කවුරුත් දන්නා පොලිසිය ගැන වැඩිදෙනෙකු නොදන්නා කරුණු

සිය ජිවිත කාලය තුළ එක වරක් හෝ පොලිසියකට ගොස් නැති අයෙකු අප අතර නොමැති තරම් ය. නමුත් වර්තමාන සමාජයේ ඉතාමත් අතලොස්සක් පොලිස් නිලධාරීන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා සමාජයේ පොලිසිය පිළිබඳව තරමක අසුභවාදී ආකල්පයක් ඇතිවී තිබෙන බව ද නොරහසකි. යන එන මඟ දිනපතා පොලිස් නිලධාරීන් දුටුව ද, ඉඳහිට පොලිසිය සමග සම්බන්ධතා පැවැත්වීමට අපට සිදුවුව ද, පොලිසියේ ආරම්භය සිදුවූයේ කෙසේ ද, සහ වර්තමානය දක්වා එහි විකාශනය කෙසේ සිදුවූයේ ද යන්න ගැන බොහෝදෙනෙකු දැනුවත් නැත. ඉතින් මෙම ලිපියේ ලියවෙන්නේ පොලිසියේ ආරම්භය සහ එය ක්‍රමයෙන් විකාශනය වෙමින් වර්තමාන තත්ත්වයට පැමිණි ආකාරය යි.

ලංකාවේ පොලිසියේ ඇරඹීම

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශය යටත්කරගෙන සිටියත්, පෘතුගීසින් මෙරට සිවිල් පරිපාලනයේ විශාල වෙනස්කම් සිදුකිරීම පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් ඔවුන්ගෙන් පසු ලන්දේසින් ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමත් සමග පොලිසිය සම්බන්ධ මූලික සංකල්පය ඉහළ පෙලේ නිලධාරීන් අතර සාකච්ඡා කෙරුණි. ඒ අනුව වර්ෂ 1659 දී පමණ කොළඹ මහා නගර සභාව, රාත්‍රී කාලයේ නගරයේ ආරක්ෂාව සඳහා ආරක්ෂකයින් පත්කිරීමට වන යෝජනාවක් සම්මත කරගත් අතර, ඒ අනුව සෙබළුන් හතරදෙනෙකු නගරය පුරා සැරිසරමින්, එය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා පත්කර ගැනිණි.

roar.media

 

මෙරට ප්‍රථම පොලිස් ස්ථාන කිහිපය ගොඩනැගීමේ ගෞරවය ද ලන්දේසීන්ටම හිමි වේ. ඔවුන් කොළඹ කොටුවට ඇතුළුවන උතුරු දොරටුවේ එක පොලිස් ස්ථානයක් ද, කොටුව සහ පිටකොටුව සම්බන්ධ කරන මාර්ගය අසල තවත් පොලිස් ස්ථානයක් ද, පිටකොටුව කයිමන් දොරකඩ අසල තවත් පොලිස් ස්ථානයක් ද වශයෙන් පොලිස් ස්ථාන තුනක් පමණ පිහිටුවන ලදී. ඊට අමතරව වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය පිහිටා ඇති ප්‍රදේශයේ පිහිටා තිබූ ලන්දේසි නිලධාරියෙකුගේ කාර්යාලයක් ද පොලිස් ස්ථානයක් වශයෙන් සේවා සපයන ලදී.

ඉංග්‍රීසි යුගය

1796 වසරේ දී ලන්දේසින්ගෙන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගැනීමට ඉංග්‍රීසින්ට හැකිවූ අතර, ඉන් ටික කලක් යනතුරු රටේ නිතිය සහ සාමය පවත්වාගැනීමට අදාළ කටයුතු සිදුකරනු ලැබුවේ හමුදාව යි. 1797 දී එවකට අහෝසි කර තිබූ ෆිස්කල් කාර්යාලය නැවතත් ස්ථාපනය කෙරුණු අතර, එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නොර්ත් පොලිසිය අධීක්ෂණය කිරීමේ කාර්යයභාරය මහේස්ත්‍රාත්වරුන්ට සහ “පොලිස් විනිසුරුවරුන්” යනුවෙන් හැඳින්වූ නිලධාරීන්ට භාරදුන්නේ ය.

1805 වසරේ දී පොලිසියට අයත් රාජකාරි පැහැදිලිව නිර්වචනය කෙරිණි. ජනතාවගේ ආරක්ෂාව, සුවපහසුව සම්බන්ධ කරුණුවලට අමතරව අපරාධ වැලැක්වීම සහ නීතිය හා සාමය පවත්වාගෙන යාමට අදාළ කටයුතු ද පොලිසියට පවරන ලදී. 1806 වසරේ දී හඳුන්වා දුන් පනතක් හරහා කොළඹ නගරය කොට්ඨාශ 15කට බෙදනු ලැබූ අතර ඒ ඒ කොට්ඨාසය අධීක්ෂණය කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයෙකු බැගින් පත් කරන ලදී. ඊට අමතරව මෙම වසරේ දී සෑම ගමකටම එක් පොලිස් විදානේවරයෙකු බැගින් පත් කෙරුණු අතර, ඔහුගේ කාර්යභාරය වූයේ ගම තුළ නිතිය සහ සාමය පවත්වාගෙන යාම යි.

Lankabusinessonline.com

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ පළමු මරණය 1864 වසරේ දී සිදුවූ අතර පොලිස් වාර්තාවලට අනුව එම මරණය සිදු වී ඇත්තේ ‘සරදියෙල්’ නම් තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ය. ඔබ අප කවුරුත් දන්නා ‘උතුවන්කන්දේ සරදියෙල්’ අත්අඩංගුවට ගැනීමට මාවනැල්ලේ පිහිටි උතුවන්කන්දට යාමේ දී එම මරණය සිදුවූ අතර එය මෙරට ඉතිහාසයේ රාජකාරියේ දී සිටිය දී පොලිස් නිලධාරියෙකු මිය ගිය පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

වර්තමාන පොලිස් සේවයේ ආරම්භය

රට තුළ පොලිස් සේවය ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාව සහිත නිලධාරියෙකු සොයමින් සිටි එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඒ සඳහා ඉන්දියාවේ සහාය පැතුවේ ය. එවකට බොම්බායේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ඉංග්‍රීසි නිලධාරියා ඉන්දියාවේ රත්නගිරි ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා වශයෙන් සේවය කරමින් සිටි ජී. ඩබ්ලිව්. ආර්. කැම්බල් එම රාජකාරියට නිර්දේශ කළේ ය. ඒ අනුව කැම්බල් එම තනතුර සඳහා තෝරාගැනුණු අතර 1866 වසරේ සැප්තැම්බර් මස 03 දින ඔහු ලංකාවේ ප්‍රධාන පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි භාරගත්තේ ය. ඊට වසරකට පමණ පසු, එනම් වර්ෂ 1867 දී, පොලිස් සේවාව පිළිබඳව වූ පනතට සංශෝධනයක් සිදුකිරීම මඟින් ප්‍රධාන පොලිස් අධිකාරී තනතුර “පොලිස්පති” ලෙස වෙනස් කරනු ලැබූ අතර, එය වර්තමාන පොලිස් සේවයේ ආරම්භය ලෙස හඳුන්වනු ලබයි. පොලිසිය කාර්යක්ෂම ආයතනයක් ලෙස සංවිධානය කිරීම සඳහා කැම්බල් සුවිශේෂී කාර්යභාරයක් සිදුකළේ ය.

පොලිස් නිලධාරීන්ගේ පැරණි ඡායාරුපයක්/lankapura.com

1867 වසරේ දී පොලිස් මුලස්ථානය ද පිහිට වූ අතර, ඒ සඳහා තෝරාගනු ලැබුයේ මරදාන ප්‍රදේශය යි. 1870 වසරේ දී කැරලිකරුවන් පිරිසක් පොලිස් මූලස්ථානයට පහරදුන්හ. ප්‍රහාරය මැඬපැවැත්වීමට පොලිසිය සමත් වූ නමුත් පොලිස් මූලස්ථානයේ ගොඩනැගිල්ලට හානි සිදුවිය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ද (CID) පිහිටුවන ලද්දේ මෙම වසරේ දී ය. 1882 වසරේ දී රෝද තුනකින් යුතු බයිසිකල් දෙකක් පොලිසිය සඳහා ලබාගත් අතර එය මෙරට පොලිසියට වාහනයක් හිමිවූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වේ. 1892 වසරේ දී පොලිස් නිලධාරීන්ට නොමිලේ නිල ඇඳුම් ලබාදීම සහ නවාතැන් පහසුකම් සැපයීම ආරම්භ වූ අතර යහපත් කල්ක්‍රියාව සඳහා වන විශේෂ දීමනාවක් ද හඳුන්වා දෙනු ලැබිය.

පසුකාලීනව අගවිනිසුරුගේ ලේකම් ලෙස කටයුතු කළ තෝමස් ඔස්වින් කොළඹ පළමු පොලිස් අධිකාරී ලෙස පත්කෙරිණි. ඊට අමතරව පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනෙක්, පොලිස් සැරයන්වරුන් දසදෙනෙක්, සහ ලිපිකරුවන් 150ක් ද පත්කරන ලදී. ඌව භාර දිසාවේ ලෙස කටයුතු කළ ලොකුබණ්ඩා දුනුවිල දිසාව මහනුවර භාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරන ලදී. දුනුවිල දිසාව ප්‍රථම ශ්‍රී ලංකික පොලිස් අධිකාරිවරයා ලෙස ද ඉතිහාසයට එක්වේ. 1847 වසරේ දී එවකට පැවැති තනතුරුවලට අමතරව පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක තනතුරු ද පිහිටුවන ලදී.

මෑත අතීතය

පොලිස් නිල ඇඳුමේ විකාශනය/Sunday Observer

1947 ජුනි මස 01 වන දින රිචඩ් අලුවිහාරේ පොලිස්පතිවරයා ලෙස පත්වූ අතර, ඔහු මෙරට පළමු ලාංකික පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක්විය. 1948 වසරේ නිදහස ලැබීමත් සමග ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පැවැති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කෙරුණු අතර, යටත්විජිත සංකල්ප මත ක්‍රියාත්මක වූ පොලිසිය දේශීය ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා පොලිස්පති අලුවිහාරේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළේ ය. ඔහු සුබසාධනය, විමර්ශන, අපරාධ හඳුනාගැනීම සහ වැලැක්වීම වැනි නව අංග පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වාදීම සඳහා කටයුතු කළේ ය. 1952 දී ප්‍රථම වරට පොලිසියට කාන්තාවන් බඳවාගනු ලැබිණි.

පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ රථවාහන සහ මාර්ග ආරක්ෂණ අංශය පිහිටවූ අතර, පසුකාලීනව පොලිසියට අනුබද්ධ තවත් ආයතන ගණනාවක් ද පිහිටවනු ලැබීය. මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරුන් 35ක් පමණ සේවය කර තිබෙන අතර 35 වැනි පොලිස්පතිවරයා ලෙස චන්දන ඩී. වික්‍රමරත්න පසුගිය දා පත් විය.

මූලාශ්‍රයයන්: police.lk

military.wikia.org

කවරය: police.lk

Related Articles