පරංගි හමුදාවලට බැටදුන් අපේ බලගතු කාලතුවක්කු

අදත් ලංකාවේ හදන තුවක්කු ගැන පොලිස් වාර්තාවල ඉඳහිට කියැවෙනවා. ඒ, පාතාලෙ මැරයො හදන ගල්කටස් නීතිවිරෝධී තුවක්කු ගැන. හැබැයි රජ කාලෙ අපි තුවක්කු විතරක් නොවෙයි කාලතුවක්කු පවා කම්මල්වල හදලා තියනවා. ඒවායින් වෙඩි තියලා පරංගි ඇතුළු විදේශ ආක්‍රමණිකයන් මෙල්ල කරලත් තියනවා. අන්න ඒ කතාව සොයා ගිය උත්සාහයක් තමයි මේ.

අතීත තොරතුරු

තුවක්කු භාවිත කරන උඩරට සිංහල හමුදාව – Divaina.Com

1917 දී ලියවී තිබෙන “පුරාණ ගිනිකෙළි මල්දම” නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි ගෙන්දගම්, වෙඩි ලුණු ආදිය යොදා ගෙන සිංහලයන් අපූරුවට මල් වෙඩි නිපදවා තිබෙනවා. මේ ඒ තාක්‌ෂණය ගැන කියවුණු ජන කවියක්: 

කොටස්‌ අටක්‌ වෙඩි ලුණු ගෙන ගලලා අඹරන්නේ

කොටස්‌ දෙකක්‌ ගන්දක ගෙන ඊපිට ලා අඹරන්නේ

කොටස්‌ එකක්‌ හිරියල් ගෙන ඊ පිට ලා අඹරන්නේ

කොටස්‌ දෙකක්‌ අංජන ගෙන ඊ පිට ලා අඹරන්නේ

මෙම දැනුම ලබා සිටි සිංහල ආචාරීන්ට  තුවක්‌කු තාක්‌ෂණය වහා අල්ලා ගන්නට හැකිවී තිබෙනවා. ඔවුන් ඉතා ඉක්‌මනින් පෘතුගීසි තුවක්‌කු වලටත් වඩා ඉදිරියෙන් තිබෙන දිග් තුවක්‌කු, කොට තුවක්‌කු, සහ කාලතුවක්‌කු තනා තිබෙනවා. පරංගීන්ගේ තුවක්‌කු ඉතා ඉක්‌මනින් පිපිරෙන අතර සිංහල තුවක්‌කු එසේ නොවූ බව යි කියවෙන්නේ. එයට හේතුව වෙඩි බෙහෙත් පත්තු වීම නිසා තුවක්‌කු බඳේ ඇති වන ප්‍රසාරණය පාලනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණය සිංහල ශිල්පීන් විසින් හඳුනා ගැනීම යි.

පෘතුගීසි ආක්‍රමණ

සිංහල තුවක්කුවලින් පෘතුගීසින්ට පහර දෙමින්- ප්‍රසන්න වීරක්කොඩිගේ චිත්‍රයක් -pinrest.com

ලංකාවට පළමු වරට යුරෝපීය ජාතියක් වන පෘතුගීසි එන්නේ 1505 දී යි. ඔවුන් සමග තුවක්කු තාක්ෂණයත් පැමිණි බව සමහරු කිව්වත් ඒ වන විටත් සිංහලයන් පෘතුගීසි තුවක්කුවලට වඩා වෙනස් තුවක්කුවක් පාවිච්චි කළ බව ජෝආඕ රිබෙයිරෝ කියන පෘතුගීසි ලේඛකයා සඳහන් කරනවා. බොන්ඩිකුල නමින් සිංහලයන් හඳුන්වන දේශීය තුවක්‌කු විශේෂයක් තිබුණා. බොන්ඩිකුල වචනය “බණ්‌ඩක්‌” යන අරාබි වචනයෙන් බිඳී ආ එකක්‌ බව පැවසෙනවා. එහෙත් මෙරට සාමාන්‍ය භාවිතයට තුවක්‌කු පැමිණියේ පෘතුගීසීන්ගේ ආගමනයෙන් පසුව බව සඳහන් කිරීම තර්කානුකූල යි. එසේ වුවත් ටික කලක් ගතවන විට සිංහලයෝ යුරෝපීයන්ටත් වඩා දක්‍ෂ ලෙස හා කලාත්මක ලෙස තුවක්‌කු නිපදවීමටත්, ඒවා භාවිත කොට සටන් කිරීමටත් පුරුදු පුහුණු වී තිබෙන බව ඉතිහාස කතාවලින් පේනවා.

තුවක්කු වර්ග

ගිනි තුවක්කුවකින් පහරදෙන උඩරට හේවායෙක්- දඹුලු විහාරය- Sirimunidasa.wordpress.com

උඩරට රාජධානි කාලෙන් වැඩි කාලයක් පහතරට ප්‍රදේශ යුරෝපීයයන් පාලනය කළා. මේ නිසා නිතර යුද්ධ, ආක්‍රමණ සිදු වුණා. දුනු හී වෙනුවට තුවක්කු අරන් එන සුද්දන්ට තුවක්කුවලින්ම ප්‍රතිප්‍රහාර දිය යුතු වුණා. සිංහල කම්හල් ආචාරීහු නිමකරන ලද තුවක්‌කුව, කඳ, කොකා, කන්පඩිය, කන, අච්චුකඳ, සහ අච්චුකූර යන කොටස්‌වලින් සමන්විත වුණා. 

ඒ කාලෙ උඩරට  භාවිත කළ තුවක්‌කු වර්ග කිහිපයක් ගැන තොරතුරු සඳහන් වෙනවා. මේවා කොළඹ ජාතික කෞතුකාගාරය, මහනුවර, සහ රත්නපුර කෞතුකාගාරවල දීත් දැකගත හැකියි. ඊට අමතරව එංගලන්තය සහ අමෙරිකාවේ කටුගෙවල්වලත් තිබෙනවා. නිව්යෝක් කලා කෞතුකාගාරය අපේ පැරණි තුවක්කු තිබෙන තවත් තැනක්. රාජකීයයන් භාවිත කළ තුවක්කුවල පැරණි උඩරට සැරසිලි රටාවලින් වැඩ දමා අලංකාර කර තිබීමත් විශේෂත්වයක්.

ගිනිතුවක්‌කුව

දිග අඩි තුනයි අඟල් දහයහමාර යි. මෙහි ප්‍රථම සහ පිටුපස මානම් අච්චුවට සවි කිරීම පිණිස පුඩු තුනක්‌ ද පැවති අතර ඔප දැමූ ආයත චතුරශ්‍රාකාර තහඩු කැබලිවලින් සැකසුණු වෘත්තයකින් සැරසූ ඝන්ඨාකාර කටක්‌ තිබෙනවා. මෙහි කන්පඩිය දකුණින් පිහිටි අතර එයට ගිනි පන්දමක්‌ ගෑවීමෙන් වෙඩි පත්තු වෙනවා.

කොඩිතුවක්‌කු

කොඩිතුවක්කුවක්- Sirimunidasa.wordpress.com

ගරිල්ලා යුද්ධයක දී සතුරන් සමූහ වශයෙන් මරා දැමීම සඳහාත්, සතුරු බලකොටු, කඳවුරු, සැපයුම් තවලම් විනාශ කිරීම සඳහාත් උඩරැටියන් විසින් කාලතුවක්‌කු සහ කොඩිතුවක්‌කු භාවිතා කර තිබෙනවා. මේවායින් තරමක් සැහැල්ලු කාලතුවක්‌කු වර්ගයක් තමයි කොඩිතුවක්කු කියන්නේ.  ජින්ජල්, ගිනිජල්, තණකොළ පෙත්තා යන විවිධ නාමයෙන් එය හඳුන්වා තිබෙනවා. තොපාවක් මත තුවක්කු කඳ සවිකර තිබෙනවා. මෙම තුවක්කු නැවත එකලස්‌ කළ හැකි පරිදි කොටස්‌වලට ගලවා හෝ නොගලවා බෑවුම්, ඝන වනාන්තර, දුෂ්කර මාර්ග අතර එතරම් අපහසුවකින් තොරව රැගෙන යා හැකි වුණා.

බොන්ඩික්‌කුලම

බොන්ඩික්‌කුලම තුවක්කු – lankadeepa.lk

ගල් තුවක්‌කු ලෙසත් හඳුන්වනවා. එහි උඩු හෝ යටි පෙත්තේ දිගු බවත් විශේෂ ලක්ෂණයක්. මෙහි කොකා හැඩයෙන් අරාබි තුවක්‌කුවට සමාන යි. රන් රිදියෙන් ඇත් දළයෙන් අලංකාරව වැඩ දමන ලද ගල් තුවක්‌කු බර වැඩි නිසා, තෙපාවක් වැනි ආධාරකයක තබා වෙඩි තැබීමට යොදාගත්තා.   

අත් තුවක්‌කුව

අත්තුවක්කු ගත් සෙබළෙක් දැක්වෙන විහාර සිතුවමක්- Sirimunidasa.wordpress.com

මෙය යුරෝපීය පිස්තෝලයේ දේශීය නිපැයුම යි. අත්තුවක්කුව තරමක් සැහැල්ලු කාණු එකේ හෝ දෙකේ ගිනි අවියක්. ආත්මාරක්ෂාවට ඉහළ නිලධාරින් තමන් ළඟ තබාගත් බව පේනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේයැ යි පැවසෙන කැටයම් සහිත අලංකාර පිස්‌තෝලයක්‌ මහනුවර ජාතික කෞතුකාගාරයේ දැකගත හැකියි. පැරණි විහාර බිතුසිතුවම්වලත් අත්තුවක්කු රැගෙන යන සෙබළුන්ගේ චිත්‍ර දකින්න ලැබෙනවා.

කාලතුවක්‌කුව

උඩරට කාලතුවක්කුවක් – Sirimunidasa.wordpress.com

සතුරාට දරුණු මාරාන්තික ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම සඳහා උඩරැටියන් විසින් කාලතුවක්‌කු භාවිත කළා. යකඩ, ලෝකඩ සහ පිත්තල ලෝහයෙන් කාලතුවක්කු නිපදවා තිබුණා. බලැති කාලතුවක්‌කු විශේෂයක්‌ කපොලු, දුර්ග සහ මිටියාවත්වල සවිකර තිබුණු බව යුරෝපීයයන් විසින් සඳහන් කර තිබෙනවා.  ක්‍රි. ව. 1803 ඉංග්‍රීසින්ගේ උඩරට ආක්‍රමණයේ දී  හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බේලිගේ හමුදාවට උඩරට කාලතුවක්‌කු හමුදාව විසින් ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව සඳහන් වෙනවා. 

යුද බිමට රැගෙන යා හැකි පරිදි රෝද සහිත රථයක සවිකරන ලද සුවිශාල කාලතුවක්‌කු ද උඩරැටියන් විසින් භාවිතා කර තිබෙනවා.  ඒ සඳහා නිදසුනක් ලෙස ක්‍රි. ව. 1745 ලෙව්කේ දිසාව විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අලංකාර  කාලතුවක්‌කුව දැක්විය හැකියි. ඩී කූටෝ නමැති පෘතුගීසි ලේඛකයා සඳහන් කරන්නේ, සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1554-1593) කොළඹ පරංගි කොටුවට පහර දීමට එක් වූ හමුදාවේ සිංහල කාලතුවක්කු 150ක් පමණ තිබූ බව යි.

බදුරලියේ තුවක්කු

1950 වර්ෂයේ දී බදුරලියේ පැලෑඳ බාන්පාර අසබඩ පැලැන් ගඟ එගොඩ පිහිටි ලියනගොඩ ගමේ කැට කැරැල්ලගහවත්ත නම් කුඹුරේ තිබී අඟල් හැත්තෑ හතරක්‌ දිග තුවක්‌කුවක්‌ හමු වී තිබෙනවා. එහි බඳ අඟල් හතළිස්‌ හතක් දිග යි.

තුවක්කු උණ්ඩ

වෙඩිබෙහෙත් රැගෙන යන අඟවල්- Sirimunidasa.wordpress.com

සාමාන්‍යයෙන් සිංහල කාලතුවක්‌කු උණ්‌ඩවල විශාලත්වය අඟල්  5 3/4 – 6 1/2 අතර ගෝලාකාර ගල් සහ යකඩ උණ්‌ඩ වුණා. පෘතුගීසින්ගේ කාලතුවක්කුවලට වඩා බරින් වැඩි උණ්ඩ පවා අපේ කාලතුවක්කුවලට යෙදීමේ තාක්ෂණ දියුණුවක් තිබූ බව පේනවා. තුවක්‌කු, අත්තුවක්‌කුවල උණ්‌ඩ සඳහා අඟලක්‌ පමණ දිග යකඩ කූරු කැබලි භාවිතා වී තිබෙනවා.

මීමුරේ වෙඩිලුණු ගුහාව – footadventures-srilanka.com

උඩරැටියෝ යුරෝපීය වෙඩි බෙහෙත් තරම් උසස්‌ නොවූවත් තරමක්‌ යහපත් වෙඩි බෙහෙත් නිපදවා තිබෙනවා. ඊට අවශ්‍ය වෙඩි බෙහෙත් පිටරටින් ගෙන් වූ අතර දිවයිනේ වෙඩි ලුණු සුලබ වුණා. මීමුරේ වෙඩි ලුණු ගුහාව එසේ වෙඩි ලුණු ලබාගත් ස්ථානයක්.

මැදගොඩ දේවාලයේ කොඩිතුවක්කුව

අදටත් පත්තු වෙන තුවක්කුව- lankadeepa.lk

අවිස්සාවේලට නුදුරු මැදගොඩ පත්තිනි දේවාලයේ තැන්පත් කර ඇති කොඩිතුවක්කුව වන මෙය සීතාවක රාජසිංහ රජු විසින් පූජා කරන ලද බව ජනප්‍රවාදවල පැවසෙනවා. මැදගොඩ සන්නස අනුව වර්ෂ 1577 දී පළමුවන රාජසිංහ රජු විසින් මැදගොඩ පත්තිනි දේවාලය සඳහා ඉඩම් පරිත්‍යාග  කර තිබෙනවා. මෙම තුවක්කුව එහි මුල් ස්වරූපයෙන් කිසිදු වෙනස් කමකට ලක් නොකර තිබීම ද විශේෂත්වයක්. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මෙම තුවක්කුව සඳහා සෘජු වෙඩි තැබීමේ ක්‍රමවේදයන් යොදාගෙන තිබෙනවා.  තුවක්කු බටෙහි කඳෙහි ඇතුළත ඇති වෙඩි බෙහෙත් සෘජුවම ගිනි පන්දමක් මගින් දැල්විය හැකි ලෙසයි, නිර්මාණය කර ඇත්තේ.  

රත්නපුර සමන් දේවාලය

සමන් දේවාල තුවක්කුව – lankadeepa.lk

මෙම දේවාලයේ ඇති කොඩිතුවක්කුව සම්පූර්ණයෙන්ම වානේවලින් නිෂ්පාදිත සිංහල කොඩිතුවක්කුවක්. කටෙහි විශ්කම්භය අඟල් 1.5ක්. තුවක්කු බටයෙහි සහ කඳෙහි දිග අඟල් 25ක් වෙනවා. තුවක්කුවෙහි සම්පූර්ණ දිග අඟල් 62ක්. තුවක්කුව රඳවා ඇත්තේ ආධාරකයක් මඟින්. තුවක්කුව ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර සමන් දේවාල පෙරහර ආරම්භ වන බව දැනුම්දීමට අදටත් පත්තු කිරීම සිරිතක්. මෙය පළමුවැනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලයේ පෙරහර ශබ්ද පූජාව සඳහා ක්‍රි. ව. 1590 දී පූජා කළ තුවක්කුවක් බව විශ්වාස කරනවා. නමුත් එය නිශ්චිතව ඔප්පු කිරීමට නම් සාධක නැහැ.

ස්කීන්ගේ පොතේ චිත්‍රය-facebook

මෙම තුවක්කුව සම්බන්ධයෙන් තොරතුරක් විලියම් ස්කින්ගේ The Adam’s Peak (Samanala & Sri-pada with a descriptive account of pilgrim’s rout from Colombo to the Scared foot-print – 1870) ග්‍රන්ථයේ සඳහන් වෙනවා.  එම පොතේ චිත්‍ර සටහනකට අනුව වර්ෂ 1870 වසර වන විට ද සමන් දේවාලයේ පැරණි ළිඳ ළඟ මෙවැනි තුවක්කු 3ක් සවි කර ඇති අයුරු දැක්වෙනවා. එයින් තුවක්කු 2ක් තරමක විශාලත්වයෙන් යුතු අතර අනෙක කුඩා එකක්.

පිටරට තිබෙන තුවක්කු

නිව්යෝක් කලා කෞතුකාගාරයේ තිබෙන තුවක්කුව-lankadeepa.lk

‘නිව්යෝක් මෙට්‍රෝපොලිටන්ට් කලා කෞතුකාගාරයේ’ ඇති  දෙවැනි රාජසිංහ රජුට අයත්යැ යි අනුමාන කෙරෙන දික් තුවක්කුව නිපදවා ඇත්තේ “ස්නයිපර්” තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම විශේෂත්වයක්. මෙම ස්නයිපර් තුවක්කුව අඩි 7.26 දිග යි. කිලෝ 5ක් පමණ බර යි. මෙම තුවක්කුව අඩි 7.27 දිග යි. බර කි. ග්‍රෑම් 5.046ක්. එය ඇත්දළ, යකඩ, දැව, රිදීවලින් නිෂ්පාදනය කර තිබෙනවා. බැරල් එකට වානේ යොදා ගෙන තිබෙන අතර, අතට අහුවෙන කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දැව යි.

තුවක්කුවේ හිස කොටසේ කැටයම්- lankadeepa.lk

දෙවැනි රාජසිංහ රජතුමාට අයත්යැ යි විශ්වාස කෙරෙන තවත් තුවක්කුවක් තිබෙන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි හර්මිටේජ් කෞතුකාගාරයේ. එය ඇමෙරිකාවේ තිබෙන තුවක්කුව තරම් දිග නොමැති අතර ඊට වඩා කුඩා සාමාන්‍ය අත් තුවක්කුවක්. වානේ, රිදී, දැව සහ කැස්බෑ පොතු උපයෝගී කරගෙන තනා තිබෙනවා. අඩි 5.0757ක් දිග තුවක්කුවේ කඳ සාදා ඇත්තේ වානේවලින්.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

පැරණි ලංකාවේ තුවක්‌කු භාවිතය -ඉසුරු හේරත් - divaina.com

Royal Asiatic Society of Sri Lnka- 6th conference- 2013 Abstracts

Divaina.Com

Lankadeepa.lk

Cover- උඩරට යුගයට අයත් අත් තුවක්කුවක්- Wikipedia.org

Related Articles