ලක්දිව කෞතුකාගාර : දෙවැනි දිගහැරුම

ශ්‍රී ලංකාවේ ඉතිහාසය විවිධ සංස්කෘතීන්ගෙන් මනා ව පෝෂණය වූවක්. ඒ හේතුවෙන් එහි පවතින්නේ කුතුහලය මුසු වූ සුන්දරත්වයක් යැයි පැවසීම බොරුවක් නෙමෙයි. එවැනි සොඳුරු ඉතිහාසයක් හා බැඳි උරුමයන් සොයා යන්නෙකු අනිවාර්යයෙන් ම නැරඹිය යුතු කෞතුකාගාර කිහිපයක් පිළිබඳ ව අපි පසු ගිය දිනෙක ලක්දිව කෞතුකාගාර: පළමු දිගහැරුම ලිපිය ඔස්සේ කතාබස් කළා.

මේ රට දැය පිළිබඳ ව ජනතා හැඟීම් පුබුදු කරවමින් තම අතීත උරුමයන් මොනවා ද යන්න ගැන ජනතාව දැනුවත් කරන තවත් එවැනි ම කෞතුකාගාර කිහිපයක තොරතුරු යි.

ශ්‍රී දළදා කෞතුකාගාරය (මහනුවර)

fromserendibtosikkim.blogspot.com

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩ හිඳින ශ්‍රී දළදා මාළිගාවේ නව අංගනයේ (අලුත් මාළිගාව ලෙස ද හඳුන්වන මෙම කොටස ශ්‍රී දළදා මාළිගාවට එක් කරන ලද්දේ කලකට පෙර දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ටී. බී. නුගේවෙල මැතිඳුන් විසින්) පළමු සහ දෙවැනි මහල් වෙන් වී ඇත්තේ ශ්‍රී දළදා කෞතුකාගාරය සඳහා යි.

ශ්‍රී දළදා කෞතුකාගාරයේ පළමු මහලේ දී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීමේ සිට බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා එහි පැවතීම පිළිබඳ ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ දී ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද මාළිගා සංකීර්ණයේ පිඹුරක්, මල්වතු සහ අස්ගිරි විහාරයන් හි මහා නායක ධූරය දැරූ හිමිවරුන්ගේ නම් ඇතුළත් ලේඛනයක්, සෙංකඩගල රාජධානිය පාලනය කළ රජවරුන්ගේ නම් ඇතුළත් ලේඛනයක්, ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේවරුන්ගේ උඩුකය ප්‍රතිමා සහ නම් ඇතුළත් ලේඛනයක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජකීය වස්ත්‍රාභරණ, රජවරුන් විසින් බුද්ධ පූජා කටයුතු සඳහා යොදා ගන්නා ලද පිඟන් සහ 1998 ජනවාරි මාසයේ දී ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වී ගිය බිතු සිතුවම් කොටස් දැක බලා ගැනීමට ලැබෙනවා.

fromserendibtosikkim.blogspot.com

එසේ ම ශ්‍රී දළදා කෞතුකාගාරයේ දී දැක ගැනීමට ලැබෙන තවත් සුවිශේෂී අංගයක් ලෙස දන්ත ධාතූන් වහන්සේගේ සියවස් ගණනක ඉතිහාසය නිරූපණය කරනු ලබන සේයා රූ පෙළ හැඳින්විය හැකි යි. දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් දිනපතා සිදු කරනු ලබන සිරිත් විරිත් සඳහා යොදා ගන්නා ලද ඓතිහාසික මෙවලම්, කරඬු, බුද්ධ ප්‍රතිමා සහ වටිනා මිණි කැට යොදා ගනිමින් නිමවන ලද නුවර යුගයේ රන් සහ රිදී ආභරණ එකතුවක් ශ්‍රී දළදා කෞතුකාගාරයේ දෙවැනි මහලේ දී දක්නට ලැබෙනවා. මේවා සෑම එකක් ම පාහේ බැතිමතුන් විසින් පරිත්‍යාග කර ඇති ඒවා යි.

දෙවැනි මහලේ කොටසක් ඓතිහාසික සහ ආගමික වශයෙන් වටිනාකමක් ඇති විශේෂ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා යොදා ගෙන තිබෙනවා. ඒ අතරින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රීදීමය ජල බඳුන සහ එල්ලෙන පහන, තායිලන්තයේ රජු විසින් තෑගි කරන ලද බුදු සිරිපතුලේ සිතුවම සහ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී පවත්වන ලද තෙවැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන කටයුතු කළ මොග්ගලීපුත්ත තෙරුන්ගේ ධාතූන් අඩංගු කරඬුව සුවිශේෂි වෙනවා.

fromserendibtosikkim.blogspot.com

නිදහස් අනුස්මරණ කෞතුකාගාරය

කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටා ඇති නිදහස් මන්දිරයේ පතුල් මහල වෙන් කර ඇත්තේ නිදහස ලබා ගැනීම උදෙසා ගෙන ගිය සටන් හි මතකයන් ආවර්ජනය සඳහා කෞතුකාගාරයක් පිහිටුවීමට යි. 1948 පෙබරවාරි 4 වැනි දින බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගැනීම ගන්නා මොහොත වන තෙක් සියවසකට අධික කාලයක් ඒ සඳහා දිවි හිමියෙන් කැප වූ ජාතික වීරවරයන් ගැන මෙන් ම ලක්දිව ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයන් ගැන තොරතුරු රාශියක් එහි දී දැක බලා ගැනීමට ලැබෙනවා. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 2008 පෙබරවාරි 4 වැනි දිනට යෙදුණු 60 වැනි නිදහස් දින සැමරුම් උළෙලේ දී යි.

© AntanO

එසේ ම මෙහි දී ත්‍රස්තවාදීන්ට එරෙහි ව පැවති තිස් අවුරුදු යුද්ධයේ දී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා විශේෂිත ප්‍රදර්ශන මැදිරියක් නිර්මාණය කර තිබෙනවා. එපමණක් නොව 1983 වර්ෂයේ සිට ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව සිදු කරන ලද අරගලවල දී මිය ගිය ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායට අයත් සියලු ම රණවිරුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කර නිම වන ලද පුස්කොළ පොත් එකතුවක් ද මෙහි දී දැක ගත හැකි යි. නරඹන්නන්ගේ පහසුව සඳහා එම පුස්කොළ පොත්වල ඇතුළත් තොරතුරු ලිපි ගොනු වශයෙන් ද, පරිගණක මෘදුකාංගයක් ලෙස ද සකස් කර තිබීම විශේෂ යි.

ජාතික දුම්රිය කෞතුකාගාරය (කඩුගන්නාව)

© AntanO

2014 දෙසැම්බර් 27 වැනි දින කඩුගන්නාවේ දී ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කරන්නේ එදින සිට වසර 150 කට පෙර එනම් 1864 දෙසැම්බර් 27 වැනි දින මරදාන දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වා වූ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රථම දුම්රිය ධාවනය කිරීම සැමරීම අරමුණු කර ගෙන යි. මෙහි ආරම්භක අවස්ථාවේ දී වසර 150 කට පෙර බෙල්ජියමේ කිරුළ හිමි කුමරු වූ බ්‍රාබන්ට් හි ආදිපාදවරයා රැගෙන ධාවනය වූ විශේෂ දුම්රිය සිහිපත් කිරීම සඳහා ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කිරීමේ උළෙලට සහභාගි වූ ආරාධිත අමුත්තන් රැගත් වයිස්රෝයි විශේෂ දුම්රිය, කොළඹ කොටුවේ සිට කඩුගන්නාව දක්වා ධාවනය කර තිබෙනවා. එයට අමතර ව මේ සම්බන්ධයෙන් සමරු මුද්දරයක්, මුල් දින කවරයක්, සමරු කලාපයක් සහ ඩී. වී. ඩී. පටයක් නිකුත් වුණා.

railway.gov.lk

කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරයේ දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් ඓතිහාසික වටිනාකමකින් යුත් දුම්රිය එන්ජින් මැදිරි, විවිධ උපකරණ හා උපාංග රැසක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය පිහිටා ඇත්තේ කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ යි. කෞතුකාගාරය පොහොය දිනවල දී හැර අන් සෑම දිනක ම පෙරවරු 9 සිට සවස 4 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතින අතර එය නැරඹීමට පැමිණෙන්නන්ගෙන් ඒ සඳහා මුදලක් (පාසල් ළමුන් සඳහා රු. 10/- ක්, පාසල් නිල ඇඳුමින් තොර පැමිණෙන ළමුන් සඳහා රු. 20/- ක් සහ දේශීය වැඩිහිටියන් සඳහා රු. 50/- ක්) අය කරනු ලබනවා.

ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය (හන්තාන)

ceylonteamuseum.com

1925 වර්ෂයේ දී ගොඩ නංවන ලද පැරණි තේ කර්මාන්ත ශාලාවක පිහිටා ඇති ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය හමු වන්නේ මහනුවර නගරයෙන් සැතපුම් දෙකක් පමණ ඈතින් පිහිටා ඇති හන්තාන වතු යාය මධ්‍යයේ යි. සිව් මහල් ගොඩනැගිල්ලක පිහිටි මෙම කෞතුකාගාරයේ පළමු සහ දෙවැනි මහල් තේ නිෂ්පාදනය සම්බන්ධ පැරණි යන්ත්‍ර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබෙනවා. එසේ ම පළමු මහලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඉදිරිපත් කිරීම් සඳහා පහසුකම් ඇති ශ්‍රවණාගාරයක් සහ පුස්තකාලයක් ද දැක ගැනීමට හැකි යි. තෙවැනි මහලේ ශ්‍රී ලංකාවේ හොඳ ම තේ එකතුවක් පවතින අතර නරඹන්නට ඒවා මිල දී ගැනීම සඳහා ද පහසුකම් සපයා තිබෙනවා. සිව් වැනි මහල සම්පූර්ණයෙන් ම වෙන් කර ඇත්තේ තේ පැන්හලක් සඳහා යි.

ceylonteamuseum.com

හන්තානේ පැරණි තේ කම්හල 1998 ජනවාරි 9 වැනි දින එවකට පැවති සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය ලෙස සංස්ථාගත කරන ලද අතර එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 2001 දෙසැම්බර් 1 වැනි දින යි. ඒ එවකට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුල් පුටුව දැරූ ක්ලිෆර්ඩ් රත්වත්තේ මහතාගේ අදහසකට අනුව යි. සඳුදා සහ සතියේ දිනවල දී වැටෙන පොහොය දිනවල දී වසා ඇති ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 3.45 දක්වා ද ඉරිදා දිනවල දී පෙරවරු 8.30 සිට පස්වරු 3 දක්වා ද මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි.

කවරයේ පින්තූරය : (© calflier001)

Related Articles