Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහසින් සටන් බිමට ළඟා වූ යතුරුපැදිය – වෙල්බයික්

දෙවන ලෝක යුද්ධ කාලය තුළ ලෝකයට කාර්මික නිෂ්පාදන විශාල ප්‍රමාණයක් බිහිවනවා. එයට මූලික හේතුව වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශවයන්ට තම සතුරා පරයා යාමට තිබූ දැඩි උනන්දුවයි. යුද්ධය ආරම්භයත් සමඟ විශේෂ බළකා හා කමාන්ඩෝ සොල්දාදුවන් විසින්  යුධ භූමිය තුළ සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා යතුරුපැදි කිහිපයක් මිත්‍ර පාර්ශවය විසින් මෙන්ම අක්ෂ පාර්ශවය විසිනුත් හදුන්වා දෙනවා.

යුධ බිම සදහා බ්‍රිතාන්‍යයේ නිර්මාණය වූ පළමු කුඩා යතුරුපැදිය සටන් බිමට එකතු වෙන්නේ බ්‍රිතාන්‍ය පැරෂුට් භටයන් සමඟයි. එය හදුන්වනු ලබන්නේ වෙල්බයික් (welbike) යන නමින්.

සටන්බිම සඳහා වෙල්බයික් නිර්මාණය

welbike (Heroes & Generals)

දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය අභ්‍යන්තර සේවා ව්‍යාපෘති කාර්යාංශය (Inter Services Research Bureau) හෙවත් Station IX යනු එවකට බ්‍රිතානයේ රහස් ඒකකයක්ව පැවති විශේෂ ක්‍රියාන්විත විධායකය නම් ආයතනයට [Britain’s Special Operation Executive’s (SOE)] අවශ්‍ය කෙරෙන අවි ආයුධ හා වෙනත් අවශ්‍ය දෑ නිර්මාණය කිරීම භාරගෙන තිබූ කර්මාන්තශාලාවයි. එහි මග පෙන්වීමක් ලෙසයි වෙල්බයික් නම් තනි පුද්ගලයෙකුට ගමන් කළහැකි කුඩා මෝටර් බයිසිකලය​ නිර්මාණය වෙන්නේ. මෙම යතුරුපැදිය කුඩා එකක් වීම, බරින් අඩු වීම හා යුධ කටයුතු වලට යෝග්‍ය වීම මෙහි තිබිය යුතුම සාධක ලෙස සළකා බැලෙනවා.

මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් කර්නල් ජෝන් ඩොල්ෆින් විසින් මෙහි සැලසුම් නිර්මාණය කිරීම සිදුකරන අතර එය ගැලවිය හැකි හැඩලයකින් හා අසුනකින් සමන්විත​ වෙනවා. ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් පොළවට පතිත කළ හැකිවන ලෙස යතුරුපැදි හැඬලය​ හා යතුරුපැදියේ අසුන බහාලීමට සෙන්ටිමීටර් 130ක් දිග සෙන්ටිමීටර් 30ක් පළල හා සෙන්ටිමීටර් 35ක් උස සිලින්ඩරාකාර ඇසුරුමක් ලෝහයෙන් තනන අතර යතුරුපැදියේ උපාංග වෙන වෙනම එහි තැන්පත්කර පැරෂුට් භටයා සමඟ සටන් බිමට මුදා හැරීම ද​, භූමියට ළඟා වූ පසු කොටස් සවිකර යතුරුපැදිය සකසා ගෙන ප්‍රහාර සදහා පිටත්වීම නිර්මාණකරුගේ අපේක්ෂාව විය.

ලුතිනන් කර්නල් ජෝන් ඩොල්ෆින් බ්‍රිතාන්‍ය රහස් පර්යේෂණ හා ව්‍යාපෘති දෙපාර්තුමේන්තුවේ සේවය කල අතර එය පිහිටා තිබුනේ උතුරු ලන්ඩනයේ වෙල්වින් (Welwyn) නම් ප්‍රදේශයේයි. ඒ හේතුවෙන් මෙම යතුරුපැදිය wel – bike යන නමින් නම් කරනු ලබනවා.

Excelsior වෙත ඇණවුම භාරදීම

යුධ භූමියේදී යතුරුපැදිය එකලස් කරන බ්‍රිතාන්‍ය යුධ භටයින් (History By Zim)

මෙය නිෂ්පාදනය කිරීමේ කටයුත්ත භාර වන්නේ එංගලන්තයේ පළමු යතුරුපැදිය නිෂ්පාදනය කළ සමාගම වන Excelsior motor company වෙතයි. එම සමගම විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම යතුරුපැදිය 1942 වසරේදී ස්කොට්ලන්තයෙදී අත්හදා බැලීම සිදුකරනවා. පසුව තවත් වැඩි දියුණු කිරීම් කිහිපයක් සිදුකරන අතර අවසානයේ එය පැරෂුට් මගින් පතිත වුමෙන් අනතුරුව තත්පර 11ක් ඇතුළත  පසුව මෙම යතුරුපැදිය 1943 වසරේදී බ්‍රිතාන්‍ය හමුදාවට භාරදීම සිදුකරනවා.

98cc ද්විපහර එන්ජිමකින් යතුරුපැදිය සමන්විත වුණු අතර තනි ගියරයකින් පමණක් එය ක්‍රියාත්මක වුණා. ඉන්ධන ධාරිතාවය ලීටර් 3.7ක් පමණ වූ අතර එමගින් කිලෝමීටර් 110ක දුරක් ධාවනය කිරීමේ හැකියාව පැවතුණා. ඉදිරියට තල්ලු කිරීමෙන් පණ ගැන්විය හැකි වූ අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 45ක් වුණා. යතුරු පැදියේ මුළු බර කිලෝග්‍රෑම් 32ක් විය.දෙවන ලෝක යුධ කාලය තුළ වරින් වර මෙම වර්ගයේ යතුරුපැදි 4000කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

යුධ පිටියට පැමිණි යතුරුපැදිය

වෙල්බයික් යතුරු පැදියේ නැගී සතුරු ඉලක්ක කරා (influx.co.uk)

1943 වසරේ ජූලි මාසයේ සිට 1945 වසරේ මැයි වන තුරු ඉතාලියේ පැවති සටන්වලදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඇතැම් අවස්ථාවන්වලදී වෙල්බයික් යොදාගත් අතර පැරෂුට් ආධාරයෙන් පොළවට වෙල්බයික් සමඟ පතිත වූ බ්‍රිතාන්‍ය භටයන් යතුරු පැදියේ නැගී යුධ භූමියට පිවිස ජර්මානු හා ඉතාලි හමුදාවන්ට පහරදෙනවා.

1944 වසරේ සැප්තැම්බර් මාසයේදී මිත්‍ර හමුදා විසින් නෙදර්ලන්තයේදී සිදු කළ මාර්කට් ගාර්ඩන් මෙහෙයුමේදී (Operation Market Garden), ආර්නෙම් (Arnhem) නම් නෙදර්ලන්ත නගරයට ගොඩ බසින බ්‍රිතාන්‍ය පැරෂුට් භටයන් විසින් වෙල්බයික් භාවිතා කරනවා. තවද 1944 වසරේ ජූනි මාසයේදී සිදු කළ ඕවර්ලෝඩ් මෙහෙයුමේදීද වෙල්බයික් භාවිතා වෙනවා. රයින් ගංගාව තරණය කිරීමේ operation varsity සදහාද වෙල්බයික් භාවිතා කළද ඉන් අපේක්ෂිත තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ.

තවද යුධ සමයේ වෙල්බයික් භාවිතා කළ බ්‍රිතාන්‍ය පැරෂුට් බළකා ලෙස පළමු හා හයවන පැරෂුට් බලඇණි හඳුන්වා දිය හැකියි. පැරෂුට් බළකා වලට අමතරව මෙම යතුරුපැදිය මැරීන් සෙබළුන්ට හා කමාන්ඩෝ සෙබළුන්ට ලබා දී තිබෙනවා. ඔවුන් තම යතුරුපැදි සොල්දාදුවන් ප්‍රවාහනය කළ නෞකා වලම පටවාගෙන පැමිණි අතර ගොඩ බසින ස්ථානයේ සිට යුද්ධයට අවතීරණය වීම සදහා යතුරුපැදිය භාවිතා කරනවා.

වෙල්බයික් යතුරුපැදියේ දුර්වලතා

සිලින්ඩරාකාර ඇසුරුම (Revivaler)

සටන් භූමියට එක්කල පසු යතුරුපැදියේ හා එහි ක්‍රියාවලියේ විවිධ දුර්වලතා හඳුනාගැනීමට​ හැකිවෙනවා. සැලකිය යුතු බරකින් යුක්‍ත වූ වෙල්බයික් රැගෙන  යාමට සිදු වීම නිසා මෙහෙයුම් සඳහා තවත් ගුවන් යානා අවශ්‍ය වීමත්, පැරෂුට් භටයා යුධ බිමට පතිත වීමේදී අවශ්‍ය උපකරණ වලට අමතරව අතිරේකව වෙල් බයික් යතුරුපැදියද එල්ලාගෙන පොළවට පතිත වීමට සිදු වූ බැවින් එය පැරෂුට් භටයාට අමතර වෙහෙසක් වීමත්, භූමියට පතිත වූ පසුව යතුරුපැදිය නැවත එකළස් කිරීම තරමක් අපහසු කාර්යක් වූ හෙයින් ඒ සදහා අමතර වෙහෙසක් දැරීමට සිදු වීමත් වැනි කරුණු මෙහෙයුමට අවතීර්ණය වන පැරෂුට් සෙබළාට අවාසි සහගත විය.

තවද, ගුවනේ සිට පොළවට පතිත වන කාලය අතරතුර ලෝහ වලින් තනන ලද  යතුරුපැදි ආවරණය ඉතා තදින් රත් වීම හේතුවෙන් එය පැරෂුට් භටයාට විඳ​ දරා ගැනීමට සිදු වීම හා පතිත වීමෙන් පසුව එය විවර කිරීම සඳහාද විනාඩි කිහිපයක් බලා සිටීමට සිදු වීමත් ගැටළුවක් වුණා. සෙබලාගේ උසට සාපේක්ෂව යතුරුපැදියේ උස අඩු වීම හා අඟල් 10ක් පමණ උසකින් යුක්ත රෝද නිතරම මඩේ එරීමද මෙහි පැවති තවත් දුර්වලතාවයන් විය.

මෙම දුර්වලතා හේතුවෙන් පසු කාලයේදී එම යතුරුපැදිය යුධ මෙහෙයුම් සදහා භාවිතා නොකළ අතර බොහෝ සෙබළුන් විසින් භාවිතා කරන්නේ විශාල කදවුරු වටා හා මහා මාර්ග වැනි බාධක රහිත භූමි වල ගමන් කිරීමටයි.

යුද්ධයෙන් පසු

වෙල්බයික් යතුරුපැදියක් යුධ කෞතුකාගාරයක (RadioMuseum)

වෙල්බයික් විශාල ප්‍රමාණයක් යුද්ධයේදී විනාශ වූ අතර ඉතිරි වූ යතුරුපැදි වෙන්දේසි කර විකුණා දමනවා. පසුව මෙම කුඩා යතුරුපැදි ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව වැනි රටවල දකින්නට ලැබුණු අතර අද වන විට දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදනය කරන ලද වෙල්බයික් කිහිපයක් දකුණු අප්‍රිකාවේ යුධ ඉතිහාසය පිලිබඳ ජාතික කෞතුකාගාරයේ, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කෞතුකාගාරයේ හා බ්‍රිතාන්‍ය යුධ කෞතුකාගාරයේදී දැක ගැනීමට පුළුවන්.

කවරයේ ජායාරූපය – Pinterest

Related Articles