Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේදී රුසියාව දිනවූ යුධ ටැංකිය – T 34

ලෝකයේ ඕනෑම රටක යුධ ශක්තිය මැනීම සඳහා භාවිතා කරන එක් මිනුම් දණ්ඩක් ලෙස එම රටට හිමිව පවතින යුධ ටැංකි ප්‍රමාණය සලකනු ලබනවා. එම බලය වර්තමානයේ වැඩිපුරම හිමිව තිබෙන්නේ රුසියාවටයි. ඔවුන් අද වන විට T90MS, T-14 Armata, T-80 හා  T-72 වැනි නවීන යුධ ටැංකි භාවිතා කරනවා. මෙයිනුත් ඉතා ජනප්‍රිය 2015 වසරේ හදුන්වා දුන් අමාටා (T-14 Armata) යුධ ටැංකියයි. ඉදිරි කාලයේදී ඉන් න්‍යෂ්ටික උණ්ඩ පිටවන ලෙස සකස්කිරීමට අදහස් කරන බව රුසියන් යුධ විශේෂඥයෝ පවසනවා.

වර්තමානය වන විට රුසියාවේ පවතින නවීන යුධ ටැංකි සංචිතයට මූලික අඩිතාලම සැකසුනේ දෙවන ලෝක යුධ සමයේදී බව සදහන් කිරීම ඉතාම නිවැරදියි. දෙවන ලෝක යුධ සමයේ මුල් කාලයේදී T-34 වර්ගයේ යුධ ටැංකිය නිෂ්පාදනය කිරීමට පටන් ගත් අතර යුධ සමයේ අවසන් කාලය වන විට මෙම යුධ ටැංකිය සෝවියට් දේශයේ  යුධ ශක්තියේ ප්‍රබල අංශයක් ලෙස කැපී පෙනෙනවා. බාබරෝසා මෙහෙයුම (Operation Barbarossa), ස්ටාලින්ග්‍රාඩ් සටන (Stalingrad) හා කර්ස්ක් සටනේදී (Kursk) රුසියාවට ජය ගෙන එන්නට සමත් වෙන්නේ මෙම යුධ ටැංකියයි. කොටින්ම සදහන් කරනවානම් එවකට සෝවියට් යුද්ධ ටැංකි සංචිතයේ කොදු නාරටිය ලෙස ක්‍රියාත්මක වන්නේ T-34 යුධ ටැංකියයි.

ඉතින් අද ලිපිය තුළින් ඔබට ගෙන එන්නේ සෝවියට් දේශය විසින් ජර්මනිය ප්‍රමුඛ අක්ෂ පාර්ශවය පරාජය කිරීමට යොදා ගත් T-34 යුධ ටැංකිය පිළිබඳවයි. දෙවන ලෝක යුධ සමයේ දී සොවියට් දේශය විසින්  60,000කට ආසන්න ප්‍රමාණයක් T-34 යුධ ටැංකි නිපදවූ අතර යුධ සමය තුළ විශාල කාර්ය භාරයක් ඉටුකළ මෙම යුධ ටැංකිය අද වන විට රුසියානු යුධ කෞතුකාගාර වල තැන්පත් කර ඇති අයුරු දකින්නට පුළුවන්.

දෙවන ලෝක යුද්ධය සඳහා කාර්යක්ෂම යුධ ටැංකියක අවශ්‍යතාවය

T 34 යුධ ටැංකිය නිර්මාණය කරමින් (VOV)

යුධ පිටිය තුළ ඇති බාධක පෙරළාගෙන ඉතා කාර්යක්ෂමව ගමන් කර ක්ෂණික ප්‍රහාර එල්ල කර සතුරා මවිත කරවීමට  සමත් අධික වෙඩි බලයකින් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක අවශ්‍යතාවය සොවියට් දේශයට 1939 පමණ වනවිට තදින් දැනෙන්නට ගන්නවා.

සරළ සැලැස්මකින් යුක්ත, සාපේක්ෂව අඩු වියදමකින් වේගවත්ව නිෂ්පාදනය කළ හැකි මෙන්ම  ඉහත සදහන් අපේක්ෂිත ලක්ෂණ අඩංගු යුධ ටැංකියක් නිර්මාණය කිරීමට  රුසියානු හමුදාව හා රුසියානු සමුහාණ්ඩුව විසින් 1939 වසරේ දෙසැම්බර් මස 19දා තීරණය කර අතර එම යුධ ටැංකිය T-39 ලෙස නම් කරනු ලබනවා.

දියුණු වන යුධ ටැංකියක දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණ තුන වන උපරිම  වේගයකදී දක්වන සමබරතාවය, වෙඩි බලය හා සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා වීමේ සන්නාහය යන ලක්ෂණ තුන උපරිම ලෙස යොදාගෙන මුලින්ම නිෂ්පාදනය කරන ලද යුද්ධ ටැංකිය වන්නේද මෙයයි. තවද T-34 යුධ ටැංකිය බලවත් එන්ජිමකින් හා පළල් ට්‍රැක්ස් වලින්ද සමන්විත වෙනවා.

යුධ ටැංකිය නිර්මාණය කිරීම හා එහි ලක්ෂණ

යුධ භූමියේ (pinterest.com)

මෙම යුධ ටැංකිය නිර්මාණය කිරීම සඳහා භාර වන්නේ සෝවියට් දේශයේ ඉංජිනේරුවෙක් වන මිහායිල් කොෂ්කින් (Mikhail Koshkin) හටයි. එය නිර්මාණය කිරීමේදී මුලින්ම යොදා ගන්නේ Kharkiv Komintern Locomotive Plant නම් කර්මාන්තශාලාවයි.

T-34 යුධ ටැංකිය නිර්මාණය කිරීමේ මූලික පියවරේදී සෝවියට් දේශය විසින් එහි අනුරූ දෙකක් නිර්මාණය කරන අතර ඉන් අනතුරුව T-34 යුධ ටැංකිය සාදා නිමකරනවා. එය එවකට රුසියාවේ පැවති වේගවත් BT tank යුධ ටැංකියේ වේගය පවා අභිබවා යනවා. මුල් අත්හදා බැලීම් යම් ප්‍රමාණයක් අසාර්ථක වූවත් අත්හදා බැලීම් කිහිපයකින් පසුව අවසානයේදී දින 10ක් පුරා සැතපුම් 1000කට අධික දුර ප්‍රමාණයක් ධාවනය කරමින් යුධ ටැංකි දෙකක් මොස්කව් දක්වා ගෙන යනු ලබනවා.

මොස්කව් නුවරදී සෝවියට් දේශයේ එවකට නායකයා වූ ස්ටාලින් හා ඔහුගේ දේශපාලන මණ්ඩලය විසින් යුධ ටැංකිය පරික්ෂා කරනු ලබනවා. දිග, පළල හා උස පිළිවෙලින් මීටර් 5.95, 3 හා 2.40 වූ T-34 යුධ ටැංකියේ රියදුරු ඇතුළු තවත් භටයින් 3 දෙනෙකුට ගමන් කිරීමේ හැකියාව තිබුණු අතර V-2-34 හා V-12 diesel එන්ජින් දෙකකින් සමන්විත (373 kW)විය. මෙම එන්ජින් දිගු පරාසයකින් හා ගිනි ගැනීමේ අවධානම අතින් අඩු අවධානමකින් යුක්ත විය. ටොන් 26.8ක් බරැති යුධ ටැංකියේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 54ක් විය.

මුල් කාලයේදී මිලිමීටර් 76.2ක විශ්කම්භයෙන් යුත් ප්‍රධාන අවියක් T-34 යුධ ටැංකියට සවිකර තිබූ අතර ඒ හේතුවෙන් යුධ ටැංකිය T34/76 ලෙස හදුන්වනවා. එම ප්‍රධාන අවියට අමතරව මිලිමීටර් 7.62කින් යුත් මැෂින් තුවක්කු දෙකක් සවිකිරීමේ හැකියාවද මෙම යුධ ටැංකිය සතුයි.

T 34/76 යුධ ටැංකිය, T34/85 යුධ ටැංකිය බවට පරිවර්තනය කිරීම

නිෂ්පාදනය කළ T 34 යුධ ටැංකි රැසක් (Twitter)

T34 යුධ ටැංකියේ ප්‍රථම නිෂ්පාදන මොඩලය වූ 34/76ට යුධ භූමිය තුළදී ජර්මන් ප්‍රහාර එල්ල වූ අතර ඒ සඳහා ජර්මානු හමුදාව විසින් භාවිතා කරන්නේ  යුධ ටැංකි නාශක අවි වන 37-millimeter Kwk36 හා 50-millimeter Kwk 38 යන අවියි. නමුත් යුධ ටැංකියේ ඉදිරිපස ඉතා ශක්තිමත්ව නිර්මාණය කර ඇති බැවින් මෙම ප්‍රහාර සාර්ථක කර ගැනීමට ජර්මානු හමුදා වලට හැකියාව ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් එම අවි වලින් පහර දීම නවතා මිලිමීටර් 88 (88-millimeter) ගුවන් යානා නාශක අවි පහර දීම සඳහා යොදා ගැනීමට ජර්මානුවන් විසින් කටයුතු කරනවා.

ඒ අතර ජර්මනිය විසින් යුධ පිටියට එකතු කරන ලද නවීන යුධ ටැංකි සමඟ කරට කර සටන් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් T-34 යුධ ටැංකිය නවීකරණය කිරීමේ අවශ්‍යතාව පැන නගිනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි 1944 වසරේදී විෂ්කම්භය මිලිමීටර 85කින් යුත් ප්‍රධාන අවියක් සවි කරනු ලබන්නේ.

සංස්කරණය කල මෙම යුධ ටැංකිය තුළ භටයන් පස්දෙනෙකුට ගමන් කළ හැකි අතර බර ටොන් 30.2ක් විය. දිග පළල හා උස පිලිවෙලින් මීටර් 8.15, 3 හා 2.6ක් විය. මෙම යුධ ටැංකි යුධ භූමිය තුළදී ඉතා සාර්ථක හා දැවැන්ත ප්‍රහාර එල්ල කළ අතර දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට රුසියාවට හැකියාව ලැබුණු ප්‍රධානතම හේතුව මෙම යුධ ටැංකිය නිපදවීම බව යුධ විශේෂඥයෝ විසින් සදහන් කරන අතර හිට්ලර් විසින් වරෙක මෙම යුධ ටැංකිය පිළිබඳව මෙසේ සදහන් කරනු ලබනවා.

වර්තමානය වන විට රුසියානු කෞතුකාගාරයක තබා ඇති T 34 යුධ ටැංකියක් (Wikipedia)

“ඔවුන් සතුව T-34 යුධ ටැංකිය ඇති බව මම දැනගන සිටියානම් රුසියාව ආක්‍රමණය කිරීම පිළිබඳව දෙවරක් සිතනවා”.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව T-34 යුධ ටැංකිය රුසියාව විසින්  අපනයනය කරන ලද අතර 1980 දශකයේදී අප්‍රිකානු මහද්වීපයේ සටන් වලදී මෙය දැක ගන්නට ලැබෙනවා. 1990 දශකයේ දී බොස්නියාවේ  සිවිල් යුද්ධය පැවති කාලයේදීද මෙම යුධ ටැංකිය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

කවරයේ ජායාරූපය – War Thunder Wiki

Related Articles