ක්‍රි. ව. 1967 වසරේ ඊශ්‍රායලයට එරෙහිව ඊජිප්තුව වැනි අරාබි ලීගයට අයත් රටවල් දියත් කළ සය දින යුද්ධය අවසානයේ අරාබි ලීගයටම පාරාවළල්ලක් වූයේ, ලෝක ඉතිහාසයේ යුදෙව් ජාතියක් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයක් ඊශ්‍රායලයට ලබා දෙමින්. යුද්ධය පැවතියේ දින හයක් වැනි ඉතා කුඩා කාලයක් පමණක් වුවත්, එය මැද පෙරදිග දේශපාලනික සිතියම උඩු යටිකුරු කිරීමට සමත් වෙනවා.

යුද්ධය පැවැත්වෙන්නේ 1967 වසරේ ජූනි මාසයේ 5 වන දා සිට 10 වන දා දක්වා යි. 

මෝෂේ දයාන්- සය දින යුද්ධය මෙහෙය වූ ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා 

1967 වසරේ දී අගමැති ලෙවි එශ්කොල්ගේ රජයෙහි ආරක්ෂක ඇමතිවරයා ලෙස මෝෂේ දයාන් පත් කෙරෙනවා. ඒ තදාසන්නව ම සයදින යුද්ධය ඇරඹෙන අතර, නියත පරාජයක් උරුම වෙන්නට ඔන්න මෙන්න තිබිය දී මෝෂේ දයාන් විසින් අනපේක්ෂිත ලෙස ඊජිප්තුව, සිරියාව, හා ජෝර්දානය යන රටවලට උපරිම බලය යොදා පහර දෙන්නට ගත් තීරණය නිසා අවසානයේ ඊශ්‍රායලයට ජය ලැබෙනවා. මේ යුද්ධයෙන් පසු ඊශ්‍රායලයට පෙර අයත්ව නොතිබූ විශාල භූමියක් දේශපාලනිකව හිමි වූ අතර, එහි පාලන කටයුතු ද භාර වූයේ දයාන්ට යි. ඔහු එය ඉතා හොඳින් සිදුකරනවා.

කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යා යුතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් කරන ලද්දේ කාලයක් ඊශ්‍රායලයේ කීර්තිමත් හමුදා ප්‍රධානියෙකු වූ මෙන්ම සය දින යුද්ධය සමයේ ආරක්ෂක ඇමතිවරයා වූ මෝෂේ දයාන් විසිනුයි. තව ද, ඊශ්‍රායල ඉතිහාසයේ ඉතා තීරණාත්මක තැන්වල දී ඒ වෙනුවෙන් ඉදිරියෙන්ම සිට කටයුතු කළ අයෙකු ලෙසත් යුධ සෙන්පති මෝෂේ දයාන් අවිවාදයෙන්ම සැලකෙනවා. ඒ වගේම අදටත් ඊශ්‍රායලයේ ජාතික වීරයෙක් ලෙස මෝෂේ දයාන්ව පිළිගනු ලබනවා.

මෝෂේ දයාන් (මැද) 1967 වසරේ දී යුධ බිමේ (mondoweiss.net/ Contact press)
මෝෂේ දයාන් (Anefo)

යිසාක් රබීන්- සය දින යුද්ධය මෙහෙය වූ ඊශ්‍රායල් ආරක්ෂක බලකායේ (IDF) ප්‍රධානියා

1964 වසරේ දී ඊශ්‍රායල් ආරක්ෂක බලකායේ (IDF) ප්‍රධානියා බවට පත් වූ යිසාක් රබීන්, 1967 වසරේ ජූනි මාසයේ දින හයක් පුරා ඊශ්‍රායලය හා ආරබි රටවල් අතර පැවති බිහිසුණු සය දින යුද්ධයේ ජයග්‍රහණය ඊශ්‍රායලයට අත්පත් කර දීමට මූලික වූ ඊශ්‍රායල ප්‍රධාන හමුදා නිලධාරියා ලෙස හැඳින්විය හැකියි. ඔහුගේ හා එම කාලයේ ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා වූ මෝෂේ දයාන්ගේ නිවැරදි තීරණ ලොවක් මවිත කළ මේ යුද ජයග්‍රහණයට හේතු වුණා. 

මෙම යුද්ධයේ දී ඊජිප්තුවේ ගාසා තීරයත් 'සිනායි' කතරත් ඊශ්‍රායලය අතට පත් වෙනවා. සිරියාවේ ගෝලාන් කඳුවැටියත් ඊශ්‍රායලය අත්පත් කර ගන්නවා. ජෝර්දානයේ බටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලම ද ඊශ්‍රායලයේ පාලනයට නතු වෙනවා. එම පෙදෙස්වල සිටි පලස්තීනුවෝ පලා යන අතර ඉතිරි වූ පලස්තීනුවන් පලවා හරිනවා. තවත් බොහෝ පිරිසක් ඝාතනයට ලක් වෙනවා. සය දින යුද්ධය මෙහෙය වූ ආකාරය නිසා හමුදා ප්‍රධානි යිසාක් රබීන් එරට වැසියන්ගේ වීරයෙක් බවට පත් වෙනවා. සය දින යුද්ධය මෙහෙය වූ ඔහු, 70 දශකයේ මැද භාගය වන විට ඊශ්‍රායලයේ අගමැතිවරයා බවට ද පත් වෙනවා. පසු කාලයේ ආන්තවාදී යුදෙව්වෙක් අතින් ම ඔහු ඝාතනය වෙනවා.

යිසාක් රබීන්, මෝෂේ දයාන් සමග සය දින යුද්ධයේ (jpost.com)
යිසාක් රබීන් (වමේ) 1967 වන විට ඊශ්‍රායලයේ හමුදාපතිවරයා බවට පත් වෙනවා (bbc)
මෝෂේ දයාන් යිසාක් රබීන් ඇතුළු පිරිස ජෙරුසලම් පෞරාණික නගරයට ඇතුළු වෙමින්  (Getty images)

ලෙවි එශ්කොල්- සය දිනය යුද්ධය මෙහෙය වූ ඊශ්‍රායල් අගමැතිවරයා 

ලෙවි එශ්කොල්  (Rolf Kneller/Jerusalem post archives)

ඊශ්‍රායලය බිඳ දැමීම තම මූලිකම අරමුණ බවත්, ඒ සඳහා සටන් කිරීමට අරාබි ජනතාව සූදානම් බවත් 1967 වසරේ මැයි මස 27 වන දා එවකට ඊජිප්තු ජනාධිපති වන ගමාල් අබ්දෙල් නසාර් ප්‍රකාශ කරනවා. එසේම, තමන් කිසිදු ලෙසක සාම සාකච්ඡාවකට සූදානම් නැති බවත් ඔහු ප්‍රකාශ කරනවා. 

මේ අනුව එදින වන විට ඊජිප්තු, ජෝර්දාන, සිරියා හා ලෙබනන හමුදාව ඊශ්‍රායලය හතර වටින් වටකොට තිබුණු අතර, සැපයුම් ද ඇණහිට තිබුණු නිසා පිටත සිට බලන්නෙකුට පෙනුණේ ඊශ්‍රායලයට මින් කිසිදු ගැලවීමක් නොලැබෙන බවකුයි. ජුනි මස උදා වන විට ඊශ්‍රායල දේශ සීමාව ආසන්නයේ ඊජිප්තුවට පක්ෂපාතී 465,000ක බලකායක් ද, යුද ටැංකි 2800ක් ද, ප්‍රහාරක යානා 800ක් ද ස්ථානගතව සිටියේ තව දින කීපයක් තුළ ඊශ්‍රායලය සුන්නද්ධූලි වන බව තව තවත් තහවුරු කරමින්.

දේශ සීමාවල එසේ වෙමින් තිබිය දී ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර එකම කඩි ගුලක් බවට පත් වෙනවා. සති තුනක් තිස්සේ සැපයුම් අහිමි වී තිබීමත් හතර වටින් කොයි යම් හෝ මොහොතක ප්‍රහාර එලල වීමේ හැකියාවත් නිසා ඊශ්‍රායල අගමැති ලෙවි එශ්කොල් ඉතා දැඩි ආතතියකට ලක් වෙනවා. ඒ හේතුවෙන් ඔහු හමුදා තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය බළමුළුවල ප්‍රධානී ලුතිනන් ජෙනරාල් යිට්සැක් රාබීන්ට හා ආරක්ෂක ඇමැති මෝෂේ දයාන්ට ලබා දී තිබූ බව සඳහන්.

අතිවිශාල ජයග්‍රහණයක් ලැබුවත්, ඊශ්‍රායල නායක ලෙවි එශ්කොල් එතරම් උද්දාමයට පත් නොවුණු බවත් සඳහන් වෙනවා. ඒ ඔවුන් යුධ වැදුණේ ගැලවීමට මිස කිසිවක් දිනීමට නොවෙන නිසා යි. තම බළමුළුවලට අනුයුක්තව සිටි විශාල තරුණ ප්‍රජාවක් අකාලයේ මියයාම හා ආබාධිත වීම ගැන තමන් දුක් වන බව ඔහු පසු අවස්ථා කිහිපයක දී ම සඳහන් කරනවා.

කවරයේ පින්තූරය-  එවකට ඊශ්‍රායල් ආරක්ෂක ඇමතිවරයා වූ මෝෂේ දයාන් (Getty Images)

මූලාශ්‍රයයන්:

History.com

Britannica.com