අනුරාධපුරයේ රජ කළ, දෙවන සේන රජතුමාගේ ඉමහත් සේවය

වසර 2500කට එහා ගිය අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝතම රාජධානිය බවට පත්වුණේ වසර 1400කට ආසන්න කාලයක් පැවති අනුරාධපුර රාජධානිය යි. එම නිසා ම රජවරුන් 120කට අධික ප්‍රමාණයක් යටතේ පාලනය වුණු අනුරාධපුර රාජධානිය තුළ සුවිසල් නිර්මාණයන් දක්නට ලැබෙන්නේ එකළ රජවරුන් රට, ජාතිය, සහ ආගම වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කර නිසා ම යි. නමුත් එලෙස දීර්ඝ කාලයක් දකුණු ඉන්දීය ආක්‍රමණ මධ්‍යයේ වුව ද, අඛණ්ඩ ව ඉදිරියට ගිය අනුරාධපුර රාජධානියේ බිඳවැටීම සිදුවන්නේ එහි අවසන් භාගයේ දී රජකම් කළ දුර්වල පාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා යි. රාජධානිය පැවති අවසන් වසර 250 පමණ තුළ රජවරුන් රැසක් අනුරාධපුරය පාලනය කළත් එම රජවරුන් අතුරින් අපට හමුවන්නේ එකම එක ප්‍රබල රජෙකු පමණයි. එම නිසා ම මෙම ලිපිය වෙන් වන්නේ එම ප්‍රබල රජු දෙවන සේන අනුරාධපුර රාජධානිය වෙනුවෙන් කළ සේවය පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය නිසා දෙවන සේන රජුට සිය පියා අහිමි විය

ක්‍රි.ව. 833 දී අනුරාධපුර රාජධානියේ පාලකයා ලෙස පළමුවන සේන රජතුමා අභිෂේක ලබන විට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යය බලවත් වෙමින් පැවතුණු නිසා ම සේන රජුගේ රාජ්‍යත්වයට පත්ව ටික කලෙකින් ම ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු අනුරාධපුරය ආක්‍රමණය කළා. එහි දී පාණ්ඩ්‍ය සේනාව ඉදිරියේ සටනට පිවිසි සිංහල සේනාව පරාජය වුණු අතර, එහි දී සේන රජුගේ සොයුරන් වුණු මහින්ද සහ කස්සප මියගිය නිසා ම සේන රජු ආරක්ෂාව පතා මලය රටට පලා ගියා. ඉන් අනතුරුව අනුරාධපුර නගරයට ඇතුළු වුණු පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුරය නගරය කොල්ල කෑමෙන් අනතුරුව ඇති කරගත් සාම ගිවිසුමක් අනුව රාජධානිය රජුට නැවත භාර දුන්නත්, එදා ඔවුන් අනුරාධපුරයට කළ විනාශය නිසා නගරය යකුන් නැටූ පිටියක් සේ දිස්වුණු බව වංශ කතාවල සඳහන්. එදා එම සටනේ දී මියගිය කස්සප නම් ආදිපාදවරයාගේ පුත් දෙවන සේනට සිය පියා එලෙස අහිමි වුණත්, පළමු සේන රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් ඔහු අනුරාධපුර රාජධානියේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළා.

පාණ්ඩ්‍ය අධිරාජ්‍යයේ සිතියම (wikipedia)
පාණ්ඩ්‍ය ධජය (wikimedia)
ශ්‍රී මාර ශ්‍රී වල්ලභ(wikipedia)

පියා මැරූ පලිය ගන්නට පෑදුණු අපූරු අවස්ථාව

දෙවන සේන රජු රාජ්‍යත්වයට පත් වී වසර 10ක් ගත වන්නටත් පෙර ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ පුත් දෙවන වර්ගුණවර්මන්, සිය පියාට එරෙහිව සටනක් ආරම්භ කර තිබුණු අතර එහි දී සිය පියා ව පරාජය කිරීම සඳහා වර්ගුණවර්මන්ට විශාල සේනාවක් අවශ්‍ය වුණු නිසා ම ඔහු, දෙවන සේන රජුගෙන් ඒ සඳහා උදව් ඉල්ලා සිටියා. එහි දී ශ්‍රී මාර අනුරාධපුරයට කළ විනාශය හොඳින් ම හිතේ තබාගෙන සිටි දෙවන සේන රජු කිසිදු පැකිලීමකින් තොරව වර්ගුණවර්මන්ට සහායට සේනාවක් යවනු ලැබුවේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ කළ විනාශයට වාඩුව ගැනීමේ අරමුණෙනුයි. එදා වර්ගුණවර්මන්ගේ සේනාව හමුවේ දරුණු පසුබෑමකට ලක්වුණු ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ සේනාව අවසානයේ දී පරාජය වීම නිසා දෙවන වර්ගුණවර්මන්ට පාණ්ඩ්‍ය දේශයේ රජකම උරුම වුණා. මෙම ජයග්‍රහණයෙන් අනතුරුව දෙවන වර්ගුණවර්මන් ව පාණ්ඩ්‍ය රජු ලෙස අභිෂේක කර, ආපසු ලංකාවට පැමිණෙමින් සිටි සිංහල සේනාවේ නායක කුට්ඨිකට එම අවස්ථාවේ පාණ්ඩ්‍යයන් අනුරාධපුරයට කළ විනාශය සිහිපත් වී පාණ්ඩ්‍ය දේශයේ අගනගරය වුණු මදුරාපුරය කොල්ල කෑවේ පාණ්ඩ්‍යයන්ට ද අතීතය යළි සිහිපත් කරවීමට යි.

දෙවන සේන රජතුමා ශාසනය වෙනුවෙන් කළ සේවය

ක්‍රි.ව. 853-887 කාලය තුළ අනුරාධපුර රාජධානියේ පාලකයා බවට පත්වුණු දෙවන සේන රජතුමා, පළමුවන සේන රජුගේ රාජ්‍ය සමයේ දී පාණ්ඩ්‍යයන් විනාශ කළ වෙහෙර විහාර නැවතත් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම ආරම්භ කළා. එහි දී පාණ්ඩ්‍යයන් විසින්  කොල්ලකන ලද ලෝවාමහාපාය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කළ සේන රජතුමා, එහි රන් බුදු පිළිමයක් තැන්පත් කළ බවට ද ඉතිහාස කතාවල සඳහන්. එලෙස දෙවන සේන රජතුමා කළ ප්‍රතිසංස්කරණවලට අමතර ව මැදිරිගිරිය වටදාගෙය පිහිටා ඇති පුදබිමේ ද යම් ඉදිකිරීම් කළ අතර ම එම විහාරයේ නඩත්තුව වෙනුවෙන් ගම්වර ද පූජාකළ බව ඉතිහාස කතාවල සඳහන් වනවා. එලෙස ශාසනයට කළ සේවාවන්ට අමතර ව, මිහින්තලා  භූමියේ රජතුමා ඉදිකළ රෝහලේ නටබුන් ද අදටත් දක්නට ලැබීමෙන් අපට නිගමනය කළ හැක්කේ, එම අවධියේ අප සතු ව ඉතාමත් දියුණු තාක්ෂණයක් තිබූ බව යි.

මැදිරිගිරිය වටදාගයේ සුන්දර දසුනක් (picture.lk)
මිහින්තලේ රෝහලේ නටඹුන් (vaama joshi wordpress.com)

දෙවන සේන රජතුමා වාරි තාක්ෂණය වෙනුවෙන් කළ සේවය

දෙවන සේන රජතුමා වාරි තාක්ෂණය වෙනුවෙන් කරන ලද විශාල ම සේවාව වූයේ මිනිපේ ඇළ දීර්ඝ කර මහවැලි ගංගාවේ ජලය මහ කනදරා වැව දක්වා ම ගෙනයමින්  කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම යි. ඊට අමතර ව මින්නේරි වැවට නව සොරොව්වක් ඉදිකිරීමට ද දෙවන සේන රජතුමා කටයුතු කරන ලද්දේ අතීතයේ සිට රජවරුන් පවත්වා ගෙන ආ වාරි තාක්ෂණය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයමිනුයි.

මහකනදරා වැව (Flickr.com)

රටේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු අනුගමනය කළ දූරදර්ශී වැඩපිළිවෙළ

එම අවධිය වන විට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය සහ චෝල රාජ්‍යයන් විටින් විට බලවත් වෙමින් පැවතීම නිසා ඔවුන්ගෙන් එල්ල වීමට නියමිත ආක්‍රමණයන්ගෙන් ලංකාව ආරක්ෂා කර ගැනීමට පෙර සිට ම සූදානම් වුණු දෙවන සේන රජතුමා, වෙරළබඩ ප්‍රදේශවල රැකවල් යොදා හදිසි ආක්‍රමණවලට මුහුණදීම සඳහා සිය සේනාව සූදානමෙන් තැබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. එලෙස රජු මනා ව සංවිධානය වී සිටි නිසා ම එම අවධියේ ලංකාවට කිසිදු විදෙස් ආක්‍රමණයක් එල්ල නොවූ අතර, එම නිසා ම රටේ ජනතාව සැනසීමෙන් ජීවත් වුණු යුගයක් බවට දෙවන සේන රජුගේ රාජ්‍ය සමය හැඳින්වීමට පුළුවන්.

කවරයේ කතාව: මැදිරිගිරිය වටදාගයේ දසුනක් (srilanka_locationscout)

Related Articles