Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කියුබාවෙන් ඇරඹුණ​ ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධය

ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධය සඳහා මාවත විවර වන්නේ ස්පාඤ්ඤය විසින් යටත් කරගෙන සිටි කියුබාව, තම නිදහස් අරගලය ආරම්භ කිරීමත් සමගයි. පළමුවෙන්ම ඇමරිකානුවන් හා ස්පාඤ්ඤ ජාතිකයන් යුද්ධයකට මුල පුරන්නේ කියුබාවේ පාලනය සම්බන්ධවයි. පසුව එය ස්පාඤ්ඤ රාජධානිය විසින් යටත් කරගෙන සිටි ඔවුන්ගේ යටත් විජිත කරා ද පැතිරී යනවා.

යුද්ධය අවසානයේ දී ස්පාඤ්ඤයට, බටහිර පැසිෆික් කලාපයේ හා ලතින් ඇමරිකානු කලාපයේ පිහිටි තම යටත් විජිත ඇමරිකානුවන්ට පවරා දීමට සිදු වන්නේ ඔවුන් ලද පරාජය හේතුවෙන්. මෙය ඇමරිකානුවන් විසින් යුරෝපීය රටක් සමග​ 1812 යුද්ධයෙන් (War of 1812) පසු ඇති කරගත් පළමු යුද්ධය වන අතර එය ඇමරිකාව ලෝක බලවතෙක් ලෙස නැගී සිටීමේ ප්‍රථම අවස්ථාව ලෙස ද ඇතැමෙක් විසින් හඳුන්වා දෙනවා.

කියුබානු විප්ලවීය සංවිධානයේ ආරම්භය

කියුබානු ජනතාවගේ වීරයෙක් ලෙස සැළකෙන හොසේ මාර්ටි (Public Radio International)

කියුබාව විසින් ස්පාඤ්ඤයෙන් නිදහස් වීම සඳහා නායකත්වය ගෙන කටයුතු කළ හොසේ මාර්ටි (José Martí ),1892 වසරේ ජනවාරි මාසයේ දී තම රට ස්පාඤ්ඤයෙන් නිදහස්  කරගැනීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී කියුබානු විප්ලවවාදී පක්ෂය​ (El Partido Revolucionario Cubano (Cuban Revolutionary party)) ආරම්භ කරන අතර ඒ ඔස්සේ සන්නද්ධ ව්‍යාපාරයකට යාමට ඔවුන් විසින් තීරණය කරනවා. එම තීරණයත් සමඟ 1895 වසරේ ඔවුන් කියුබාව පාලනය කළ ප්‍රබල ස්පාඤ්ඤ රාජධානියට එරෙහිව ගරිල්ලා සටන් වලට අවතීරණය වෙනවා.

මේ සමයේ ඇමරිකාව විසින් කියුබාව තුළ විශාල වශයෙන් ආයෝජනය කර තිබූ අතර ඇමරිකානු ආයතන විසින් විශාල ප්‍රමාණයක් කියුබානු ඉඩම් මිලට ගෙන තිබුණා. ප්‍රධානතම කාර්යය​ වූයේ කියුබාවේ වගා බිම්වල සෑදෙන උක් යොදාගෙන කරනු ලබන සීනි නිෂ්පාදනය ඇමරිකාවට හා වෙනත් රටවලට අපනයන කිරීම හා දුම්කොළ වගාවයි. වෙළදාම සඳහා ඔවුන්ට  කියුබානු වරායන් ඉතා වැදගත් වුණා.

කියුබානු ස්වදේශිකයන්, ස්පාඤ්ඤ පාලනයට විරුද්ධය නැගී සිටියි.

ස්පාඤ්ඤ හමුදා කියුබාවේ (IPhoto Central)

1895 වසරේ පෙබරවාරි මාසය ආරම්භ වන විට කියුබානුවන් ඒ වන විට තම රට යටත් කරගෙන සිටි ස්පාඤ්ඤ ජාතිකයන්ට විරුද්ධව නිදහස ලබා ගැනීම සඳහා තම සටන ආරම්භ කළ අතර කැරැල්ල ආරම්භයේදීම ස්පාඤ්ඤය විසින් කියුබානුවන්ගේ නැගී සිටීම කෲර​ ලෙස මර්ධනය කිරීමට උත්සාහ කරනවා. ගැටුම් ආරම්භ වීමත් සමඟම ඇමරිකානු සීනි කර්මාන්තය සඳහා විශාල බලපෑම් එල්ල වෙන අතර යුද්ධය හේතුවෙන් සියළු වෙළදාම් සඳහා ගැටළු පැන නගිනවා.

ස්පාඤ්ඤය විසින් මෙම කැරැල්ල මර්ධනය කිරීම සඳහා කපිතාන් ජෙනරාල් වැලේරියානෝ  නිකලෝ (Capt. Gen. Valeriano Weyler y Nicolau) කියුබාව වෙත පිටත්කර එවන අතර ඔහු විසින් කැරැල්ලට සම්බන්ධ වන බොහෝ කියුබානුවන් ප්‍රමාණයක් සිර කඳවුර වල රදවා තබනවා. ඔවුන්ට ආහාර හා කිසිඳු සනීපාරක්ෂක පහසුකමක් නොමැති බැවින් කුසගින්නේ හා විවිධ ලෙඩ රෝග හමුවේ විශාල ප්‍රමාණයක් මිය යනවා.

මේ පිළිබඳව “New York World” ඇතුළු ඇමරිකානු පුවත්පත්වල කියුබානු විමුක්තිකාමීන් කෙරේ ඉතා අනුකම්පා සහගත ලෙස ප්‍රවෘත්ති පළ වීම මෙම කාලය තුළදී නිතරම පාහේ සිදු වෙනවා.

ඇමරිකාවවෙන් කියුබාවට ආධාර

ඇමරිකාව විසින් කියුබාව ඩැහැ ගැනීමට මාන බැලීම – කාටූන් ශිල්පියකුගේ ඇසින් (PBS LearningMedia)

කියුබාවේ සිටින ස්පාඤ්ඤ හමුදාවේ නව ආණ්ඩුකාරවරයා ගෙන යන මෙම යුධ ක්‍රියාවලියට ඇමරිකානු රජය විසින් ස්පාඤ්ඤය වෙත නිළ වශයෙන් තම විරෝධතාව දක්වන අතර ඇමරිකානු රජය විසින් 1897 වසරේ මැයි 20 වනදා ඇමරිකානු කොංග්‍රස්  මණ්ඩලයේ අනුමැතිය යටතේ විලියම් මැකින්ලි (William McKinley) ජනාධිපති වරයාගේ නියෝගය මත කියුබානුවන්ට අවශ්‍ය ආහාර ඇදුම් හා බෙහෙත් ද්‍රව්‍ය​ යවනු ලබනවා.

1898 වසරේ ජනවාරි 25 වන දා ඇමරිකානු යුධ නෞකාවක් වන USS මේන් (USS Maine) නෞකාව කියුබාවේ හවානා වරායට එවන අතර එය හුදෙක් කියුබාව නිරීක්ෂණය කිරීමේ හමුදාමය සංචාරයක් බවත් යුධ කටයුත්තක් සඳහා නොවන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පවසා සිටිනවා.

USS මේන් නෞකාව විනාශ වීම හා ඒ ඔස්සේ යුද්ධය සඳහා අවතීරණය වීම

USS Maine නෞකාව හවානා වරාය තුළ දී ගිලී යාම (commons.wikimedia.org)

1898 වසරේ පෙබරවාරි 15 වන දා හවානා වරායේ නැවත තිබූ ඇමරිකානු USS මේන් නෞකාව පිපිරීමක් හේතුවෙන් විනාශයට පත්වෙන අතර පිපිරීමෙන් එහි සිටි ඇමරිකානු යුධ භටයන් 260 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම පිපිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ හමුදාවේ සම්බන්ධයක් නොමැති බවත් එය නෞකාව අභ්‍යන්තරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් ඇති වූ පුපුරා යමක් බවට පසුව හෙළි වූ නමුත් ඇමරිකානු පුවත්පත් කිහිපයක් මෙය ස්පාඤ්ඤයේ ක්‍රියාවක් බව පවසමින් ඇමරිකානු ජනතාවගේ අවධානය ගැනීම සඳහා ප්‍රවෘත්ති පළ කරනවා.

මේ ප්‍රචාරය ස්පාඤ්ඤ – ඇමරිකානු යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූ අතර ඇමරිකානු ජනමතය, “ස්පාඤ්ඤයට එරෙහිව යුද්ධයක් කරා ඇමරිකාව යා යුතුය” යන්න ලෙස ගොඩ නැගෙන්නේ මෙම සිදුවීමෙන් පසුවයි.

ඇමරිකාව හා ස්පාඤ්ඤය එකිනෙකාට එරෙහිව යුධ ප්‍රකාශ කර ගනිති

එවකට ඇමරිකානු ජනාධිපතිවරයා – විලියම් මැකින්ලි ( Miller Center)

ඇමරිකා කොංග්‍රස් මණ්ඩලය විසින් දිගින් දිගටම කියුබානු වැසියන්ට එරෙහිව සිදු කරන ස්පාඤ්ඤ හමුදා සටන නවත්වන ලෙස ඉල්ලීම් කරන අතර අප්‍රේල් 11 වන දා එය නැවත වරක් ස්පාඤ්ඤ රජයට දන්වා සිටීමට කොංග්‍රස් මණ්ඩලය විසින් තීරණය කරනවා.තවද ස්පාඤ්ඤ රජය විසින් තම හමුදාව කියුබාවෙන් ඉවත්කරගෙන ඇමරිකා එක්සත් ජනපද රජයට එය භාර දෙන ලෙස ප්‍රකාශ කරනවා.

මෙම යෝජනාවන්ට අකමැති වන ස්පාඤ්ඤය 1898 වසරේ අප්‍රේල් 24 වනදා ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන අතර ඇමරිකානුවන් විසින් ඊට පිළිතුරු ලෙස පසු දිනම ස්පාඤ්ඤයට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා.

ඇමරිකා – ස්පාඤ්ඤ පළමු යුධ ගැටුම

ස්පාඤ්ඤ යාත්‍රා විනාශ කරන ඇමරිකානු යුධ යාත්‍රා- මැනිලා බොක්කේ සටන සිතුවමකින් (Pinterest)

මේ අතර හොං කොං හි රැදී සිටි ඇමරිකානු නාවික හමුදා ආසියාතික කලාපයේ නාවික බලඝණයේ ප්‍රධානියා වන ජෝර්ජ් ඩිවි ට(George Dewey) ඉහළ නායකත්වයෙන්  අණ ලැබෙන්නේ එම කලාපයේ සියළුම ස්පාඤ්ඤ නාවික බළමුළු විනාශ කරන ලෙසයි.

මැයි පළමුවෙනිදා උදෑසන ඇමරිකානු යුධ යාත්‍රා කිහිපයක් විසින්  පිලිපීනයේ ප්‍රධාන දුපතක් වන ලුසන් (Luzon) අසළ මුහුදේ යාත්‍රා කරන ස්පාඤ්ඤ යුධ යාත්‍රා පෙළක් දකින අතර ඇමරිකානුවන් විසින් එම යාත්‍රා පෙළට පහර දීම ආරම්භ කරනවා. පහර දීමත් සමඟ දෙපිරිස අතර මැනිලා බොක්කේදී (Manila Bay) දරුණු සටනක් ඇවිලෙනවා.

උදෑසන ආරම්භ වන සටන මධ්‍යම රාත්‍රිය වන තුරු පවතින අතර ඇමරිකානු ප්‍රහාර හමුවේ ස්පාඤ්ඤ නෞකා විශාල ප්‍රමාණයක් ගිලී, ස්පාඤ්ඤ භටයන් 370 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වෙනවා.

“ටෙලර් යෝජනාව” හරහා කියුබාවට අත පෙවීම

යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් අල්ලාගත් ස්පාඤ්ඤ යටත් විජිත හතර (SlideShare)

1898 වසරේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් “ස්පාඤ්ඤ පාලනයෙන් කියුබානු වැසියන් ගලවා, කියුබානු ජනතාවගේ ම ආණ්ඩුවක් එම රට තුළ පිහිටුවා ඉන් පසුව එක්සත් ජනපද හමුදාව කියුබාවෙන් ඉවත්විය යුතු ය” ලෙසින් යෝජනාවක් (Teller amendment) සම්මත කර ගන්නා අතර මෙම යෝජනාව ලෝකයට පෙන්වමින් ඇමරිකානු හමුදා කියුබාවේ සිටින ස්පාඤ්ඤ හමුදා ඉවත් කිරීමට සරෙසනවා.

මේ සමග​ම ස්පාඤ්ඤය සතු අනෙක් යටත් විජිත ද තම යුධ බලය යොදා අල්ලා ගැනීමට ඇමරිකාව විසින් තීරණය කරනවා. ඒ අනුව ඔවුන් කියුබාවට අමතරව පිලිපීනය, ගුවාම් (Guam) හා පුවෙර්ටෝ රිකෝ (Puerto Rico) යන රටවල් කිහිපය අල්ලා ගන්නවා. එම රටවල් තුළ ඇමරිකානු පාලනය ස්ථාවර කිරීම සඳහා ස්පාඤ්ඤය සමග​ සටන් වැදීමට ඇමරිකානු හමුදාවන්ට සිදුවෙන අතර එම  තොරතුරු, ලිපියේ දෙවන කොටසෙන් ඔබ වෙත ගෙන ඒමට අප විසින් අදහස් කරනවා.

කවරයේ ජායාරූපය – මැනිලා බොක්කේ සටන සිතුවමකින් (Latin American Studies)

Related Articles