ලාම්පුව ද? කළගෙඩිය ද? ලංකාවේ පැවැත්වුණු එකම ජනමත විචාරණය

ජනමත විචාරණයක්‌ පවත්වනු ලබන්නේ කිසියම් කටයුත්තක් සඳහා ජනතාවගේ කැමැත්ත කුමක්‌ ද යන්න ජනතා මතය තුළින් ම තීරණය කිරීමට යි. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ එවැනි ජනමත විචාරණ එකක් පමණක් දකින්න ලැබෙන අතර, එය පැවැත්වෙන්නේ ජේ. ආර්. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලය හොබවන 1982 වසරේ දී යි.

ජනමත විචාරණයට මුල් වූ හේතූ, එය ඉදිරිපත් කළ ආකාරය, පැවැත්වීම, හා පාලන පක්ෂය විසින් ම ජයග්‍රහණය කිරීම පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන එන්න යි මේ ලිපිය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ.

ජනමත විචාරණ ඉතිහාසය හා ජේ.ආර් විසින් ගෙන ආ ජනමත විචාරණ යෝජනාව

ජේ. ආර්. ජනාධිපතිවරයා (Famous People)

ජනමත විචාරණය ක්‍රියාවලිය ලෝකයේ දේශපාලන ඉතිහාසය තුළ ඉතා ඈතට දිව යන්නක්. “ඇමෙරිකානු නිදහස්‌ ප්‍රකාශනය” සම්මත කරවා ගැනීමට 1776 වසරේ ප්‍රථම වරට ජනමත විචාරණයක් පැවැත්වූ අතර 1793 ප්‍රංශයේ ද, පසු ව බ්‍රිතාන්‍යයේ ද ජනමත විචාරණ පවත්වා තිබෙනවා. ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් ද, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ද තමන්ගේ බලලෝභීත්වය උදෙසා ජනමත විචාරණ පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනමත විචාරණ ගැන බැලීමේ දී 1982 වසරේ පළමු හා එකම ජනමත විචාරණය පැවැත් වූ අතර, ඒ සඳහා විමසා බැලුවේ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය ඇතුළු ව පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර හයකින් වැඩි කිරීම සඳහා ජනතා කැමැත්ත යි.

ජනමත විචාරණය ගෙන ඒමට හේතුව

සිරිමාවෝ හා විලියම් ගොපල්ලව (Daily FT)

1977 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ මුළු ආසන ප්‍රමාණය වූ ආසන 168 න් ආසන 140ක් දිනා ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවෙන්නේ ආසන 8ක් පමණයි. තවත් ආසන 18ක් දිනා ගැනීමට ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයට හැකියාව ලැබෙනවා.

මේ ජයග්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ 5/6 බලයක් ලබා ගන්නවා. ලබාගත් පාර්ලිමේන්තු බහුතර බලයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් වෙත ගමන් කරන ජේ. ආර්. ජයවර්ධන 1978 පෙබරවාරි 4 වන දා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක බලතල සහිත ජනාධිපතිවරයා ලෙස තමාව ම නම් කරගන්නවා. එතෙක් ජනාධිපති ධූරය දැරූ විලියම් ගොපල්ලවගේ ජනාධිපතිත්වය ඉන් අහෝසි වෙනවා.

1977 වසරේ පත් වූ පාර්ලිමේන්තුවේ නිල කාලය 1983 ජූලි මාසයේ දී අවසන් වීමට නියමිත ව තිබූ අතර, ඊට ප්‍රථම ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තීරණය කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය 1982 ඔක්තෝම්බර් 20 වන දින පැවැත්වෙනවා.

ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන් ඉදිරිපත් වූ හෙක්ටර් කොබ්බෑකඩුව පරාජය කරමින් 52.91%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැවතත් විධායක ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ ජේ. ආර්. ජනාධිපතිවරයා ම යි.

විධායක ජනාධිපති බලය වසර හයකින් දික්‌ වුව ද පාර්ලිමේන්තු බලය තව මාස කිහිපයකින් අවසන් වීමට නියමිත විය. අනුපාත ක්‍රමයට මහා මැතිවරණය පැවැත්වීමට නියමිත ව තිබූ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගියවර මෙන් බහුතර බලයක් දිනා ගැනීමට නොහැකිවන බව ඒ වන විටත් ජනාධිපතිවරයාට තෙරුම්ගොස් තිබුණා. එයට හොඳම විකල්පය ලෙස ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලය තවත් වසර හයකට දීර්ඝ කර ගැනීම පවතින තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක විය.

ජනමත විචාරණය පැවැත්වීම

නැක්සලයිට්වරුන් බවට චෝදනා කරමින් විජය කුමාරණතුංග ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නේ මේ කාලයේ දී යි (Daily News)

ඒ වන විටත් ජනමත විචාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ අතර පවතින දේශපාලනික වටපිටාවට අනුව 5/6 බහුතරයක් සහිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තව වසර 6ක් පවත්වා ගැනීමේ හොඳම ක්‍රමය ලෙස මෙය හඳුනාගන්නවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කරන ලද වැඩසටහන් බාධාවකින් තොර ව ඉදිරියට රැගෙන යාම සඳහා පවතින ආණ්ඩුව තව දුරටත් පවත්වාගත යුතු බවත් ඒ සඳහා ජනතා සහාය අවශ්‍ය බවත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනතාව වෙත ප්‍රකාශ කරනවා.  පාර්ලිමේන්තු නිල කාලය 1989 අගෝස්‌තු මාසය දක්වා දිගු කිරීම සඳහා ජනමිත විචාරණය පැවැත්වීමට 1982 දෙසැම්බර් මස 22 වන දිනට දින තීරණය වෙනවා.

ජනමත විචාරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ ගණනාවක් විරුද්ධත්වය ප්‍රකාශ කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග මඟින් ඔවුන් වැළක්වීම,  සිරගත කිරීම, ලිපිලේඛන අත්අඩංගුවට ගැනීම, හා විරුද්ධවාදී පුවත්පත් කාර්යාල සීල් තැබීමෙන් විරුද්ධවාදී සියලු අදහස් මර්දනය කිරීමට එවකට පැවති ජේ. ආර්. ආණ්ඩුව ක්‍රියා කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය

එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස (Famous People)

1982 දෙසැම්බර් මස 22 වන දා ජනමත විචාරණය පැවැත්වෙන අතර, පාර්ලිමේන්තු කාලය තව වසර හයක් දීර්ඝ කිරීමට පක්ෂ නම් ලාම්පු ලකුණට කතිරය යෙදීම ද, එම යෝජනාවට විපක්ෂ නම් කළගෙඩි සලකුණට කතිරය යෙදීම ද මෙහි දී සිදුවෙනවා. ජනමත විචාරණයෙන් ජය ගැනීමට නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් 1/3ක ජන්ද ප්‍රමාණයක්වත් පක්ෂ ව ලැබිය යුතු වෙනවා.

යෝජනාවට පක්ෂ ව (ලාම්පුව) ලැබුණ ඡන්ද ප්‍රමාණය 3,141,223 වූ අතර යෝජනාවට විපක්ෂ ව (කළගෙඩිය) 2,605,983ක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රකාශිත ප්‍රමාණයෙන් 54%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂ ව හිමි වෙනවා.

ඒ අනුව ලංකාවේ ප්‍රථම හා දැනට පවත්වා ඇති එකම ජනමත විචාරණයෙන් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබෙනවා. ඒ සමග ම පාර්ලිමේන්තු කාල සීමාව තවත් වසර හයකින් දීර්ඝ වෙනවා. පෙර පැවති ජනාධිපතිවරණය මෙන්ම ජනමත විචාරණයත් දූෂිත බව විපක්ෂ දේශපාලඥයන් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනවා. ඊළඟ ජනාධිපතිවරණය 1988 වසරේ පැවැත්වෙන අතර, එයින් ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වූ රණසිංහ ප්‍රේමදාස යි. පාර්ලිමේන්තු මැතිවරණය 1989 වසරේ දී පැවැත්වෙන අතර, එයිනුත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.

 

කවරයේ පින්තූරය: එවකට පාර්ලිමේන්තුව (Wikipedia)

මූලාශ්‍රයයන්:

parliament.lk,

sundaytimes.lk,

දිවයින,

දිනමිණ

Related Articles