Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇෆ්ඝන් ජනාධිපති ඝාතනය කළ සෝවියට් විශේෂ බලකා මෙහෙයුම​

ඇෆ්ඝනිස්ථානයේ වර්තමානයේ පවතින යුද්ධය වසර 40ක් පුරා විවිධ ආකාරයෙන් පවතින අවි ගැටුමක්. 1978 අප්‍රේල් මාසයේ දී සිදු වූ විප්ලවයෙන් අනතුරුව මුලින් සුළු පරිමාණයෙන් පැවති අවි ගැටුම්, පසුව බෙහෙවින් තීව්‍ර වුණා. ඊට එක් හේතුවක් වූයේ 1979 දෙසැම්බරයේ දී සිදු වූ සෝවියට් ආක්‍රමණය යි.

ඒ වන විට ඇෆ්ඝනිස්ථානයේ පැවති රජය සෝවියට් දේශයට හිතවාදී ස්ථාවරයක සිටි අතර, සෝවියට් උපදේශකයන් ගණනාවක් ඇෆ්ඝනිස්ථානයේ සිටියා. නමුත් ඇෆ්ඝන් රජයේ ප්‍රතිපත්ති වෙනස් වන බවට සෝවියට් දේශය තුළ මතු වූ සැකය එම රජය පෙරළා දැමීම සඳහා සෝවියට් බලධාරීන් යොමු කරවූවා. එකල ඇෆ්ඝන් ජනාධිපතිවරයා සෝවියට් විශේෂ බලකා මෙහෙයුමකින් ඝාතනය කෙරුණා. ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් දේශයට ලැබී තිබුණු විශේෂ ස්ථානය මෙම ප්‍රහාරය පහසු කරවූවා.

සවුර් විප්ලවය

ඇෆ්ඝනිස්ථානය 1933 සිට 1973 දක්වා පාලනය කළේ මොහොමඩ් සහිර් ෂා රජු විසින්. නමුත් 1973 දී ඔහුව බලයෙන් පහ කිරීමට මොහොමඩ් ඩාවුඩ් ඛාන් කටයුතු කළා. ඩාවුඩ් ඛාන් ද රජ පවුලෙහි ම සාමාජිකයෙකු වූ අතර, කලක් සහිර් ෂා යටතේ අග්‍රාමාත්‍ය තනතුරෙහි ද කටයුතු කර තිබුණා.

අවශ්‍ය නම් ඩාවුඩ් ඛාන්ට රජකම අතට ගැනීමට ඉඩ තිබුණ නමුත්, ඔහු ඒ වෙනුවට ඇෆ්ඝනිස්ථානය සමූහාණ්ඩුවක් බවට ප්‍රකාශ කළා. ඔහුගේ පාලනය සෝවියට් දේශයට සමීප ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පටන් ගත්තා.

මොහොමඩ් ඩාවුඩ් ඛාන් (Khaama Press)

ඩාවුඩ් ඛාන්ට බලය අල්ලා ගැනීමට උපකාරී වූ එක් කණ්ඩායමක් වූයේ සෝවියට් දේශයට සමීප වාමාංශික පක්ෂයක් වූ ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People’s Democratic Party of Afghanistan – PDPA) යි. මෙම පක්ෂය ඩාවුඩ් ඛාන් පාලන සමය මුල් කාලයේ රජයට සහාය දැක්වූ නමුත්, කල් යාමේ දී ඔවුන් අතර විරසකයන් වර්ධනය වුණා.

මේ අතර PDPA පක්ෂය තුළ ද ප්‍රතිරෝධී කඳවුරු දෙකක් වර්ධනය වුණා. ඒ පර්චම් සහ ඛල්ක් නම් කණ්ඩායම් දෙක යි. පර්චම් කණ්ඩායම නාගරික පදනමකින් යුතු පිරිසක් වූ අතර, සමාජවාදය කරා ක්‍රමානුකූල ව ගමන් කළ යුතු බවට ඔවුන් විශ්වාස කළා. මේ අතර ග්‍රාමීය පදනමකින් යුතු වූ ඛල්ක් කණ්ඩායම අතිධාවනකාරී වූ අතර, වේගවත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කියා සිටියා.

1978 අප්‍රේල් 27 වන දා PDPA පක්ෂයට සහාය දක්වන හමුදා කණ්ඩායම් ඇෆ්ඝනිස්ථානයේ කුමන්ත්‍රණයක් දියත් කළා. ඊළඟ දිනයේ උදෑසන වෙද්දී ඩාවුඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දහසය දෙනෙකු ඝාතනය කෙරුණ අතර, පක්ෂය රටේ බලය අතට ගත්තා. පර්සියානු මාස ක්‍රමයට අනුව සවුර් මාසයේ දී සිදු වූ හෙයින් මෙය සවුර් විප්ලවය යනුවෙන් හඳුන්වනු ලබනවා.

තරාකි සහ අමීන්

නව රජය තුල පර්චම් සහ ඛල්ක් යන දෙපාර්ශවයේ ම අය සිටියා. එහි ජනාධිපතිවරයා වුණේ නූර් මොහොමඩ් තරාකි යි. විදේශ අමාත්‍ය ලෙස හෆිසුල්ලා අමීන් පත් කෙරුණා. පසුව, ඔහු අග්‍රාමාත්‍ය බවට ද පත් වුණා.

නූර් මොහොමඩ් තරාකි (Wikimedia Commons)

නව රජය සෝවියට් දේශය සමග සමීප සබඳතාවක් ගොඩනඟා ගත්තා. 1978 දෙසැම්බර් 5 වන දා දෙරට අතර මිත්‍ර ගිවිසුමක් ද අත්සන් කෙරුණා. සෝවියට් උපදේශකයින් විශාල වශයෙන් ඇෆ්ඝනිස්ථානය වෙත පැමිණෙන්නට වුණා. මේ තත්ත්වය පිළිබඳ ඇෆ්ඝනිස්ථානය සහ එවකට බටහිර හිතවාදී අධිරාජයකුගේ පාලනය යටතේ වූ ඉරානය කලබලයට පත් වුණා.

මේ අතර රටෙහි සිදු වූ ප්‍රතිසංස්කරණවලට ද ප්‍රතිරෝධයක් නැඟෙන්නට වුණා. නව රජයෙහි ඉඩම් ප්‍රතිසංස්කරණ ආගමික පූජකයන් හෙවත් මුල්ලාවරුන් සහ ඉඩම් හිමියන් කෝපයට පත් කළා. මේ අතර රටේ ජනතාව අතර සාක්ෂරතා වැඩසටහනක් ඇරඹුණ අතර, කාන්තාවන් සම්පූර්ණ ශරීරය ම වැසෙන ඇඳුම් ඇඳීම අධෛර්යය කෙරුණා. මෙම ක්‍රියාමාර්ග ඉස්ලාම් දහමට පහර ගසන්නක් ලෙස යි ආගමික නායකයන් දුටුවේ.

හෆිසුල්ලා අමීන් (Wikimedia Commons)

මේ අනුව රටේ ග්‍රාමීය ප්‍රදේශයන් හි රජයට එරෙහි කණ්ඩායම් මතු වන්නට පටන් ගත්තා. මෙම පිරිස්වලට මුලින්ම බටහිරින් උපකාර නොලැබුණත් සෝවියට් රජය ඇෆ්ඝනිස්ථානය සමග සමීප වන්නට වන්නට බටහිරින් ඔවුනට උපකාර ලැබෙන්න පටන් ගත්තා.

මෙම විරෝධය හමුවේ රජය තුළ එයට මුහුණ දෙන ආකාරය පිළිබඳ මත ගැටුමක් ඇති වුණා. එහි දී පර්චම් කණ්ඩායම රජයෙන් ඉවත් කෙරුණ අතර, හෆිසුල්ලා අමීන් ඉතා දරුණු ලෙස ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා. සෝවියට් දේශය පවා ඔහුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ වේගය පිළිබඳ කලබලයට පත් වුණා.

තරාකි සෝවියට් නායකත්වයේ ද සහායෙන් අමීන් බලයෙන් පහ කිරීමට සූදානම් වුණා. එහෙත් ඊට පෙර ක්‍රියාත්මක වූ අමීන්, 1979 සැප්තැම්බර් 14 වන දා බලය අල්ලාගෙන තරාකි ව ඝාතනය කළා.

හෆිසුල්ලා අමීන් සහ සෝවියට්වරුන් අතර විරසකයන් වර්ධනය වන්නට පටන් ගත්තා. අමීන් බටහිර රටවල් හා සබඳතා වර්ධනය කරගන්නා ලකුණු පෙනෙන්නට තිබුණා. අමීන් බටහිර ඔත්තු සේවයක් වෙනුවෙන් රහසින් කටයුතු කරන්නේ ය යන සැකය පවා ඇතැම් සෝවියට් බලධාරීන් අතර ඇති වුණා. මේ අනුව අමීන් බලයෙන් පහකළ යුතු බවට සෝවියට් පාලනය තීරණය කළා. ඒ සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුම වූයේ “ස්ටෝර්ම්-333” (මාරුතය​-තුන්සිය තිස් තුන​) යන්න යි.

ස්ටෝර්ම්-333

ස්ටෝර්ම්-333 මෙහෙයුම සඳහා කේ.ජී.බී. විශේෂ සේනාංක දෙකක් (ඇල්ෆා ඒකකයේ ග්‍රොම් හෙවත් ‘අකුණු සැරය​’ කණ්ඩායමේ 24 දෙනෙක් සහ සෙනිත් කණ්ඩායමේ 30ක්), 345 වන වාසර මුරභට රෙජිමේන්තුව (345 Guards Airborne Regiment) සහ 154 වන ස්පෙට්ස්නාස් (සෝවියට් විශේෂ බලකා) බැටෑලියනය යන පිරිස සහභාගී වුණා. ස්පෙට්ස්නාස් බල ඇණියේ සිටියේ මධ්‍යම ආසියානු සෝවියට් භටයන්. මේ නිසා ඔවුන් “මුස්ලිම් බල ඇණිය​” යනුවෙන් ද ප්‍රසිද්ධ වූ අතර, ඇෆ්ඝන් නිල ඇඳුම් ඇන්ඳවූ පසු ඔවුන් ඇෆ්ඝන් භටයන් මෙන්ම දිස් වුණා.

ටජ්බෙග් මාළිගය (Wikimedia Commons)

මෙම මෙහෙයුම ඇෆ්ඝන් අභ්‍යන්තර බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට මෙම බල ඇණිය උපකාර වුණා. එමෙන්ම අමීන්ගේ විරුද්ධවාදීන් පිරිසකුත් මේ සඳහා සම්බන්ධ වී සිටියා.

කාබුල් වෙත මෙතරම් සෝවියට් සේනාවලට පැමිණීමට හැකි වූයේ විවිධ කරුණු මත මේ වන විට ද සෝවියට් වැසියන් බොහෝ දෙනෙකු ඇෆ්ඝනිස්ථානය වෙත පැමිණ තිබූ නිසයි. උපදේශකයින්, තානාපති නිලධාරීන් ආදිය ලෙස සැලකිය යුතු පිරිසක් එහි පැමිණ තිබුණා.

හෆිසුල්ලා අමීන් සිය ආරක්ෂාව සඳහා කාබුල් අගනුවරින් පිටත පිහිටි ටජ්බෙග් මාළිගය වෙත ගොස් සිටියා. ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල වූයේ ඒ වෙත යි.

1979 දෙසැම්බර් 27 වන දා සවස 7.15ට මෙම මෙහෙයුම් ඇරඹුණ අතර, මුලදී මාළිගයේ වූ ඇෆ්ඝන් සේනා ප්‍රහාරක සෝවියට් සේනාවන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළා. විශේෂයෙන් ම මාළිගයේ වහලය මත සිටි සෙබළුන් එල්ල කළ ප්‍රහාරය ඉතා ප්‍රබල වුණා. නමුත් ආරක්ෂක කබා, හිස් වැසුම් ආදියෙන් බොහෝ සෝවියට් සෙබළුන් ආරක්ෂා වුණා. මාළිගයේ දොරටුව කරා පැමිණි පසු ඔවුන් එහි කාමරයෙන් කාමරයට යමින් ප්‍රතිවාදීන් සොයා ඝාතනය කළා. අමීන් සහ ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයා ද එහි දී මරා දමනු ලැබුණා. සම්පූර්ණ ප්‍රහාරයට ම ගත වුණේ විනාඩි 43ක් පමණයි.

සෝවියට් ආක්‍රමණය (Wikimedia Commons)

සෝවියට් සේනා කාබුල් හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ආදී වෙනත් ගොඩනැඟිලි කිහිපයක් ද අල්ලාගත්තා. මේ අතර තවත් සෝවියට් හමුදා දේශසීමාව හරහා ඇෆ්ඝනිස්ථානයට ඇතුල් වුණා.

ඔවුන් විසින් බබ්රක් කර්මාල් නව ජනාධිපති ලෙස පත් කරගනු ලැබුණා.

සෝවියට් දේශය මෙසේ ඍජුව ම තමන්ට අවශ්‍ය අයෙකු පාලනයට පත් කිරීමත් සමග ඔවුනට එරෙහිව සටන් වදින්නන් වෙත බටහිරින් ආධාර එන්නට වුණා. අද දක්වා ම පවත්නා ඇෆ්ඝන් යුද්ධයේ මුල වූයේ මෙම සිදුවීම් මාලාව යි.

Related Articles