දකුණුදිග තායිලන්තයේ බෙදුම්වාදී ඉස්ලාමීය ව්‍යාපාර​

තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයෙහි ප්‍රාන්ත තුනක ක්‍රියාත්මක වන බෙදුම්වාදී ඉස්ලාමීය ව්‍යාපාරයන් පිළිබඳව එතරම්ම කතාබහට ලක් වන්නේ නැහැ. නමුත් දශක කිහිපයක තිස්සේ විටින් විට මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය වර්ධනය වූ අවස්ථා දක්නට ලැබුණා.

කලක් නිහඬව සිටි මෙම බෙදුම්වාදී ව්‍යාපාර 2001 දී යළි ක්‍රියාත්මක වුණා. එම අවස්ථාවේ පැරණි සමාජිකයන් සහ තරුණ සමාජිකයන් අතර පැහැදිලි වෙනසක් තිබෙන බව පෙනෙන්න තිබුණා. අලුතින් ක්‍රියාත්මක වූ කැරැල්ල වඩා ප්‍රචණ්ඩ ලෙස දියත් කෙරුණා.

පටානි ප්‍රදේශය

දකුණුදිග තායිලන්තයේ මුස්ලිම් ජනතාව බහුතරයක් වසන ප්‍රදේශය පටානි නමින් හැඳින්වෙනවා. එම ප්‍රදේශයට එම නම ලැබුණේ එම පෙදෙස සහ යාබද මැලේසියාවේ උතුරුදිග ප්‍රදේශය ද ඇතුලත් ප්‍රදේශයක පැතිර පැවති පටානි නම් රාජධානියේ නමින්. එය ඇතැම් කාලවල සියමට (එවක තායිලන්තය​) කප්පම් ගෙවන රාජ්‍යයක් වූ අතර සියම ආක්‍රමණ හේතුවෙන් දුර්වල වූ අවස්ථාවන්හි සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් ලෙසත් පැවතුණා.

පටානි ප්‍රදේශයේ තායි පාලනය 1909 ඇන්ග්ලෝ – තායි ගිවිසුම මඟින් තහවුරු කරනු ලැබුණා. පසු කාලයක තායි බලධාරීන් විසින් මෙම ප්‍රදේශය පළාත් තුනකට බෙදනු ලැබුවා. එනම් නරාතිවට්, යලා, සහ පටානි යන පළාත් තුන යි. දකුණුදිග තායිලන්තයේ බෙදුම්වාදී සංවිධාන එම ප්‍රදේශ තුන ආශ්‍රිතව ක්‍රියාත්මක වනවා.

දකුණුදිග තායිලන්තය (Australian National University)

මුල් කාලයේ දී තායි රජය පටානි ප්‍රදේශය පිළිබඳ විශාල අවධානයක් යොමු කළේ නැහැ. මෙම අතත්ත්වය වෙනස් වූයේ 1932 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව යි. තායි රජය පටානි ප්‍රදේශයේ කටයුතු සඳහා වැඩිපුර අවධානය යොමු කිරීමට වූ විට එහි ජනතාව ඒ පිළිබඳ නොසතුටට පත් වුණා. පටානි ප්‍රදේශයේ බෙදුම්වාදී කණ්ඩායම්වල උපත සිදු වූයේ මේ ආකාරයෙන්. පළමු වරට පටානි ජාතිකවාදී කැරලි සංවිධානයක් බිහි වූ බව සැලකෙන්නේ 1959 දී යි. ඒ පටානි ජාතික විමුක්ති පෙරමුණයි (BNPP).

මුල් කාලීන කණ්ඩායම්

1950 දශකයේ පටන් පටානි ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වූ ජාතිකවාදී සංවිධානවලට සහ කැරලි කණ්ඩායම්වලට මුල් කාලීනව ආභාෂය සහ අභිප්‍රේරණය ලැබුණේ ඊජිප්තුවේ ගමාල් අබ්දල් නසාර් වැනි මුස්ලිම් නායකයන් හේතුවෙන් බව සැලකෙනවා.

පටානි ජාතික විමුක්ති පෙරමුණ ස්ථාපිත වී වසර කිහිපයකට පසු 1968 දී පටානි එක්සත් විමුක්ති සංවිධානය හෙවත් පූලෝ (Pattani United Liberation Orgnization) සංවිධානය පිහිටුවාගනු ලැබුණා. මෙය අදටත් එනමින් ක්‍රියාත්මක වන අතර පටානි ප්‍රදේශයේ ප්‍රධාන සංවිධානවලින් එකක් වනවා. ඒ වගේම අදටත් ප්‍රධානම පටානි ජාතිකවාදී සංවිධානය වන ජාතික විප්ලවවාදී ව්‍යාපාරය (BNR) 1963 දී පිහිටවනු ලැබුණා.

පටානි බෙදුම්වාදී සටන් පාඨ මකා දමන තායි සොල්දාදුවන් පිරිසක් (AFP/Getty Images)

මුල් කාලීනව මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය එතරම්ම ප්‍රදර්ශනය වූයේ නැහැ. ඔවුන් එතරම්ම දරුණු ප්‍රහාරයන්ට ද යොමු වූයේ නැහැ. එකල තායිලන්තය මුහුණ දුන් බරපතලම අභ්‍යන්තර අර්බුදය වූයේ කොමියුනිස්ට්වාදීන් ගෙන ගිය කැරැල්ල යි.

ඉස්ලාමීය මතවාදයන්

කල් යාමේ දී මෙම සංවිධානයන්හි බෙදුම්වාදී සහ ජාතිකවාදී මතවාදයන් සමගම ඉස්ලාමීය මතවාදයන් ද ඉස්මතු වීමට පටන් ගත්තා. ඇතැම් අවස්ථාවන්හි දී පවතින සංවිධානවලම වැඩි බලය ඉස්ලාමීය කණ්ඩායම්වලට ලැබුණා. ඇතැම් විට නව සංවිධාන බිහි වීම ද සිදු වුණා.

කලින් ජාතික විමුක්ති පෙරමුණ නම් වූ සංවිධානය 1986 දී පටානි විමුක්තිය සඳහා අවන ඉස්ලාමීය පෙරමුණ ලෙස නම් කෙරුණා. BNR සංවිධානය තුළ ද කොටස් කිහිපයක් මතු වූ අතර ඉන් විශාලම කඳවුර කලින් මතයන් වෙනස් කර ඉස්ලමීය​, සලාෆි මතවාදයන් වැළඳ ගත්තා. මීට අමතරව 1990 දශකයේ දී පටානි ඉස්ලාමීය මුජහිදීන් ව්‍යාපාරය සහ ඉන් වසර කිහිපයකට පසු RKK නම් සංවිධානය බිහි වීම ද ඉස්ලාමීය කණ්ඩායම්වල වර්ධනය පිළිබඳ සාධක වුණා. RKK සංවිධානයෙහි සම්පූර්ණ නමෙහි අර්ථය “කුඩා මුර සංචාර ඒකක​” යන්න යි. එහි සටන් ක්‍රමය පිළිබඳ එය හොඳ ඉඟියක් වුණා.

නැවත ක්‍රියාකාරී වීම​

2001 දී පමණ පටානි කැරලි කණ්ඩායම් යළි ක්‍රියාකාරී වීමට පටන් ගැනුණා. ආරක්ෂක අංශ මෙන්ම රජයේ නිලධාරීන් සහ ගුරුවරුන් වැනි රජයේ සේවකයන් ද මෙම කැරලිකරුවන් විසින් ඉලක්ක කරගැනුණා. කුඩා පොලිස් සහ හමුදා මුර සංචාර කණ්ඩායම්වලට පහර දීම සහ ඔවුන්ගේ ආයුධ පැහැරගෙන යාම​, බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධයන් ඉලක්ක කරගෙන පහර දීම, පුද්ගලයින්ගේ හිස ගසා දැමීම වැනි ක්‍රියා මඟින් ජනයා බිය වැද්දවීම, ජනයා ගැවසෙන ස්ථානවල බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ආදිය පටානි කැරලි කණ්ඩායම්වල ප්‍රධාන ත්‍රස්තවාදී උපක්‍රම වුණා.

රජයේ සේවකයන් වූ අය ආගම් භේදයකින් තොරව ඝාතනයට ලක් වුණා. ඔවුන්ව ද ත්‍රස්තවාදීන් විසින් සලකන ලද්දේ රජයේ නියෝජිතයන් ලෙස යි.

පැවති තායි රජයයන් ඇතැම් අවස්ථාවල දී දකුණුදිග තායි කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළා. එහෙත් එම සාකච්ඡා සාර්ථක වූයේ නැහැ. එම අවස්ථාවන්හි දී හැරුණ විට​, තායි පාලකයන් දැඩි ලෙස එම කණ්ඩායම් මර්ධනය කිරීමට උත්සාහ කළා. 2001 සිට 2006 දක්වා රට පාලනය කළ අගමැති තක්සින් ෂිනවත්‍රා සහ ඉන්පසු රටෙහි පැවති හමුදා පාලනය යටතේ මෙම මර්ධනය තදින් ක්‍රියාවට නැගුණා.

මෑතදී එල්ල වූ ප්‍රහාරයකට පසු (khaosodenglish.com)

2004 ඔක්තෝබරයේදී සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමට එරෙහිව ඇති වූ උද්ඝෝෂණයක් අවස්ථාවේ 1,300කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගන්නා ලද අතර ඔවුන් ප්‍රාදේශීය මූලස්ථානය කරා රැගෙන යන අතර හුස්ම සිර වීමෙන් 78 දෙනකු මිය ගියා. මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් ඇතැමුන් පසුව ප්‍රබල රාජ්‍ය විරෝධී කැරලිකරුවන් බවට පත් වුණා.

වර්තමානය වන විට 2000 දශකයේ පැවති තරම් උග්‍ර මට්ටමෙන් ත්‍රස්ත ක්‍රියා සිදු නොවෙතත් නිරන්තරයෙන් දකුණුදිග තායිලන්තයෙන් සිද්ධීන් වාර්තා වනවා. විශේෂයෙන්ම​ පසුගිය මාස කිහිපය තුළ නැවත වරක් සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වනවා. කලාපයේ පවතින ඉස්ලාමීය අන්තවාදී තර්ජනය හේතුවෙන් මෙම තත්ත්වය අනාගතයේ දී අයහපත් අතට හැරේයැ යි බියක් පවතිනවා.

Related Articles