කොමියුනිස්ට් නායකයකුගේ රහස් රැගත් රතු සූට්කේසය​

1989 ඔක්තෝබර් 17 වන දා රාත්‍රියේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හෙවත් නැගෙනහිර ජර්මනියේ පාලක පක්ෂය වූ ජර්මන් සමාජවාදී එක්සත් පක්ෂයේ දේශපාලන මණ්ඩල​ රැස්වීමක් පැවැත්වුණා.

මේ රැස්වීම පවත්වන ලද්දේ නැගෙනහිර ජර්මනියේ ජනතාව කොමියුනිස්ට්වාදී රජයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ අරඹා තිබූ පසුබිමකයි. වසර 18 ක් පක්ෂ නායකයා හෙවත් මහ ලේකම් වශයෙන් කටයුතු කළ එරික් හොනෙකර්ට රටේ ඇතිව පැවති ජනතා විරෝධය පිළිබඳ එතරම් හැඟීමක් තිබුණේ නැහැ. එසේ නැතහොත් එවැනි හැඟීමක් ඇති බවක් පෙන්නුම් කිරීමෙන් ඔහු වැළකී සිටියා. නමුත් ඇතැම් සමාජවාදී එක්සත් පක්ෂ ප්‍රධානීන් මේ වනවිට මෙම තත්ත්වය පාලනය කිරීමට ක්‍රම සොයමින් සිටි අතර​ ඔවුන් විශ්වාස කළේ හොනෙකර් ඒ සඳහා ඔවුනට බාධාවක් බවයි.

1989 ඔක්තෝබර් 9 වනදා පැවති මෙම උද්ඝෝෂණයට 70,000ක් ජනතාව සහභාගී වූ බව අනුමාන කෙරෙනවා (AP)

දේශපාලන මණ්ඩල රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ සාකච්ඡා කිරීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමට විශේෂ කරුණු තිබේ ද යනුවෙන් හොනෙකර් විමසා සිටියා. මෙහිදී නැගෙනහිර ජර්මන් අගමැති විලී ස්ටෝෆ් විසින් හොනෙකර් තනතුරෙන් පහ කිරීම සඳහා සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් ගෙන ආවා.

මේ වනවිටත් ඔහුට විරුද්ධ පාර්ශවය දේශපාලන මණ්ඩලයේ වැඩි පිරිසක් නම්මාගෙන සිටි අතර හොනෙකර් ආරක්ෂා කිරීමට එකදු සාමාජිකයකු හෝ ඉදිරිපත් වූයේ නැහැ. නමුත් හොනෙකර් තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළා.

මේ අවස්ථාවේ නැගෙනහිර ජර්මන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හෙවත් එරට ඔත්තු සේවයේ ප්‍රධානියා වූ එරික් මීල්ක හොනෙකර්ගේ රහස් හෙළි කිරීමට තර්ජනය කළා. හොනෙකර් පක්ෂයේ සහ රජයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට එකඟ වූයේ මෙම තර්ජනයෙන් පසුව බවයි විශ්වාස කෙරෙන්නේ.

රතු සූට්කේසය​

මීල්ක මෙම ප්‍රකාශය මගින් පෙන්වා සිටි එක් කරුණක් වූයේ නැගෙනහිර ජර්මනියේ පාලකයින් අතුරින් සැබෑ බලවතා තමන් බවයි. මක් නිසාද යත් රටේ රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වශයෙන් ඔහු සතුව බොහෝ දෙනා පිළිබඳව තොරතුරු තිබුණා. නිල වශයෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය ලෙස හැඳින්වූ එම ආයතනය එහි කෙටි යෙදුම වූ “ස්ටාසි” යන නමින් ප්‍රකට වුණා. ස්ටාසි සංවිධානය විසින් බටහිර ජර්මනිය හැර වෙනත් විදේශවල කළ මෙහෙයුම් සීමා සහිත වූ හෙයින් සෝවියට් කේ.ජී.බී ආයතනය තරම් ප්‍රකට නොවූව ද​, කේ.ජී.බී ආයතනයට ද වඩා භයානක ආයතනයක් සේ සැළකුණා.

මීල්ක සිය ප්‍රකාශයෙන් හෙළි කළ අනෙක් කරුණ නම් හොනෙකර්ගේ ජීවිතයේ ද එවන් අඳුරු, සැඟවුණ ස්ථාන ඇති බවයි.

එරික් මීල්ක (වමේ) සහ එරික් හොනෙකර් 1992 දී බර්ලින් නුවරදී (Getty Images)

ස්ටාසි ආයතනය සතුව වූ හොනෙකර් පිළිබඳ ලිපිගොනුව තිබුණේ රතු පැහැති සූට්කේසයක යි. නැගෙනහිර ජර්මනිය බිඳ වැටුණ පසු මෙහි අන්තර්ගතය පිළිබඳ වූ රහස් හෙළි වුණ අතර එමගින් හොනෙකර් පිළිබඳ එතෙක් නොදත් කතා කරළියට පැමිණියා.

නැගෙනහිර ජර්මනිය පවතින සමයේදී එම කරුණු හෙළි වූවා නම් හොනෙකර් එරට පාලනය කිරීම වෙනුවට එරට​ හිර ගෙයක ජීවිතය ගත කිරීමට වුව ද ඉඩ තිබුණා.

එරික් හොනෙකර්

එරික් හොනෙකර් උපත ලද්දේ 1912 අගෝස්තු 25 වන දා වර්තමාන ජර්මනියේ සාර්ලන්ත ප්‍රදේශයේ. ඔහු කුඩා කලම ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ ළමා සංගමයට සම්බන්ධ වුණා. වයස අවුරුදු 18 පිරුණ පසු ඔහු ජර්මන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, 1933 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නට්සි පක්ෂය බලය අල්ලාගත් පසු රහසිගත දේශපාලනයේ නිරත වුණා. ඔහු 1935 දී නට්සි රහස් පොලිසිය වූ ගෙස්ටාපෝ සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබුණා. 1937 දී වසර දහයක සිර දඬුවමක් නියම වන හොනෙකර් 1945 දී දෙවන ලෝක යුද්ධය නිම වූ පසු නැවත දේශපාලනයට පැමිණියා.

මේ සමයෙහි ජර්මනිය බ්‍රිතාන්‍ය​​, ප්‍රංශ, ඇමරිකන්, සහ සෝවියට් පාලන ප්‍රදේශවලට බෙදුණ අතර සෝවියට් පාලන ප්‍රදේශයේ දී පැරණි කොමියුනිස්ට් පක්ෂය සහ පැරණි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලෙන් එකතු කරනු ලැබුණා. එය ජර්මන් සමාජවාදී එක්සත් පක්ෂය ලෙස නම් කරන ලද අතර හොනෙකර් එහි තරුණ අංශය වූ නිදහස් ජර්මන් තරුණ ව්‍යාපාරයේ ආරම්භක සභාපති ලෙස 1946 දී පත් වුණා. ඔහු එම තනතුර 1955 තෙක් දැරුවා.

හොනෙකර්ගේ දේශපාලන ගමනට ආධාර කළේ නැගෙනහිර ජර්මන් නායකයා වූ වෝල්තර් උල්බ්‍රිෂ්ට්. 1958 දී හොනෙකර් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ පූර්ණ සාමාජිකයකු බවට පත් වුණා. බර්ලින් තාප්පය ඉදි කිරීම ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වූවක්.

හොනෙකර් කතාවක් පවත්වද්දී පිටිපසින් සිට බලා සිටින්නේ උල්බ්‍රිෂ්ට් ය​. වසර 1958. (ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය​)

1971 දී හොනෙකර් පක්ෂයේ බලය ඩැහැ ගත්තේ තම තමන්ට පක්ෂය තුළ බලය ලබා ගැනීමට උපකාර කළ උල්බ්‍රිෂ්ට් බලයෙන් නෙරපා හරිමින්. 1989 වසරේ දී නැගෙනහිර ජර්මනිය පණ අදින තත්ත්වයට එන තුරු ඔහු එරට පාලනය කළා.

නට්සි ආධාරකරුවෙක් වූ කොමියුනිස්ට් නායකයා?

මීල්ක සතුව තිබූ හොනෙකර්ගේ ලිපිගොනු අඩංගු සූට්කේසයේ  ගෙස්ටාපෝ සංවිධානය විසින් අත් අඩංගුවට ගත් පසු ගතවූ දින පිළිබඳ  වාර්තා දෙකක් තිබුණා. ඉන් එක් වාර්තාවකට අනුව හොනෙකර් ගෙස්ටාපෝ සංවිධානයට කිසිදු ආකාරයකින් උපකාර නොකළ බවත් ඔහු සම්පූර්ණයෙන් පිරිසිදු බවත් සඳහන් වුණා.

නමුත් අනෙක් වාර්තාව මගින් කියැවුණේ තමා අත්අඩංගුවට ගන්නා ලද මුල් කාලයේ දී අනෙකුත් කොමියුනිස්ට්වාදීන් පිළිබඳ ගෙස්ටාපෝ සංවිධානයට තොරතුරු ලබා දීමට හොනෙකර් එකඟ වූ බවයි.

1935 දී ගෙස්ටාපෝ සංවිධානය විසින් අත් අඩංගුවට ගත් පසු (Ciarán Ó Fathaigh on Twitter)

සිරභාරයේ සිටි කාලය තුළ හොනෙකර් දැඩි වද හිංසනයට භාජනය වූ බවක් වාර්තා වන්නේ නැහැ. මීට හේතුව ඔහු ගෙස්ටාපෝ සංවිධානය සමඟ එකඟතාවකට පැමිණීම බව සැක කෙරෙනවා. මීල්ක සතු වූ වාර්තාවෙන් ද ඒ බව ඇඟවුණා.

පළමු විවාහය​

හොනෙකර්ගේ පළමු විවාහය පිළිබඳවත් පුදුමාකාර කතා පුවතක් පවතිනවා. මේ පිළිබඳ තොරතුරු බාහිර ලෝකයාට දැනගන්නට ලැබෙන්නේ රතු සූට්කේසයේ රහස් එළි වීමත් සමඟයි. එය හොනෙකර්ගේ මුල් කාලීන ජීවිතය පිළිබඳ කරුණු කෙතරම් දක්ෂ ලෙස ඔහු විසින් සඟවන ලද්දේදැයි කියාපාන කදිම නිදසුනක් වනවා.

දෙවන ලෝක යුද්ධයේ අවසන් සතිවල, නට්සි පාලන ප්‍රදේශය කෙමෙන් කෙමෙන් පටු වෙමින් පවතින අතරවාරයේ, හොනෙකර් බර්ලින් නගරයේ වූ සිරගෙයක් වෙත ගෙනනු ලැබුණා. මෙය කාන්තා සිරගෙයක් වූ අතර බෝම්බ වැටීමෙන් කැඩී බිඳී ගිය එහි වහලය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහුට නියම වුණා.

මේ අතර 1945 මාර්තු මාසයේ දී ඔහු සිරෙන් පළා ගියා. ඒ, සිර කඳවුරේ ආරක්ෂක නිලධාරිණියක වූ ෂාලට් ශෝනල් සමඟයි. ටික දිනක් ඇගේ නිවසේ සැඟව සිටින හොනෙකර් පසුව ආපසු සිරගෙය වෙත භාර වුවත් ඔහුට එරෙහිව අමුතු පියවරක් ගනු ලැබුණේ නැහැ. මීට එක් හේතුවක් ලෙස විශ්වාස කරනු ලබන්නේ ශෝනල් නට්සි පක්ෂයේ ප්‍රබලයින් හා සබඳතා ඇති අයකු වීමයි.

යුද්ධයෙන් පසුව ඔහු තමා හා සබඳතාවක් පටන් ගත් ආරක්ෂක නිලධාරිණිය හා විවාහ වුණා. මේ විවාහ සහතිකය ස්ටාසි සංවිධානය සතු රතු සූට්කේසයේ තිබුණ​ නමුත් ශෝනල්ගේ ඡායාරූපයක් ඔවුනට ද සොයාගත නොහැකි වී තිබෙනවා. හොනෙකර්ට වඩා අවුරුදු නවයක් වැඩිමහල් කාන්තාවක වන ෂාලට් කෙටි කලකින් අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත් වුණා.

කෙසේ හෝ, තම පළමු බිරිඳ නට්සි පක්ෂයට සම්බන්ධ වූ අයකු බව වසන් කිරීමට හොනෙකර් සමත් වීම එක්තරා ආකාරයකින් පුදුම සහගතයි.

දෙවන සහ තෙවන විවාහ​

හොනෙකර් මේ අතර තරුණ සංගමයේම ඔහුගේ දෙවැනියා මෙන් කටයුතු කළ ඊඩිත් බවුමාන් හා සබඳතාවක් පටන් ගත්තා. ඇය ද ඔහුට වඩා වැඩිමහලු කාන්තාවක් වූ අතර දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු තුනක් වුණා. ඇය වඩා වැඩිමහලු පක්ෂ නිලධාරිණියකගේ පෙනුමින් යුතු වූ අතර ඔහු ඒ වනවිටත් කඩවසම් පෙනුමැති අයකු වුණා.

වැඩිකල් යන්නට මත්තෙන් හොනෙකර්ට තවත් සබඳතාවයක් ඇති වුනා. ඒ, ඊඩිත් හා විවාහ වී කෙටි කලකින් ඔහුට මුණ ගැසුණ වයසින් අවුරුදු 15 ක් තමන්ට වඩා ලාබාල තරුණියක් සමඟ යි. සක්සන්-අන්හාල්ට් හි උපත ලද ඇය තරුණ සංගමයේ කටයුතු සඳහා බර්ලිනයට පැමිණි මාර්ගොට් ෆෙයිස්ට්.

මේ සම්බන්ධය පිළිබඳ දැනගත් බවුමාන් එය නවතාලනු පිණිස උල්බ්‍රිෂ්ට් වෙත ඉල්ලීමක් සිදු කළා. ඇය ලිපියක් ලියමින් චෝදනා කළේ මාර්ගොට් ෆෙයිස්ට් තමාගෙන් දික්කසාද වන ලෙස තුන් වරක්ම හොනෙකර්ට ඉතා දරුණු අන් දමින් බල කළ බවයි. මෙම සම්බන්ධය නැවැත්වීමට ෆෙයිස්ට්ව ආපසු ඇගේ උපන් ප්‍රදේශය වෙත යවන ලෙස බවුමාන් ඉල්ලා සිටියා.

මෙම පුවත දැනගත්විට උල්බ්‍රිෂ්ට් මහත් සේ අසතුටට පත් වූ බව සඳහන්. නමුත් මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ හොනෙකර් සිය දෙවන විවාහය ද නවතා දැමීමයි. මාර්ගොට් ෆෙයිස්ට් 1952 අගභාගයේ දී සොන්යා නම් දියණියක බිහි කළා. මාර්ගොට් සහ එරික් විවාහ වූයේ එයින් පසුවයි.

ඊඩිත් බවුමාන් විසින් උල්බ්‍රිෂ්ට් වෙත යවන ලද ලිපිය ද රතු සූට්කේසයේ ලිපිගොනු අතර වුණා.

හොනෙකර් හා විවාහ වූ පසු මාර්ගොට් ෆෙයිස්ට් වඩා ප්‍රසිද්ධ වූයේ මාර්ගොට් හොනෙකර් ලෙසයි. 1963 සිට ඇය නැගෙනහිර ජර්මනියේ අධ්‍යාපන අමාත්‍යවරිය වුණා. නිතර සිය කොණ්ඩය දම් පැහැ ගැන්වූ ඇය නැගෙනහිර ජර්මන් පාලන තන්ත්‍රය තුළ ජනතාව අතර වැඩියෙන්ම අප්‍රසාදයට පත්වූ තැනැත්තියක වුණා. එහෙයින් දම් පැහැ යක්දෙස්සිය ලෙස ජනතාව විසින් ඇයව හඳුන්වා දෙනු ලැබුණා.

එරික් සහ මාර්ගොට් හොනෙකර් චිලී හිදී 1993 (DPA)

1980 දශකය වන විට හොනෙකර් යුවලගේ විවාහයේ දෙදරීම් ඇති වෙන්නට වුණා. ඔහු තවත් කාන්තාවන් හා සබඳතා ඇතිකරගත් බව කියනු ලබන අතර, ඇය ද වෙනත් සබඳතාවලට යොමු වුණා. ඇගේ කටයුතු මීල්කගෙන් සැඟවීමට හැකි වූයේ නැහැ. මීල්ක ඒ පිළිබඳ එරික් හොනෙකර් වෙත සැල කළ ද, ඇයට එරෙහිව යමක් සිදු කිරීමට එරික්ට නොහැකි වුණා. ඔවුන් දෙදෙනා එක්තරා කාලයක් මේ රඟපෑම කරගෙන ගියා.

බලයෙන් ඇද වැටුණ පසු ඔවුන් දෙදෙනාටම පසුගිය ජීවිතය අහිමි වූ අතර කෙටි කලකින් නැගෙනහිර ජර්මනිය බිඳ වැටෙද්දී මීල්ක ඇතුලු අනෙක් නායකයන්ට ද අත් වූයේ එම ඉරණම යි. හොනෙකර්ට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නැගෙනහිර ජර්මනියෙන් චිලී දේශය වෙත සංක්‍රමණය වීමට අවසර ලැබුණ අතර 1994 දී ඔහු එහිදී මිය ගියා.

Cover: එරික් හොනෙකර් (Berliner Kurier)

Related Articles