Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම් යුද්ධයේ ඇමෙරිකානු ඉදිරිපෙළ විශේෂ බලකා සෙබළා- ජෙරී ශ්‍රිවර්

1955 වසරේ සිට 1975 වසර දක්වා පැවති වියට්නාම් යුද්ධයේ දී, එයට සහභාගී වූ සෑම පාර්ශවයකටම බරපතල හානි සිදුවුණා. විශේෂයෙන්, 1965 වසරේ මාර්තු 2 වනදා සිට 1968 වසරේ නොවැම්බර් 2 වනදා දක්වා ඇමෙරිකානු ගුවන් හමුදා විසින් ක්‍රියාත්මක කළ උතුරු වියට්නාමයට බෝම්බ හෙළීම සඳහා වූ රෝලිං තන්ඩර් (operation Rolling Thunder) මෙහෙයුමෙන් වසර තුනක අධික කාලයක් තිස්සේ ටොන් මිලියන ගණනක බෝම්බ ප්‍රමාණයක් වියට්නාමයේ උතුරු ප්‍රදේශය වෙත හෙළනවා.

ඇමෙරිකාව යුද්ධයේ අවසන් වසර 9 දී සෘජුව තම හමුදා දකුණු වියට්නාමයේ සහායට එවන අතර, ඔවුන් දකුණු වියට්නාම හමුදාව හා එකතුව උතුරු වියට්නාම් හමුදාවට හා වියට්කොං ගරිල්ලන්ට එරෙහිව සටන් කරනවා. අවසන් සමයේ දී සටනේ වාසිය උතුරු වියට්නාම් හමුදාවට හා වියට්කොං ගරිල්ලන්ට හිමි වූ අතර, අවමන් සහගත පරාජයත් සමග ඇමෙරිකා සෙබළුන් නැවතත් මව්රට වෙත ගෙන්වා ගැනීම 1973 වසරේ දී ආරම්භ වෙනවා. කෙසේ හෝ යුද්ධය 1975 වසරේ නිල වශයෙන් අවසාන වන විට ඇමෙරිකානු සෙබළුන් 58,000ක් මරණයට පත් වන අතර, සෙබළුන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබනවා. ඊට අමතරව ඇමෙරිකානු හෙලිකොප්ටර් හා ගුවන් යානා 10,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වෙනවා.

උතුරු වියට්නාම් හමුදාවට හා වියට්කොං ගරිල්ලන්ට හිසරදයක් වූ ඇමෙරිකානු භටයෝ 

රෝලිං තන්ඩර් (worldatlas.com)

මෙම යුද්ධය අතරතුර ඇමෙරිකානු හමුදාව සාම්ප්‍රදායිකව යුද්ධයට පිවිසුණු නමුත්, උතුරු වියට්නාම් හමුදාව හා වියට්කොං ගරිල්ලන් යුද්ධයේ දී අතිශය සූක්ෂම ගරිල්ලා උපක්‍රම භාවිතා කරනවා. ඒ හේතුවෙන් ඇමෙරිකානු හමුදාවට පැතිරී ගිය ජාලගත උමං පද්ධති හරහා පැමිණ, ක්ෂණික ප්‍රහාර එල්ල කර අතුරුදහන් වන වියට්කොං ගරිල්ලෝ විශාල අභියෝගයක් වෙනවා. මෙම අභියෝගවලට මුහුණ දුන් ඇමෙරිකානු හමුදා අතරින් ද වියට්නාම් යුද්ධය තුළ දස්කම් දැක්වූ යුද විරුවන් කිහිපදෙනෙක් බිහිවෙනවා.

සටනකින් පසුව තුවාල ලැබූ සහෝදර සෙබළෙක් රැගෙන පසු බසින ඇමරිකානු මැරීන් භටයන් (Los Angeles Times)

එම සටනේ ඇමෙරිකානු යුද විරුවන් අතරින් ප්‍රධාන යුද භටයෙක් ලෙස සැරයන් කාර්ලෝස් හැත්කොක් (Carlos Norman Hathcock) නම් ඇමරිකානු මැරීන් බලකා ස්නයිපර් භටයා හැදින්විය හැකි යි. මොහු කෙතරම් වියට්කොං ගරිල්ලන්ට හා උතුරු වියට්නාම් හමුදාවට තර්ජනයක් වූවා ද යන්න පවසනවා නම් ඔහුගේ හිස රැගෙන එන්නෙකුට ගෙවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 30,000ක් ලෙස ප්‍රචාරය කරනු ලබනවා.

වැඩි දුරටත් කියවන්න: වියට්නාම් වනාන්තරයේ සැඟවුණු මැරීන් වෙඩික්කරුවා– කාර්ලෝස් හැත්කොක්

මැරීන් බලකායේ කපිතාන් ජෝන් වොල්ටර් ද (පසුව කර්නල්), වියට්නාම් යුද්ධය තුළ දී දස්කම් දැක්වූ නිලධාරියෙක් ලෙස ඇමෙරිකානු රජය විසින් ඔහුට රජයේ නාවික දෙපාර්තමේන්තුවෙන් හමුදා භටයෙකුට පිරිනමන දෙවන ඉහළම සම්මානය වන නාවික කුරුසිය (Navy Cross) පිරිනවනවා. ඒ උතුරු වියට්නාම් හමුදා දකුණු වියට්නාමයට ඇතුළු වීම වළක්වමින් 1972 වසරේ දී කළ සටනක් හේතුවෙන්. ඔහුගේ මෙම සටන ඇමෙරිකානු මැරීන් බලකායේ පුරාවෘත්තයක් ලෙස සටහන් වී තිබෙනවා. 

කපිතාන් ජෝන් වොල්ටර් ( modernamericanheroes)

තවත් යුද විරුවෙක් ලෙස සලකන එක්සත් ජනපද නාවික හමුදාවේ කපිතාන් ජෝන් මැකේන් (පසුව එක්සත් ජනපදයේ සෙනට් සභිකයෙක් ලෙස ද කටයුතු කරනවා), නාවික හමුදාවේ ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කරමින් ඔපරේෂන් රෝලින් තන්ඩර් සඳහා සක්‍රියව සහභාගී වෙනවා. 1967 වසරේ එම මෙහෙයුම අතරතුර සිය යානය කඩා වැටීමෙන් උතුරු වියට්නාම් හමුදාවට අසුවෙන ඔහු, යුධ සිරකරුවෙකු ලෙස රඳවා තබා ගන්නා අතර වියට්නාම් යුද්ධය අවසන් වීමෙන් පසුව ඔහුව නැවතත් ඇමෙරිකා එක්සත් ජනපදයට භාර දෙනවා. 2008 වසරේ බැරක් ඔබාමාගේ පළමුවර ජනාධිපතිවරණ ජයග්‍රහණයේ දී විරුද්ධ අපේක්ෂකයා ලෙස රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ ද ජෝන් මැකේනුයි.

පස්වන විශේෂ බලකායේ, ජෙරී ශ්‍රිවර් 

ජෙරී ශ්‍රිවර් හෙවත් මෑඩ් ඩෝග් (libraryofwar)

ඉහත හමුදා භටයන් හා නිලධාරීන් හැරුණුකොට වියට්නාම් යුද්ධයේ ප්‍රධාන ඇමෙරිකානු හමුදා විරුවෙකු ලෙස පස්වන විශේෂ බලකායට අනියුක්තව වියට්නාමයේ සේවය කළ සැරයන් ජෙරී ශ්‍රිවර්ව හඳුන්වා දෙන්න පුළුවන්.

1941 වසරේ දී ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ උපත ලබන ජෙරී, ඇමෙරිකානු යුද හමුදාවේ පස්වන විශේෂ බලකායට එකතුවෙන අතර වියට්නාම් යුද්ධය සඳහා 1966 වසරේ දී වියට්නාමය වෙත පැමිණි ඇමෙරිකානු හමුදා සාමාජිකයන් අතරට ඔහු ද අයත් වෙනවා. ඔහු ඇතුළු විශේෂ බලකා සෙබළුන්ට සාම්ප්‍රදායිකව සටන් කිරීම පැවරී නොතිබුණු අතර, සතුරු අඩවිය කරා හොර රහසේ රිංගා ගොස් මෙහෙයුම් සිදුකිරීම භාර වී තිබුණා. වියට්නාමයට අමතරව අග්නිදිග ආසියාවේම කොමියුනිස්ට් ක්‍රමයට අනුව නිර්මාණය වන ගරිල්ලා කණ්ඩායම් විනාශ කිරීමේ රහසිගත මෙහෙයුම් සඳහා ද ඔවුන්ව මේ කාලයේ දී යොදාගනු ලබනවා.

ඔහු වියට්නාම් සටන් බිමේ (i.pinimg)

මේ කාලය තුළ ඔවුන්ට යුද පෙරමුණෙන් බැහැරව ඇති උතුරු වියට්නාම් හමුදා හා වියට්කොං ගරිල්ලන්ගේ පාලන ප්‍රදේශවලට ඇතුළු වීමේ රහසිගත හා උපායමාර්ගික මෙහෙයුම්වල යෙදීමට සිදුවෙනවා. මෙම මෙහෙයුම් මොනවාද යන්න ඇමෙරිකානු හමුදා විසින් හෙළිදරව් කර නොතිබුණත්, මේ තරුණ භටයාට එම කෙටි කාලය තුළ ලැබුණු ගෞරව පදක්කම් දෙස බැලීමේ දී ඔහු දක්ෂ නිර්භීත හමුදා භටයෙක් බව ඔප්පු වෙනවා. 

ඇමෙරිකානු හමුදාවේ සාමාජිකයෙකුට ලැබෙන තෙවන ඉහළම සම්මානය වන “රිදී තරුව” (Silver Star) ඔහුට දෙවරක් හිමි වෙනවා. මධ්‍ය ප්‍රමාණයේ සම්මානයක් වන “නිර්භීතකම සඳහා වූ හමුදා පදක්කම” ද තෙවරක් හිමි වෙනවා. යුද බිමේ දැක්වූ දස්කම් හේතුවෙන් හිමි වන “ලෝකඩ තරුව” (Bronze Star) ද විශිෂ්ටතම සොල්දාදුවන්ට පමණක් පිරිනැමෙන “දම් පැහැ හදවත” (Purple Heart) ද ඇතුළු තවත් පදක්කම් ගණනාවක් ඔහුට මෙම කෙටි කාලය තුළ ලැබෙනවා.

ජෙරීගේ අතුරුදහන් වීම

ඌෂි අර්ධ මැෂින් තුවක්කුව ඇතුළු ඔහු භාවිතා කළ ආයුධවලින් කොටසක් (warhistoryonline)

ජෙරී උතුරු වියට්නාම් හමුදාවට දරුණු හිසරදයක් වූ අතර, ඔහුගේ හිස ලබා දෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් 10,000ක් ලබාදෙන බවට උතුරු වියට්නාම් රජය නිවේදනය කරනවා. යුද්ධය අතරතුර කාම්බෝජ දේශ සිමාවේ සිට ද වියට්කොං ගරිල්ලන් තම මෙහෙයුම් කළ අතර, එම සීමාවේ වියට්කොං කඳවුරක් වැටලීම සඳහා ජෙරී ඇතුළු ඇමෙරිකා භට පිරිසක් 1969 වසරේ අප්‍රේල් මාසයේ දී හෙලිකොප්ටර් හතරකින් රහසේම එම ප්‍රදේශයට ගමන් කරනවා. නමුත්, රහස් මෙහෙයුම ඔවුන්ට වැරදි ගිය අතර වියට්කොං ගරිල්ලන් විශාල ඛණ්ඩයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවෙනවා.

සටන දරුණුවට ඇවිළී ගොස්, අවසානයේ තුවාල ලැබූ හා ඉතිරි වූ සොල්දාදුවන් හෙලිකොප්ටර් යානාවල නැගී සටන් භූමියෙන් ඉවත් වෙන අතර අවාසනාවන්ත ලෙස ජෙරී ඇතුළු තවත් භටයන් හය දෙනෙකු අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත් වෙනවා. ඇමෙරිකානු දක්ෂ සටන් භටයා තමන්ගේ සිරකරුවෙක් බව මුලින්ම උතුරු වියට්නාම් ගුවන් සේවය පවසන අතර තවත් ටික වේලාවකින් අනතුරුව ඔහුගේ ශරීරයේ කොටස් තමන් සතුව ඇති බවත්, ඔහු මිය ගොස් ඇති බවත් නිවේදනය කරනවා. ඒ වන විට ඔහු වයස අවුරුදු 27 පසුවෙනවා. 1974 වසරේ දී ඔහුගේ අතුරුදහන් වීම මරණයට පත් වීමක් ලෙස ඇමෙරිකානු රජය විසින් නිවේදනය කරන අතර, වියට්නාම් යුද්ධයෙන් මියගිය ගෞරවනීය හමුදා සාමාජිකයන්ගේ නම් සඳහන් කර ඇති වොෂින්ටන් ඩි. සී. හි ස්මාරකයට ඔහුගේ නම ද ඇතුළත් කරනවා.

කවරයේ පින්තූරය- warhistoryonline

මූලාශ්‍රය: 

warhistoryonline.com

Related Articles