අනුරාධපුර යුගයේ දී එල්ලවුණු දකුණු ඉන්දීය ආක්‍රමණ

පණ්ඩුකාභය රජතුමා පිහිටුවන ලද අනුරාධපුර රාජධානිය වසර 1400කට අධික කාලයක් පැවතුණා. එම කාල සමය තුළ රජවරුන් 120කට අධික ප්‍රමාණයක් පාලනය කළ අනුරාධපුර රාජධානිය විවිධ සතුරු ආක්‍රමණවලට මුහුණදුන්නා. එලෙස අනුරාධපුර රාජධානිය සතුරු ආක්‍රමණවලට ලක්වුණේ චෝළ දේශය සහ පාණ්ඩ්‍ය දේශය ලක්දිවට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබුණු නිසා යි. අනුරාධපුර රාජධානියේ පාලකයා දුර්වල වුණු බොහෝ අවස්ථාවල දී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අනුරාධපුරයට ප්‍රහාර එල්ල කළා. එදා අනුරාධපුර රාජධානියේ අවසානය සිදුවුණේත් චෝළ ආක්‍රමණයකින්. එහිදී රාජ රාජ නම් චෝළ අධිරාජ්‍යා ක්‍රි.ව 993 දී අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරමින් රාජධානියේ අවසන් පාලකයා වුණු 5 වැනි මිහිඳුව පරාජයට පත්කළා.

චෝල දේශය සහ පාණ්ඩ්‍ය දේශය ලක්දිවට සමීපව පිහිටා තිබුණු ආකාරය (quora)

සූරතිස්ස රාජ සමයේ දී සේන හා ගුත්තික අනුරාධපුරය ආක්‍රමණය කළා 

දේවානම්පියතිස්ස රජුගේ සොයුරු සූරතිස්ස ලක්දිව රජු බවට පත්ව සිටි කාල සමයේ සේන සහ ගුත්තික නම් නම් පුද්ගලයන් දෙදෙනෙකු අශ්ව වෙළෙන්දන් ලෙස ලක්දීපයට පැමිණියා. එම කාල සමය වන විට විදෙස් ආක්‍රමණ ගැන අත්දැකීමක් සූරතිස්ස රජුට තිබුණේ නැහැ. එම නිසාම ක්‍රි.ව 237 දී  ඔහුගෙන් රාජ්‍ය පැහැරගත් සේන හා ගුත්තික වසර 22ක් රට පාලනය කළ බව වංශ කතාවල සඳහන් වනවා. එලෙස සේන හා ගුත්තිකගේ පාලනය යටතේ වසර 22ක් පැවති අනුරාධපුරය ඉන් නිදහස් කරගත්තේ දේවානම්පියතිස්ස රජුගේ බාලම සොයුරා වුණු අසේල නම් කුමාරයා යි. 

එළාර නම් සොළී රජුගෙන් දරුණු ආක්‍රමණයක් 

සේන හා ගුත්තිකගෙන් රට නිදහස් කරගත් අසේල රජු අනුරාධපුරය පාලනය කරමින් සිටිය දී එළාර නම් චෝළයෙකු රාජධානිය ආක්‍රමණය කළා. එහිදී අසේල රජුව මරා දැමූ එළාර අනුරාධපුරයේ පාලකයා බවට පත්වුණා. එම කාල සමය වන විට කාවන්තිස්ස නම් රජෙකු රුහුණු රට පාලනය කළත් ඔහු එළාර සමග යුද්ධ කිරීමට උත්සාහ කළේ නැහැ. එම නිසාම එළාර කිසිදු අපහසුවකින් තොරව අනුරාධපුර රාජධානිය පාලනය කළා. නමුත් රජුගේ වැඩිමහල් පුත් ගාමිණී කුඩා කල සිටම එළාරගෙන් රට බේරාගැනීමට කල්පනා කළා.  සිය පියා මනාව සේනාව සංවිධානය කළත් එළාරට එරෙහිව සටන් නොවැදීම නිසා උරණ වුණු ගාමිණී කුමරු පිය රජතුමාට ස්ත්‍රී ආභරණ යැවූ බව ඉතිහාසයේ සඳහන්. එම සිදුවීමෙන් අනතුරුව සිය පියා සමග අමනාප වී කොත්මලේ සැඟවී සිටි ගැමුණු කුමාරයා පසුකලෙක මාගම රාජධානියේ පාලකයා බවට පත්වුණේ කාවන්තිස්ස රජුගේ අභාවයත් සමග යි. ඉන් පසුව මනාව සේනා සංවිධානය කළ දුටුගැමුණු රජතුමා එළාර මරා අනුරාධපුරය තම පාලනය යටතට ගත්තේ දස මහා යෝධයන්ගෙන් ලද සහායත් සමගින්. කෙසේ නමුත් වසර 44ක් අනුරාධපුරය පාලනය කළ එළාර රජතුමා ධාර්මිකව සහ නීතිගරුකව රට පාලනය කළ බව ද ඉතිහාස කතාවල සඳහන් වනවා. 

එළාර-දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක් (yukthiyawenuwen.blogspot.com)

වලගම්බා රජ සමයේ දරුණු චෝළ ආක්‍රමණයක් එල්ල වුණා 

සද්ධාතිස්ස රජුගේ බාලම පුත්‍රයා වුණු වට්ඨ ගාමිණී අභය හෙවත් වලගම්බා රජතුමා රාජ්‍ය පාලනය කරමින් සිටි සමයේ සොළී රටේ සිට පැමිණි ආක්‍රමණිකයන් හත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළා. එහිදී ඔවුන් සමග සටන් කළ වලගම්බා රජු ඉන් පරාජයට පත්වී පලාගියා. එලෙස රජු පලායන අවස්ථාවේ ගිරි නම් නිඝන්ඨයා අන්න මහා කළු සිංහලයා පලායනවා යි කෑගැසුවා. එම අවස්ථාවේ රජු අධිෂ්ඨාන කරගත්තේ යළි ඔහුට රාජ්‍යය බේරාගැනීමට හැකිවුණොත් එම ස්ථානයේ දාගැබක් ඉදිකරන බව යි. පලායන රජු රැගත් රථයට වේගයෙන් යාමට නොහැකිවුණේ එහි වැඩි පිරිසක් ගමන් කිරීම නිසා යි. එම නිසාම සතුරන් ඔවුන්ට ආසන්න වුණු අවස්ථාවේ රජුගේ බිසව වුණු සෝමා දේවිය රථයෙන් පැන්නේ සිය ස්වාමියා ඇතුළු පිරිසේ ජීවිත රැකදෙමින්. රජු පලායෑමෙන් අනතුරුව පැමිණි ආක්‍රමණිකයන්ගෙන් දෙදෙනෙකු වස්තුවත් රැගෙන ආපසු ඔවුන්ගේ රටට ගියා. ඉතිරි ආක්‍රමණිකයන් වුණු පුලහත්ත, භාහිය, පණයමාර, පිළියමාර, සහ දාඪික එකිනෙකා මරාගනිමින් වසර 14ක් රට පාලනය කළා. කලක් වන වැදී සිටි රජතුමා අනතුරුව මනාව සේනා සංවිධානය කරමින් යළි රාජ්‍යය ලබාගත්තේ දාඪිය නම් ද්‍රවිඩ පාලකයාව පරාජයට පත්කරමින්. 

රාජ්‍යය ලබාගත් පසුව වළගම්බා රජු සිය බිසව වුණු සෝමා දේවියව සිහිවීම සඳහා දාගැබක් ඉදිකළා. එය වර්තමානයේ දී ලංකාරාමය ලෙස හැඳින්වෙනවා. ඊට අමතරව ගිරි නිඝන්ඨයාගේ සහ රජුගේ නම් එකතු කරමින් අභයගිරිය දාගැබ නිර්මාණය කළා. 

අභයගිරිය දාගැබ 19 වැනි සියවසේ දී (helasuraorg.blogspot.com)

වංකනාසික තිස්ස රජුගේ කාලයේ දී සිංහලයන් 12000ක් සොළී දේශයට රැගෙන ගියා 

ලක්දිව පාලනය කළ කීර්තිමත් පාලකයෙකු වුණු වසභගෙන් පසුව ඔහුගේ පුත් වංකනාසික තිස්ස රාජ්‍යත්වයට පත්වුණා. ඔහුගේ කාල සමයේ කරිකාල් නම් චෝළ රජු අනුරාධපුරය ආක්‍රමණය කළා. එම සොළී රජතුමා පාත්‍ර ධාතුව සහ පත්තිනි සළඹට අමතරව සිරකරුවන් 12000ක් චෝළ දේශයට රැගෙන ගියා. එලෙස රැගෙන සිරකරුවන් යොදාගනිමින් කාවේරි නදිය සංවර්ධනය කළ බව පූජාවලිය සහ රාජාවලිය යන පොත්වල සඳහන් වනවා. වංකනාසික තිස්ස රජුගෙන් පසුව ඔහුගේ පුත් ගජබා රජකමට පත්වුණා. 

රජකමට පත්වුණු ගජබා රජතුමාට රාත්‍රී කාලයේ දී වෙස් වලාගෙන රට තුල සංචාරයේ යෙයෙදෙන සිරිතක් තිබුණා. දිනක් රජතුමා සංචාරයේ යෙදෙන විට ඔහුට කාන්තාවක් වැළපෙන ශබ්දය ඇසුණා. රජ වාසලට පැමිණි රජතුමා පසු දින එම කාන්තාව වැළපීමට හේතුවුණු කාරණය සෙවීමට රාජ පුරුෂයන් කිහිපදෙනෙකු පිටත්කර හැරියා. එහිදී රාජ පුරුෂයන් මඟින් රජතුමාට දැනගන්නට ලැබුණේ සිය පියාගේ කාල සමයේ ලක්දිව ආක්‍රමණය කළ කරිකාල් නම් රජු එම කාන්තාවගේ පුතුන් දෙදෙනෙක් රැගෙන ගොස් ඇති බව යි. එය ඇසීමෙන් විශාල ලැජ්ජාවකට පත්වුණු රජතුමා නීල මහා යෝධයා සමග සොළී රටට ගියේ සිරකරුවන්, පත්තිනි සලඹ, සහ පාත්‍රා ධාතුව යළි රැගෙන ඒමට යි. එම කාල සමයේ සොළී රට පාලනය කළේ කරිකාල් රජුගේ පුත් නාලන්කිලි විසින්. එදා ගජබා රජු තම රටෙන් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුව සහ පත්තිනි සලඹ ඉල්ලා සිටි අවස්ථාවේ සොළී රජු උපහාසයෙන් සිනාසුණා. එම අවස්ථාවේ දී ඉන් උරණ වුණු නීල මහා යෝධයා සිය යගදාව මිරිකා වතුර ගත් බව ඉතිහාස කතාවල සඳහන් වනවා. 

නීල මහා යෝධයාගේ එම හපන්කම දුටු සොළී රජු ඉන් බියට පත්වී පාත්‍රා ධාතුව, පත්තිනි සලඹ, සහ සිරකරුවන් 12000 ආපසු ලබාදුන්නා. ඊට අමතරව සොළී රජු ඔහුගේ රටෙනුත් ලබාදුන් සිරකරුවන් 12000ත් සමග ලංකාවට පැමිණි ගජබා රජු ඔවුන් යොදා රට සංවර්ධනය කළ බව පොත පතෙහි සඳහන්.

මිත්තසේන රජුගේ රාජ්‍ය සමයේ එල්ලවුණු පාණ්ඩ්‍ය ආක්‍රමණය

ක්‍රි.ව 433 දී අනුරාධපුරයේ රජවුණු මිත්තසේන නම් රජු දුර්වල පාලකයෙකු වුණා. එම නිසාම ක්‍රි.ව 434 දී පණ්ඩු නම් පාණ්ඩ්‍ය ආක්‍රමණිකයා අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළා. එදා ආක්‍රමණිකයාට බියෙන් රජරට සිංහල වැසියන් රුහුණු රටට පලාගියා. පණ්ඩුගෙන් පසුව පාරින්ද, කුඩා පාරින්ද, තිරීතර, දාඪිය, සහ පීඨිය යන පාණ්ඩ්‍යයන් අනුරාධපුරයේ රජකම් කළා. එදා ඔවුන් රාජ්‍යත්වයට උරුමකම් කියූ ලම්භකර්ණ සහ මෞර්ය වංශිකයන් සොයමින් මරා දැමුවා. එහිදී කුඩා පාරින්ද විසින් මෞර්ය වංශික ධාතුසේන කුමරු මරා දැමීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එලෙස පාණ්ඩ්‍යන්ගෙන් බේරී පලාගිය ධාතුසේන කුමාරයා පසුකලෙක පීඨිය මරා දමා රාජ්‍යත්වය ලබාගත්තා. 

පළමු සේන රජුගේ කාලයේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ අනුරාධපුරය ආක්‍රමණය කළා 

ක්‍රි.ව. 833 දී අනුරාධපුර රාජධානියේ පාලකයා ලෙස පළමුවන සේන රජතුමා අභිෂේක ලබන විට දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යය බලවත් වෙමින් පැවතුණා. එම නිසා සේන රජු රාජ්‍යත්වයට පත්ව ටික කලෙකින් ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු අනුරාධපුරය ආක්‍රමණය කළා. එහි දී පාණ්ඩ්‍ය සේනාව ඉදිරියේ සටනට පිවිසි සිංහල සේනාව පරාජය පත්වුණා. එදා සේන රජුගේ සොයුරන් වුණු මහින්ද සහ කස්සප මියගිය නිසාම රජු ආරක්ෂාව පතා මලය රටට පලා ගියා. ඉන් අනතුරුව අනුරාධපුර නගරයට ඇතුළු වුණු පාණ්ඩ්‍ය සේනාව අනුරාධපුරය නගරය කොල්ල කෑවා. නමුත් ඉන් අනතුරුව ඇති කරගත් සාම ගිවිසුමක් අනුව රාජධානිය රජුට නැවත භාර දුන්නත්, එදා ඔවුන් අනුරාධපුරයට කළ විනාශය නිසා නගරය යකුන් නැටූ පිටියක් සේ දිස්වුණු බව වංශ කතාවල සඳහන්. එම සටනේ දී මියගිය කස්සප නම් ආදිපාදවරයාගේ පුත් දෙවන සේන ඉන් පසුව රජකමට පත්වුණා. දෙවන සේන රජු රාජ්‍යත්වයට පත් වී වසර 10ක් ගත වන්නටත් පෙර ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ පුත් දෙවන වර්ගුණවර්මන්, සිය පියාට එරෙහිව සටනක් ආරම්භ කර තිබුණා. එහි දී සිය පියාව පරාජය කිරීම සඳහා වර්ගුණවර්මන්ට විශාල සේනාවක් අවශ්‍ය වුණු නිසා ම ඔහු, දෙවන සේන රජුගෙන් ඒ සඳහා උදව් ඉල්ලා සිටියා. ශ්‍රී මාර අනුරාධපුරයට කළ විනාශය හොඳින්ම හිතේ තබාගෙන සිටි දෙවන සේන රජු කිසිදු පැකිලීමකින් තොරව වර්ගුණවර්මන්ට සහායට සේනාවක් යවනු ලැබුවේ සිය සතුරා කළ විනාශයට වාඩුව ගැනීමේ අරමුණෙනුයි. එදා වර්ගුණවර්මන්ගේ සේනාව හමුවේ දරුණු පසුබෑමකට ලක්වුණු ශ්‍රී මාරගේ සේනාව අවසානයේ දී පරාජය වීම නිසා වර්ගුණවර්මන්ට පාණ්ඩ්‍ය දේශයේ රජකම උරුම වුණා. මෙම ජයග්‍රහණයෙන් අනතුරුව වර්ගුණවර්මන්ව පාණ්ඩ්‍ය රජු ලෙස අභිෂේක කර ආපසු ලංකාවට පැමිණෙමින් සිටි සිංහල සේනාවේ නායක කුට්ඨික අපූරු දෙයක් කළා. ඒ පාණ්ඩ්‍ය දේශයේ අගනගරය වුණු මදුරාපුරය කොල්ලකමින් පාණ්ඩ්‍යයන් අනුරාධපුරයට කළ විනාශය සිහිපත් කර දීම යි. 

චෝළයන් විසින් කරන ආක්‍රමණයක් දැක්වෙන සිතුවමක් (tamilandvedas.com)

රාජ රාජගේ ආක්‍රමණයත් සමගින් අනුරාධපුර රාජධානිය බිඳවැටුණා 

ක්‍රි.ව 982 දී අනුරාධපුරයේ පාලකයා වශයෙන් පත්වුණේ 5 වැනි මිහිඳු නම් දුර්වල රජ කෙනෙක්. මොහු ඉතාමත් අකාර්යයක්ෂම පාලකයෙක් වුණු නිසා රට වැසියා බදු මුදල් පවා නිසි පරිදි ලබාදුන්නේ නැහැ. එම නිසාම රටේ ආරක්ෂාව දුර්වල වුණා පමණක් නොව අර්ථික වශයෙන් ද අඩපණ වුණා. එලෙස රට දුර්වල වුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජ රාජ නම් චෝළ අධිරාජ්‍යයා ක්‍රි.ව 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය හමුවේ අඩපණ වුණු රජු රෝහණ දේශයට පලාගොස් යළි රාජ්‍ය අල්ලා ගැනීමට උත්සාහ කළා. නමුත් ක්‍රි.ව 1017 දී රාජ රාජගේ පුත් 1 වැනි රාජේන්ද්‍ර මිහිඳුව සිරකරුවෙකු ලෙස චෝළ දේශයට අල්ලාගෙන ගියා. එලෙස චෝල දේශයට අල්ලාගෙන ගිය මිහිඳු ක්‍රි.ව 1029 දී මියගියා. ඉන් පසුව රාජධානිය පාලනය කළ චෝළයන් පසුව පොළොන්නරුව සිය රාජධානිය කරගැනීමත් සමගම අනුරාධපුර යුගය අවසන් වුණා. 

කවරයේ ඡායාරූපය - පැරණි යුධ සිතුවමක් (hadawathataidak.wordpress.com)

Related Articles