මීට පළමුව ඔඩෙස්සා නගරය සඳහා වූ සටන පිළිබඳ ලිපියේ දී ක්‍රිමියාවට එල්ල වූ ජර්මන් ප්‍රහාරය හේතුවෙන් නගරය අත්හරින්නට සෝවියට් හමුදාවලට සිදු වූ අයුරු අපි විස්තර කළා.

කියවන්න: සෝවියට් හමුදාවන්ගේ ඔඩෙස්සා නගරය රැකගැනීමේ සටන

ක්‍රිමියාව අල්ලාගැනීම භාර වූයේ ජර්මන් ජෙනරාල් එරික් ෆොන් මැන්ස්ටයින් වෙත යි. ඔහුගේ හමුදා 1941 සැප්තැම්බර් 11 වන දා පෙරෙකොප් වෙත පැමිණියා. ඒ සමගම ක්‍රිමියාව ප්‍රධාන භූමිය හා සම්බන්ධ වන ගොඩබිම් මාර්ගය ජර්මන් හමුදා අතට පත් වුණා.

ක්‍රිමියාවෙහි වූ සෝවියට් හමුදා එහි දකුණුදිග වූ කඳුකරයට පසුබැස​, එතැනින් යාල්ටා මාර්ගය දිගේ සෙවස්තෝපල් වෙත ළඟා වුණා. සෙවස්තෝපල් හි සිටි කුඩා සේනාංකය ඉතා නිර්භීතව සටන් කරමින් ජර්මන් ප්‍රහාරයන්ගෙන් නගරය ආරක්ෂා කළා. එහි දී වෙරළබඩ කාලතුවක්කුවලින් ද ඔවුන්ට ප්‍රබල සහායක් ලැබුණා. කෙසේ වෙතත්, නගරය වටලමින් පැවති අතර​ ක්‍රිමියාවේ අනෙකුත් ප්‍රදේශ ජර්මානුන් අතට පත් වුණා. ඔඩෙස්සාවේ සිට මුහුදුබඩ හමුදාව සෙවස්තෝපල් කරා ළඟා වූයේ එවන් පසුබිමක යි.

ක්‍රිමියාව (Encyclopaedia Britannica)

ජර්මානුන් දෙසැම්බර් මුල වන විට සෙවස්තෝපල් අල්ලාගැනීම සඳහා වන ප්‍රහාරයට සූදානම් වෙමින් සිටියා. එය දෙසැම්බර් 8 වන දා ඇරඹීමට දින නියම වූ අතර, දින හතරක් හෝ පහක් හෝ ඇදෙනු ඇතැ යි අනුමාන කරනු ලැබුණා. කෙසේ නමුත්, ශීත කාලය එළඹි හෙයින් ප්‍රහාරය කල් දැමීමට සිද්ධ වුණා.

මේ අතරවාරයේ සෙවස්තෝපල් හි සෝවියට් හමුදාවන්ට සහාය වීම සඳහා ජර්මානුන්ගේ අවධානය වෙනතක යොමුකිරීමට සෝවියට් හමුදා සැලසුම් කරමින් සිටියා. ක්‍රිමියා අර්ධද්වීපයේ නැගෙනහිර කෙළවර පිහිටි කර්ච් වෙත ද, ඊට ස්වල්පයක් බටහිරින් පිහිටි ෆියඩෝසියා වෙත ද සෝවියට් සේනා ගොඩබැස්වීමට සැලසුම් කරනු ලැබුවා.

නමුත්, මෙම ගොඩබැසීමට පෙර සෙවස්තෝපල් වෙත ජර්මන් ප්‍රහාරය ආරම්භ වුණා. මැන්ස්ටයින් මෙහි දී සෝවියට් හමුදා නායකත්වය බලාපොරොත්තු නොවූ පහරක් එල්ල කරන්න සමත් වුණා. සෝවියට් නායකත්වය බලාපොරොත්තු වූයේ ප්‍රධාන ජර්මන් ප්‍රහාරය යාල්ටා මාර්ගය දෙසට එල්ල කෙරෙනු ඇති බව යි. ජර්මන් යුධ ටැංකි යෙදවීම සඳහා එම ප්‍රදේශය වඩා වාසිදායක වීම එම අනුමානයට හේතු වුණා. එහෙත්, මැන්ස්ටයින් පහර දුන්නේ උතුරුදිග බොක්ක වෙත යි. එමඟින් ඔහු බලාපොරොත්තු වූයේ සෙවස්තෝපල් හි වරායේ කටයුතු කඩාකප්පල් කිරීම යි. සෙවස්තෝපල් වෙත සැපයුම් ලැබුණේ එම මාර්ගයෙන් පමණක්ම වූ හෙයින්, වරායේ කටයුතු අඩපණ වීම මඟින් සෙවස්තෝපල් හි සිටි රතු හමුදා වෙත එල්ල කළ හැකි වූ තර්ජනය සුළුපටු වූයේ නැහැ.

බලාපොරොත්තු නොවූ දෙසකින් ප්‍රහාරය එල්ල වූයෙන්, රතු හමුදාව බරපතල අර්බුදයකට මුහුණ දුන්නා. සැලසුම් වෙනස් කිරීමට සිදුවුණා. එමෙන්ම, අමතර සේනාංක ද අවශ්‍ය බව ඔවුන් තීරණය කළා. මේ අනුව කර්ච් සහ ෆියඩෝසියා වෙත එල්ල කරන්නට නියමිත ප්‍රහාරය සඳහා සූදානම් වී සිටි ඇතැම් සේනාංක සෙවස්තෝපල් වෙත යැවීමට සිදුවුණා.

සටන් අතරතුර සෙවස්තෝපල් (RIA Novosti)

කෙසේ වෙතත්, කර්ච් සහ ෆියඩෝසියා ගොඩබැසීම් ක්‍රියාවට නැගුණා. දෙසැම්බර් 26 වන දා කර්ච් සහ ෆියඩෝසියා ගොඩබැසීම් සිදුකරනු ලැබුණා. සෝවියට් යුධ සැලසුම් හි මෙය හඳුන්වන ලද්දේ ක්‍රිමියානු පෙරමුණ ලෙස යි. මෙයට සහභාගී වූ ඇතැම් බල ඇණි සටන් බිමකට පැමිණියේ පළමු වරට වීම නිසා, ගොඩබැසීම පහසු වූයේ නැහැ. එහෙත් එය මඟින් ජර්මන් හමුදාවන්ට කර්ච් අර්ධද්වීපය සහ ඒ අසල තරමක ප්‍රදේශයක් අතැර පසුබැසීමට සිදුවුණා.

ක්‍රිමියානු පෙරමුණෙන් එන තර්ජනය වහා මැඩ පැවැත්වීම අනිවාර්ය බව මැන්ස්ටයින් තීරණය කළා. ඒ අනුව සෙවස්තෝපල් ප්‍රදේශයේ වූ ඇතැම් හමුදා කණ්ඩායම් එයින් ක්‍රිමියානු පෙරමුණ දෙසට මාරු කරනු ලැබුණා. ඊට සමගාමීව ජර්මන් හමුදා සෙවස්තෝපල් ප්‍රදේශයේ නගර සීමාවෙන් තරමක් පසුපසට ගියා. නගරය වෙත වූ තර්ජනය තරමක් අඩු වුණා.

කෙසේ වෙතත්, සෙවස්තෝපල් හි වූ සෝවියට් හමුදා වෙත අවශ්‍ය සැපයුම් ලබාදීම දිනෙන් දින අපහසු වෙමින් පැවතුණා. මෙසේ අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ආයේ නැව් මඟින්. මෙම නැව් නිතර ජර්මන් ගුවන් ප්‍රහාරයන්ට ලක් වීම සෝවියට් හමුදා මුහුණ දුන් ප්‍රබල අභියෝගයක් වුණා.

ක්‍රිමියානු පෙරමුණ

ක්‍රිමියානු පෙරමුණෙහි සෝවියට් හමුදා මධ්‍යම පරිපාලක මණ්ඩලයේ නියෝජිතයා ලෙස පත් කර එවන ලද මාර්ෂල් ලෙෆ් මෙක්ලිස්, ස්ටාලින්ගේ තවත් හිතවතෙකු වූ අතර, හමුදාමය උපක්‍රමික දැනුම අතින් ඔහු සිටියේ ඉතා පහළ තැනක යි. එහෙයින්, ඔහු හා පෙරමුණු අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් දිමිත්‍රි කොස්ලොෆ් අතර නිතර ගැටුම් ඇති වුණා. මෙය ක්‍රිමියානු පෙරමුණ කෙරෙහි අයහපත් ලෙස බලපෑවා.

මුල් ජර්මන් ප්‍රහාරවලින් සෝවියට් හමුදා ෆෙයඩෝසියාවෙන් පළවා හරිනු ලැබුණා. එහෙත්, කර්ච් අර්ධද්වීපය ආසන්න ප්‍රදේශයේ වූ සෝවියට් සේනා එහි රැඳී සිටීමට සමත් වුණා. මේ අයුරින් මාස කිහිපයක් මුළුල්ලේ තත්ත්වය පැවතුණා. මේ අතර දෙපාර්ශවය ම විශාල​ ප්‍රහාරක මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටියා.

කර්ච් අර්ධද්වීපයේ සටන් (RIA Novosti)

මුලින්ම ප්‍රහාරය ඇරඹුවේ ජර්මානුන්. 1942 මැයි 8 වනදා සෝවියට් හමුදාවල ඉදිරි ආරක්ෂක ස්ථාන බිඳගෙන ජර්මානුවෝ කර්ච් දෙස ගමන් ඇරඹුවා. තමන් ද ප්‍රහාරක මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටියෙන් සෝවියට් සේනාංක ප්‍රමාණවත් ආරක්ෂක ස්ථාන ගොඩනගා තිබුණේ නැහැ. එහෙයින්, විවෘත භූමියේ දී සෝවියට් සේනා ජර්මන් ගුවන් යානාවලට පහසු ඉලක්ක බවට පත් වුණා

මේ අවස්ථාවේ දී තත්ත්වය යම් තරමකට හෝ වෙනස් කළේ සෝවියට් KV යුධ ටැංකි යි. මැයි 9 වනදා ඔවුන් විසින් 22 වන ජර්මන් පැන්සර් ඩිවිෂනයේ ඉදිරි ගමන තාවකාලිකව නවතා දැමුණා. එම අවසරයෙන් සෝවියට් හමුදා පසුබැස යන්න සමත් වුණා.

යළි ප්‍රතිසංවිධානය වී ජර්මන් හමුදාවන්ට මුහුණ දීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූයෙන් සෝවියට් හමුදා කර්ච් අර්ධද්වීපයේ කෙළවරටම පසුබැස ගියා. එම සේනාංක ගලවාගත හැකි වූ එකම ක්‍රමය කර්ච් සමුද්‍ර සන්ධිය හරහා තමාන් අර්ධද්වීපය කරා ගෙන යාම බව පැහැදිලි වුණා.

ඉංග්‍රීසීන් ඩන්කර්ක් හි දී කළාක් මෙන් සෝවියට්වරු ද, ජලයේ පාවී යන ඕනෑම යාත්‍රාවක් කර්ච් වෙත හැකි ඉක්මණින් එවීමට ක්‍රියා කළා. මුහුද රළු වූයෙන් ගමන අපහසු වුණා. යාත්‍රාවලට ගොඩවිය නොහැකි වූ ඇතැම්හු පිහිනා ගියා. සෝවියට් හමුදාවන් හි 14,000ක් පමණ තමන් වෙත ළඟා වෙන්න සමත් වුණා. මැයි 19 වනවිට ජර්මානුන් කර්ච් ප්‍රදේශයේ බලය අත්පත් කරගත්තා.

සෙවස්තෝපල් අල්ලා ගැනීම​

කර්ච් හි සටන් නිම වූ පසු ක්‍රිමියාවේ ජර්මන් හමුදා සිය පූර්ණ අවධානය සෙවස්තෝපල් වෙත යොමු කරන බව පැහැදිලි වුණා. හිට්ලර් මෙම සමයේ දී කොකේසස් ප්‍රදේශය වෙත දැවැන්ත මෙහෙයුමක් සැලසුම් කරමින් සිටි අතර​, ඊට පෙර සෙවස්තෝපල් අල්ලගැනීම අත්‍යවශ්‍ය වුණා. නගරයේ සෝවියට් හමුදා වූයේ ඉතා අයහපත් තත්ත්වයක යි. ජූනි මස මුල වන විට එහි 120,000කට ආසන්න සෝවියට් හමුදා සේනාංක වුණා. එහෙයින්, ගැටළුව වූයේ පිරිස් බලය නොවෙයි. ඔවුන් සතු වෙඩි උණ්ඩ ප්‍රමාණය සීමා සහිත වීමත්, නගරයට අවි ආයුධ​, ආහාර ආදී සැපයුම් කළ හැකි වූයේ සමුද්‍රය දෙසින් පමණක් වීමත් සෝවියට් හමුදා මුහුණ පෑ බරපතලම ප්‍රශ්නය වුණා.

සෝවියට් හමුදාවන්ට සෙවස්තෝපල් අතැර පසුබැසීමට ස්ථානයක් තිබුණේ ද නැහැ. සෙවස්තෝපල් සතුරා අතට පත්වීමට ඉඩ නොදිය යුතු බව සෝවියට් හමුදා නායකත්වයෙහි නියෝගය වුණා. එහෙයින්, හමුදා ඉවත් කරගැනීමේ සැලසුමක් වූයේ නැහැ. සෝවියට් සේනා ඉවත් කරගැනීම සඳහා ප්‍රමාණවත් නෞකා සංඛ්‍යාවක් ද තිබුණේ නැහැ.

බක්චිසරායි ප්‍රදේශයෙහි රඳවන ලද මිලි මීටර් 800 උණ්ඩ සහිත "ඩෝරා" නම් දැවැන්ත කාලතුවක්කු ද, මිලි මීටර් 600 උණ්ඩ සහිත "කාර්ල්" නම් කාලතුවක්කු හය ද ඇතුළු ජර්මන් කාලතුවක්කු මගින් ජූනි මාසයේ මුල සිට​ නගරය වෙත දින ගණනක් පහර දෙනු ලැබුණා. මෙම බැරැති කාලතුවක්කුවලින් සිදුකළ හැකි හානිය සැලකිය යුතු වුව ද ඒවායෙන් වෙඩි තැබිය හැකි සීඝ්‍රතාව අඩු වුණා. උදාහරණයක් ලෙස "කාර්ල්" වෙතින් වෙඩි තැබිය හැකි වූයේ විනාඩි දහයකට වරක් පමණයි.

ජර්මානුවන් සහ රුමේනියානුවන් සතුව හවිට්සර් වර්ගයේ කාලතුවක්කු ඇතුළු විවිධ ක්ෂේත්‍ර කාලතුවක්කු දහසකට ආසන්න ප්‍රමාණයක් තිබුණ නමුත්, ඒවා සඳහා ද වෙඩි උණ්ඩ අවශ්‍ය පමණට තිබුණේ නෑ. එහෙත්, ඒවායෙන් ද සෙවස්තෝපල් වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරිණ​.

නැවත වරක් ප්‍රධාන ලෙස ජර්මන් අවධානය යොමු වූයේ උතුරුදිග බොක්ක දෙසට යි. මෙම අවස්ථාවේ දී ප්‍රහාරය දෙසැම්බර් ප්‍රහාරයට වඩා දරුණු වුණා. එහෙත්, මෙම අවස්ථාවේ දී එම ප්‍රහාරයෙන් සෝවියට් සේනාංක පුදුම වූයේ නැහැ. ඔවුන් ජර්මානුවන් වෙත ප්‍රබල ලෙස ප්‍රතිරෝධය දැක්වූවා. මැන්ස්ටයින් තවත් අවි සහ පිරිස් බලය ඉල්ලා සිටියා. සෙවස්තෝපල් කරදරයෙන් හැකි ඉක්මණින් නිදහස් වීමට සිතූ හිට්ලර්, පාබල සේනාංක කිහිපයක් එහි එවූ අතර, ගුවන් හමුදාව ද තව ස්වල්ප කලක් එහි ප්‍රහාර සඳහා යොමු කරවූවා.

1942 ජූනි 20 වන දා සෙවස්තෝපල් සටනෙහි තීරණාත්මක අවස්ථාවක් උදා වුණා. එදින ජර්මන් සේනාංක උතුරුදිග බොක්කෙහි උතුරු වෙරළට ළඟා වීමට සමත් වීම මෙම තීරණාත්මක හැරවුම් ස්ථානය යි. එයින් අනතුරුව විශාල ප්‍රමාණයේ සෝවියට් නෞකාවලට සෙවස්තෝපල් වෙත පැමිණිය නොහැකි වුණා. එහෙයින් අවශ්‍ය ප්‍රමාණයෙන්, සැලකිය යුතු තරමක්වත් සැපයුම් ගෙන්වා ගැනීම කළ නොහැකි තත්ත්වයක් මතු වුණා.

එසේ වුව ද, සෝවියට් සේනාංක සටන අතහැරියේ නැහැ. නගරයේ නිරිතදිග වූ කුඩා ස්වාභාවික වරායවලට කුඩා ප්‍රමාණයේ නැව් පැමිණියා. මේ අතර විශාල නැව් ගෙන්වාගත හැකි පරිදි නව ජැටියක් ඉදිකිරීම ද අරඹනු ලැබුණා.

මේ අවස්ථාවේ මැන්ස්ටයින් නැවතත් සෝවියට් හමුදාවන් බලාපොරොත්තු නොවූ ස්ථානයකින් පහර දුන්නා. ජූනි 29 වන දා උදෑසන, බෝට්ටුවල නැගුණ ජර්මන් සේනාංක උතුරුදිග බොක්කෙහි උතුරු වෙරළෙන් පිටත්ව දකුණු වෙරළට ගොඩබැස්සා. මේ අතර​, යාල්ටා මාර්ගය දෙසින් ද ජර්මන් ප්‍රහාරයක් එල්ල කෙරුණා. සෝවියට් ආරක්ෂක වළල්ලම මෙම ද්විත්ව ප්‍රහාර හේතුවෙන් බිඳවැටුණා.

සෙවස්තෝපල් හි වූ සෝවියට් සන්නද්ධ අංශයන් හි ප්‍රධාන නිලධාරීන් රැසක් ගුවනින් හා සබ්මැරීන මඟින් කොකේසස් දෙසට ඉවත් කරගන්නට සෝවියට් යුධ බලධාරීන් ක්‍රියා කළා. මෙසේ නිලධාරීන් රැසක් ඉවත් කරගැනීම සෙවස්තෝපල් හි සාමාන්‍ය සෙබළුන් සමහරකගේ චිත්ත ධෛර්යය කඩා බිඳ දැමීමට හේතු වුණා. එහෙත්, මේ අවස්ථාවේ සෝවියට් හමුදාවන්ට වෙනත් විකල්පයක් ද වූයේ නැහැ.

ඇතැම් නිලධාරීන් දිගටම සටනෙහි රැඳී සිට සෙබළුන් සමග ම මියගියා. ඇතැම් සෙබළුන් විවිධ ද්‍රව්‍ය යොදාගෙන පාරු සාදා, ඒවායෙන් කළු මුහුදට පලා යාමේ උත්සාහයක යෙදුණා. ඇතැම් පාරු ජර්මන් ප්‍රහාරයන් හේතුවෙන් විනාශ වුව ද, ඇතැම් පාරු ගැඹුරු මුහුද වෙත ගෙන යාමට ඒවායේ සෙබළු සමත් වුණා. එහි දී සෝවියට් යාත්‍රා විසින් පාරු කිහිපයක වූ අය බේරාගනු ලැබුණා.

1942 ජූලි 4 වන දා වන විට සෙවස්තෝපල් හි සටන් නිම වුණා. ඇතැම් සෝවියට් සෙබළුන් ක්‍රිමියාවේ දකුණුදිග කඳුකරයේ පාර්ටිසාන්වරුන් ලෙස සැඟව සිට ගරිල්ලා සටනක යෙදුණා. රතු හමුදා යළි ක්‍රිමියාවට කඩා වැදුණේ වසර දෙකකට පසුව යි.

කවරයේ ඡායාරූපය: සෙවස්තෝපල් සටන අතරතුර​ (RIA Novosti)

මූලාශ්‍රයයන්:

  1. The Great Patriotic War. The Defence of Sevastopol
  2. The Rise and the Fall of the Third Reich - William L. Shirer
  3. The Soviet General Staff at War - S. M. Shtemenko