Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සයිබීරියාවෙන් මතු වූ වැම්පයර්

මිනිස් ලේ උරා බොන වැම්පයර්වරුන් ගැන ඔබ මීට පෙර අසා ඇත්තේ ප්‍රබන්ධයකින් වන්නට ඇත. කවුන්ට් ඩ්‍රැකියුලා නම් ධනවත් පුද්ගලයෙකු මිය යාමෙන් පසු ජීවත්ව සිටින මිනිසුන් කරා පැමිණ ඔවුන්ගේ ලේ උරා බීම පදනම් කරගත් “ඩ්‍රැකියුලා” සහ සත්ව ලේවලට හුරු වූ වැම්පයරයන් පිරිසක් සැබෑ ලොව මිනිසුන් සමග ජීවත් වීමේ කතාවක් පදනම් කරගත් “ට්වයිලයිට්” වැනි ප්‍රබන්ධ මේ අතර ප්‍රධාන වේ.

මේ කතා සියල්ලම මනඃකල්පිත එ්වා වුවත් සැබෑ ලෝකයේ ද එවැනි පුද්ගලයන් සිටි බවටද කතා පළ වේ. මේ පවසන්නේ කාටත් ප්‍රෙහේළිකාවක් වෙමින් සයිබීරියානු මිනිසෙකු වැම්පයර් ගති ලක්ෂණ පෙන්වූ සිද්ධිය පිළිබඳවයි.

ආර්නෝල්ඩ් පයාලේ

kellygalbraithblog.wordpress.com

ආර්නෝල්ඩ් පයාලේ නැමැත්තා ජීවත් වූයේ මීට සියවස් ගණනාවකට පෙර දී යි. ඔහු 17 වන සියවසේ සයිබීරියාවේ මේඩ්වෙඩා නම් ග්‍රාමයේ ජිවත් වූ අයෙකි.

ඔස්ට්‍රියන් හමුදාවේ සාමාජිකයෙක් වූ ඔහු යුද්ධය අවසන් වී ගම රට බලා පැමිණෙමින් සිටින අතරතුර ප්‍රහාරයකට ලක් විය. සැබවින්ම එය අද්භූතජනක ප්‍රහාරයක් යැයි පැවසේ. කෙසේ වුවද ඒ ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට නම් ඔහුට හැකි විය.

ප්‍රහාරයෙන් මිදී ගමට පැමිණියත් ඔහුට සිදු වූ අනතුර පිළිබඳව නම් විවිධ කතා ගම පුරා ප්‍රචලිත විය. බොහෝ ගම්මුන් පවසා ඇත්තේ ඔහු වැම්පයර් කෙනෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

කලක් ගත වන විට සියල්ලෝම මේ කතා අමතක කළ අතර ආර්නෝල්ඩ් ද පුරුදු පරිදි ගමේ ජිවත් වීම ආරම්භ කළේය. අළුතෙන් ගොවිපළක් ද මිළයට ගත් ඔහු එහි වගා කටයුතු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවා තිබේ. අසළ ඉඩමක ජිවත් වූ පුද්ගලයෙකුගේම දියණියක් විවාහ කරගත් ඔහු ඇය සමඟ සතුටින් සිටි බවයි පැවසෙන්නේ. නමුත් අනෙක් ගම්මුන් මෙන් නොව, ඔහු ගත කර ඇත්තේ ඉතාමත් අසාමාන්‍ය ජිවිතයකි. ගම්මුන් සමඟ ද වැඩි ආශ්‍රයක් නොතිබුණු ඔහු අද්භූත ජිවිතයක් ගත කර ඇති බවයි පැවසෙන්නේ.

අසාමාන්‍ය ගති පැවතුම් පෙන්නුම් කළ ඔහු වරක් තම බිරිඳ සමඟ පවසා ඇත්තේ තමා මිය ගිය පුද්ගලයන්ගේ අවතාර විසින් අරක්ගෙන තිබෙන බවයි.

විවාහ වී ටික කලකින් හදිසියේම ආර්නෝල්ඩ් ඔත්පල විය. ඒ ගොවිපලේ වැඩ කරමින් සිටිය දී උස් ස්ථානයකින් පහලට වැටීමෙනි. සිහි මුර්ජා වී සිටි ඔහු නිවසට ගෙනවිත් බෙහෙත් කළත්, එයින්ම ඔහු මිය ගියේ අභ්‍යන්තර තුවාල ගැඹුරු වූ නිසයි. ඔහුගේ මළ සිරුර ඒ නගරයේම සුසාන භුමියේ මිහිදන් විය.

ආර්නෝල්ඩ් ගේ අවතාරය

ආර්නෝල්ඩ් ගේ මරණයෙන් වැඩි කාලයක් ගත වීමටත් පෙර නගරය පුරාම විවිධ කටකතා මතු විය. බොහෝ නගරවාසීන් ප්‍රකාශ කළේ ආර්නෝල්ඩ් ගේ අවතාරය නගරය පුරා සක්මන් කරන බවයි. ඒ අවතාරය සියැසින් දුටු අය ද නගරයේ විය. ආර්නෝල්ඩ් ගේ අවතාරය දුටු බොහෝ අය ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ අවතාරය ඇත්තම මිනිස් රුවක් බඳු බවයි. එනම් ඔහු පණ පිටින් සිටින බවයි ඔවුන් පවසා ඇත්තේ. සමහරුන් ආර්නෝල්ඩ් තම නිවස තුළ සිටිනු දැක ඇත.

එ් වන විට කාටත් අමතක වී තිබූ අාර්නෝල්ඩ්ට වැම්පයර් ප්‍රහාරයක් එල්ල වූ කතාවටද මේ සමග තටු ලැබුණු අතර මේ ආරංචිය ලැව් ගින්නක් සේ නගරය පුරා පැතිරී ගියේ නිමේශයෙනි.

flickeringmyth.com

ටික දිනක් ගත විය. හදිසියේම සිදු වූයේ කිසිවෙකු නොසිතු දෙයකි. ආර්නෝල්ඩ් ගේ අවතාරය මුලින්ම දුටුවා යැයි කියූ පුද්ගලයා අභිරහස් ලෙස මිය ගොස් සිටියේය. මේ මරණයෙන් නගරවාසීහු කැළඹී ගියහ. ටික දිනකින්ම ආර්නෝල්ඩ් ව දුටුවා යැයි කියන සියලුම නගර වාසීන් එක් එක්කෙනා බැගින් මිය යන්නට පටන් ගත්තේ ය. අවසානයේ ආර්නෝල්ඩ් ගේ අවතාරය දුටු බව කියූ සියල්ලෝ මෙසේ අභිරහස් ලෙස මරණයට පත් විය.

ආර්නෝල්ඩ් ගේ මළ සිරුර ගොඩ ගැනීම

ආර්නෝල්ඩ් ගේ මරණයෙන් පසුව නගරයේ සිදු වුණු අභිරහස් මරණ මාලාව හේතුවෙන් ආර්නෝල්ඩ් ගේ මළ සිරුර ගොඩ ගැනීමට නගරවාසීන් තීරණය කළ අතර මේ කාර්යයේ දී හමුදාවේ උසස් නිළධාරීන් දෙදෙනෙක්, සොල්දාදුවන් දෙදෙනෙක් මෙන්ම පල්ලියේ පුජකතුමන්ගෙන් ද සැදුම්ලත් කණ්ඩායමක් සහභාගී විය. මේ සියල්ලෝ එකතු වී සිරුර ගොඩට ගත අතර ආර්නෝල්ඩ් ගේ සිරුර දුටු ඔවුන් වික්ෂිප්ත විය.

නරක් නොවූ මළ සිරුරක්!

මරණය සිදු වී දින 40 කට පසුව ගොඩ ගත්තත්, ආර්නෝල්ඩ් ගේ මළ සිරුර එදා වළ දැම්මා මෙන්ම දැක ගන්නට ලැබුණි. එය කිසිදු ලෙසකින් වත් නරක වී නොතිබුණි. එය දිස් වුයේ සැබවින්ම ආර්නෝල්ඩ් පණ පිටින් සිටින්නා සේ ය.

taliesinttlg.blogspot.com

මළ සිරුරේ තිබුණු පැරණි නියපොතු සහ සම ගැලවී ගොස් තිබුණු අතර ඒ වෙනුවට අලුත් සමක් සහ නියපොතු වර්ධනය වෙමින් තිබුණි. එමෙන්ම ආර්නෝල්ඩ් ගේ නාසයෙන් සහ කටෙන් අලුත් රුධිරය වෑස්සෙමින් තිබුණු බව ද පැවසෙයි. මේ නිසාම ඔහුගේ මුළු සිරුරම රුධිරයෙන් නැහැවී ගොස් තිබී ඇත.

වැම්පයර්

ගොඩගත් ආර්නෝල්ඩ් ගේ මළ සිරුර දුටු සියල්ලන්ගේ ම අදහස වූයේ ඔහු වැම්පයර් කෙනෙකු වන බව යි. ඒ නිසා එකල වැම්පයර්වරුන් වෙනුවෙන් සිදු කරන පුරාණ චාරිත්‍ර ආර්නෝල්ඩ් වෙනුවෙන් ද සිදු කෙරුණි. ඒ අනුව ඔහුගේ හදවත පසාරු කරමින් පිහි පහරක් එල්ල කළ අතර මේ අවස්ථාවේ සැබෑම වැම්පයර් කෙනෙකු ලෙසින් ආර්නෝල්ඩ් ගේ සිරුර ද ශබ්ද නඟා ගැස්සී පසුව නිශ්චල තත්ත්වයට පත් වූ බවයි පැවසෙන්නේ.

pinterest.co.uk

ඉන් පසුව නගරවාසීන් එකතු වී ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති අතර වැඩි ආරක්ෂාවට ඒ අවට චාරිත්‍රානුකුලව ආරක්ෂාවන් සිදු කළ බව ද පැවසෙයි. පසුව ඔවුන් එකතු වී ආර්නෝල්ඩ් ගේ මරණයෙන් පසුව නගරයේ අභිරහස් ලෙස මිය අයගේ ද සිරුරු ගොඩ ගෙන ඒවාට ද ආර්නෝල්ඩ් ගේ මළ සිරුරට සිදු කළ දේම කර ඇත. ඒ ඔවුන් ද වැම්පයර්වරුන් වීමෙන් වළක්වා ගැනීමට යි.

මෙසේ ආර්නෝල්ඩ් නම් වූ වැම්පයර් ගේ කතාව අවසන් වූ අතර ඉන්පසුව ඔහුගේ අවතාරයක් දැක ගැනීමට නොලැබුණු අතර අභිරහස් මරණ සිදු වීම නැවතුණි. අාර්නෝල්ඩ්ගේ කතාව ඉන් පසුව යුරෝපය පුරා වැම්පයර්ලා පිළිබඳව අළුත් උනන්දුවක් අැති කිරීමටද හේතු වූ අතර නූතනයේ පවා මේ සිද්ධි මාලාව සම්පූර්ණයෙන්ම පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබී නැත.

කවරයේ කතාව : musicalvienna.at 

මුලාශ්‍ර :

https://www.vampires.com

https://www.youtube.com

thevampireproject.blogspot.com

vampireunderworld.com

Related Articles