ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ ගමන් මග

මිනිසා පරිනාමය වීමත් සමග විවිධ දේ සෙවීමට පෙළඹුන අතර එහිදී සිදු කළ විශිෂ්ටතම සොයා ගැනීමක් ලෙස ගුවන් යානය හැඳින්වීමට පුළුවන් වෙනවා. අතීතයේ සිටම මිනිසා අහසින් ගමන් කිරීම සදහා සිහින මැවූ අතර ඒ සදහා විවිධ ක්‍රම ද අනුගමනය කර තිබෙනවා. එහෙත් පළමු ගුවන් යානය ලෙස සැලකෙන්නේ රයිට් සහෝදරයන් විසින් නිපදවූ යානය වූ අතර එය ඓතිහාසික ජයග්‍රහණයක් වුණා. ලාංකීය පුරාවෘතයන් වල ඊට පෙර සිටම ලාංකිකයන් ගුවන් ගමන් වල නිරත වී ඇති බව කියැවෙනවා. රාවණා රජු හා සම්බන්ධ පුරාවෘතයන් ඊට නිදසුන්. මේ පුරාවෘතයන් බොහෝ ඈත අතීතයේ තොරතුරු සඳහන් කළත්, ඒවා තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි හමු වී නොමැති නිසා රයිට් සහෝදරයන්ගේ සොයා ගැනීම ප්‍රථම ගුවන් ගමන බවට පත් වෙනවා. ලෝකයේ ප්‍රථම ගුවන් ගමනෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ ආරම්භය හා විකාශනය පිළිබඳව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.

wikipedia.org (මුල් කාලින ගුවන් යානයක පින්තුරයක්)

ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ ඉතිහාසය පිළිබඳව සලකා බලන විට එය 1911 වසර තරම් ඈත අතීතයකට දිව යනවා. 1911 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ කොලින් බ්‍රවුන් නැමැත්තෙකු විසින් ලංකාවට ගුවන් යානයක් නැව් මගින් ගෙන ආ අතර, එය අපේ රටේදී ගුවන් යානයක් දැකගන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව වෙනවා. එය බ්ලෑරියට් වර්ගයේ ගුවන් යානයක් වූ අතර මෙම ගුවන් යානය පියාසර කර නොමැති අතර එය මහජන ප්‍රදර්ශනය සදහා ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ සහ තවත් ස්ථාන කිහිපයකම ස්ථානගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුල දී පළමු සාර්ථක ගුවන් ගමන සිදු කර ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වූ මාර්ක් පෝප් විසින් වන අතර, ඒ 1912 වර්ෂයේ කොළඹ තුරඟ තරඟ පිටියේ දී වෙනවා. එහෙත් ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන් වලට සම්බන්ධ වූ වසර ලෙස ඉතිහාසයට එක් වන්නේ 1931 වර්ෂයයි. එම වසරේ මැයි මස 7 වන දින ගුවන් නැවියෙකු වූ නෙවිල් වින්සන්ට් බොම්බායේ සිට කොළඹ රාජකීය ගොල්ෆ් පිටියට “ ඩි හැව්ලන්ඩ් පස් මොත්” යානාව මගින් ගොඩ බැස්සීම වෙනවා.

militaryfactory.com (මුල් කාලින ගුවන් යානයක පින්තුරයක්)

1932 වසරේ දී එක්සත් රාජධානිය හා ඉන්දියාව අතර පවතී රාජකීය ගුවන් තැපැල් සේවාව ශ්‍රී ලංකාව දක්වා දීර්ග කිරීම සදහා සාකච්ඡා ආරම්භ වූ අතර, 1934 දී සෙනෙට් සභාව විසින් රත්මලානේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් සකස් කිරීම සදහා තීරණය වෙනවා. මේ අතර 1935දි නව ගුවන් යානා ධාවන පථයක් රත්මලානේ දී සකස් කර තිබෙනවා. එම රත්මලාන ගුවන්තොටුපොළේ කටයුතු 1936 වසරේ දී අවසන් වූ අතර ලංකා ගුවන් සමාජය විසින් මහජනතාව සඳහා ද ගුවන් සේවා ආරම්භ කර තිබෙනවා. රත්මලාන ගුවන් තොටුපොල එවකට ලංකාණ්ඩුවේ ආන්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් ඇන්ඩ්රු කැල්කොට් විසින් නිල වශයෙන් විවෘත කෙරුනේ 1938 වසරේ පෙබරවාරි මස 28 දිනයි. එම වසරේදීම රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ වශයෙන් වැඩ බැලීම සඳහා ද පත් කළ අතර ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් තැපැල් සේවය ද ආරම්භ කර තිබෙනවා. ඉන් වසරකට පෙර, එනම්, 1937 වසරේ දී දේශීය ගුවන් සංසරණ නීති හදුන්වා දෙනු ලැබූ අතර දේශීය ගුවන් යානා ලැයිස්තුවේ ගුවන් යානා තුනක් ලියාපදිංචි කර තිබෙනවා. මේ අතර 1939 වසරේදී පුත්තලම පාලවී ගුවන් ධාවන පථය අමතර හා හදිසි ගොඩබැස්සවිමේ ගුවන් පථයක් ලෙස නිර්මාණය කර ඇති අතර මෙය දෙවැනි ලෝක යුද්ධයේ දී බොහෝ ප්‍රයෝජනවත් වී තිබෙනවා. මෙලෙස ශ්‍රී ලංකාව තුල ගුවන් ගමන් ආරම්භ වූ අතර එය සීග්‍රයෙන් වර්ධනය වී තිබෙනවා. 1945 දී “ලෑන්කැස්ට්‍රියන්” ගුවන් සේවාව එක්සත් රාජධානියේ සිට කොළඹ හරහා ඔස්ට්‍රේලියාවට ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

lanka.com (රත්මලාන ගුවන්තොටුපොළේ මුල්කාලීන ස්වරුපය දැක්වෙන පින්තුරයක්)

එසේම ලංකා ගුවන් සේවයේ වැදගත් සංදිස්ථානයක් ලෙස 1946 වසරේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව පිහිටුවීම හදුනාගත හැකි වෙනවා. එසේම රත්මලාන ගුවන්තොටුපොළ සිවිල් ගුවන් කටයුතු සදහා ලබා ගැනීම ද සිදු වී තිබෙනවා. එම වසරේදීම සිදු වූ තවත් සුවිශේෂී සිදුවිමක් වන්නේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු වූ ජේම්ස් පීටර් ඔබේසේකර මහතා විසින් පදවන ලද ගුවන්යානයක් අප දිවයිනට ලගා වීමයි. එසේම 1947 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස “එයාර් සිලෝන්” ගුවන් සමාගම සන්නිවේදන සහ වැඩ අමාත්‍යාංශය යටතේ පිහිටවනු ලැබුණා. මෙම සමාගම සදහා “සීතා දේවි”, විහාරමහා දේවි”, හා “සුනේත්‍රා දේවි” යනුවෙන් නම් කළ ඩි.සි. 3 වර්ගයේ ගුවන් යානා තුනක් භාවිතා කර තිබෙනවා.

lanka.com (බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පින්තුරයක්)

ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ ජුනි මස පළමු වන දින ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් අතර, එමගින් ලංකාව ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා වන “චිකාගෝ සම්මුතිය” ට එකඟතාවය පල කර තිබෙනවා. 1949 වසරේ දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් සමග එයාර් සිලෝන් එක් වූ අතර ඉන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා වල ආරම්භය සනිටුහන් වුණා. එසේම 1950 වසරේ දී අංක 15 දරන ශ්‍රී ලංකාවේ ගුවන් සංසරණ පනත සම්මත වීම ද විශේෂත්වයක් වන අතර එම වසරේදී ලංකා ගුවන් සේවා පුහුණු පාසැල ආරම්භ කිරීමත් සිදුවුණා. තව ද, එතෙක් බ්‍රිතාන්‍ය රජය යටතේ පැවති කටුනායක ගුවන්තොටුපොළ 1957 වසරේ දී ලංකා රජයට භාරදෙනු ලැබූ අතර 1959 වසරේ සිට එහි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. එසේම 1960 දී ලංකාවේ පළමු දේශීය පෞද්ගලික ගුවන් සමාගම වන “උපාලි එයාර්” සමාගම අරඹන ලද අතර ඒත් සමඟම පෞද්ගලික ගුවන් සමාගම් ආරම්භ වීමට ද පටන් ගෙන තිබෙනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවාව ක්‍රමිකව වර්ධනය වෙමින් වර්තමානයේ දී පවතින තත්ත්වය දක්වා වර්ධනය වී තිබෙනවා.

figcoholidays.com (වර්තමානේ ශ්‍රී ලංකා ගුවන් සේවය සපයන ගුවන් යානයක පින්තුරයක්)

එසේම 1974 වසරේදී ලාංකීය ගුවන් ක්ෂේත්‍රයේ එදා මෙදා තුරාවට සිදු වූ විශාලම ඛේදවාචකය ලෙස ඩි.සි. 8 වර්ගයේ ගුවන් යානයක් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීම නිසා සම්පුර්ණයෙන්ම විනාශ වීම හඳුනා ගැනීමට පුළුවන. ඊට අමතරව ගුවන් සේවා ඉතිහාසය ආශ්‍රිතව අනතුරු කිහිපයක්ද හඳුනා ගැනීමට හැකි අතර මේ වන විට ලාංකිකයන් ලෝකය හා සම්බන්ධ වන ප්‍රධානතම මාධ්‍යය වන්නේ ගුවන් සේවයයි.

කවරයේ පින්තුරය: elefantinoviaggi.il

මුලාශ්‍ර:

Related Articles