නට්සි ජර්මන් ටයිගර් යුධ ටැංකිය පරාජය කළ, සෝවියට් IS-2

1941 දී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරනු ලැබ ටික දවසක් යද්දි ජර්මනියට කලින් මුහුණ දෙන්න නොලැබුණ අලුත් අභියෝගයක් හමුවුණා. ඒ තමයි- 34 යුධ ටැංකිය​. ඉන්පසුව, සෝවියට්වරු KV-1 යනුවෙනුත් යුධ ටැංකියක් නිර්මාණය කළා. මේවාට එරෙහිව ජර්මනියෙන් සටන් බිමට එවන ලද්දේ පැන්තර් සහ ටයිගර් කියන යුධ ටැංකි දෙක යි.

විශේෂයෙන්ම 1943 දී පැන්තර් යුධ ටැංකිය හඳුන්වා දුන් පසු මේ නව අභියෝගයට මුහුණ දීමට වෙනත් විකල්පයක් සොයන්න වෙන බව සෝවියට් හමුදා නායකත්වයට වැටහුණා.

එක් එක් යුධ ටැංකි සංසන්දනය කරද්දි පොදුවේ බලපාන සාධක තුනක් තිබෙනවා. ඒ වෙඩි බලය​, සන්නාහය සහ ගමන් කළ හැකි වේගය යි. ටයිගර් යුධ ටැංකිය නිර්මාණය කරද්දී ජර්මානුන් වෙඩි බලය සහ සන්නාහය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළා. ඒ අනුව T-34 යුධ ටැංකියකට, ටයිගර් යුධ ටැංකියකට පහර දීමට නම් ඒ ආසන්නයට එන්නට සිදුවුණා. එවිට එය ටයිගර් ටැංකියේ ප්‍රහාරයට ලක් වීමේ සම්භාවිතාව වැඩි වුණා.

මේ පිළිබඳ අවධානය යොමු කළ සෝවියට් බලධාරීන් නව යුධ ටැංකියක් කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තා. මේ අනුව තමයි, IS පන්තියේ යුධ ටැංකි නිර්මාණය කෙරුණේ. IS යන නම යොදාගත්තේ සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින්ගේ නමෙහි රුසියානු ඌරුව (Iosef Stalin) යොදා ගනිමින්. ඇතැම් අවස්ථාවන් හි මීට JS පන්තිය ලෙස ද නම් කෙරෙනවා දකින්න පුළුවන්.

IS යුධ ටැංකි පන්තිය

මෙහි පළමු යුධ ටැංකිය වූ IS-1 යුධ ටැංකිය ඉක්මනින්ම සැලසුම් කර නිෂ්පාදනය කෙරුණා. එහි මිලිමීටර් 85ක තුවක්කුවක් සවි කෙරුණා. කෙසේ නමුත්, මෙය දිගුකාලීන විසඳුමක් වූයේ නැහැ.

ශක්තිමත් සන්නාහයකින් ද, ප්‍රබල තුවක්කුවකින් ද යුක්තව IS-2 යුධ ටැංකිය රතු හමුදාවට එකතු වුණේ 1943 ඔක්තෝබර් 31 වනදා යි. ඊට මිලිමීටර් 122 තුවක්කුවක් එකතු කර තිබුණා. ඊට කිලෝමීටර් 1.5ක් සහ 2ක් අතර වූ සතුරු ඉලක්කවලට වුවද හානි සිදුකළ හැකි වුණා. එමෙන්ම කිලෝමීටරයක පමණ දුර සිට ටයිගර් යුධ ටැංකියේ සන්නාහය පසාරු කර යන්නට ඊට හැකියාව තිබුණා.

යුධ ටැංකියෙහි තවත් අමතර වාසියක් තිබුණා. ජර්මන් යුධ හමුදාව සතු වූ මිලිමීටර් 88 ෆ්ලැක් තුවක්කුවට මුහුණ දීමට සමත් සන්නාහයක් සහිත වූ එකම යුධ ටැංකිය වූයේ මෙය යි. වෙනත් කිසිදු ඇමරිකන්, බ්‍රිතාන්‍ය, සෝවියට් හෝ වෙනත් රටවල යුධ ටැංකියකට මෙම තුවක්කුවෙන් සිය කාර්යය මණ්ඩලය ආරක්ෂා කළ හැකි වූයේ නැහැ.

සෝවියට් IS-2 යුධ ටැංකියක් (albumwar2.com)

මේ කරුණු හේතුවෙන් ජර්මන් යුධ හමුදාවට IS-2 යුධ ටැංකිය මහත් වූ හිසරදයක් බවට පත් වුණා. එය හා සටනක් ජයග්‍රහණය කිරීමට නම් ටයිගර් යුධ ටැංකියක් මීටර් 800ක්වත් ඊට ආසන්න විය යුතු වූ අතර, එවිට එය පහසු ඉලක්කයක් බවට පත් වීමේ ඉඩක් තිබුණා. එහෙයින් ජර්මානුන් මෙම යුධ ටැංකිය සැලකූයේ ප්‍රබල අභියෝගයක් ලෙස යි. එය සමග ද්වන්ද්ව සටන් සඳහා යොමු නොවන ලෙස ජර්මානුන් විසින් සිය යුධ ටැංකි භටයින් වෙත උපදෙස් දෙනු ලැබුණා.

ජර්මනිය මුහුණ දුන් අනෙක් අර්බුදය වූයේ ඔවුන් දිගින් දිගටම පසුබැසීම යි. එවිට තමන්ගේ යුධ ටැංකි සටන් බිමේ දී යාන්ත්‍රික දෝෂ හෝ ප්‍රහාරයන් හේතුවෙන් අතැර දැමුවහොත් එය යළි ලබාගැනීම කළ නොහැකි වුණා. එහෙයින් ඔවුන් හැකි සෑම විටෙකම සිය යුධ ටැංකි ප්‍රවේශමෙන් භාවිතා කරන්නට වුණා. මේ හේතුව නිසා ඔවුන් IS-2 යුධ ටැංකිය සමග ගැටෙන්නට පැමිණියේ ඉතා ප්‍රවේශමෙන්.

සෝවියට් IS-2 යුධ ටැංකියක් බර්ලින් නගරයේ දී (TASS)

IS-2 යුධ ටැංකියෙහි වේගය සාපේක්ෂව අඩු වූ නමුත්, සන්නාහය සහ වෙඩි බලය අතින් ඉහළ තැනක තිබුණු හෙයින් එම අඩුව මැකී ගියා. එමෙන්ම එම කරුණ නිසාම මෙය නගරවල සටන් සඳහා ද වඩා යෝග්‍ය වුණා. 1944 වසරේ දෙවන භාගයේ දී රුසියානු විවෘත භූමිවලින් වඩා ජනාකීර්ණ ප්‍රදේශ කරා සටන් පෙරමුණ පැමිණෙද්දී IS-2 යුධ ටැංකිය ප්‍රයෝජනවත් වුණා.

නැගෙනහිර යුරෝපයේ නගරවල වීදි ඔස්සේ, ජර්මන් ආරක්ෂිත ස්ථාන කුඩුපට්ටම් කරමින් IS-2 යුධ ටැංකිය ඉදිරියට ඇදුණා. බර්ලින් නගරය සඳහා කළ අවසන් සටනේදී ද මෙම යුධ ටැංකි විශාල වශයෙන් භාවිතා වුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු

යුද්ධය අවසන් වන විට සෝවියට් දේශය විසින් IS-2 යුධ ටැංකි 3,395ක් නිපදවා තිබුණා. යුද්ධයෙන් පසුව ද මේවා සෝවියට් දේශය විසින් මෙන්ම වෙනත් රටවල් කිහිපයක් විසින්ම භාවිතා කෙරුණා. චෙකොස්ලොවැකියාව​, නැගෙනහිර ජර්මනිය​, චීනය​, කියුබාව​, උතුරු කොරියාව​, පෝලන්තය යන රටවල් මේ අතර ප්‍රමුඛ යි. චීනය විසින් කොරියානු යුද්ධයේ දී ද මෙම යුධ ටැංකි යොදා ගත්තා.

IS-2 යුධ ටැංකි 1995 වන තෙක් ඇතැම් ස්ථානවල ක්‍රියාකාරී යුධ සේවයෙහි යොදාගනු ලැබුණ අතර, ඉන්පසුව ද කියුබාවේ වෙරළබඩ ස්ථාන සමහරක ආරක්ෂාව සඳහා ස්ථානීය තුවක්කු ලෙස යොදවනු ලැබුණා. එනම්, ඒවා තවදුරටත් ජංගමගත වූයේ නැහැ.

ඇතැම් විට​, මෙම යුධ ටැංකි අවශ්‍ය නම් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීමට හැකියාව තිබෙන්නට පුළුවන්. IS-2 යුධ ටැංකියක් නම් මෑතක දී නැවත ක්‍රියාකාරී ලෙස යුධමය මෙහෙයුමකට යොදාගත් බවක් වාර්තා වන්නේ නැහැ. එහෙත් එයින් පසුව, පන්තියේ නිර්මාණය කළ IS-3 යුධ ටැංකියක් 2014 දී යළි ක්‍රියාකාරී තත්ත්වයට පත් කරනු ලැබුණා. දෙවන ලෝක යුධ ස්මාරකයක තිබුණු එම යුධ ටැංකිය නැගෙනහිර යුක්‍රේනයේ කැරලිකරුවන් විසින් සිය සේවයට ගනු ලැබුණා.

Related Articles