සේරුවාවිල මහසෑය ගැන ඉතිහාසයෙන් තොරතුරු බිඳක්

’80 දශකයේ මුල් භාගයේ දී ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබුණු බොහෝ සිද්ධස්ථාන පාළුවට ගිය බව ඔබ දන්නවා. නමුත් දශක 3කට පසුව ඊළාම් යුද්ධය නිමාවීමත් සමගම වන්දනාකරුවන් යළි උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තිබෙන බෞද්ධ සිද්ධස්ථාන කරා පැමිණෙන්නට වුණා. ලක්වාසී බෞද්ධයන් එසේ නිතරම පැමිණෙන පින්බිමක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙනවා. සේරුවාවිල නමින් හැඳින්වෙන එම භූමියේ පිහිටි මහා සෑයේ බුදුරජාණන්වහන්සේගේ ලළාට ධාතුව තැන්පත් කර තිබෙන බව පොත පතෙහි සඳහන් වනවා. 

රහතන් වහන්සේලා ලළාට ධාතූන්වහන්සේ ආරක්ෂා කළ හැටි 

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර දී පිරිනිවන් පෑමෙන් පසුව ධාතූන්වහන්සේලා බෙදාදුන් අවස්ථාවේ දී ලළාට ධාතූන්වහන්සේ අයත් වුණේ මල්ල රජදරුවන්ට යි. මල්ල රජ දරුවන් වෙත වැඩි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ මෙසේ වදාළා.

“රජ දරුවනි, මේ ලළාට ධාතූන් වහන්සේ පිළිබඳව භාග්‍යවතුන්වහන්සේගේ අධිෂ්ඨානයක් තිබුණා. එබැවින් ලළාට ධාතූන්වහන්සේ අපට දුන මැනව.”

මහා කාශ්‍යප මහා රහතන්වහන්සේගේ ඉල්ලීමට කන්දුන් මල්ල රජදරුවන් “ස්වාමීන්වහන්ස, එය එසේම වේවා”යි පවසමින් ලළාට ධාතූන්වහන්සේ මහා කාශ්‍යප රහතන්වහන්සේට භාර දුන්නා.

ලළාට ධාතූන්වහන්සේ භාරගත් මහා කාශ්‍යප මහ රහතුන් සිය ශිෂ්‍ය හිමිනමක් වුණු නන්දට මෙසේ වදාළා. 

“පින්වත් නන්දයෙනි, අනාගත කාලයෙහි ලක්දිව මහා වාලුකා නදියේ දකුණු තෙර, සේරු නම් වුණු විල් කෙළවර, වරාහ සොණ්ඩ නම් ගල් කෙමිය සමීපයෙහි, කාවන්තිස්ස නම් මහ රජෙකු විසින් දාගැබක් කරවීමට නියමිත යි. මේ ධාතූන්වහන්සේ එහි පිහිටුවීමට භාග්‍යවතුන්වහන්සේගේ අධිෂ්ඨානයක් තිබෙනවා. එම නිසා ලළාට ධාතූන්වහන්සේ විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ භාග්‍යවතුන්වහන්සේ වැඩ සිටි ගන්ධකුටියෙහි තැන්පත් කර මහත් පුද සත්කාර පවත්වන්න.”

මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ දුන් උපදේශය හිතට ගත් නන්ද ස්වාමීන්වහන්සේ ලළාට ධාතූන් වහන්සේට හොඳින් පුද සත්කාර කළා. කලක් ගතවෙද්දී නන්ද තෙරුන් රහත්ඵල ලබාගෙන, ක්‍රමයෙන් මහළු වියට පත්ව පිරිනිවන් පෑමට ආසන්න වුණා. උන්වහන්සේ සිය ශිෂ්‍යයෙකු වුණු චන්ද්‍රගුප්ත රහතන්වහන්සේ කැඳවා ලළාට ධාතූන්වහන්සේ භාර දුන්නා. පසුව පිළිවෙලින් භද්‍රසේන, ජයසේන, සංඝරක්ඛිත, සහ මහාසේන යන රහතන්වහන්සේ ලළාට ධාතුව රැකබලා ගත්තා.

බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑම දැක්වෙන සිතුවමක් (Agiya Katha)

ලළාට ධාතූන්වහන්සේ ලංකාවට වැඩම කරවීම 

ලළාට ධාතූන්වහන්සේ ලංකාවට වැඩම කිරීමට සුදුසු කාලය එළඹ ඇති බව නුවණින් දුටු මහාදේව රහතන්වහන්සේ එය ලක්දිව හත්ථොට්ට ජනපදයට වැඩම කළා. එකල එම ජනපදයේ විසූ මහාකාල උපාසකතුමා ධාතූන්වහන්සේ තැන්පත් කිරීම සඳහා ධාතුගෙයක් සාදා දුන්නා. මහාදේව රහතුනෙහි වැඩසිට, ලළාට ධාතුවට පුද සත්කාර කළා. 

එකල මාගම රාජධානිය පාලනය කළ මහානාග රජතුමාට මෙම ධාතූන්වහන්සේ පිළිබඳව තොරතුරු ආරංචි වුණා. රජතුමා එම ධාතුගෙයට පැමිණ මහ රහතන්වහන්සේව මුණ ගැසුණා. එම අවස්ථාවේ දී මහ රහතන් වහන්සේ ලළාට ධාතූන්වහන්සේගේ අනාගත විස්තරය රජතුමා හමුවේ වදාළා. එසේම එම ධාතූන්වහන්සේගේ භාරකාරත්වය රජතුමාට ලබාදුන්නා. 

කාවන්තිස්ස රජතුමාට ධාතූන්වහන්සේගේ අයිතිය ලැබීම 

මහානාග රජතුමාට භාරවුණු ධාතූන්වහන්සේ ඉන් පසුව ඔහුගේ පුත් යඨාලතිස්ස කුමරුට ලැබුණා. අනතුරුව යඨාලතිස්ස රජුගේ පුත් ගෝඨාභයට ලළාට ධාතුවේ අයිතිය හිමි වුණා. සිය පියාගෙන් පසුව රුහුණේ රජකම් කළ ගෝඨාභය කුමරු ධාතූන්වහන්සේට නියමිත පරිදි උපස්ථාන කළා. ගෝඨාභය රජතුමා සිය ජීවිතයේ අවසන් කාලයේ දී සිය පුත් කාවන්තිස්ස කැඳවා ලළාට ධාතූන්වහන්සේගේ අතීතය පිළිබඳව පවසා සිටියා. රජතුමා සිය පුත්‍රයාගෙන් ඉල්ලා සිටියේ ධාතූන්වහන්සේ තැන්පත් කොට  සේරුවාවිල ප්‍රදේශයේ ස්ථුපයක් ඉදිකරන ලෙස යි. 

මංගල සෑයේ වැඩ අරඹයි 

ගෝඨාභය රජතුමාගේ මරණයෙන් පසුව කාවන්තිස්ස රජතුමා රුහුණේ රජකමට පත්වුණා. සිය පියාගේ අවසන් ඉල්ලීම සිතේ තබාගෙන සිටි රජතුමා හැකි ඉක්මනින් ස්ථුපය ඉදිකිරීමට තීරණය කළා. ස්ථුපය සෑදීම සිදුකළේ විහාර මහා දේවියගේ සොහොයුරෙකු වුණු චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ රහතන්වහන්සේගේ උපදෙස්වලට අනුව යි. එම රහතන්වහන්සේ සෑය ඉදිකිරීමට නියමිතව තිබුණු භූමියට වැඩම කර එය ඉදිකර යුතු ස්ථානය සලකුණු කළා. ඉන්පසුව සේවක පිරිස් යොදවා එම භූමිය මනාව ශුද්ධ පවිත්‍ර කරා. එලෙස භූමිය සකස් කිරීමෙන් පසුව ස්ථුපය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ වෙසක් පොහොය දිනයක දී යි. 

සේරුවාවිල පුදබිම (Mapio Net)

ධාතු ගර්භය ඉදිවුණු හැටි 

මුල්ගල තැබීමෙන් පසුව ඉක්මනින්ම සෑයේ වැඩ කටයුතු සිදුවුණා. ධාතු ගර්භය පිහිටුවීමට තරම් උසකට වැඩ නිමවුණු පසුව චුන්ද සහ උත්තර නම් රහතන් වහන්සේලා ඍද්ධි බලයෙන් හිමාලයට වැඩම කර මේදවර්ණ පාෂාණ 6ක් රැගෙන ආ බව පැරණි පොත පතෙහි සඳහන් වනවා. එලෙස රැගෙන ආ පාෂාණ භාවිතා කර සාදන ලද ගල් පුවරුවක් යටට තබා එය වටකර සතර දිශාවෙන් ගල් පුවරු තබා ධාතු ගර්භයේ බිත්ති සකස් කළ බව කියවෙනවා. ඉන් පසුව රජතුමා රත්තරනින් ගඩොල් තනවා ධාතු ගර්භයේ බිත්ති සකස් කර, රන්, රිදී, මුතු මැණික්වලින් එහි විවිධ කැටයම් කළ බව බෞද්ධ ඉතිහාසය තුළ ලියැවී තිබෙනවා. ඉන් පසුව දඹ රන්, පළිඟු, රතු පබළු, රිදී, මැණික් ආදිය භාවිතා කරමින් බුදුන්වහන්සේගේ පිළිමයක් ධාතු ගර්භය තුළ  ඉදිකර තිබෙනවා.  

ලළාට ධාතූන් වහන්සේ ස්ථුප ගර්භයේ තැන්පත් කිරීම 

ලළාට ධාතූන් වහන්සේ ස්ථුප ගර්භයේ තැන්පත් කිරීමට තිබුණු දිනයේ දී සුදු වතින් සැරසුණු විශාල පිරිසක් විහාර භූමියට පැමිණ සිටියා. එසේම රෝහණ දේශය තුළ පිහිටා තිබුණු කුඩා නගර පාලනය කළ රජවරුන් සිය පිරිස් සමග එහි පැමිණ සිටියා. එසේම චුල්ලපිණ්ඩපාතික තිස්ස මහ රහතන්වහන්සේ ඇතුළු 500ක් රහතන්වහන්සේ උත්සවය සඳහා වැඩම කළා. එම විහාර භූමියට පැමිණ සිටි කාවන්තිස්ස රජතුමා මැණික් කරඬුව විවෘත කොට ලළාට ධාතූන්වහන්සේ හිස මතට ගෙන, ගර්භය වෙත ගොස් එය එහි තැන්පත් කළා. ඒ සමගම එහි රැස්ව සිටි රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළේ මෙහි තැන්පත් කළ පූජා භාණ්ඩ කිසිම දිනක සොර සතුරන් අතට පත් නොවේවා යන්න යි.

මංගල මහා සෑය අභාවයට යාම 

අනුරාධපුර සහ පොළොන්නරු යුගවල දී රජකම් කළ බොහෝ රජවරු මංගල මහා සෑයට පුද සත්කාර කළා. නමුත් 1215 වසරේ දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකවා පොළොන්නරුව රාජධානිය තමා යටතට ලබාගත්තා. වෙහෙර විහාර විනාශ කරමින්, වැව් අමුණු කඩා දැමූ මාඝ ගෙනගියේ විනාශකාරී පාලනයක්. ඉන් බියට පත්වුණු රජරට වැසියන් නිරිතදිග ප්‍රදේශවලට පළායන්නට වුණා. රජරට වල් බිහිවන්නට වුණා. පසුකලෙක දෙවන පරාක්‍රමබාහු රජතුමා මාඝව පොළොන්නරුවෙන් පළවා හැරියා. නමුත් රජරට තිබුණු වෙහෙර විහාරවලට පෙර පැවති පුද සත්කාර ලැබුණේ නැහැ. එම නිසා 20 වන සියවස ආරම්භය වන විට සේරුවාවිල මංගල මහා සෑය ගරා වැටී තිබුණා.

ගරා වැටී තිබුණු ස්ථුපය (Serendib)

ස්ථුපය අද තිබෙන තත්ත්වයට පත්වුණු හැටි 

1921 වසර පමණ වන විට කැලෑවෙන් වැසී තිබුණු මංගල මහා සෑය යළි සොයාගැනීමේ ගෞරවය හිමිවුණේ දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර හිමියන්ට යි. උන්වහන්සේ එදා විහාරය සොයාගත් ආකාරය පිළිබඳව පසුකලෙක මෙසේ පවසා තිබුණා.

“කුඩාකල සිට විවිධ ඉතිහාස පොත් කියවූ මට මංගල මහා සෑය සොයාගැනීමට අවශ්‍ය වුණා. එම නිසා මම තවත් පිරිස එකතු කරගෙන මහා ඝන වනාන්තර පීරමින් ස්ථුපය සෙවුවා. අවසානයේ දී අපේ උත්සාහය සාර්ථක වුණා.  ඒ වන විට පස් කන්දක් ලෙස පැවතුණු ස්ථුපය මත විශාල නුග ගසක් පැළවී තිබුණා. එසේම ස්ථුපයේ හතරැස් කොටුවෙන් භාගයක් කඩා වැටී නුග අතු අතර රැඳී තිබෙනු දුටු විට මට මහත් දුකක් ඇති වුණා.”

1922 වසරේ දී මංගල මහා සෑය යළි සොයාගැනීමෙන් පසුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට වසර 2ක් පමණ ගතවුණා. 

ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර- 1929 වසරේ දී (Serendib)

එදා සුමේධංකර හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වුණු ප්‍රතිසංස්කරණ කටයුතු වසර 6කින් නිමාව දුටුවා. ඉන් අනතුරුව විහාරය රැකබලා ගත් සුමේධංකර හිමියන් 1984 වසරේ දී අපවත් වුණා. එම හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විහාරාධිපතිත්වයට පත්වුණු සේරුවිල සරණකිත්ති හිමියන් කොටි ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ විහාරයෙහි වාසය කළා. උන්වහන්සේ එම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ විහාරය අතහැර නොගිය නිසා අද වන විට සේරුවිල පුදබිම දියුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. 

ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවීමෙන් පසුව (Serendib)

කවරයේ ඡායාරූපය- සේරුවිල මංගල මහා සෑය (Lakpura)

මූලාශ්‍රයයන්- මහාවංසය, mahamegha.lk

Related Articles