Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභ්‍යවකාශයේ දී සිදු වූ පළමු හා එකම වැඩ වර්ජනය

වැඩ වර්ජන, ඒ නම ඔබට හොඳින් අසා තිබෙන හුරු පුරුදු එකක් නේද? විවිධ රාජ්‍ය වෘත්තීය සමිති, රාජ්‍ය ආයතනවල වගේ ම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සහභාගී වෙන වැඩ වර්ජන පිළිබඳ ව හොඳින් අසා තිබෙනවා මෙන්ම ඔවුන් වැඩ වර්ජනය කරමින් තම අයිතීන් වෙනුවෙන් විරෝධතා ව්‍යාපාරවල යෙදෙනවා ද අප හොඳින් දැක තිබෙනවා.

ඉතින් අද ලිපියෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ වැඩ වර්ජනයක් පිළිබඳව යි. මෙය සාමාන්‍ය වැඩ වර්ජනයන්ගෙන් වෙනස් වන විශේෂ වැඩවර්ජනයක් ලෙස හැඳින්වීම ඉතා නිවැරදි යි. එය අභ්‍යවකාශයේ දී සිදු වූ ප්‍රථම හා එකම වැඩ වර්ජනය යි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශ ගතකරන ලද ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හතරවන මෙහෙයුම් කණ්ඩායම යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩබසින ගගනගාමීන් තිදෙනෙක් ඔවුන්ට දැරිය නොහැකි වැඩ ප්‍රමාණයට විරෝධතාවය දක්වමින් නාසා ආයතනය සමග සියලුම සන්නිවේදනයන්  නවත්වා එක්දින වැඩ වර්ජනයක යෙදෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට පැවරුණු කාර්යයන් ප්‍රමාණය අඩු වූ අතර, ඉන්පසු ව  සෑම අභ්‍යවකාශ මෙහෙයුමකට ම අදාළ වැඩ ප්‍රමාණය අඩු කර නම්‍යශීලි කාලසටහනක් ඉදිරිපත් කිරීමට නාසා ආයතනය කටයුතු කරනවා. මෙම වැඩ වර්ජනය ඒ සඳහා හේතු බව ද සඳහන් වෙනවා.

ස්කයිලැබ් අභ්‍යවකාශ මධස්ථානය කක්ෂගත කිරීම

Skylab වැඩසටහන (Space Patches – A-B Emblem)

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර අභ්‍යවකාශය ජය ගැනීමේ තරගයක් නිර්මාණය වූ අතර, ඒ යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන නිර්මාණය කිරීම දෙපාර්ශවය විසින් ම ආරම්භ කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මුල්වරට අභ්‍යවකාශගත කරන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස Skylab හඳුන්වාදෙන්න පුළුවන්. 1973 දී අභ්‍යවකාශගත කරන Skylab 1979 වන තුරු වසර 6ක් තම කක්ෂයේ රැඳී සිටිනවා. නාසා ආයතනය විසින් මෙය අභ්‍යවකාශ පර්යේෂණ විද්‍යාගාරයක් ලෙසත්, පෘථිවි හා සූර්ය නිරික්ෂණාගාරයක් ලෙසත් භාවිතා කරනවා.

මෙය ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් සමන්විත වූ අතර පර්යේෂණ සඳහා අදියර තුනකින් ගගනගාමීන් කණ්ඩායම් තුනක් ඒ වෙත පිටත් ව යනවා. මෙහි සිදුකරන පළමු මෙහෙයුම Skylab–2 ලෙස හැඳින්වූ අතර ඒ සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනක් දින 28ක් පුරා රැඳී සිටිනවා. Skylab–3 වැඩසටහන යටතේ දින 60ක් ද, Skylab–4 වැඩසටහන යටතේ දින 84ක් ද ගගනගාමීන් තිදෙනා බැගින් මෙහෙයුම් සිදුකරනවා. එම කාලය වන විට අභ්‍යවකාශය තුළ මෙතරම් දිගු මෙහෙයුම් සිදුකර නොතිබූ බැවින් එකින් එක සිදු කළ මෙහෙයුම්, වාර්තා තැබීමක් ලෙස දැක්විය හැකියි.

Skylab–4 වැඩසටහන

Skylab–4 මෙහෙයුම් කණ්ඩායම (Smithsonian Magazine)

Skylab අභ්‍යවකාශ මධ්‍යස්ථානයට Skylab-4 මෙහෙයුම යටතේ ඒ වෙතට යන අවසාන ගගනගාමීන් කණ්ඩායම 1973 නොවැම්බර් 16 වන දා මධ්‍යස්ථානයට ඇතුල් වෙනවා. මෙම කණ්ඩායම සඳහා ගගනගාමින් තිදෙනෙක් අයත් වූ අතර ඔවුන් ජෙරල්ඩ් පී. කාර් (කණ්ඩායමේ ප්‍රධාන අණදෙන නිලධාරියා), එඩ්වඩ් ජී. ගිබ්සන්, හා විලියම් ආර්. පෝග් යන අය යි.

මෙහෙයුම යටතේ එකිනෙකාට විශාල වැඩ ප්‍රමාණයක් පැවරී තිබූ අතර ඒ අතරට භාණ්ඩ බෑම, පැටවීම, පෘථිවි නිරීක්ෂණය, හා සූර්ය නිරීක්ෂණය ආදිය ඇතුළත් වෙනවා. විවේකයක් නොමැති ව එකිනෙකාට පැවරී තිබුණු අධික වැඩ ප්‍රමාණය හේතුවෙන් පාලක මැදිරිය වෙත තමන්ට පවරා ඇති කාර්යයන් මඳක් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියත් නාසා ආයතනය එම යෝජනාවලට ඇහුම්කන් දෙන්නේ නෑ.

1973 දෙසැම්බර් 28 වන දා ඔවුන් තිදෙනා ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය තුළ පිහිටුවා තිබූ පාලන මධ්‍යස්ථානය සමග සියලු සම්බන්ධතා නවත්වා දමනවා. සියලු පණිවුඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාවිරහිත කර දවසක් තිස්සේ විවේකයක් ලබා ගැනීමට ගගනගාමීන් තිදෙනා තීරණය කරනවා.

මුළු දවස පුරාවටම අභ්‍යවකාශ මධස්ථානයේ සිටින තම ගගනගාමීන් තිදෙනා සම්බන්ධ කරගැනීමට පාලක මැදිරියේ සිටි පිරිස උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නෑ.

එක් දිනකින් පසු නැවතත් පාලක මැදිරිය සමග එකතු වීම

අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ (IFLScience)

ලබා ගත් දිනෙක විවේකයෙන් පසු ව පාලක මැදිරිය සමග පසු දා උදෑසන පණිවුඩ හුවමාරුව සමගින් ඔවුන් සම්බන්ධ වෙනවා. දිනක් තිස්සේ පාලක මැදිරිය සමග පණිවුඩ හුවමාරුව සිදු නොකළේ මන්ද යන්න නාසා ආයතනයේ නිලධාරීන් ප්‍රශ්න නැගූ විට ඔවුන්ගේ පිළිතුර වුයේ අධික වැඩ තොගය ප්‍රථමවරට අභ්‍යවකාශ ගත වූ ගගනගාමීන් ලෙස තමන්ට දරා ගත නොහැකි වූ බැවින් කාර්යක්ෂමතාවය දිනෙන් දින අඩු වූ නිසා එක් දිනෙක විවේකයක් ලබා ගත් බව යි.

මෙම අදහස පිළිගන්නා නාසා ආයතනය ඉදිරි සති හයක කාලයට ඔවුන්ගේ කාල සටහන වෙනස් කිරීමට කටයුතු කරනවා. මෙසේ පවරන කාර්යයන් අඩු කිරීම හේතුවෙන් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ද පෙර සතිවලට වඩා ඉහළ යනවා.

නැවත මෙහෙයුම්වලට සම්බන්ධ කර නොගැනීම

ගගනගාමීන් දෙදෙනෙක් මධ්‍යස්ථානය තුළ (ru.m.wikipedia.org)

දින 84ක සාර්ථක මෙහෙයුමක් සිදුකර 1974 පෙබරවාරි 8 වන දා ඔවුන් නැවත පෘථිවිය වෙත ළඟා වෙනවා. ඒ මෙතෙක් කලක් අභ්‍යවකාශයේ වැඩි ම දින ගණනක් රැඳී සිටි ගගනගාමීන් ලෙස වාර්තාවක් තබමින්.

කෙසේ වෙතත් මෙම ගගනගාමීන් තිදෙනා නාසා ආයතනය විසින් ඉන්පසු ව දියත් වූ අභ්‍යවකාශ මෙහෙයුම් කිසිවක් සඳහා යොදවන්නේ නෑ. තව ද එම වසරේ ම ඔවුන් නාසා ආයතනයෙන් ඉවත් වීමට කටයුතු කරනවා.

නමුත් මෙම එක් දින අභ්‍යවකාශ වැඩ වර්ජනයෙන් පාඩමක් ඉගෙන ගන්නා නාසා ආයතනය ඉන්පසු සිදුකරන සියලු අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ගගනගාමීන් සඳහා නම්‍යශීලි කාලසටහන් නිර්මාණය කරනවා. තව ද නාසා ආයතනය විසින් අභ්‍යවකාශය වෙත යවන ගගනගාමීන් කණ්ඩායමෙන් අඩුම තරමින් එක් සාමාජිකයෙක් හෝ ඊට පෙර අභ්‍යවකාශ ගත වූ සාමජිකයෙක් විය යුතුයැ යි සම්මතයක් ගෙන එනවා.

නමුත් මෙම කතාවට වඩා වෙනස් කතාවක් ඇතැමුන් විසින් පවසනවා. දිනකට ඔවුන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක් පාලක මධ්‍යස්ථානය සමග අදහස් හුවමාරුව සඳහා වෙන් කර සිටි බවත්, එදින පාලක මැදිරිය සමග සම්බන්ධ වීමට නියමිත ව සිටි ගගනගාමියාට සම්බන්ධ වීමට නොහැකි වූ බවත්, පසු දා නාසා ආයතනය ඔවුන්ගේ අධික වැඩ සහිත කාලසටහන වෙනස් කර තිබු බවත් ඔවුන් විසින් පවසනවා.

කවරයේ ඡායාරූපය – Wikipedia

මූලාශ්‍රයයන්:

thevintagenews.com/2017/12/15/skylab-mutiny/

this-space-available.blogspot.com/2016/01/space-myths-busted-no-there-wasnt.html

worldatlas.com/articles/skylab-mutiny-the-one-and-only-strike-in-space.html

Related Articles