මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ ‘සැන් හෝසේ’

පේද්‍රෝ මෙනෙන්දේස් ද අවීලේස් නම් අද්මිරාල්වරයාගේ නිර්දේශය අනුව රන්, රිදී, මුතු, මැණික්, කුළුබඩු, සීනි, දුම්කොළ සහ සේද වැනි වටිනා විදෙස් භාණ්ඩ රැස් කර ස්පාඤ්ඤ අධිරාජ්‍යය වෙත රැගෙන ඒම අරමුණු කර ගෙන ම පිහිටුවුණු නාවික බළඇණියකි ‘ස්පාඤ්ඤ නිධන් නාවික බළ ඇණිය’ නැතහොත් ‘බටහිර ඉන්දීය කොදෙව් නාවික බළඇණිය’. ඒ සඳහා සැලකිය යුතු බලපෑමක් සිදු කළේ රාජ්‍ය අනුග්‍රහය සහිත ව ක්‍රිස්තු වර්ෂ 1492 ක් වූ අප්‍රේල් මස 3 වැනි දින ක්‍රිස්ටෝපර් කොළොම්බස් ඉන්දියාවට මුහුදු මාර්ගයක් සොයා යෑම සඳහා ‘පාලෝස් ඩි ලා ෆ්‍රොන්ටෙරා’ තොටුපොළින් ඔහුගේ නෞකා ත්‍රිත්වය දියත් කිරීම බව පැවසීම වැරදි නැහැ.

Picture
පැරණි ස්පාඤ්ඤ නැව් අංගනයක සිතුවමක් – Alonso Sánchez Coello – Wikimedia Commons

 

ස්පාඤ්ඤ නිධන් නාවික බළ ඇණියේ කොටසක් ලෙස ෆ්‍රැන්සිස්කෝ ඇන්ටෝනියෝ ගරෝතේ  ‘සැන් හෝසේ’ සහ ‘සැන් ජොවකින්’ නම් නිවුන් නෞකා ද්විත්වයක් සැලසුම් කරන අතර මැපිල් හි නැව් අංගනයක දී ඒවා ගොඩ නැංවීම සිදු කර ඇත්තේ  ද පේද්‍රෝ ද අරෝෂ්තෙගි යි. ඉදි කිරීම සඳහා වර්ෂයක කාලයක් වැය වූ ‘සැන් හෝසේ’ නෞකාව මුල් වරට දියත් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1698 දී යි. කුඹ ගස් 3 ක්, නැව් තට්ටු 2 ක්, තුවක්කු කවුළු 70 කින් සමන්විත වූ එහි බර ටොන් 1,200 ක් පමණ වූ බව යි සඳහන් වන්නේ. යුද නෞකා සමූහයක ආරක්ෂාව මැද මැණික් සහ වටිනා ලෝහ ප්‍රවාහනයේ යෙදුණු ‘සැන් හෝසේ’ නෞකාව සාමාන්‍යයෙන් ගමනේ යෙදී ඇත්තේ පේරු සහ ස්පාඤ්ඤය අතර යි.

නිධානයේ වත්මන් වටිනාකම 

ස්පාඤ්ඤයේ II වැනි චාල්ස් රජු උරුමකරුවන් නොමැති ව මිය යාම පදනම් කර ගෙන 18 වැනි සියවසේ ඇරඹුම සමඟ ස්පාඤ්ඤයේ අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් යුරෝපයේ රාජ්‍යයන් අතර ඇති වූ යුද්ධය හේතුවෙන් ‘සැන් හෝසේ’ නෞකාව සඳහා අඛණ්ඩ ව යුද නැව් හි ආරක්ෂාව ලබා දීමට ස්පාඤ්ඤ රජයට හැකියාවක් නොතිබුණ ද යුද්ධය සඳහා වියදම් දැරීමට වටිනා විදෙස් භාණ්ඩ දිගින් දිගට ම ස්පාඤ්ඤය වෙත රැගෙන ඒම අත්‍යවශ්‍ය වුණා. ඒ අනුව ඇතැම් අවස්ථාවල දී ‘සැන් හෝසේ’ නෞකාවට අනාරක්ෂිත ව ද ගමනේ යෙදීමට සිදු වූ බව පැවසෙනවා.

Picture 2
‘සැන් හෝසේ’ නෞකාව දැක්වෙන නූතන සිතුවමක් – Jose Antonio Penas – Science Photo Library

 

ක්‍රිස්තු වර්ෂ 1708 ක් වූ මැයි මාසයේ අග භාගයේ දී 600 ක නාවික කණ්ඩායමක් සමග පැනමා හි පෝටබෙලෝ වාරය නගරයෙන් ‘සැන් හෝසේ’ නෞකාව පිටත් වී ඇත්තේ එවකට ස්පාඤ්ඤයේ පාලනය යටතේ පැවති පේරු රාජ්‍යයෙන් ලබා ගත් රන්, රිදී සහ මැණික් රාශියක් පුරවාගෙන යි. ස්පාඤ්ඤයේ V වැනි ෆිලිප් රජුගේ භාණ්ඩාගාරය වෙත රැගෙන යා යුතු වූ දළ වශයෙන් රන් සහ රිදී කාසි මිලියන 7 – 11 අතර ප්‍රමාණයක් සහ විශාල වශයෙන් මරකත මැණික්වලින් සමන්විත වූ එකී නිධානයේ වත්මන් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 10 – 20ත් අතර වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

නිධානය අත්පත් කර ගැනීමට නෞකාවට පහර දීම

මහඟු නිධානයක් රැගෙන එන ‘සැන් හෝසේ’ නෞකාවට බ්‍රිතාන්‍යයන් කොළොම්බියාවේ කාටහෙනා හි දී පහර දීමට ඉඩ ඇති බවට එහි කපිතාන් වූ හොසේ ෆර්නැන්ඩස් ද සැන්ටිලන් දැන සිටියා. ඒත් අවාසනාවන්ත ලෙස ඔවුන්ට කෙටි කාලයක් සඳහා කාටහෙනා වරායේ නතර වීමට සිදු වී ඇත්තේ කියුබාව හරහා ස්පාඤ්ඤය වෙත යාමට ප්‍රථමයෙන් ‘සැන් හෝසේ’ නෞකාවේ කිසියම් අලුත්වැඩියාවක් සිදු කිරීමට අවශ්‍ය වීම හේතුවෙන්. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බ්‍රිතාන්‍ය නාවික හමුදාව ‘සැන් හෝසේ’ හි නිධානය අත්පත් කර ගැනීම උදෙසා ක්‍රිස්තු වර්ෂ 1708 ක් වූ ජූනි මස 8 වැනි දින සවස් යාමයේ දී නෞකාවට පහර දීම අරඹා තිබෙනවා.

Picture 3
බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඉදිරියේ පරාජයට පත් ‘සැන් හෝසේ’ නෞකාව දියබත් වීම දැක්වෙන සිතුවමක් –  Samuel Scott – Wikimedia Commons

 

ඇතැම් මූලාශ්‍රයන්ට අනුව ‘සැන් හෝසේ’ නෞකාව පෝටබෙලෝ වාරයෙන් පිටත් වී ඇත්තේ තනි ව නොවෙයි. ස්පාඤ්ඤ නිධන් නාවික බළ ඇණියේ ප්‍රධාන නෞකාව ලෙස කටයුතු කළ ‘සැන් හෝසේ’ සමඟ තවත් වෙළෙඳ නෞකා 14 ක් සහ යුද නෞකා 3 ක් ස්පාඤ්ඤය බලා ගමන් ඇරඹූ බව සඳහන්. ඔවුන්ට අද්මිරාල් චාල්ස් වේජර්ගේ නායකත්වයෙන් යුතු බ්‍රිතාන්‍ය යුද නැව් සමූහය හමු වී ඇත්තේ කොළොම්බියාවේ කාටහෙනා හි දකුණු අර්ධද්වීපයේ වූ බාරු දූපත ආසන්නයේ දී යි.

නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරයි

කෙසේ හෝ රාත්‍රිය එළැඹෙන විට ‘සැන් හෝසේ’ නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරා ගොස් දියබත් වුණේ අතළොස්සක් හැරුණු විට 600 කට ආසන්න නාවිකයන් කණ්ඩායමක් සහ මිල කළ නොහැකි තරම් වූ අද්විතීය නිධානයක් කැරිබියානු මුහුදු පත්ලේ සඟවමින්. ‘සැන් හෝසේ’ නෞකාව දියබත් වූ ස්ථානය නිශ්චිත නොවූ අතර ස්පාඤ්ඤ රජය පමණක් නොව තවත් බොහෝ ආයතන සහ රාජ්‍ය සියවස් තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ නිධානයක් සමඟ ගිලී ගිය නෞකාව සෙවීමේ නිරත වුණා.

Picture 4
‘සැන් හෝසේ’ නෞකාවේ රැගෙන යන ලද රන් කාසිවලට සමාන යැයි සැලකෙන පැරණි ස්පාඤ්ඤ කාසි – 1715 Fleet Queens Jewels LLC – Reuters

2015 දෙසැම්බර් මාසයේ දී කොළොම්බියානු රජය නිවේදනය කළේ ඔවුන්ගේ නාවික හමුදාව, අමෙරිකානු සමාගමක් වූ Woods Hole Oceanographic Institution නිපද වූ ‘REMUS 6000’ නමැති දිය යට ස්වයංපාලක වාහනයේ සහාය ඇති ව දියබත් වූ ‘සැන් හෝසේ’ නෞකාවේ නිධානය සොයා ගත් බව යි. එහි පිහිටීම පිළිබඳ නිශ්චිත තොරතුරු කිසිවක් කොළොම්බියානු රජය හෙළිදරව් කළේ නැහැ. නෞකාවේ හිමිකාරීත්වය ලැබිය යුත්තේ කාට දැයි යන ගැටලුව අභියස ‘සැන් හෝසේ’ සහ එහි නිධානය ගොඩ ගැනීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතිනවා.

හිමිකාරීත්වය ගැන දශක 4 ක් පවතින ගැටුම

‘සැන් හෝසේ’ නෞකාව සහ ඒ සමඟ දියබත් වූ නිධානයේ හිමිකාරීත්වය ගැන පවතින ගැටුම, දශක 4 කට අධික කාලයක් මුළුල්ලේ පැවත එන්නක්. 1980 දශකයේ මුල් කාලයේ දී Sea Search Armada (SSA) නමැති අමෙරිකානු නැව් බේරා ගැනීමේ සමාගමක් නිවේදනය කළේ ඔවුන් ‘සැන් හෝසේ’ නෞකාව සොයා ගත් බව සහ එහි අන්තර්ගතයෙන් 50% ක් ඔවුන්ට හිමි බව යි. ඔවුන් නැවේ සුන්බුන් පිහිටි ස්ථානය හෙළිදරව් නොකළ අතර නිධානය ගොඩ ගැනීමෙන් පසු ව එය බෙදා ගත යුතු අන්දම ගැන කොළොම්බියානු රජය සමඟ එකඟතාවකට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළා. කොළොම්බියානු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කළ අතර එකී නීතිය ප්‍රකාර ව 45% ක බද්දකට යටත් ව සොයා ගත් පාර්ශවයට හිමි වන්නේ නෞකාවේ වටිනාකමින් 5% ක සොයා ගැනීමේ ගාස්තුවක් පමණ යි.

Picture 5
‘සැන් හෝසේ’ නෞකාවේ නිධානය ගැන කොළොම්බියානු රජය සහ Sea Search Armada (SSA) අතර නීතිමය ගැටුම අඛණ්ඩ ව
– Anna Godeassi

නව නීතියේ ව්‍යවස්ථානුකූල බලය අභියෝගයට ලක් කරමින් Sea Search Armada (SSA) සමාගම කොළොම්බියානු අධිකරණයේ නඩු පැවරූ අතර ‘සැන් හෝසේ’ නෞකාවේ නිධානය දෙපාර්ශවය අතර සම සේ බෙදී යා යුතු බවට කොළොම්බියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. කොළොම්බියානු රජය දිගින් දිගට ම පවසා සිටින්නේ Sea Search Armada (SSA) සමාගම දක්වා සිටින දියබත් වූ නෞකාවේ පිහිටීම නිවැරදි නොවන බැවින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු අයිතිවාසිකමක් හිමි නොවන බව යි. කොළොම්බියානු රජය නැවේ සුන්බුන් සෙවීම සඳහා ඔවුන්ගේ නාවික හමුදාව යොදවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. එය කොළොම්බියානු රජය සහ Sea Search Armada (SSA) අතර නව නීතිමය ගැටුමකට ද මඟ පාදා තිබෙනවා.

‘සැන් හෝසේ’ හි සුන්බුන් සංස්කෘතික උරුමයක්

එකී හිමිකාරීත්ව ගැටුමට මැදිහත් වෙමින් ස්පාඤ්ඤ රජය ප්‍රකාශ කර ඇත්තේ ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ යුද නෞකාවක් වූ ‘සැන් හෝසේ’ හි හිමිකාරීත්වය තවමත් ස්පාඤ්ඤයට පවතින බව යි. ඒ අනුව ‘සැන් හෝසේ’ හි සුන්බුන් සංස්කෘතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන මෙන් ස්පාඤ්ඤ රජය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයෙන් (UNESCO) ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. ස්පාඤ්ඤයේ අදහස වන්නේ පවතින තත්ත්වය යටතේ ‘සැන් හෝසේ’ හි සුන්බුන්, UNESCO හි භාරයේ තැබීම වඩාත් සුදුසු බව යි. කොළොම්බියාව UNESCO සම්මුතියට අත්සන් තබා නොමැති හෙයින් සහ ඔවුන් මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ කොළොම්බියානු රජය එවැනි එකඟතාවකට කැමැත්ත පළ නොකිරීමට වැඩි ඉඩක් පවතින බව යි විශේෂඥ මතය වන්නේ.

කවරයේ පින්තූරය: ‘සැන් හෝසේ’ නෞකාව - iStock 

www.britannica.com 

 www.todoababor.es

 www.oxfordreference.com 

 www.bbc.com/travel

threedecks.org 

 www.whoi.edu 

 www.nationalgeographic.com 

 edition.cnn.com

www.reuters.com 

Related Articles