ශිෂ්ටාචාර එකට යා කළ​ සේද මාවත

සේද මාවත යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හන් රාජවංශය කාලයේදී විධිමත්ව පිහිටුවන ලද වෙළඳ මාර්ග ජාලයකි. එමඟින් පුරාණ ලෝකය වාණිජ්‍ය කටයුතු වලට සම්බන්ධ කර ගනු ලැබීමක් සිදු වුණා. ඒ අනුව මෙම ලිපිය මඟින් සේද මාවත යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙනුත්, ගොඩබිම් සේද මාවත, මුහුදු සේද මාවත පිළිබඳව මෙන්ම චීන සේද මාවත හා ශ්‍රී ලංකාව යන කරුණු සම්බන්ධයෙනුත් දැනුවත් වීමට හැකියාවක් ලැබෙනවා.

සේද මාවත නම් කිරීම

people.hofstra.edu(සේද මාවත දැක්වෙන සිතියමක්)

සේද මාවත යනුවෙන් අදහස් වන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට වූ තනි මාර්ගයක් වුණේ නැහැ. මේ හේතුවෙන් සේද මාර්ගයන් (Silk Route) යන වචනය ඉතිහාසඥයින් විසින් වැඩි වශයෙන් භාවිතා කෙරුණා. නමුත් සේද මාවත (Silk Road) යන්න වඩාත් ප්‍රකට​ නම වනවා. ජර්මානු භූගෝලඥයෙකු හා සංචාරකයෙකු වන ෆර්ඩිනන්ඩ් වොන් රිච්තොෆෙන් 1877 වසරේදී මෙම මාර්ග ජාලය සඳහා Seidenstrasse’ (silk road) හා ‘Seidenstrassen’ (silk routes) යන නම් යොදනු ලැබුවා.

සේද මාවත මඟින් රෝමයේ හා චීනයේ දැවැන්ත ශිෂ්ටාචාරයන් අතර භාණ්ඩ හා අදහස් ප්‍රවාහනය කරමින් බටහිර රටවල් සමඟ චීනය සම්බන්ධ කෙරුණා. සේද රෙදි බස්නාහිර දෙසට ගිය අතරම, ලොම්, රත්තරන් හා රිදී නැගෙනහිර දෙසට යාම සිදු වුණා. එමෙන්ම චීනය වෙත​ මෙම සේද මාවත හරහා නෙස්ටෝරියානු ක්‍රිස්තියානි ආගම මෙන්ම ඉන්දියාවෙන් බුද්ධාගමද ළඟා වුණා.

පර්සියානු රාජකීය මාවත (Persian Royal Road)

slideplayer.com

සේද මාවතේ පූර්වගාමියකු ලෙස උතුරු පර්සියාවේ (වර්තමානයේ ඉරානයේ)  සුසා (Susa) නමැති නගරයේ සිට මධ්‍යධරණී මුහුද ආසන්නයේ සුලු ආසියාව​ (වර්තමානයේ තුර්කිය) දක්වා විහිදී තිබූ පර්සියානු රජ මාවත සළකනු ලබනවා. අශ්වාරෝහකයින් මඟින් සුවපහසු, ඉතාමත් ඉක්මන් පණිවිඩ හුවමාරු ක්‍රමයක් මෙහි පැවත තිබෙනවා. “ ලෝකයේ පර්සියානු පණිවිඩ හුවමාරු ක්‍රමය තරම් ශීඝ්‍ර වූ තවත් සේවයක් නොමැති තරම්ය. හිම කුණාටු, වර්ෂාව, කළුවර, උණුසුම මේ ආදී සියලු දෙයින්ම ආරක්ෂා වෙමින් නියමිත ස්ථානය කරා හැකි ඉක්මනින් පණිවිඩය රැගෙන යයි” යනුවෙන් හෙරඩෝටස් (Herodotus)විසින් මේ පිළිබඳ ප්‍රකාශ කර තිබෙනවා. පසුකාලීනව මෙම මාර්ගය තව තවත් පුළුල් කිරීම් සිදු කළ අතරම එහි ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුවෙන් එපිටට මෙසපොටේමියාව හරහාත් අනතුරුව ඉන්දියන් උප මහද්වීප දක්වාත් විහිදීම සිදු වුණා.

ගොඩබිම් සේද මාවත

thoughtco.com

මුල් කාලයේ ප්‍රසිද්ධව තිබුණේ ගොඩබිම් සේද මාවත පමණයි. එනම් චීන ජාතිකයන් මාලිමා යන්ත්‍රය නිර්මාණය කිරීමත්, ෆිනිෂියන්වරුන් විසින් ඉතාමත් ශක්තිමත් රුවල් නැව් යාත්‍රා නිෂ්පාදනය කරන තුරුත් ප්‍රසිද්ධ හා වැඩි වශයෙන් භාවිතා කරනු ලැබුවේ මෙම ගොඩබිම් මාර්ගයයි.

ඒ අනුව ගොඩබිම් සේද මාවතේදී දකුණු චීනයේ කැන්ටන් නමැති නගරයෙන් මෙම මාර්ගය ආරම්භ වූ අතරම ලැබ්යෝයි හරහා චීනයේ උතරු දිශාවට වන්නට පිහිටා තිබුන ගෝබී නමැති කාන්තාරයේ මායිමට වන්නට පිහිටා තිබුණ ඩුන්ගුවාන් නගරයට ළගා වීම සිදු වුණා. එමෙන්ම මෙම මාර්ගය කොටස් දෙකකට බෙදුණ අතරම ඉන් එක් මාර්ගයක් සැතපුම් 400ක් පමණ වූ උතුරු දිශාවෙන් ගමන් කොට ටියන්ෂාන් ඔස්සේ කිෂි නමැති මංසන්ධිය හමු වනවා. දෙවන මාර්ගය වන්නේ මක්ලිමන් නමැති කාන්තාරය ඔස්සේ ගමන් කරමින් කිෂි මංසන්ධියට පැමිණීම වනවා.

මීට අමතරව ඉන්දියාවේ නැගෙනහිර ගංගානම් නිම්නයේ මෝය කට කිට්ටුවෙන් ආරම්භ වී බරණැස, පාඨලී පුත්‍ර ආදී නගර ඔස්සේ එමින් කාන්තාරය ඔස්සේ යමින් කිෂි නමැති මංසන්ධියට පැමිණීමද මාර්ගයක් වනවා.

මෙම මාර්ගය නඩත්තු කිරීම සිදු කරන ලද්දේ පර්සියාව පාලනය කළ අධිරාජ්‍යා විසින් වන අතරම, මාර්ගයේ ගමන් කරන ලද වෙළෙඳුන්ගෙන් මේ සඳහා බදු අය කර ගෙන බව ලොව පළමුවන තීරු බදු ලේඛනය වන පැල්මයිරා තීරු බදු නාමාවලියේ දැක්වෙනවා.

ඉතිහාස කතා

පොත් පත් වලින් ඉගෙන ගනු ලැබූ ඉතිහාස කතා, ආගමික කතා වගේම ලොව සිදු වූ ඉතාමත් වටිනා සිදු වීම් රාශියකට සේද මාවත ඉමහත් පිටුවහලක් වී තිබෙනවා. බුද්ධ චරිතය පිළිබඳව සැළකීමේදී අපට මුණ ගැසෙන​ අනේපිඬු, මහාධන, ඉල්ලීස වැනි චරිත ඔස්සේ අපට අනුමාන කළ හැක්කේ සමකාලීන ඉන් දියාවේ ධනවත් වෙළෙන් ඳන් වූ බවයි. ඒ අතරම වෙනත් රාජ්‍යයන් සමඟ සබඳතා තිබූ වෙළෙන් ඳන් ද වුණා. ඒ අනුව ඔවුන් සේද මාවත ඔස්සේ වෙළෙඳාම් කළේ යයි සිතිය හැකියි. වංශ කතා පවසන පරිදි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් පර්සියාවෙන් අශ්වයන් මිළට ගෙන බුදුන්ගෙන් කේශ ධාතු රැගෙන ලංකාවට පැමිණියා. එමෙන්ම ඇතැන්ස් සිට පයිතගරස් ජ්‍යාමිතිය රැගෙන සේද මාවත හරහා භාරතයට  යනු ලැබුවේ බෞද්ධ දර්ශනය ඉගන ගැනීම සඳහායි.

සාගර සේද මාවත

shine.cn

සාගර සේද මාවත ආරම්භ වීම ඉතිහාසයේ සිදු වූ ඉතාමත් වැදගත් සිදුවීමක් වනවා. මෙය ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවටද වැදගත් වුණා. චීන, සින්දු, පර්සියන්, බැබිලෝනියන්, මිසර, ග්‍රීක් ආදී ශිෂ්ටාචාරයන්ගෙන් වෙන්ව පැවතුණ ලංකාව ලෝකයට විවර වීමට මෙමඟින් අවස්ථාව උදා වුණා.

ඒ අනුව පෙරදිගින් චීනයේ දකුණු වෙරළෙන් ඇරඹි මෙම සාගර සේද මාවතේ රුවල් නැව් ගමනාගමනය මලක්කා සමුද්‍ර සන්ධිය පසුකොට පැමිණ ඉන්දියන් සාගරයට​ විත් ලක්දිව මාන්තොට වරායට පැමිණ තිබෙනවා.

චීන සේද මාවත හා ශ්‍රී ලංකාව

aveneerkz.com(වෙළදාම් කටයුතු සිදු වූ අයුරු)

ලක්දිව මාන්තෙයි වරාය වෙළඳ වරායක් පමණක්ම නොවූ අතර නැව් තැනීම, අලුත්වැඩියා කිරීම, මුතු කිමිදීමේ කර්මාන්තය ආදී කර්මාන්තද සිදු කර තිබෙනවා. එමෙන්ම නාවිකයන් හා වෙළෙන්දන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීම සඳහා තිබෙන නිවාඩු නිකේතනයක් ලෙස මෙන්ම විනෝදය සපයන ස්ථානයක් ලෙසත් මෙම ස්ථානය ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා.

මන්නාරම් කච්චේරි නමැති ටැම් ලිපියේ සඳහන් වන පරිදි මෙම මුහුදු සේද මාර්ගය හරහා පැමිණියාවූ වෙළෙඳුන් විසින් ගෙන එන ලද්දා වූ පට පිළි සඳහා මඟපුටුලද්දන් නම් නිලධාරීන් බදු අය කිරීමක්ද සිදු කර තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 410 දී පමණ සුප්‍රසිද්ධ චීන දේශාටකයෙකු වන ෆාහියන් බෞද්ධ භික්ෂුන් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතරම, එතුමා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළදී චීන සේද ව්‍යාපාරිකයන් විශාල ගණනක් හමු වූ බව දැක්වෙනවා. එම වකවානුවේදී චීන ජාතිකයන් “සිහළද්වීප්” යන නාමයෙන් ලක්දිව හඳුන්වා තිබෙන අතරම ඔවුන් වෙත මැණික්, ඇත් දළ හා කුළු බදු අඩිය අපනයනය කර තිබෙනවා.

මීට අමතරව සේද මාවත ඔස්සේ අරාබි ජාතික දේශාටක ඉබන් බතුතා වැනි සංචාරකයින් ද ලක්දිවට පැමිණ තිබෙනවා.

ඒ අනුව විවිධ සංස්කෘතික වෙනස්කම්, කලාව, ආගම්, දර්ශනය, තාක්ෂණය, භාෂාව, විද්‍යාව, නිර්මාණ ශිල්පය ආදී දේවල්ද වෙළදාම් සිදු කරන වෙළඳුන් මාර්ගයෙන් සේද මාවත හරහා රටකින් තවත් රටකට හුවමාරු වීම සිදු වූවා.

කවරයේ පින්තූරය: telegraph.co.uk

Related Articles