Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විනාඩි 38ට සීමාවූ, ලොව කෙටිම යුද්ධය

සාමාන්‍යයෙන් අපට යුද්ධයක් පිළිබඳ ඇසුනු සැටියේ මතක්වෙන්නේ, වසර ගණනක් දිගට ඇදෙන ජීවිත දේපළ මහා පරිමාණයෙන් විනාශ වන සිදුවීම් මාලාවකි. ලොව වැඩිම කාලයක් පැවති යුද්ධය වන, අයිබීරියානු අර්ධද්වීපය තමන් වෙතට නැවත ලබාගැනීම සඳහා ක්‍රිස්තියානි රාජධානි ඉස්ලාම් රාජධානි සමග සටන්කළ යුද්ධය වසර 781ක් තරම් දුරට ඇවිලී ගියේ ය. ලිඛිත ඉතිහාසයට අනුව වසර 100ට වඩා පැවති යුද්ධ 66ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවේ අපට ඉතා අමිහිරි මතක රැසක් ලබාදුන් ඊළාම් යුද්ධයත් වසර 30ක් දක්වා ඈතට විහිදී ගිය යුද්ධයකි. යුද්ධයක් පවතින කාල සීමාව තීරණය කිරීම සඳහා යුද වදිනා කඳවුරු දෙකෙහි පවතින ශක්තිය බලපානු ලබයි. සමාන බල සහිත කඳවුරු දෙකක් ඇති විට යුද්ධය දිගු කලක් ඇදීයාමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. නමුත් අද අපි කතා කරන්නට යන්නේ දීර්ඝ කාලයක් පැවති යුද්ධයක් පිළිබඳව නොව, ලොව පැවති කෙටිම යුද්ධය පිළිබඳව යි. ඒ, මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා සැන්සිබාරය අතර පැවති ‘අන්ග්ලෝ-සැන්සිබාර් යුද්ධය’ යි.

සැන්සිබාරයේ පිහිටීම

සැන්සිබාරයේ පිහිටීම/britannica.com

සැන්සිබාරයේ පිහිටීම හා ඉතිහාසය

සැන්සිබාරය ඉන්දියන් සාගරයේ, නැගෙනහිර අප්‍රිකානු කලාපයේ ටැංසානියා වෙරළ තීරයට කිලෝමීටර් 35ක් ඔබ්බෙන් පිහිටා ඇත. ප්‍රධාන දූපත් දෙකක් හා තවත් දූපත් රාශියක් හිමි සැන්සිබාරය, වර්ග සැතපුම් 600ක් පමණ සාපේක්ෂව ඉතා කුඩා භූමි ප්‍රමාණයකට හිමිකම් කියනු ලබයි. මෙහි ජීවත්වන ජනයා අරාබි, බන්ටු, හා කෝමරියන් මිශ්‍රිත ජන කොටසක් වේ.

1499 දී වස්කො ද ගාමා පළමුවරට සැන්සිබාරයට ගොඩබට අතර, 1503 සැන්සිබාරය පෘතුගීසි අධිරාජ්‍යයෙන් යටත් කරගන්නා ලදී. ඉන්පසු වසර 200කට ආසන්න කාලයක් සැන්සිබාරය පෘතුගීසින් යටතේ පැවති අතර, 1698 පෘතුගීසින් පැරදු ඕමානයේ සුල්තාන්වරයා සැන්සිබාරයේ බලය තහවුරු කරගන්නා ලදී. 

සැන්සිබාරයේ වහල් වෙළදපොක් 1873
සැන්සිබාරයේ වහල් වෙළඳපොළක් 1873 /slaveryimages.org

සැන්සිබාරයේ පිහිටීමේ වැදගත්කම හා වෙළද වටිනාකම්

ඕමානයේ සුල්තාන්වරයා යටතේ සැන්සිබාරය ඉතා ඉහළ ආර්ථික දියුණුවක් කරා ළඟාවිය. ඔවුන්ගේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත විය. ඉන් පළමුවැන්න කෘෂිකර්මය වූ අතර කුළුබඩු ආශ්‍රිත වගාවන් ප්‍රධාන විය. දෙවන අංශය වූයේ ඇත්දළ වෙළඳාම යි. එහිදී ටැංගනිකාවේ මරණ ලද ඇතුන්ගේ දළ සැන්සිබාරය හරහා වෙළඳාම් කෙරිණි. ආර්ථිකයේ තුන්වන අංශය වූයේ වහල් වෙළඳාම යි. සුල්තාන්වරයාගේ වගාවන්ට අවශ්‍ය ශ්‍රමය සපයා ගන්නා ලද්දේත් වහලුන් මඟිනි.

19වන සියවසවන විටත් අරාබි වෙළදුන් සතුව පැවති සැන්සිබාරයේවහල් වෙළදාම
19වන සියවසවන විටත් අරාබි වෙළදුන් සතුව පැවති සැන්සිබාරයේ වහල් වෙළදාම
https://www.thecoli.com

යුද්ධය සඳහා වටපිටාව

1856 දී ඕමානයේ සුල්තාන්වරයා වූ සයිඩ් බින් සුල්තාන්ගේ මරණයෙන් පසුව, ඔහුගේ පුතුන් දෙදෙනා වූ මජිඩ් බින් සයිඩ් සහ තුවානි බින් සයිඩ් අතර සිහසුන සඳහා අරගලයක් ඇරඹිණි. පසුව තුවානි බින් සයිඩ් ඕමානයේ සුල්තාන් ලෙසත්, මජිඩ් බින් සයිඩ් සැන්සිබාරයේ සුල්තාන් ලෙසත්  ඔවුන් දෙදෙනා අතරේ අධිරාජ්‍යය බෙදාගන්නා ලදී. ඉන්පසු 1865 වසරේ සිට සැන්සිබාරයට තරමක ස්වාධීනත්වයක් ලැබුණි.

වසර 1880 පමණ වන විට අප්‍රිකානු මහද්වීපයේ බල අරගලයේ නියැලී සිටි බ්‍රිතාන්‍ය හා ජර්මනිය මෙම ප්‍රදේශයේ ද බලය තහවුරු කරගැනීම සඳහා බල අරගයක යෙදුණි. එහිදී සැන්සිබාරයේ 3වන සුල්තාන්වරයා වූ කලීෆා බින් සයිඩ් තම රාජධානියේ උතුරු ප්‍රදේශය (වර්තමාන කෙන්යාවට අයත් ප්‍රදේශය) බ්‍රිතාන්‍යයටත්, දකුණුදිග ප්‍රදේශය (වර්තමාන ටැංසානියාවට අයත් ප්‍රදේශය) ජර්මනියටත් පවරා දුනි. ඉන්පසු එම ප්‍රදේශවල පෙර පැවති වහල් වෙළඳාම තහනම් වූ අතර, එය එම ප්‍රදේශවල සිටි පාලකයන් වූ අරාබි ජාතිකයන්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

ඉන්පසු බ්‍රිතාන්‍ය හා ජර්මනිය සැන්සිබාර් දූපත් සමූහය යටත් කරගැනීමට මාන බලමින් සිටි අතර බ්‍රිතාන්‍ය, ජර්මනියට පෙර ක්‍රියාත්මක වෙමින් 1890 දී තම සුපුරුදු උපක්‍රමය යොදාගනිමින් සැන්සිබාරය බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ පවතින රාජ්‍යක් බවට පත් කරගන්නා ලදී. ඉන්පසු 1890 දී කලීෆාගෙන් පසුව සුල්තාන්වරයා බවට පත්වූ අලි බින් සයිඩ් විසින් සැන්සිබාරයේ වහල් වෙළඳාම තහනම් කරන ලදී (නමුත් වහලුන් තබාගැනීම තහනම් නොවීය). සුල්තාන් අලිගෙන් පසු හමාඩ් බින් තුවානිට රජකම ලැබුණු අතර ඔහු බ්‍රිතාන්‍යගේ අණට යටත්ව බ්‍රිතාන්‍යයට අවැසි අන්දමින් පාලනය ගෙනයන ලදී. ඔහුගේ පාලන කාලය තුළ වහල් සේවය තහනම් කෙරුණු අතර, මෙය වහල් සේවය මත යැපෙමින් සිදුකළ කුළුබඩු වගා ආදියට ප්‍රබල පහරක් විය.

සුල්තාන් හමාඩ් බින් තුවානි
සුල්තාන් හමාඩ් බින් තුවානි /hukam.net

1896 අගෝස්තු 25වන දින උදෑසන 8.40ට  හදිසියේ ම සුල්තාන් හමාඩ් මියගොස් සිටියේ ය. ඔහුගේ ඥාතී කලීඩ් බින් බර්ගාශ් රජකම ලබාගැනීම සඳහා මෙම මරණය සිදුකළායැ යි සැක කරන ලදී.

සැන්සිබාරය බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ පවතින රාජ්‍යයක් වූ පසුව දෙරට අතර සිදුවුණු ගිවිසුමට අනුව, සැන්සිබාරයේ සුල්තාන් බවට පත්වන පුද්ගලයා පළමුව ඒ සඳහා බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබිය යුතු විය. මෙය ගැන කිසිදු තැකීමක් නොකළ කලීඩ් බින් බර්ගාශ් මාළිගාවේ රැඳී සිටිමින් ඔහුට පක්ෂ වූ 2800ක පමණ හමුදාවක් රැස් කරගැනීමට සමත් විය (එම 2800ක් වූ හමුදාවෙන් වැඩි ප්‍රතිශතය සිවිල් වැසියන් වූ අතර ඉතිරිය 700ක් පමණ වූ සැන්සිබාර් අස්කාරි භටයන්ගෙන් සමන්විත විය). කලීඩ් බින් බර්ගාශ්ට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍යයන් පලවා හැර පූර්ණ නිදහස ලබාගෙන, පෙර පරිදි වහල් වෙළඳාම නැවත ඇති කිරීම යි. නමුත් බ්‍රිතාන්‍යයට අවශ්‍ය වූයේ තමන්ට හිතවත් හමඩ් බින් මොහොමඩ් බලයට ගෙන ඒමට යි. බ්‍රිතාන්‍යයන් කලීඩ් බින් බර්ගාශ්ට හා ඔහුගේ 2800ක් වූ හමුදාවට මාලිගාවෙන් ඉවත්ව යන ලෙස අණ කළත් ඔහු එය නොසලකා හරින ලදී.

සුල්තාන් කලීඩ් බින් බර්ගාශ්
සුල්තාන් කලීඩ් බින් බර්ගාශ් /hukam.net

ඉන්පසු බ්‍රිතාන්‍යයන් දිගින් දිගටම බර්ගාශ් හට බලයෙන් ඉවත්වීමට හෝ කොන්දේසිවලට යටත්ව පාලනය ගෙනයාම සඳහා විවිධ යෝජනා ගෙන ආව ද ඔහු එවැනි කිසිවක් පිළිගැනීමට සූදානම් නොවූ අතර, ඒ වෙනුවට මාලිගාවේ විශාල රතු කොඩියක් සවිකර යුද්ධයක් සඳහා සූදානම් විය.

පසු දිනය වන අගෝස්තු 26 දිනත් බ්‍රිතාන්‍ය විසින් විවිධ යෝජනා ගෙන ආව ද, සුල්තාන්වරයා ඒ සියළු යෝජනා ප්‍රතික්ෂේප කළ බැවින් බ්‍රිතාන්‍යයන් අවසාන ලෙස දන්වා සිටියේ, පසුදින, එනම් අගෝස්තු 27 වන දින, උදේ 9ට පෙර මාලිගාවේ ධජයන් පහත්කර මාළිගාවෙන් පිටව නොගියහොත් තමන් යුද්ධය ආරම්භ කරන බව යි.

සැන්සිබාර් මාලිගය 1890
සැන්සිබාර් මාලිගය 1890 /historic-uk.com

 

යුද්ධය

පසුදින (අගෝස්තු 27) උදෑසන 8.30ට සුල්තාන්වරයා පණිවිඩයක් එවමින්, ”අපගේ ධජ පහත හෙලීමට අපට කිසිදු අදහසක් නැත. නමුත් ඔබ අපට පහර නොදෙනු ඇතැ යි අප විශ්වාස කරමු” යනුවෙන් දන්වා සිටියේ ය. එයට පිළිතුරු ලෙස බ්‍රිතාන්‍යයන් “අපට ඔබට පහරදීමට අවශ්‍ය නැත, නමුත් ඔබට පැවසූ පරිදි ඔබ නොකරන්නේ නම් අපි නිසැකවම එසේ කරන්නෙමු” ලෙස දන්වා සිටින ලදී.

මෙහිදී බ්‍රිතාන්‍ය සතුව 1050ක හමුදාවක් ද (බ්‍රිතාන්‍ය සෙබලුන් 150ක් හා 900 පමන වූ සැන්සිබාර් වැසියන්ගෙන් සමන්විත), යුධ නෞකා 3ක් හා යුධ බෝට්ටු 2කින් සමන්විත බලඇණියක් විය.

සුල්තාන්වරයාට 2800ක් පමණ වූ හමුදාවක් ද, කුඩා බෝට්ටු 2ක් හා යුධ යාත්‍රාවක් බවට පත්කර තිබූ සුල්තාන්වරයාගේ රාජකීය යාත්‍රාව (එච් එච් එස් ග්ලාස්ගෝ) සතුවිය. සුල්තාන්වරයා සතු එම යාත්‍රාව ද පෙර බ්‍රිතාන්‍ය විසින්ම පරිත්‍යාග කළ එකක් වූ අතර, ඔවුන් සතු වූ ආයුධ ද ශතවර්ෂ කිහිපයක් පැරණි ඕමානයෙන් ලද ඒවා සහ බ්‍රිතාන්‍යයන් විසින් සැන්සිබාරයට පරිත්‍යාග කළ ඒවා විය. ඒ අනුව බලනකල මෙය පැහැදිලිවම ඒකපාර්ශ්වීය සටනක් විය.

සැන්සිබාර් මාලිගාව කාලතුවක්කු ප්‍රහාර වලින් පසු
සැන්සිබාර් මාලිගාව කාලතුවක්කු ප්‍රහාර වලින් පසු/historic-uk.com

උදෑසන 9.00 වන විටත් සුල්තාන්වරයාගෙන් පිළිතුරක් නොලැබුණු බැවින් බ්‍රිතාන්‍ය ජෙනරල් ලොයිඩ් මැතිවුස් බ්‍රිතාන්‍ය යුධ නෞකා හට සැන්සිබාරයට පහරදීමට අණදෙන ලදී. 9.02ට බ්‍රිතාන්‍ය රූකොන්, ත්‍රෂ්, හා ස්පැරෝ නෞකා 3ම එකවර මාළිගාව වෙත පහර එල්ල කිරීම ඇරඹුණි. සැන්සිබාරයේ ග්ලාස්ගෝ යාත්‍රාව බ්‍රිතාන්‍ය සාන්ත ජෝර්ජ් යුධ යාත්‍රාවට බ්‍රිතාන්‍යයෙන්ම පරිත්‍යාග ලෙස ලැබුනු ආයුධ යොදාගෙන පහරදුන් අතර, එවිට ක්‍රියාත්මක වූ සාන්ත ජොර්ජ් යාත්‍රාවේ ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ ග්ලාස්ගෝ යාත්‍රාව විනාශ වී ගිලී යාමට ආරම්භ විය. ග්ලාස්ගෝ යාත්‍රාව බ්‍රිතාන්‍ය ධජ ඔසවා තමන් යටත් බව ප්‍රකාශ කළ අතර, බ්‍රිතාන්‍ය නෞකා ඔවුන්ව බේරා ගන්නා ලදී. සැන්සිබාරයේ අනෙක් කුඩා යාත්‍රා දෙකත් ත්‍රෂ් යුධ නෞකාවේ ප්‍රහාර හමුවේ මුහුදුබත් විය.

බ්‍රිතාන්‍ය නෞකාවලින් ගොඩබිමට එල්ල කළ ප්‍රහාර හමුවේ නගරයේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී මාලිගාව ගින්නට හසුවී තිබුණි. යුද්ධය ආරම්භ වී සුළු වේලාවක් යන විටම සැන්සිබාරයේ කාලතුවක්කු නිහඬ වී තිබුනු අතර සුල්තාන්වරයාගේ මාලිගාවේ ධජ කපාදමා තිබුණි. මේ හේතුවෙන් 9.40 වන විට යුද්ධය අවසන් වූ අතර බ්‍රිතාන්‍යයන් නගරය හා මාලිගාව තම බාරයට ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය මැරීන් සොල්දාදුවන් සැන්සිබාර් සුල්තාන්වරයාගේ අල්ලාගත් කාලතුවක්කුවක් ඉදිරිපිට
බ්‍රිතාන්‍ය මැරීන් සොල්දාදුවන් සැන්සිබාර් සුල්තාන්වරයාට අයත්ව තිබූ කාලතුවක්කුවක් ඉදිරිපිට/historic-uk.com

ප්‍රතිඵල

යුද්ධය ආරම්භයේ සිටම ඒකපාර්ශ්වීය යුද්ධයක් බඳු වූ අන්ග්ලෝ-සැන්සිබාර් යුද්ධය ලොව කෙටිම යුද්ධය ලෙස විනාඩි 38ක් ඇතුළත නිම විය. යුද්ධය ආරම්භයේ දීම සුල්තාන් කලීඩ් බින් බර්ගාශ් සහ ඔහුගේ අනෙකුත් ප්‍රධානීන් මාළිගාවෙන් පිටවී ජර්මන් පාලන ප්‍රදේශ වෙත පලාගියේ සාමාන්‍ය රටවැසියා කරපිට යුද්ධය තබමිනි. විනාඩි 38කින් යුද්ධය අවසන් වන විට සැන්සිබාර් වැසියන් 500ට අධික ප්‍රමාණයක් තුවාල ලබා සහ මියගොස් සිටි අතර බ්‍රිතාන්‍ය පාර්ශවයේ තුවාල ලැබූවේ එක් සොල්දාදුවෙක් පමණි.

ඉන්පසු බ්‍රිතාන්‍යයට හිතවත් හමඩ් බින් මොහොමඩ් සැන්සිබාරයේ සුල්තාන්වරයා ලෙස පත් කරන ලද අතර ඔහු 1902 ජීවිතක්ෂයට පත් වන තෙක් සුල්තාන්වරයා ලෙස කටයුතු කරන ලදී. පලාගිය සුල්තාන් කලීඩ් බින් බර්ගාශ් පළමු ලෝක යුධ සමයේ දී බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විය.

Related Articles