ඊශ්‍රායලය සහ අරාබි රටවල් ගැටුණ සය දින යුද්ධයේ පසුබිම​

ඉතිහාසය පුරාවට ලොව තැනින් තැන යුධ ගැටුම් ඇවිලී ගියා. මේ අතරිනුත් මැද පෙරදිගට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. අද වන විටත් මැදපෙරදිග සාමකාමී තත්ත්වයක නැහැ. මැද පෙරදිර රටවල් අතුරින් ඊශායලයත් කිහිප විටක්ම යුද ගැටුම් වලට මැදි වී තිබෙනවා. මේ අතරින් ක්‍රි.ව 1967 පැවති ‘සය දින යුද්ධය’ හේතු කිහිපයක් නිසා සුවිශේෂී වෙනවා. මේ ලිපි පෙළින් අපි ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ එම සය දින යුද්ධය හා එහි පසුබිම පිළිබඳව සවිස්තර වාර්ථාවකුයි.

සය දින යුද්ධයට පසුබිම සකස් වීම

ක්‍රි. ව. 1948 ඊශ්‍රායලය ප්‍රකාශයට පත් වූ දා පටන්ම අසල්වැසියන් සමඟ යම් යම් මත ගැටුම් තිබුණා. ඒ තදාසන්නවම අනෙකුත් අසල්වැසි අරාබි රටවල් ඊශ්‍රායලය ආක්‍රමණය කර යටත් කර ගැනීමට උත්සාහ දැරුවත් ඒ කිසිවක් සාර්ථක කර ගැනීමට ඔවුනට නොහැකි වුණා. ඉන් පසු කීප විටකම එම අසල්වාසී රටවල්, විශේෂයෙන්ම සිරියාව සමඟ ඊශ්‍රායලය යම් යම් ආරෝවන් සාදාගත්තා. 1956 වසරේ ඇති වුණු සූවස් අර්බුධයේදී ඔවුන් ඊජිප්තුව සමඟ තිබූ එදිරිවාදීකම්ද තවත් දැඩි කරගත්තා. අනෙක් අතින් 1948 දී ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරන විට පලස්තීන ජාතිකයින් 750,000 ක් පමණ ඊශ්‍රායල භූමියෙන් අසාධාරණ ලෙස පිටුවහල් කරන ලද අතර ඔවුන්ට සරණාගතයින් ලෙස තදාසන්න අරාබි රටවල් වල ලැගුම් ගැනීමට සිදු වුණා. ඔවුනුත් සිටියේ ඊශ්‍රායලය සමඟ විරසකවයි. ක්‍රි.ව 1960 වන විට යුදෙව් රාජ්‍යයක් වූ ඊශ්‍රායලය අනෙකුත් අරාබි රාජ්‍යයන් සමඟ සීතල යුද්ධයක පැටලී සිටියා.

1948 සිට ඊශ්‍රායල පාලන ප්‍රදේශ වෙනස් වූ අයුරු. 1967 දී ඊශ්‍රායලය විසින් අල්ලාගත් ප්‍රදේශ සහ ඉන් යළි ඊජිප්තුවට සහ සිරියාවට ලබා දුන් ප්‍රදේශ ද සිතියමේ දැක්වෙනවා -christians-standing-with-israel.org

ඊශ්‍රායලය සෑම විටම ලොවට පෙන්නුම් කළේ තමන් සිය අසල්වාසීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසඳා ගැනීමට සූදානම් බවයි. 1960 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ හමුවේදී එවක ඊශ්‍රායල විදේශ ඇමතිණී ගෝල්ඩා මයර් ප්‍රකාශ කළේ අගමැති වන ඩේවිඩ් බෙන් ගූරියන් අනෙකුත් අරාබි රටවල් සමඟ සාම සාකච්ඡා කිරීමට සූදානම් බවයි. එහෙත් දින කිහිපයක් තුළ ප්‍රකාශයක් නිකුත් කරන එවකට ඊජිප්තු ජනපති ගමාල් අබ්දුල් නසාර් ඊශ්‍රායලය විසින් ලෝකයා රැවටීමට උත්සාහ දරන බවත්, තමන් කිසිවිටෙක යුදෙව් දේශය පිළි නොගන්නා බවත් ප්‍රකාශ කරනවා.

ගමාල් අබ්දුල් නසාර් -jrbenjamin.com

පලස්තීන විමුක්ති සංවිධානය

ඊශ්‍රායලය සමඟ විවිධ ගැටුම් පැවතියත් ඊශ්‍රායලය නිසා වැඩිම අපහසුතාවයකට ලක් වී සිටියේ පලස්තීන ජාතිකයිනුයි. මේ තත්වය ප්‍රයෝජනයට ගන්නා අරාබි ලීගය සිය ප්‍රතිපාදන සපයමින් ‘පලස්තීන විමුක්ති සංවිධානය’ නම් කණ්ඩායමක් තනනවා. මෙහි සභාපති ලෙස තෝරා පත් කරගන්නේ පසු කලෙක පලස්තීනයේ නායකයා වූ යසිර් අර්ෆත් වයි. ක්‍රි.ව 1965 වන විට ඔවුන් ඊශ්‍රායලයට එරෙහි සිය ක්‍රියාකාරකම් ආරම්භ කරනවා.

යසිර් අර්ෆත් -skepticism.org

සන්නද්ධ බලය සපයා සාමාන්‍ය ජනතාවට පහර දීමට පුහුණු කර සිටි පලස්තීන විමුක්ති සංව්ධානයේ සාමාජිකයින් 1965 වසරේ පහරදීම් 35ක් ද, 1966 වසරේ පහරදීම් 41 ක් ද සිදු කරනවා. මේ සියල්ලම පාහේ ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාව ඉළක්ක කරගෙන ක්‍රියාත්මක වූ ඒවා වන අතර ඉන් නොනැවතුණු ඔවුන් 1967 වසරේ පළමු මාස 4 තුළ පමණක් තවත් පහරදීම් 37 ක්ම සිදු කරන්නේ ඊශ්‍රායලයම කුළු ගන්වමින්.

පලස්තීන විමුක්ති සංවිධානය- al-shabaka.org/apaimages

මේ කාලය වන විට ඊශ්‍රායලය සමඟ යම් කිසි හෝ මිත්‍රකමක් තිබූ එකම මැද පෙරදිග රාජ්‍යය වූයේ ජෝර්දානයයි. එහි පාලකයා වූ හුසේන් රජුට ඊශ්‍රායලය කෙරෙහි විශේෂ මිත්‍රකමක් නොතිබුණත් අනෙකුත් අරාබි රටවල් මෙන් ඔහුට එය පෙරළීමට විශේෂ උවමනාවක් තිබුණේ නැහැ. නමුන් අනෙක් අතින් ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාර්ට හුසේන් රජුගේ පාලනය පෙරළා දැමීමට උවමනාවක් තිබුණා. ඔහු පලස්තීන විමුක්ති සංවිධානයට ප්‍රතිපාදන සැපයූවේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකුම මරා ගැනීමේ අභිලාෂයෙන් හෙවත් ඊශ්‍රායලයට පහරදී ඉන් අනතුරුව හුසේන් රජුගේ පාලනයත් අහවර කරන අටියෙනුයි. මෙය ඉක්මණින්ම වටහා ගන්නා හුසේන් රජු ජෝර්දානයේ පිහිටි පලස්තීන විමුක්ති සංවිධානයට අයත් කාර්යයාල වටලා එහි සාමාජිකයින් රැසක් අත්අඩංගුවට ගන්නවා. ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාර සැලකිය යුතු ප්‍රමාණයක් හෞමික වශයෙන් එහි ළඟා වීමට පහසුම භූමිය වන ජෝර්දානයේ සිට සැලසුම් කර දියත් කර තිබුණු අතර මේ නිසා එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය මදකට අඩපණ වෙනවා.

හුසේන් රජු- albawaba.com

අරාබි ලීගයේ යුධ සැළසුම් හෙළි වෙයි

ඊශ්‍රායලය අනෙකුත් අරාබි රටවල පැවැත්මට තර්ජනයක් යැයි ඔවුන් විසින් ප්‍රකාශ කලත් වැඩිමනක්ම අනෙකුත් අරාබි රට වලට තිබුණේ බල ලෝභීත්වය හා පෙර යුද්ධ කිහිපයක් ඊශ්‍රායලය හමුවේ පැරදීමේ ලැජ්ජාව වසාගැනීමේ අහිලාෂ‍යයි. ක්‍රි.ව 1965 සැප්තැම්බර් මාසයේ අරාබි රටවල නායකයින්, යුධ ප්‍රධානීන් හා බුද්ධි අංශ නායකයින් මොරොක්කෝවේ කැසබ්ලැන්කා හෝටලයේ ඊශ්‍රායලයට එරෙහි ඉදිරි යුධ වැදීම් පිළිබඳව සාකච්ඡා කිරීමට රහස් හමුවක් සංවිධානය කරගන්නවා. මෙය සංවිධානය කළ එවකට මොරොක්කෝවේ රජු වුණු දෙවන හසන් මැදිහත් අදහස් දැරුවෙක් වුණා. අරාබි ලීගයේ ඊශ්‍රායලයට එරෙහි ප්‍රතිපත්තියේ සැබෑ ස්වරූපය ගැන සැක සිතූ ඔහු වැඩි කල් යන්නට මත්තෙන්ම එහි යටි අරුත වටහාගන්නවා. රහස් සාකච්ඡාව පැවති දින රාත්‍රියේ එය හොරෙන්ම පටිගත කරගන්නා ඔහු එය ඊශ්‍රායලය අතට පත් කරනවා. මෙය ඔවුනට ඉතා වටිනා තොරතුරක් වූ අතර ඉදිරියේ ප්‍රකාශ විය හැකි යුධමය තත්ත්වයකට ඔවුන් ලහි ලහියේ සූදානම් වෙන්නට ගන්නවා.

දෙවන හසන් රජු – Getty images

සිරියාවෙන් එලල වූ තර්ජන

කෙටි කාලීනව ගොඩනැගී තිබූ එක්සත් අරාබි ජනරජය 1961 වසරේදී බිඳී යාම හා එයින් සිරියාවේ ඇතිවුණු දේශපාලනික අස්ථාවර භාවය තව දුරටත් ඊශ්‍රායලය කෙරහි අහිතකර ලෙස බලපෑවා. මේ අතර සිරියාව විසින් ඊශ්‍රායලය සිය ජාතික ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ජෝර්දාන ගංගාව හසු වෙන පරිදි ඉදි කරන ලද ජල ප්‍රවාහන හා බෙදාහැරීමේ පද්ධතියකට එරෙහි වීම නිසා තත්ත්වය වඩා බැරෑරුම් වුණා. ක්‍රි. ව 1965 හා 1966 වසර වල සිරියානු හමුදාව ගෝලාන් උස්බිම් වල සිට ඊශ්‍රායලයට දිගට හරහට පහර දෙන්නට පටන්ගත්තා. ඊශායලය මෙයට එරෙහිව උද්ඝෝෂණ කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දීම සිදු කළත් ඔවුන් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ අතර ඊජිප්තු නායක ගමාල් අබ්දුල් නසාරුත් ‘පලස්තීනුවන් ඔවුන්ගේ භූමිය ජයගත යුත්තේ එය රුධිරයෙන් සෝදා’ බව ප්‍රකාශ කරනවා.

ගෝලාන් උස්බිම් -rand10.net

සිරියාවෙන් කෙරෙන කෙණෙහිලිකම් දිගටම ඉවසා සිටි ඊශ්‍රායලය අවසානයේ  දැඩි තීරණයක් ගන්නවා. 1967 වසරේ අප්‍රේල් මස 7 වනදා ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සිරියානු ගුවන්යානා 6 ක් ඔවුන් විසින් වෙඩි තබා බිම හෙලනවා. මේ බිම හෙළීම තවත් එක් යුද්ධයක ආරම්භක වෙඩිමුරයක් වුණා.

සිරියාව, ඊජිප්තුව ඇතුළු අනෙකුත් අරාබි රටවල් සයදින යුද්ධයට සූදානම් වීමේ සිට යුධාරම්භය දක්වා වූ සිද්ධි දාමය දෙවන කොටසින් කියවමු.

(කවරයේ පින්තූරය – latimes.com)

Related Articles