බුදු පිළිම නිර්මාණය, අතීතයේ සිටම ලංකාවේ බෞද්ධ සමාජය තුළ දක්නට ලැබුණු අංගයක් වුණා. හෙළ කලාකරුවා බුදු පිළිම නිර්මාණය කිරීම සඳහා දැක්වූ නිපුණතාවය නිසාම, ඔවුන්ගේ අතින් නිම වුණු විස්මිත නිර්මාණ අදටත් ලක් භූමිය තුළ දක්නට ලැබෙනවා. එලෙස දක්නට ලැබෙන බුදු පිළිම විවිධ මුද්‍රා නිරූපණය කරන ආකාරයට නිර්මාණය කර තිබීම සුවිශේෂී කරුණක්. එම බුදු පිළිමවල ප්‍රධාන වශයෙන් මුද්‍රා 6ක් දක්නට ලැබෙන විට, තවත් දුර්ලභ මුද්‍රා 4ක් නිරූපණය කරන පිළිම ද හමුවනවා.

බුදු පිළිමවල දක්නට ලැබෙන ප්‍රධාන මුද්‍රා 

ගාන්ධාර කලා සම්ප්‍රදාය අනුව මුල්මවරට බුදු පිළිම නිර්මාණය වුණු බව පැරණි පොත පතෙහි සඳහන් වනවා. එම කාල සමයේ දී ම ඉන්දියාවේ මථුරා ප්‍රදේශයේ ද බුදු පිළිම නෙළීම ආරම්භ වුණා. ගාන්ධාර සහ මථුරා යන කලා සම්ප්‍රදායයන් දෙකම සංකලනය වීමෙන් ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශයේ ඇති වුණු බුදු පිළිම නෙළීමේ කලා සම්ප්‍රදාය අමරාවතී කලා සම්ප්‍රදාය ලෙසින් ප්‍රසිද්ධ වුණා. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වුණු සෙනරත් පරණවිතානගේ මතය අනුව, ලංකාවේ බුදු පිළිම නෙළීම ආරම්භ වී ඇත්තේ අමරාවතී කලා සම්ප්‍රදාය මූලික කරගෙන යි. එසේම, ගුප්ත කලා සම්ප්‍රදාය අනුව නිර්මාණය වුණු බුදු පිළිමත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවනවා. පහත දැක්වෙන්නේ ලංකාව තුළ තිබෙන බුදු පිළිමවල දක්නට ලැබෙන ප්‍රධාන මුද්‍රා 6 යි.

1) ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාව 

2) අභය මුද්‍රාව 

3) ධර්ම චක්‍ර මුද්‍රාව 

4) විතර්ක මුද්‍රාව 

5) වරද මුද්‍රාව 

6) භූමි ස්පර්ශ මුද්‍රාව 

ධ්‍යාන මුද්‍රාව හෙවත් සමාධි මුද්‍රාව 

පැරණි බෞද්ධ පොත පතෙහි සඳහන් වන ආකාරයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් ගෙවා අවසානයේ දී සිදුහත් බෝධි සත්ත්වයන් ලෙස ඉපිද, උතුම් බුද්ධත්වයට පත් වුණු අවස්ථාව මෙම මුද්‍රාවෙන් කියැවේ. එසේම,  ඇසතු බෝරුක මුල ධ්‍යාන වඩා සම්මා සම්බුද්ධ ඤාණය අවබෝධ කරගත් අවස්ථාව මෙයින් නිරූපනය වන නිසාම ධ්‍යාන මුද්‍රාව නමින් හඳුන්වනු ලබනවා. මෙයට සමාධි මුද්‍රාව යන නාමය ලැබී ඇත්තේ මෙමඟින් සමාධිගත ආධ්‍යාත්මික ඒකාග්‍රතාවය නිරූපණය කරන නිසා යි. ලංකාවේ දක්නට ලැබෙන බොහෝ හිඳි පිළිම මෙම මුද්‍රාව නිරූපණය වන අයුරින් සාදා තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි. 

උදාහරණ- අනුරාධපුර මහමෙව්නා උයනෙහි සමාධි පිළිමය, තොළුවිල සමාධි පිළිමය, ගල් විහාරයේ හිඳි පිළිම

ගල් විහාරයේ සමාධි පිළිමය (gettyimages)

අභය මුද්‍රාව 

ලංකාවේ දක්නට ලැබෙන හිටි පිළිමවල ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ අභය මුද්‍රාව යි. ආශීර්වාද මුද්‍රාව නමින් ද හඳුන්වනු ලබන මෙම මුද්‍රාව පිළිබඳව මත කිහිපයක්ම තිබෙනවා. ඉන් ප්‍රධාන මතයක් වන්නේ නිර්භය බව මෙම මුද්‍රාවෙන් නිරූපණය වන බව යි. එසේම, නාලාගිරි හස්තිරාජයා  බුදුරජාණන් වහන්සේ හමුවේ දමනය වුණු අවස්ථාවේ දී උන්වහන්සේ ඇතුට ආශීර්වාද කළ හෙයින්, ඉන් උපුටාගත් මුද්‍රාව ආශීර්වාද මුද්‍රාව හෙවත් අභය මුද්‍රාව වන බව තවත් මතයකින් ප්‍රකාශ වනවා. ඊට අමතරව මෙම මුද්‍රාවෙන් සිංහ ශක්තිය සහ වීර්යය නිරූපණය කරන බවට ද අදහසක් පවතිනවා.

උදාහරණ- අවුකන පිළිමය, රැස් වෙහෙරේ හිටි පිළිමය, මාළිගාවිල පිළිමය, බුදුරුවගල ප්‍රධාන හිටි පිළිමය 

අවුකන පිළිමය (gettyimages)

ධර්ම චක්‍ර මුද්‍රාව 

මෙය බුදුරජාණන් වහන්සේ ඉසිපතනයේ, මිගදායේ දී පස්වග තවුසන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සංකේතවත් කිරීම සඳහා යොදාගත් මුද්‍රාවක් වනවා. නමුත්, මේ පිළිබඳව ආනන්ද කුමාරස්වාමි නම් විද්වතා වෙනස්ම මතයක් ඉදිරිපත් කරනු ලැබුවා. කෙළවරක් නැති සංසාර චක්‍රයේ ස්වභාවයත්, අෂ්ඨ ලෝක ධර්මයේ හා විශ්වයේ පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක න්‍යාය ද මින් නිරූපණය වන බව ඔහුගේ මතය වුණා. 

උදාහරණ- රංගිරි දඹුලු විහාරයේ පිළිමය, සාරානාත් හිඳි පිළිමය  

රංගිරි දඹුලු විහාරයේ පිළිමය (gettyimages)

විතර්ක මුද්‍රාව 

අයහපත් දේ වෙන් කර, යහපත් දේ පමණක් නෙළා ගන්න යන අර්ථය විතර්ක මුද්‍රාවෙන් නිරූපණය වනවා. මහපටඟිල්ලේ කෙළවර සහ දබරැඟිල්ලේ කෙළවර එක්ව ඇති අයුරින් මේ මුද්‍රාව නිර්මාණය වී තිබෙනවා. ඉන් හැඟෙන්නේ, යමක් නෙළන විලාසයක් හෝ නෙළා ගත් යමක් ඇඟිලි තුඩුවලින් රඳවා ගෙන සිටින විලාසය යි. නමුත්, මුද්‍රා පිළිබඳ ගවේශකයෙකු වන ඩේල් සෝන්ඩර්ස්ගේ මතය වන්නේ; විතර්ක මුද්‍රාවේ දී ඇඟිලි තුඩු සම්බන්ධ වී ඇති ආකාරයෙන් චක්‍රයක් නිරූපණය වන බව යි. එසේම, ඉන් ධර්ම නීතිය පිළිබිඹු වන ඔහුගේ මතය වුණා. 

උදාරහණ- බදුල්ල දිස්ත්‍රික්කයෙන් සොයාගත් ලෝහ පිළිමය, පත් කුලිය පිළිමය 

විතර්ක මුද්‍රාව නිරූපණය කරන පිළිමයක් (wikipedia)

වරද මුද්‍රාව 

වරද මුද්‍රවෙන් උත්තරීතර දයාව ද, කරුණාව ද සියලු සත්ත්වයනට එක හා සමානව පිරිනැමීම වැනි ගුණාංග නිරූපණය වන බව සඳහන් වනවා. මෙම මුද්‍රාව නිරූපණය වන පිළිම ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. 

උදාහරණ- අජන්තා ලෙන් විහාර හිඳි පිළිමය 

අජන්තා ලෙන් විහාර හිඳි පිළිමය (123RF.com)

භූමි ස්පර්ශ මුද්‍රාව 

මියන්මාරය, තායිලන්තය වැනි රටවල බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම මුද්‍රාවෙන් බුදුරජාණන්  වහන්සේ යෝගාසන ඉරියව්වෙන් වැඩ සිටිමින් වමතෙහි ඇඟිලිතුඩු කෙළවරින් මහ පොළොව ස්පර්ශ කරන ආකාරය නිරූපණය වනවා. මෙම මුද්‍රාව පිළිබඳව අදහස් දක්වා ඇති ආචාර්ය ජී. රාඹ් ප්‍රකාශ කරන්නේ; මෙම මුද්‍රාව මාරයා බුදුරජාණන් වහන්සේට අභියෝග කළ අවස්ථාවේ දුන් පිළිතුර සංකේතවත් කිරීමට යොදාගැනෙන බව යි. එම නිසාම අපේ බෞද්ධ බිතු සිතුවම් මෙන්ම සිදුහත් බෝසතුන් බුද්ධත්වය අවබෝධ කරගත් අවස්ථාව මූර්තිමත් කරන අවස්ථාවල දී මෙම මුද්‍රාව යොදාගැනීමට ශිල්පියා උත්සාහ ගත් බව පැහැදිලි වනවා. දෙගල්දොරුව විහාරයේ සහ දඹුලු විහාරයේ වියන් සිතුවම් ඊට කදිම උදාහරණ වනවා.

උදාහරණ- ඉන්දුනිසියාවේ බෝරෝබුදූර් හි හිඳි පිළිමය 

ඉන්දුනිසියාවේ බෝරෝබුදූර් හි හිඳි පිළිමය (gettyimages)

බුදු පිළිමවල දක්නට ලැබෙන වෙනත් මුද්‍රා 

ඉහත සඳහන් කළ ප්‍රධාන මුද්‍රා 6ට අමතරව තවත් දුර්ලභ මුද්‍රා 4ක් නිරූපණය වන බුදු පිළිම දක්නට ලැබෙනවා. පහත දක්වා ඇත්තේ එලෙස බුදු පිළිමවල දක්නට ලැබෙන දුර්ලභ මුද්‍රා හතර යි. මෙම මුද්‍රාවන් දුර්ලභ වුණත්, ලංකාව තුළ මින් සමහර මුද්‍රා දක්නට ලැබෙනවා.

1) පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව 

2) කටක හස්ත මුද්‍රාව 

3) අංජලී මුද්‍රාව 

4) ආශිෂ මුද්‍රාව 

මෙම මුද්‍රා අතුරින් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව, ගල් විහාරයේ ආනන්ද හිමියන්යැ යි සඳහන් කරන හිටි පිළිමයෙන් නිරූපණය වන බවට මතයක් පවතිනවා. එසේම බුදුරුවගල නෙළා ඇති මහායාන බුදුවරුන්ගේ පිළිම කිහිපයකින්ම කටක මුද්‍රාව නිරූපණය කරනවා. 

ගල් විහාරයේ හිටි පිළිමය (gettyimages)