සය දින යුද්ධය – ඊශ්‍රායලයට එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය

අනෙකුත් අරාබි රටවල් මඟින් ඊශ්‍රායලය බිඳ හෙළනු සඳහා 1960 දශකයේ මැද භාගයේ දියත් කරන ලද සය දින යුද්ධය පැවතියේ දින හයක් වැනි සුළු කාලයක් වුවත් ඒ නිසා ඇති වූ දේශපාලනිකමය බලපෑම් අදටත් මැදපෙරදිග දැක ගත හැකි යි. රුසියාව විසින් සිරියාව හා ඊජිප්තුවට සපයන ලද වැරදි ඔත්තුවක් හා ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාර් විසින් ටිරාන් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම යන කරුණු මේ යුද්ධය ඇවිලී යාමට ආසන්නතම කරුණු වශයෙන් දැක්වුණත් මේ සඳහා හේතු වූ සැබෑ කරුණු වසර ගණනාවක්ම අලු යට සැඟවුණු ගිණි පුපුරු මෙන් වරින් වර මතු වී, සැඟ වී  ගිය  රාජ්‍යතාන්ත්‍රික එදිරිවාදීකම් වෙනවා.

මේ ලිපි පෙළෙහි පළමු හා දෙවන ලිපි පෙළින් මේ සය දින යුද්ධය සඳහා පසුබිම සැකසුණු හැටිත් ඉන් අනතුරුව අරාබි ලීගයට අයත් රටවල් විසින් ඊශ්‍රායලය ‘යුද්ධය හැර වෙනත් විකල්පයක් නැති’ වන තරමට හතර වටින් වට කර ප්‍රහාරයට සූදානම් වුණු හැටිත් අපි ඔබ වෙත ගෙන ආවා. එහි තෙවන ලිපිය වන මේ ලිපියෙන් හා ඉදිරි ලිපි වලින් සය දින යුද්ධය ක්‍රියාත්මක වූ හැටිත්, එය  අවසන මැදපෙරදිග දේශපාලනික සිතියම වෙනස් වූ හැටිත් ගැන අපි සාකච්ඡා කරමු.

එකම විසඳුම යුධ වැදීම බව තීරණය වෙයි

ඊශ්‍රායලයට සිය ඔත්තු සේවා වලින් ලැබුණු පණිවුඩ අනුව ඊජිප්තුව ඇතුළු අනෙකුත් අරාබි රටවල් මේ තරමටම ඊශ්‍රායලයට පහර දීමට හේතුව වශයෙන් හෙළි වුණේ ඔවුන් ඊශ්‍රායලය න්‍යෂ්ඨික අවියක් නිපදවන බවට සැක කිරීම යන කාරණය යි. එය රුසියාව ද තර්ජනයක් ලෙස සිතන්නට ඇති අතර තත්ත්වය බැරෑරුම් වීමට කලින් ඊජිප්තුව ඇතුළු පරිවාර අරාබි රටවලට ආධාර දී ‘අවදානම’ මුලිනුපුටා දැමීමට ඔවුන් තීරණය කර තිබුණා.

(ගමාල් අබ්දුල් නසාර් (වම්පස සිට දෙවැන්නා) සමඟ අරාබි ලීගයේ නායකයින්-nasser.bibalex.org)

1965 වසරේ දී ඊශ්‍රායලයට මොරොක්කෝවේ දෙවන හසන් රජුගෙන් ලැබුණු හඬ පට වලින් අරාබි ලීගයේ අනාගත අහිලාෂ සහ ඔවුන් පෙන්වන තරම් යුද්ධයකට සූදානම් වී නැති බව ඊශ්‍රායලයට ශපථ වුණා. මේ නිසා ගන්නට වෙන විකල්පයක් නොමැති වුවහොත් යටත් වීම වෙනුවට පෙරළා පහර දීම ඒ තරම් අමනොඥ ක්‍රියාවක් නොවන බව ඊශ්‍රායල ආරක්ෂක ප්‍රධානීන් තීරණය කර තිබුණා. ඒ කෙසේ වෙතත් ඊට වඩා ආරක්ෂාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊශ්‍රායල රජය සිය ශ්‍රම බලකාය දැනුවත් කර ටෙල් අවිව් නගරයේ ආරක්ෂක අගල් වැනි දෑ කණින්නට පටන් ගත්තේ දැඩි සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් ජීවිත ආරක්ෂා කරගැනීමට යි. මේ ආකාරයෙන් 1965 වසරේ ජුනි 4 වන දා දක්වාම කාලය ගෙවී ගියා.

ක්‍රි.ව 1964 ජුනි මස 4 වනදා වන විට සතුරු බලමුළු ඊශ්‍රායලය හතර අතින්ම වටකොට ඉතා දැඩි ආක්‍රමණයකට සූදානම් වී සිටියා. තත්වය ඉතා බැරෑරුම් බවත් තව ප්‍රමාද වීම විහින් මරණය ළඟා කර ගැනීමක් බවත් වටහා ගත් ඊශ්‍රායලයේ ආරක්ෂාව භාර මෝෂේ දයාන් හා යිට්සැක් රාබීන් පෙරළා පහර දීම එකම විසඳුම බවට තීරණය කළා. ඔවුන් මෙය ඊශ්‍රායල රජයට වහාම දැන් වූ අතර එදිනම කැබිනට් රැස්වීමක් තැබූ අගමැති ලෙවි එශ්කොල් යුධ ප්‍රකාශ කිරීමට සිය ආරක්ෂක අමාත්‍යංශයට බලය ලබා දීම සඳහා ඡන්දයක් පැවැත්වූවා. සියළු දෙනා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ අනුව නිළ වශයෙන් ඔහු ඊජිප්තුව හා අනෙක් සතුරු රටවලට එරෙහිව යුධ ප්‍රකාශ කළා.

ඊශ්‍රායලයෙන් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය

ක්‍රි.ව 1967 ජුනි මස 5 වනදා වන විට ලොව සි‍යළුම යුධ විචාරකයන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය තව දිනක් හෝ දෙකක් ඇතුළත අරාබි ලීගය විසින් ආක්‍රමණය කරනු ඇති බව සහ ඔවුන් අන්ත පරාජයකට ලක් වී සහමුලින්ම විනාශ වනු ඇති බව යි. ඒ කෙසේ නමුත් මේ අතර ඊශ්‍රායලය අපූරු යුධ උපක්‍රමයක් සැළසුම් කරනවා. මෝෂේ දයාන් සිය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා 12 ක් පමණක් ඊශ්‍රායල ගුවන් කලාපය ආරක්ෂා කර ගැනීම සඳහා සූදානම් කර තබා ඉතිරි සියල්ලම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතා වැදගත් මෙහෙයුමක් සඳහා පිටත් කර හරිනවා. හරියටම උදෑසන 7.14 පිටත් කර හැරි මේවායේ ඉලක්කය වූයේ ඊජිප්තුවේ කයිරෝ නුවර ප්‍රහාරක ගුවන්යානා මධ්‍යස්ථානය යි. එක් සුළු වරදකින් සිය ගුවන් යානා සියල්ලම පාහේ අහිමි වන බව දයාන් හා රාබීන් දැන සිටියත් මේ අවදානම් කර්තව්‍ය හැර වෙන විකල්පයක් ඔවුනට තිබුණේ නැහැ.

(මෝෂේ දයාන් (මැද) යුධ බිමේ- mondoweiss.net/ Contact press)

ඊශ්‍රායල  ප්‍රහාරක ගුවන් යානා ඊජිප්තු ගුවන් භටයින් උදෑසන ආහාරය ගනිමින් සිටිය දී කයිරෝ නුවරට ළඟා වන අතර එක් වරම අහසින් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ සිය ගුවන් යානා බේරා ගැනීමටත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටත් ඊජිප්තුව අසමත් වෙනවා. ඊජිප්තුව සයිනයි කාන්තාරය දෙසින් භෞමිකව එල්ල වන දුර්වල ඊශ්‍රායල ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිය බළමුළු ඉදිරියට ගෙනයමින් සිටිය අතර කිසි ලෙසකින් මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වූයේ නැහැ. එහෙයින් මේ ප්‍රහාරය අති සාර්ථක වන අතර උදෑසන 11.05 වන විට  ඊජිප්තු ප්‍රහාරක ගුවන් යානා 180ක් විනාශ කිරීමට ඔවුන් සමත් වන්නේ ඊජිප්තු ගුවන් ප්‍රහාරක බලය සම්පූර්ණයෙන් පාහේ අඩපණ කරමින්.

(ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් විනාශ වුණු ඊජිප්තු ගුවන් යානා-GPO)

එදිනම සිරියාවට පහර දීමට ආරක්ෂක ඇමති මෝෂේ දයාන් බලාපොරොත්තු නොවුණත් සිරියානුවන් ඊශ්‍රායලයේ ටයිබීරියස් හා මෙගිඩෝ ප්‍රදේශ වලට පහර දීමත් සමඟ ඒ තීරණය වෙනස් වුණා. ඊජිප්තු ප්‍රහාරය සාර්ථක වීමෙන් ඔද වැඩී සිටි ඔහු සිය ප්‍රහාරක යානා සිරියාවට හා ජෝර්දානයට මෙහෙයවමින් ප්‍රහාර එල්ල කරනන්ට පටන් ගත්තා. මේ වන විට යුද්ධයට එක් වී සිටි ඉරාකයටත් එක් ප්‍රහාරයක් එල්ල කරන්නට සිදු වුණා. මෙසේ ආරම්භ වූ සය දින යුද්ධයේ පලමු දිනය නිමා වන විට කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිදි ඊජිප්තු ගුවන් ප්‍රහාරක බලය සම්පූර්ණයෙන්ම පාහේද සිරියානු බලය අඩකින් පමණද අකර්මන්‍ය වී තිබුණා. ඊශ්‍රායල ගුවන් බලකායට වැඩි හානි අත් වී නොතිබුණු අතර ඔවුන් විසින් ඊජිප්තු ප්‍රහාරක යානා 302ක් ද, ජෝර්දාන ගුවන් යානා 20ක් හා සිරියානු යානා 52ක් ද විනාශ කර තිබුණේ ඊශ්‍රායලය බලහත්කාරයෙන් වාගේ යුද්ධයට ඈඳාගත් ගමාල් අබ්දුල් නසාර් ඇතුළු අරාබි ලීගයේ නායකයින්ගේ දෙබැම හකුළුවමින්.

සයිනයි කාන්තාරයත් ඊශ්‍රායලය යටතට

ක්‍රි.ව 1967 ජුනි මස 6 වන දා වන විට ඊශ්‍රායලය පැහැදිළි ලෙසම යුද්ධයේ වැඩි ගෞරව ලබාගෙන සිටියත් මොෂේ දයාන් ඒ බව ලෝකයා එකෙනෙහිම දැනගන්නවාට වැඩි කැමැත්තක් දැක්වූවේ නැහැ. ඔහුට උවමනා වූයේ තව දුරටත් ඊශ්‍රායලය දෙස ලෝකයා සානුකම්පිත ඇසකින් බලනු දැකීමට යි. මේ අතර භූමියේ ද යුධ ගිණි ඇවිල ගිය අතර ඊශ්‍රායල හා ඊජිප්තු යුධ සේනා අතර සයිනයි කාන්තාරයේ ඉතා දරුණු ඝට්ටනයක් ඇති වෙනවා. මෙය අද වන විටත් එදා මෙදා තුර ලොව ඇති වූ දරුණුතම යුධ ටැංකි ගැටුමක් ලෙස හැඳින්වෙන අතර අවසානයේ ජුනි 9 වැනිදා පාන්දර යාමයේ එය ජයගන්නට ඊශ්‍රායලයට හැකි වනවා.

(සයිනයි ගැටුමේදී විනාශ වුණු යුධ ටැංකියක්-israelsite.net)

(සයිනයි අර්ධද්වීපයේ සය දින යුද්ධය සිදු වුණු අයුරු-jewishvirtuallibrary.org)

ඊශ්‍රායලය විසින් ජෙරුසලම සම්පූර්ණයෙන් අල්ලා ගැනීම හා කිසිවෙක් නොසිතූ ලෙස යුද ගැටුම් ඉක්මණින් නිම වූ ආකාරය ගැන ඉදිරි ලිපි වලින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය – Getty images

Related Articles