂණාගාරයේ සිට සැබෑ මිනිස් ජනාවාස වෙත ගෙන යෑමට අවසර ලබා දුන්නේ ද ඔහු ය. 1945 ටෲමන් පාලන සමයේ සිට 1967 දක්වා වියට්නාමය තුළ දේශපාලන යුදමය අධ්‍යයනයක් සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ආරක්ෂක ලේකම් රොබට් මැකන්මරාගේ අධීක්ෂණය උපදෙස් සහිත ව අධ්‍යයන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 1967 දී ය.

හැරී ටෲමන් (Bio.com)

Report of the secretary of defence Vietnam Task Force යන නිල නාමයෙන් හැඳින්වූ පෙන්ටගන් පත්‍රිකාවල සම්පූර්ණ වාර්තාවේ වැඩ කටයුතු වසර දෙකකට පසු ව 1969 දී අවසන් වූ අතර අධ්‍යනය සඳහා වියට්නාමය බලා පිටත් ව ගිය යුද විශ්ලේෂකයන් පිරිස ද නැවත එක්සත් ජනපදයට පෙරළා පැමිණුනි. මෙම වාර්තාව රහසිගත ලෙස තබාගැනීම වරදක් බව විශ්වාස කළ එක් යුද විශ්ලේෂකයෙක් විය. මෙම අධ්‍යනයේ තොරතුරු මහජනයා හමුවට පැමිණවිය යුතුයැ යි විශ්වාස කළ ඔහු නමින් ඩැනියෙල් එල්ස්බර්ග් විය. පරිච්ඡේද 47කින් යුක්ත ව පිටු 3000කින් ද, ඇමුණුම් පිටු 4000කින් සමන්විත වූ මෙම වාර්තාව රහසිගත ව ඡායා පිටපත් කිරීමට ඔහු කටයුතු කළේ කිසිවෙකුගේ සැකයට භාජනය නොවෙමිනි.

ඩැනියෙල් එල්ස්බර්ග් (NBC News)

ඩැනියෙල් එල්ස්බර්ග් 1954 සිට 1957 දක්වා හමුදා නිලධාරියෙක් ලෙස කටයුතු කළ අතර පසු ව යුද විශ්ලේෂකයෙක් ලෙස කටයුතු කරන ලදී. ආරම්භයේ දී වියට්නාම යුද්ධය වෙනුවෙන් ඔහු තම දායකත්වය ලබාදුන්න ද 1969 වන විට තවදුරටත් එසේ කටයුතු කළ නොහැකි විය. මේ නිසා මෙම තොරතුරු මහජනයාට විවර කළ යුතු ය යන අදහසින් රහසිගත ව පිටපත් කර තබාගෙන කෙටි කලක් ගත කළ අතර 1971 දී ඉන් කොටසක් The New York Times පුවත්පතට ලබා දී පළ කරවන ලදී. ඊට පෙර මෙම තොරතුරු ද සමග ඔහු කොංග්‍රස් සාමාජිකයන් කිහිපදෙනෙකු හමු වූ නමුත් ඔවුන් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට සමත් නොවූ නිසා අවසානයේ මෙම තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට තීරණය කරන ලදී. ඒ වන විටත් ඔහු සැඟ වී රහසිගත ලෙස ජීවත්වූයේ මෙහි ඇති අවදානම නිසා ය. එසේ ම මෙම කාලය වන විට එක්සත් ජනපදය තුළ වියට්නාම යුද්ධයට එරෙහිව විශාල තරුණ නැගිටීම් සිදු වූ කලකි. එම නිසා පෙන්ටගන් පත්‍රිකා පිළිබඳ සංවාදය එරට තුළ ඉතා සංවේදී මාතෘකාවක් විය.

ඩැනියෙල් සහ බිරිඳ පැට්‍රීෂියා (washingtonexaminer.com)

අන්තර්ගත වූයේ මොනවාද?

පෙන්ටගන් පත්‍රිකා තුළ පැවසූ පරිදි වියට්නාම යුද්ධය යනු ආරම්භයේ සිට ම එක්සත් ජනපදයට ජයගත නොහැකි බව තහවුරු කරගෙන තිබූ නමුත්, මහජනයාට සහ හමුදාව නොමඟ යවමින් දිගින් දිගටම පවත්වාගෙන ආ යුද්ධයක් විය. 1954 දී ඇමෙරිකාව වියට්නාමයට යුදමය මැදිහත් වීම අරඹන විට ජනාධිපති ලෙස කටයුතු කළේ ඩී. අයිසන්හවර් විසිනි. ඉන්පසු ව ජෝන් කෙනඩි ද, කෙනඩිගේ මරණයෙන් පසු ව බී. ජොන්සන් ද, ඉන්පසු ව රිචඩ් නික්සන් ද වශයෙන් ජනාධිපතිවරු සිව්දෙනෙකු යටතේ වියට්නාම යුද්ධය පවත්වාගෙන ගිය අතර, මේ සියලු දෙනා විසින් යුද්ධය පිළිබඳ සත්‍යය වසන් කරමින් ජයගත නොහැකි යුද්ධයක් වෙනුවෙන් වියට්නාමයේ ජන සංහාරයක් කරමින් ද, ඇමෙරිකන් සෙබළුන්ගේ ජීවිත අහිමිකරමින් ද සිටි බව අවසානයේ හෙළි විය. එනම් මෙම යුද්ධය ඉතා සුළු පිරිසකගේ අවශ්‍යතාවයක් මත සිදුකරන ලද්දක් බව කරුණු සහිත ව හෙළිදරව් විය.

එසේ ම ජෝන් කෙනඩි ජනාධිපතිවරයාගේ පාලනාධිකාරය විසින් දකුණු වියට්නාමයේ පාලකයා ව සිටි එන්ජිඕ ඩින් ඩියෙම් මරා දමා පාලනය පෙරළා දැමීමට කටයුතු කළ බව ද හෙළි විය. එපමණක් නොව, උතුරු වියට්නාමය වෙත ගැටුම් නොමැති තත්ත්වයන් තුළ පවා දැවැන්ත පරිමාණයෙන් බෝම්බ හෙළීම් ද සැල විය.

 Ngo Dinh (getty image)

එමෙන්ම එක්සත් ජනපදය යුද්ධයට 1954 දී දායක වීමට පෙර හැරී ටෲමන් ජනාධිපතිවරයාගේ සිට වියට්නාමයේ යුද කටයුතු දියත් කර සිටි ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට ආධාර සැපයූ බව ද අනාවරණය විය. ඊට හේතුව වියට්නාමය හෝ චි මින් යටතේ සමාජවාදී රාජ්‍යයක් වීම වැළැක්වීම සඳහා යි.

1971 ජූනි මස 13 වන දා පළමුවරට පෙන්ටගන් පත්‍රිකා පදනම් කරගනිමින් තොරතුරු පළකිරීම ආරම්භ කරන ලද අතර, තුන්වන වාර්තාවෙන් පසු ව මෙම පළකිරීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එක්සත් ජනපද ආරක්ෂක අමාත්‍යංශය මඟින් වාරණයක් ලබාගත්තේ ය. ඒ සමග මාධ්‍ය වාරණය පිළිබඳ ව ද දැවැන්ත සංවාදයක් ඇති වූ අතර අවසානයේ ජූනි 30 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් 6-3ක් ලෙස බෙදුනු තීන්දුවකින් තීරණය කරන ලද්දේ එම වාර්තාවන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ඔප්පු කිරීමට නොහැකි ව ඇති බව පවසමින් ව්‍යවස්ථාවේ පළමු වගන්ති ප්‍රකාරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ නිව්යෝක් ටයිම්ස් වාර්තාකරණය ඉවත්කරන ලදී.

1971 ජූනි 14 දින නීතිපති විසින් පෙන්ටගන් පත්‍රිකා ප්‍රකාශනය තහනම් කරමින් New York Times වෙත කළ නියෝගය (nytimes)

මින්පසු ව මෙම පෙන්ටගන් පත්‍රිකා The Washington Post පුවත්පතෙහි පළකරන ලදී. ඩැනියෙල් එල්ස්බර්ග් විසින් ඒ සියල්ල වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදියෙකු හරහා ලබාදුන් අතර අවසානයේ ඒ වන විට පුවත්පතේ හිමිකාරිනිය වූ කැතරීන් ග්‍රැහැම් දැඩි අවදානම් සහගත තත්ත්වයක් තුළ මෙය පළකිරීමට තීරණය කරන ලදී. වොෂින්ටන් පෝස්ට් පුවත්පත මීට දායක වූ ආකාරය පිළිබඳ ව පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නාමයෝජනා ලැබූ The Post චිත්‍රපටය විසින් ඉතා වැදගත් වාර්තාකරණයක් සපයයි. එසේ ම හොඳම රංගන ශිල්පිනිය ලෙස කේ. ග්‍රැහැම්ගේ චරිතය නිරූපණය කළ මෙරිල් ස්ට්‍රීප් ද නාමයෝජනා ලැබීය. The Post සිනමාවේ දැවැන්තයෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.

කැතරින් ග්‍රැහැම් සහ වාර්තාකරණයට වෙහෙසුණු මාධ්‍යවේදී බෙන් බ්‍රැඩ්ලී (politico)
The Post (20th Century Fox)

නිව්යෝක් ටයිම්ස් තහනම ඉවත් වූ පසු ව නික්සන් රජය විසින් තොරතුරු හෙළි කළ ඩැනියෙල් එල්ස්බර්ග් අත්අඩංගුවට ගෙන රජයේ තොරතුරු සොරකම් කිරීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරූ අතර, 1973 දී විභාග කිරීම ඇරඹුණු නමුත් ධවල මන්දිර කණ්ඩායමක් විසින් එල්ස්බර්ග්ගේ මනෝ වෛද්‍යවරයාගේ කාර්යාලයට 1971 සැප්තැම්බර් මස රහසින් කඩා වැදී තොරතුරු සෙවීමක් කළ බව අනාවරණය වූ පසු ව ඔහු නඩුවෙන් නිදහස් විය.

එල්බර්ග් නඩුවෙන් නිදහස් වූ දා (Boston.com)

නිව්යෝක් ටයිම්ස් පුවත්පතින් අනතුරුව වොෂින්ටන් පෝස්ට් පුවත්පත ද පෙන්ටගන් පත්‍රිකා සම්පූර්ණයෙන් ම පළ කළ අතර, ඉන්පසු ව රටපුරා බොහොමයක් පුවත්පත් මෙය වාර්තා කර ප්‍රසිද්ධ කරන ලදී. අවසානයේ එක්සත් ජනපද රජය විසින් මෙම පෙන්ටගන් පත්‍රිකා නිල වශයෙන් ප්‍රසිද්ධ කරන ලද්දේ නිව්යෝක් ටයිම්ස් අනාවරණයට වසර 40ක් සපිරුණු 2011 දී ය.

මෙම සිදුවීම්වල දිගුවක් ලෙස ජනාධිපති රිචඩ් නික්සන්ගේ අනුදැනුම මත මෙහෙය වූ පිරිසක් වෝටගේට්හි පිහිටි ප්‍රජාතන්තවාදී ජාතික කමිටුවේ කාර්යාලයේ ලිපිද්‍රව්‍ය කොල්ලකෑම සහ දුරකථන තමන්ට ජාලගත (tap) කිරීමේ දී එහි ආරක්ෂක නිලධාරියෙක්ගේ දැනුම්දීමකට අනුව පොලිස් අත්අඩංගුවට පත් විය. පෙන්ටගන් පත්‍රිකා සිදුවීම යටගැසීමට කරමින් තිබූ කුමන්ත්‍රණය අනාවරණය වූ නිසා, පසු ව 1974 අගෝස්තු 8 වන දා නික්සන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය. පසු ව ඒ සඳහා පත් වූ ගෙරල්ඩ් ෆෝඩ් විසින් මසකට පසු ව සැප්තැම්බර් 8 වන දා ජනාධිපති සමාව ලබා දී රිචඩ් නික්සන් නිදොස් කරන ලදී.

නික්සන්ගේ ඉල්ලා අස්වීම New York Times වාර්තාකරණය (MMO-Champion)

New York Times යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී මෙහෙයුම් සඳහා මාධ්‍ය කාර්යභාරය ඉටුකරන පුවත්පතක් බව අමතක නොකරමින් ම මෙම නිශ්චිත සිදුවීමේ දී සත්‍යය හෙළි කිරීමට කටයුතු කරන ලදී.

මූලාශ්‍රයයන්:

history.com

nytimes.com

Related Articles