Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශාන්ත වැලන්ටයින් දිනයේ වූ මහා සංහාරය

පෙබරවාරි මස 14 වන දින ලෝකයේ තරුණ ප්‍රජාවට විශේෂ දිනයක් වන්නේ ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය එදිනට යෙදී තිබීම නිසා යි. එදින බොහෝ ආදරවන්තයින් ප්‍රීතියෙන් යුතුව සිය ආදරය සමරනවා. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරට ද පොදු යි. චිකාගෝවට 1929 වසරේ වැලන්ටයින් දිනය උදාවූයේ ද මෙවැනිම ප්‍රීතිජනක වටපිටාවක යි. කෙසේ නමුත් තත්ත්වය උඩු යටිකුරු වන්නට වැඩි වේලා ගියේ නැහැ.

භයානක සිද්ධියක්

1929 වසරේ පෙබරවාරි මස 14 වන දා හදිසියේම ෆ්‍රෑන්ක් ගුසෙන්බර්ග් නැමැත්තා චිකාගෝහි රෝහලකට ඇතුලත් කෙරෙනවා. ඒ ඔහු දරුණු වෙඩි ප්‍රහාරයකට ලක් වීම නිසා යි. ඔහුගේ සිරුරෙහි වෙඩි ප්‍රහාරයන් 14ක සලකුණු පිහිටා තිබුණා. මෙය ඉතා අසාමාන්‍ය තත්ත්වයක් වූ හෙයින් ඔහු සිටි බරපතල තත්ත්වය මධ්‍යයේ වුව ද මේ වෙඩි ප්‍රහාරයට ඔහු ලක් වූයේ කෙසේ ද යන්න පිළිබඳව ඔහුගෙන් විමසා බලන්නට බලධාරීන් යුහුසුළු වුණා. එහෙත් ඔහු ස්ථිර ලෙසම ප්‍රකාශ කළේ ‘කිසිවෙක් හෝ තමන්ට වෙඩි නොතැබූ’ බව යි. ඔහු දිගින් දිගටම මෙය පැවසූ අතර, කෙමෙන් කෙමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ඔහු පැය තුනකට පසුව මියගියා.

ෆ්‍රෑන්ක් ගුසෙන්බර්ග්- factrepublic.com

මුල දී මෙය තනි සිද්ධියක් ලෙස සැලකුණ ද ඉක්මණින්ම බලධාරීන් හට අනාවරණය වන්නේ ගුසෙන්බර්ග් ඉතා කුරිරු සමූහ ඝාතන සිද්ධියක අවසන් ගොදුර බව යි. කවදත් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල චිකාගෝවේ සිදු වූ වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ඝාතන සිද්ධීන් අතුරින් ඉදිරියෙන්ම කියැවෙන සිදුවීමක් බවට පසුකාලීනව මෙය පත් වුණා. මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ‘ශාත්ත වැලන්ටයින් දිනයේ මහා සංහාරය’ ලෙස යි.

සංහාරයට පසුබිම සැකසීම

වැලන්ටයින් දින මහා සංහාරයට හේතු වී තිබුණේ මැර කණ්ඩායම් දෙකක් අතර ඇති වූ විරසකයකුයි. චිකාගෝව මෙවැනි මැර කණ්ඩායම්වලට ප්‍රසිද්ධියක් ඉසිළුවා. මේ ඝාතන සැලසුම් කර ක්‍රියාවට නංවා තිබුණේ ‘අල් කැපෝන්’ නම් මැරවරයෙකු බවට විශ්වාස කෙරෙනවා. ඒ තමන්ගේ මැර කණ්ඩායමට හිසරදයක් ව තිබූ තවත් මැර කණ්ඩායමක ප්‍රධානියා වන ජෝර්ජ් ‘බග්ස්’ මොරාන් ඝාතනය කිරීම සඳහා යි.

මොරාන් නීතිවිරෝධී භාණ්ඩ වෙළඳාමෙහි නිරතව සිටි අයෙකු වූ අතර කැපෝන්ගේ තදබලම විරුද්ධවාදියෙකු වී සිටියා. ඔහු චිකාගෝ නුවර උතුරු පෙදෙසේ සිය අනවසර මත්පැන් වෙළඳාම ජයටම කරගෙන ගියා. මේ නිසා කැපෝන් හා ඔහුගේ මැර කණ්ඩායමට මහත් වූ මූල්‍යමය හානි සිදුවුණා. දිගින් දිගටම තමන්ට ආවාසි සිදුවන විට, කැපෝන් අවසානයේ තීරණය කරන්නේ ඔහු චිකාගෝවෙන් අතුගා දැමිය යුතු බව යි.

විශේෂයෙන්ම ඒ වන විට මොරාන් කැනඩා විස්කි සොරකම් කර නැව්ගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබුණා. මෙය මොරාන්ට කලින්, කැපෝන් ජයටම කරගෙන ගිය ව්‍යාපාරයක් වූ අතර දෙදෙනා අතර විරසකය දළු ලා වැඩෙන්නට ප්‍රධානතම හේතුව වූයේ මේ කාරණය යි. මොරාන් විසින් කැපෝන්ගේ සේවාදායකයින් එකිනෙකා අයත් කරගැනීමත් සමගම තත්ත්වය වඩාත් දරුණු වුණා. මීට අමතරව දෙදෙනා අතර බල ප්‍රදේශයන් තහවුරු කරගැනීම පිළිබඳව මතභේදයක් ද තිබුණා.

(අල් කැපෝන්- AP) සැලසුම ක්‍රියාත්මක කිරීම

කැපෝන් කඩිනමින් මොරාන් ඝාතනය කිරීම සඳහා සැලසුම් අඳිනවා. ඔහු එය ක්‍රියාත්මක කරන්නට තෝරාගත්තේ 1929 වසරේ පෙබරවාරි මස 14 වන දා යි. කැනඩා මත්පැන් මිල දී ගන්නා පාරිහෝගිකයෙකුගේ සේවකයින් මුවාවෙන් කාරයක නැගී මොරාන්ගේ ගබඩාව ඇතුළු වී, මොරාන් හා කණ්ඩායමේ සියළු දෙනා ඝාතනය කිරීම කැපෝන් ගේ සැලසුම වුණා.

පෙබරවාරි මස 14 වනදා උදෑසන 10.30ට පමණ, ලිංකන් පාක්හි පිහිටි මොරාන්ගේ ගබඩාවට කැපෝන්ගේ කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු වුණා. කාරයක නැගී එලෙස ඔවුන් ඇතුළු වූ අතර, දෙදෙනෙකු පොලිස් නිලධාරීන් ලෙස ද, අනෙක් දෙදෙනා කලිසම්, කබා හා ටයි පටිවලින් ද සැරසී සිටියා. පොලිස් නිලධාරීන් දෙදෙනා ලෙස සැරසී සිටි දෙදෙනා අත අර්ධ ස්වයංක්‍රීය ගිණි අවි තිබූ අතර, අනෙක් දෙදෙනා ද ගිණි අවිවලින් සන්නද්ධව සිටියා.

ගබඩාව තුළ ඒ වන විට සිටියේ මොරාන්ගේ මිනිසුන් සිව් දෙනෙකු හා කාර්මිකයින් දෙදෙනෙකු පමණ යි. ගනුදෙනුව සිදුකරන්නට පැමිණීමට නියමිතව සිටියේ මොරාන් වුව ද, යම් අනතුරක සේයාවක් දැනී තිබූ නිසාදෝ ඔහු නොපැමිණ, සිය සමීපතම අතවැසියෙකු වූ ඇල්බට් වෙයින්ෂැන්ක් ඒ සඳහා එවන්නට තීරණය කර තිබුණා.

සිය කැඩිලැක් සෙඩානයේ නැගී ආ වෙයින්ෂැන්ක් එයින් බැසගත් විටම ‘පොලිස් නිලධාරීන්’ දෙදෙනා බලහත්කාරයෙන් මෙන් ඔහු ගබඩාව තුළට ගෙන ගියා. මේ අවස්ථාවේ දී වෙයින්ෂැන්ක් එක්වරම සිතුවේ සිය කණ්ඩායමේ සාමාජිකයින් පොලිසිය විසින් කොටු කරගෙන ඇති බව යි. මේ නිසා ඔහු කිසිදු කලබලයක් පෙන්වූයේ නැහැ. ගබඩාවේ සේවකයින් ද අනෙක් අතට සිතුවේ පොලිසිය විසින් වෙයින්ෂැන්ක් යටත් කරගෙන ඇති බව යි. මේ නිසා පොලිස් නිලධාරීන්ගේ විධානය පරිදි ඔවුන් නිසොල්මන්ව පෙළ සැදී පැසෙක තිබූ බිත්තියකට හේත්තු වුණා.

ගබඩාව තුළ සිටි මොරාන්ගේ මිනිසුන් සියළු දෙනා මෙලෙස ‘පොලිස්’ අණට කීකරු වූ සැණින්, පොලිස් ඇඳුම් ඇඟ ලා ගෙන සිටි මැරවරයින් දෙදෙනා සිය අනෙක් සඟයින් දෙදෙනා ද එතැනට කැඳවනවා. අනතුරුව සිව්දෙනා එකතු වී වෙයින්ෂන්ක් හා අනෙකුත් පිරිසට වෙඩි පිට වෙඩි එල්ල කරනවා. සියළුම දෙනා බිම වැටුණු පසුවත්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ.

වැලන්ටයින් දින සංහාරයෙන් මියගිය අයවළුන්- FPG/Getty Images

වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව, කැපෝන්ගේ මිනිසුන් පලා යනවා. දෙදෙනෙකු පොලිස් ඇඳුමෙන් සැරසී සිටීම නිසා එය සිදුකිරීම ඔවුනට වඩා පහසු වෙනවා.

ප්‍රහාරයෙන් පසු

කැපෝන් ගේ මිනිසුන් විසින් සිදු කළ ප්‍රහාරයෙන් මොරාන්ගේ සාමාජිකයින් සත් දෙනාම මිය ගියා. සය දෙනෙක් එතැනම මියගිය අතර, ෆ්‍රෑන්ක් ගුසෙන්බර්ග් පසුව මියගියා. කැපෝන් සතුටු වූයේ මේ අතර මොරාන් ද සිටීම ගැන යි. මේ තම් පහසුවෙන් ඔහු අවසන් කිරීමට හැකි වීම පිළිබඳව කැපෝන් උදම් ඇනුවා.

කෙසේ නමුත් කැපෝන්ගේ කණ්ඩායමෙන් විශාල අත් වැරැද්දක් වී තිබුණා. ඔවුන් විසින් මොරාන් ලෙස වැරදියට හඳුනාගෙන තිබුණේ වෙයින්ෂැන්ක්ව යි. වෙයින්ෂැන්ක් උසින්, මහතින් මෙන්ම ස්වරූපයෙන් ද මොරාන්ට වඩාත් සමීප වුණා. එමන්ම, අදාල දිනයේ ඔහු සැරසී පැමිණ තිබුණේ මොරාන් ලෙස යි. මේ ඝාතන සිදු වී දින කිහිපයකට පසු මොරාන් සිද්ධිය හෙළාදකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමග තමන්ගේ සැලසුම ව්‍යර්ථ වූ බැව් කැපෝන් වටහාගත්තා.

පොලිස් නිලධාරීන් විසින් ප්‍රහාරය ප්‍රතිනිර්මාණය කර බැලූ අයුරු- Chicago History Museum/Getty Images

අසාර්ථක පර්යේෂණ

සංහාරයෙන් පසු පොලිස් පර්යේෂණ ඇරඹුණත්, විවිධ හේතූන් නිසා ඒවා සාර්ථක වූයේ නැහැ. කිසි දිනෙක ඝාතකයින් හඳුනාගැණුනේත් නැහැ. සිද්ධියෙන් වසර ගණනාවකට පසු කැපෝන් ගේ සහචරයෙකු වන ෆ්‍රෙඩ් බෲක් වෙනත් අපරාධයක් වෙනුවෙන් පොලිසියට කොටු වූ අතර, ඝාතනයට යොදාගැණුනු ගිණි අවියැ යි සැක කළ හැකි අවි කිහිපයක් ඔහු සන්තකයේ තිබූ බැව් පොලිසිය සොයාගන්නවා. කෙසේ නමුත් බෲක් තමන් වැලන්ටයින් දින ඝාතනයට සම්බන්ධ බැව් පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. පොලිසිය මේ සිද්ධිය කැපෝන් විසින් සිදු කළ බවට යම් යම් සාක්ෂ්‍ය සොයාගන්නේ මේ අනුව යි. 

කැපෝන් පසුකාලීනව වෙනත් අපරාධ සිද්ධීන් රාශියක් හේතුවෙන් පොලිස් දැලට කොටුවන අතර වසර 11ක සිරදඬුවම් ද වින්දා. කෙසේ නමුත් කිසි දිනෙක තමන් වැලන්ටයින් දින සංහාරය සිදු කළ බවට කැපෝන් ද පිළිගත්තේ නැහැ.

Related Articles