Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අභිමානවත් ක්‍රිකට් ජාතියකට අඩිතාලම දැමූ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ජයග්‍රහණය

ක්‍රි.ව 1982 පෙබරවාරි 17 වෙනිදා ඇරඹුණු ශ්‍රී ලාංකීය ටෙස්ට් වංශකතාවට මේ වන විට වයස අවුරුදු 35 කටත් වැඩියි. අද වන විට වරෙක ලෝකයේම 2වන ටෙස්ට් කණ්ඩායම වී ඇති අපි ටෙස්ට් තරග 258 කට මුහුණ දී ඉන් 81ක් ජයග්‍රහණය කර ඇති ප්‍රෞඪ ටෙස්ට් ජාතියක්. මේ සුළු කාලය තුළදී ලෝකය එදා මෙදා තුර දුටු විශිෂ්ටම ටෙස්ට් පන්දු යවන්නාද, මේ ශතවර්ෂය මේ වන තුරු දුටු හොඳම ටෙස්ට් පිතිකරුවාද බිහි කළ අපි ලොව විශිෂ්ටම ටෙස්ට් සබඳතාව, ලොව ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු වැනි ලෝක වාර්තාද අත්පත් කරගැනීම ගැන නිරහංකාරව සතුටු විය යුතුයි.

නමුත් මේ ජයග්‍රහණ සියල්ලටම ඇරඹුමක් තිබෙනවා. ලොව ඕනෑම ටෙස්ට් ජාතියකට සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය අත් කර ගැනීම සැබවින්ම අභියෝගයක්. එක්දින හෝ ටී 20 තරග මෙන් නොව, ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට දක්ෂතාවය, ඉවසීම, අත්දැකීම්, අවස්ථානෝචිත ප්‍රඥාව, වාසනාව, ආක්‍රමණශීලී බව වැනි ගුණාංග රාශියක් අවශ්‍ය වෙනවා. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැසගෙන තිබුණද ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමේ හැකියාව ලබා ගැනීමට නම් ඉතාම දිගු කාලයක් ගත වනු ඇතැයි 1981 දී ටෙස්ට් වරම් ලැබුණු පසු විචාරකයෝ මත පළ කළා. ඒ කතා වල සත්‍යතාවයක් ඇති බව පසක් කරමින් 1982-1985 කාලය ඇතුලත එකල ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ අත දරුවන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුණේ නෑ. විශේෂයෙන්ම එක් වරක් ටෙස්ට් වරම් ලබා නොබෝ කලෙකින්ම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ජයක් එලිපත්තටම පැමිණි ලාංකික කණ්ඩායමට එය අහිමි වන්නේ අත්දැකීම් මඳ බව නිසා.

තරගයට පිවිසුම

ශ්‍රී ලංකා නායක දුලීප් මෙන්ඩිස්-pinterest.com

1985 අග භාගයේ ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමේ අරමුණින්. මේ වන විට ඉන්දියාව එක්දින ලෝක ශූරයන්ව සිටි අතර 1932 පටන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරමින් අවුරුදු 53 ක ටෙස්ට් අත්දැකීම සහිතව සිටි අති ප්‍රබල කණ්ඩායමක්. ඔවුන්ගේ ලෝක ශූර නායකයා වන කපිල් දේව් විසින් ටෙස්ට් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර ශ්‍රී ලංකාව ඒ වන විට ටෙස්ට් තරග 12 කට පමණක් සහභාගී වී සිටි නවක කණ්ඩායමක්. ශ්‍රී ලංකාව දුලිප් මෙන්ඩිස් විසින් මෙහෙයවන්නට යෙදුණු අතර ඉන්දියාවේ බලාපොරොත්තුව වුණේ ඉතාම පහසු ටෙස්ට් ජයග්‍රහණ 3ක් සිය සාක්කුවේ දමා ගැනීමයි. ඔවුන්ට ඇති වූ එකම ප්‍රශ්ණය වූයේ ‘ඉනිමකින්’ ජයග්‍රහණ කීයක් ලබාගත හැකි වෙයිද යන්නයි.

ඉන්දියානු නායක කපිල් දේව් -cricketcountry.com

ඉන්දියානුවන්ගේ සිහිනය හිතන තරම් ලෙහෙසියෙන් උදා කර දී මට තමන් සූදානම් නැති බව ඔප්පු කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී පිටියේ පැවති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගන්නවා. එහිදී ඉනිම් දෙකේදීම ඉන්දියාව ලකුණු 300ට අඩුවෙන් දවා ගන්නා ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 347ක් ලබා ගන්නවා. පන්දු ‍යැවීමෙන් දස්කම් දැක්වූ අසන්ත ද මැලුත්, රුමේශ් රත්නායකත් සිය මංගල තරගය ක්‍රීඩා කරන සාලිය අහංගමත් ඉන්දියානුවන්ගේ ඇස් රතු කරන්නේ ලාංකීය වේග පන්දුවේ මහිමය ලොවට කියා පාමින්. මනරම් ශතක දෙකක් රැස් කළ රන්ජන් මඩුගල්ලේ හා විසි එක් වියැති අර්ජුන රණතුංග ශ්‍රී ලාංකික ඉනිම වර්ණවත් කරනවා. මෙසේ වැඩි ගෞරව සහිතව පළමු ටෙස්ට් තරගය නිමා කරගන්න ශ්‍රී ලංකා පිළට ලෝක ශූරයන් ඉදිරියේ පෑ එම දක්ෂතාවය තරගය ජයග්‍රහණය කිරීම හා සමාන වුණා. ඒ කාලයේ සිහිනයක්ව පැවති ටෙස්ට් ජයග්‍රහණයක් නොලැබුණේ  මුත් මේ ‘වැඩි ගෞරව සහිතව ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීම’ ශ්‍රී ලාංකිකයන් සතුටින් සැමරූ අතර ජාත්‍යන්තරයේද ඇගයීමට ලක් වුණා.

1985 සැප්තැම්බර් 6 වෙනිදා දෙපිල කොළඹ පී. සරවනමුත්තු පිටියේදී මුණගැසෙන්නේ පළමු ටෙස්ට් තරගයෙන් පසු එක් විවේකී දිනයක් පමණක් ගත කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක සංජීව වීරසිංහ කැඳවා තිබුණු අතර නායකත්වය දුලිප් මෙන්ඩිස්ට පැවරී තිබුණා. පිතිකරුවන් වශයෙන් සිදත් වෙත්තමුණි, අමල් සිල්වා, රන්ජන් මඩුගල්ලේ, රෝයි ඩයස්, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා නම් කර තිබුණු අතර රුමේශ් රත්නායකත් සාලිය අහංගම හා අසන්ත ද මැලුත් වේගපන්දුව සඳහා නම් කර තිබුණා. ඉන්දියාව සුපුරුදු පරිදි කපිල් දේව්ගේ නායකත්වයෙන් හා ක්‍රිෂ්ණචාමරී ශ්‍රීකාන්ත්, මොහොමඩ් අසාරුඩීන්, දිලිප් වෙන්සාකර්, මොහන්දීර් අමරනාත්, රවී ශාස්ත්‍රී හා සුනිල් ගවස්කාර් වැනි ලෝක ප්‍රසිද්ධ පිතිකරුවන්ගෙන් ද චේතන් ශර්මා හා ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන් වැනි දක්ෂ පන්දු යවන්නන්ගෙන් ද සන්නද්ධ අති ප්‍රබල කණ්ඩායමක් වුණා.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කරයි

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් විසින් මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනවා.පළමුවැනි දිනයම ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන්නේ ඉතාම සෙමෙන් ගලා ගිය ශ්‍රී ලංකා පළමු ඉනිමයි. දිනය නිමා වන විට ඉතාම සෙමෙන් නමුත් ස්ථාවට තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව කඩුළු 1 ක් දැවී ලකුණු 168ක් රැස් කර ගෙන තිබුණේ නැවතත් ජය පැරදුමෙන් තොර ටෙස්ට් තරගයක් වෙත යාමේ ලකුණු පෙන්නුම් කරමින්. මේ වන විට ආරම්භක පිතිකරු අමල් සිල්වා හා රන්ජන් මඩුගල්ලේ පිටියේ නොදැවී රැඳී සිටියා.

රන්ජන් මඩුගල්ලේ අද ලෝකයේ විශිෂ්ටතම තරග තීරක වරයෙක්-icc-cricket.com

ක්‍රීඩාශීලී දෙවන තෙවන හා තෙවන දින

දෙවන දිනයේ ආරම්භය ශ්‍රී ලාංකිකයන්ට සතුටුදායක එකක් වෙන්නේ අමල් සිල්වා ශතකයකුත් (111) රන්ජන් මඩුගල්ලේ අර්ධ ශතකයකුත් (54) ලබා ගන්නා නිසා. මීට අමතරව නායක දුලිප් මෙන්ඩිස් අර්ධ ශතකයකිනුත් (51) තාක්ෂණයෙන් පරිපූර්ණ රෝයි ඩයස් ලකුණු 95 කිනුත් ශ්‍රී ලාංකීය ඉනිම සරසනවා. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ අවසාන භාගය කඩා වැටීමකට ලක් වෙන්නේ අවසාන කඩුලු 6ම ලකුණු 17 කට බිඳ වැටෙමින්. ශ්‍රී ලංකා පළමු ඉනිම සතුටු දායක ලකුණු සංඛ්‍යාවක් වන 385 කට සීමා වෙනවා. දෙවනි දිනය නිමා වන්නේ තරගය තව දුරටත් ශ්‍රී ලංකාව දෙසට තල්ලු කරමින් ඉන්දීය පළමු ඉනිමේ මුල් කඩුළු තුනම ලකුණු 6ක් වැනි සංඛ්‍යාවකට බිඳ වැටෙමින්.

තුන් වැනි දිනය ආරම්භ වන විට ලාංකීය පිළ ඉන්දියානු පළමු ඉනිම ඉතා අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට සිහින මවනවා. නමුත් අත්දැකීම බහුල ක්‍රිෂ් ශ්‍රීකාන්ත් හා සුනිල් ගවස්කාර් එක්වී බිඳ වැටුණු ඉන්දීය ඉනිම නැවත ගොඩ ගනන්වා. දෙදෙනාම අර්ධ ශතක ලබාගන්නා අතර තුන් වන දිනය නිමා වන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වෙන්නේ කඩුළු 6 ට ලකුණු 210 ක් හැටියටයි.

විවේක දිනයෙන් පසු ක්‍රීඩා කළ සිවු වැනි දිනය

තරගයේ සිවු වැනි දිනයට පෙර උදා වූ සැප්තැම්බර් 9 වෙනිදා විවේක දිනයක්. සැප්තැම්බර් 10 වෙනිදා සිවු වැනි දිනය සඳහා පිටියට බට ඉන්දියානුවන්ගේ අභිප්‍රාය වන්නේ හැකිතාක් දුරට සිය පළමු ඉනිම ඇදගෙන යාමයි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුවට වැට කඩුළු බඳිමින් ක්‍රියාත්මක වන ලාංකීය වේගපන්දු බල ඇණිය ඉන්දීය පළමු ඉනිම ලකුණු 244 කට සීමා කරනවා. රුමේෂ් රත්නායක කඩුළු 4ක්ද, නවක ක්‍රීඩක සාලිය අහංගම කඩුළු 3ක් ද අසන්ත ද මැල් කඩුළු 2ක් ද දවාගෙන ඉන්දීය ඉනිම සුණු විසුණු කරනවා.

අරවින්ද, අර්ජුන, රන්ජන් මඩුගල්ලේ හා රුමේෂ් රත්නායක පළමු ටෙස්ට් ජයග්‍රහණයට උර දුන් සිවු දෙනෙක්-cricketcountry.com

ලකුණු 141ක විශාල පළමු ඉනිමේ වාසියක් සමඟ දෙවනි ඉනිම සඳහා පිටියට බසින ශ්‍රී ලාංකික පිතිකරුවෝ බලාපොරොත්තු වෙන්නේ වේගයෙන් ලකුණු රැස් කර හොඳ ලකුණු සංඛ්‍යාවකට ගොස් හැකි ඉක්මණින් දෙවනි ඉනිම සඳහා ඉන්දියානුවන්ව කැඳවීමටයි. ඒ බලාපොරොත්තුව සාර්ථක කර ගන්නා ඔවුන් පන්දු ඕවර 53ක් තුළ ලකුණු 206ක් ලබා ගන්නේ කඩුළු 3ක් පමණක් දැවී. ඉන්දියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ විසි හැවිරිදි අරවින්ද ද සිල්වා (75) හා රෝයි ඩයස් (60 නොදැවී ) අර්ධ ශතක දෙකක් ලබා ගන්නේ ලකුණු 348 ක ජයග්‍රාහී ඉලක්කයක් ප්‍රතිවාදීන්ට දිනය නිමාව ආසන්න වන විට ලබා දීමට හැකි ලෙසයි. දිනයේ අවසන් භාගයේදී නැවත පිටියට බසින්නට සිදු වෙන ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දිනය නිමා වන විට සිය කඩුළු ආරක්ෂා කර ගත්තද ලකුණු ලබා ගන්නේ 16ක් පමණයි.

ශ්‍රී ලංකාවට සොම්නස ගෙනා අවසන් දිනය

තරගයේ අවසාන දිනය වන විට ජයග්‍රහණයේ සේයා ශ්‍රී ලංකා ක්ණ්ඩායම වෙත වැටී තිබුණත් ඉන්දීය කණ්ඩායමේ අත්දැකීමුත්, ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර ටෙස්ට් ජයක් නොලබා තිබීමත් නිසා බොහෝ විචාරකයන් පෙරැයීම් කළේ ජය පරාජයෙන් තොර තීරණයක් තරගය අවසානයේ ලැබේ යයි කියායි. නමුත් පස්වන දින ආරම්භයේදීම ඉන්දීය පිතිකරුවන් 4 දෙනෙක්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලාංකීය වේග පන්දු යවන්නන් සමත් වෙනවා. ලකුණු පුවරුව 84 ට 4ක් ලෙස සටහන් වූවත් ඒවන විටත් වැඩි බර තිබුණේ තරගය ජය පරාජයෙන් තොර වන පැත්තටයි. නමුත් එක් වරම ශ්‍රී ලංකා පිළේ වේගපන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක දෙවරක්ම ක්‍රියාත්මක වී ගවස්කාර් හා අමරනාත් ක්‍රීඩාගාරය වෙත හරවා යවනවා. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ක්‍රියාත්මක වන සාලිය අහංගම රවි ශාස්ත්‍රී ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නේ ඉන්දියානුවන් අන්ත අසරණ කරමින්. මේ වන විට ලකුණු පුවරුව 97-8 ක් ලෙස දිස් වූ අතර දුර්ලභ ටෙස්ට් ජයග්‍රහණයක මිහිරි සිහින වලින් ශ්‍රී ලංකා කණ්ඩායමද ප්‍රේක්ෂකයන්ද අමන්දානන්දයට පත් වී සිටියා නිසැකයි.

ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන්-wisdenindia.com

නමුත් මේ අවස්ථාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවය කියා පාමින් ඉන්දියාව වෙනුවෙන් ඔවුන්ගේ නායක කපිල් දේව් සටන්කාමී ඉනිමක් ගොඩ නඟන්නට පටන් ගන්නවා. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දොම්නසට ඇද දමමින් ඔහු ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන් සමඟ එක් වී 8 වෙනි කඩුල්ලට ලකුණු 70 ක සබඳතාවයක් දියත් කරන්නේ සෑහෙන්නට පන්දුද වැය කරමින්, ශ්‍රී ලාංකීය ටෙස්ට් ජයග්‍රහණ සිහිනය මඳින් මඳ බොඳ කරවමින්. අවසානයේ ඉතාම තීරණාත්මක අවස්ථාවක ක්‍රියාත්මක වන අසන්ත ද මැල් ශිවරාමක්‍රිෂ්ණන් ව දවාගන්නවා. වැඩි වේලා යන්නට පෙර 9 වෙනි කඩුල්ලද අහංගම විසින් ලබා ගන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු නැවතත් දල්වමින්.

සිහිනය සැබෑ වෙයි

ජයග්‍රාහී මොහොත -youtube.com

අවසාන කඩුල්ල හිතූ තරම් ඉක්මණින් ලබා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වන්නේ නෑ. අවසාන පිතිකරු වන චේතන් ශර්මා සමඟ තවත් ලකුණු 30 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඉන්දීය නායක කපිල් දේව් සමත් වෙන්නේ ලාංකීය පන්දු යවන්නන් වෙහෙසටත් කනස්සල්ලටත් පත් කරමින්. එහෙත් අවසානයේ ඒ ස්වර්ණමය මොහොත උදා වෙනවා. රුමේෂ් රත්නායක එවූ පන්දුවක් හරි හැටි තෝරා බේරා ගත නොහැකි වූ කපිල් දේව් ඩ්‍රයිව් පහරකට උත්සාහ කරනවා. පන්දු යැවූ රුමේෂ් එක් වරම දකින්නේ නොසිතූ ලෙස තම පසෙකින් පපුව මට්ටමින් පමණ ඉහළකින් ඇදී යන පන්දුවයි. වහා ඒ දෙසට පනින ඔහු සිය සුරතින් සුරැකිව එම උඩපන්දුව රැක ගන්නවා. දේව්ලකුණු 78කට ඉන්දීය පිළේ අවසන් කඩුල්ල ලෙස දැවී යනවා. ප්‍රේක්ෂක ඔල්වරසන් මැද්දේ ශ්‍රී ලංකා පිළට ලකුණු 149ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබෙන්නේ අනාගතයේ ක්‍රිකට් වංශ කතාව උඩු යටිකුරු කරන ජාතියක ආරම්භක වෙඩිමුරය ලෝකයා හමුවේ තබමින්.

https://www.youtube.com/watch?v=ZzjADrcppzg – (රුමේෂ් රත්නායක ජයග්‍රාහී උඩපන්දුව රැකගනිමින්- youtube.com)

ශ්‍රී ලාංකීය ටෙස්ට් ජයග්‍රහණ වංශ කතාව ඇරඹුණු වගයි

batsman.com

ලාංකීය ජනතාව මේ ටෙස්ට් ජයග්‍රහණයත් සමඟ ප්‍රීතියෙන් ඇළලෙනවා. එවලට ශ්‍රී ලංකා ජනපති ජේ. ආර් ජයවර්ධන මැතිඳුන් ඊට පසු දින රජයේ නිවාඩුවක් බවට පත් කරනවා. තෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නා ශ්‍රී ලංකා පිල තරගාවලිය 1 ට 0ක් ලෙස ජයගන්නේ ඉන්දියානුවන්ට අනපේක්ෂිත පරාජයක් ගෙන දෙමින්.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ රටේ ජනතාවගේ තිබූ උනන්දුව දෙගුණ තෙගුණ වෙනවා. විශේෂයෙන්ම ගම් නියම් ගම් වල දෙමව්පියන් සිය දරුවන් ක්‍රිකට ක්‍රීඩාවට යොමු කරනවා. සනත් ජයසූරිය වැනි ග්‍රාමීය පසුබිමින් පැමිණි විශිෂ්ටයන් ලංකාවට හමු වෙන්නේ එලෙසින්. එදා ක්‍රිකට් ලොව අත දරුවන් වූ මේ පුංචි දිවයින 1985 ගත් එම පන්නරයෙන් ඊට අවුරුදු 11 කට පසු 1996 දී ජගත් එක්දින ලෝක ශූරයන් ලෙස කිරුළු පළඳින්නේ ක්‍රිකට් ලොව පතාක යෝධයින් වන ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් අභිබවමින්.

1- (කවරයේ පින්තූරය – espncricinfo.com)

මූලාශ්‍ර

  1. espncricinfo.com
  2. cricketcountry.com

Related Articles