Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොලිස් වටලෑමකින් ඇරඹුණු අරගලය – ස්ටෝන්වෝල් පිබිදීම

වර්ෂ 1969 ජුනි මස 28 වැනිදා අළුයම් කාලයේ දී නිව් යෝර්ක් නගරයේ ග්‍රීනිච් විලෙජ් ප්‍රදේශයේ කිසියම් කලබලයක් ඇතිවෙනවා. කලබලය ඇති වෙන්නේ පොලිස් කණ්ඩායමක්, සහ ස්ටෝන්වෝල් නම් සමාජ ශාලාවක සිටින පිරිසක් අතර යි. පොලිස් කණ්ඩායම ස්ටෝන්වෝල් වටලා තිබුණා. නිව් යෝර්ක් නගරයේ කොතෙකුත් රාත්‍රී සමාජ ශාලා තිබුණත්, ස්ටෝන්වෝල් සමාජ ශාලාවටම පොලීසිය පැමිණෙන්නේ ඇයි?

එදා පොලීසිය පැමිණීමත් සමග ඇරඹුණේ, ඇමරිකානු ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක් වන “ස්ටෝන්වෝල් පිබිදීම” නමින් අද හැඳින්වෙන සිද්ධීන් දාමය යි.

ස්ටෝන්වෝල් කියන්නේ මොන වගේ තැනක් ද?

ස්ටෝන්වෝල් සමාජ ශාලාව කියන්නේ එක්තරා විදිහකින් ඇමරිකානු සමාජයේ පීඩිත පංතිය නියෝජනය කරන තෝතැන්නක් වගේ ස්ථානයක්. මේ සමාජ ශාලාවට නිතර පැමිණුනේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මිනිසුන්, පිරිමි ලිංගික ශ්‍රමිකයින්, නිවාස අහිමි වූ තරුණ තරුණියන් වැනි, සමාජය තුළ මහා පීඩනයකට පත්ව සිටි, කිසිවෙකුගෙන් ආරක්ෂාවක් හෝ සැළකිල්ලක් නොලැබූ උදවිය. ඒ වගේම ස්ටෝන්වෝල් කියන්නේ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික වැනි ලිංගික දිශානතියක් සහිත පුද්ගලයන් අතර ද ජනප්‍රිය වූ ස්ථානයක්.

ස්ටෝන්වෝල් කෝලාහලයේ දර්ශනයක්/ historycollection.com

1960 ගණන්වල දී ඇමරිකා එක්සත් ජනපදයේ පැවතුණේ LGBT (Lesbian, Gay, Bisexual, and Transgender) ප්‍රජාවට එතරම් හිතකර පරිසරයක් නොවේ. නිදසුනක් ලෙස එවකට නිව් යෝර්ක් නගරයේ නිතිය අනුව සමරිසි සබඳකම් පැවැත්වීම තිබුණේ නීති විරෝධී මට්ටමේ. වාතාවරණයක් එවැනි වීම නිසා නගරය තුළ LGBT ප්‍රජාව එක්රැස් වෙන විශේෂිත ස්ථානයන් තිබුණා. ඒ අතර ඔවුන් වැඩි වශයෙන් ගැවසෙන රාත්‍රී සමාජ ශාලා ප්‍රමුඛ වුණා. “ස්ටෝන්වෝල් ඉන්” කියන්නෙත් එහෙම තැනක්.

ඉතින් මෙවැනි වාතාවරණයක් යටතේ LGBT ප්‍රජාවේ සාමාජිකයන්ට රිසිසේ හැසිරෙන්න, සහෘදයින් සමග කතාබස් කරන්න, සමාජශීලි වෙන්න, සරලවම කිව්වොත් සමාජයෙන් කොන් වූ පුද්ගලයෙක් ලෙස තමාට තිබෙන මානසික පීඩනයෙන් මිදෙන්න මෙවැනි සමාජ ශාලා ලොකු පිටිවහලක් වුණා. නමුත් ස්ටෝන්වෝල් සමාජ ශාලාව පාලනය කළේ නගරයේ වාසය කරන නපුරේ හස්තයන් විසිනුයි. විවිධ අපරාධ කල්ලීන් එවකට නීති විරෝධී කොටසක් ලෙස සැලකුනු සමලිංගික ප්‍රජාවට ඒකරාශී විය හැකි සමාජ ශාලා පවත්වා ගෙන යෑමෙන් විශාල ආදායමක් ඉපයූවා. මේ තැන්වලට එන අසරණ මිනිසුන් ගොදුරු කරගෙන, ඔවුන් හරහා තවත් ආදායම් මාර්ග සකසා ගෙන, අඳුරේ සිටි ඔවුන් තව තවත් අඳුරේම හෙළන්න මේ අපරාධ කල්ලි ක්‍රියාකළා. 

1960 දශකයේ මැද භාගය වන විට නිව් යෝර්ක් නගරයේ ග්‍රීනිච් විලෙජ් විලේජ් ප්‍රදේශයේ සමලිංගික පුද්ගලයන් නිතර යන එන තැබෑරුම්, සමාජ ශාලා වැඩි හරියක් පාලනය කළේ බොහෝ අපරාධවලට සම්බන්ධ ජෙනොවීස් නම් පවුලක්. 1966 දී ඔවුන් ස්ටෝන්වෝල් මිල දී ගෙන, එය උඩින් පල්ලෙන් ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කළා.

ස්ටෝන්වෝල් තානායම පෞද්ගලික “Bottle bar” එකක් ලෙස ලියාපදිංචි කර තිබූ අතර එයට මත්පැන් බලපත්‍රයක් අවශ්‍ය වුණේ නැහැ. සමාජ ශාලාවට පැමිණෙන්නන්ටම මත්පැන් ගෙන ඒමට සිදුවුණා. ඒ වගේම සමාජ ශාලාවට පැමිණෙන්නන්ට ඔවුන්ගේ නම පොතක අත්සන් කිරීමටත් සිදුවුණා. සමාජ ශාලාව තුළ සිදුවන ක්‍රියාකාරකම් නොසලකා හැරීම සඳහා ජෙනොවීස් පවුල ස්ටෝන්වෝල් පිහිටි ප්‍රදේශයට වග කියන පොලිස් ස්ථානයට අල්ලස් ලබා දුන්නා. ඔවුන් මේ නිසා පොලිස් මැදිහත්වීමකින් තොරව, තමාට සුදුසුයැ යි පෙනෙන ආකාරයට ස්ටෝන්වෝලයේ වියදම් කපා හැරිය හැකි මං සෙව්වා. 

ස්ටෝන්වෝල් වර්තමානයේ දිස් වන අයුරු/ biography.com

සමාජ ශාලාවට හදිසි පිටවීම් දොරටුවක් තිබුණේ නැහැ. බීමට ගන්නා වීදුරු පිරිසිදු වුණේ අපිරිසිදු ජලයෙන්. ඒ වගේම පාරිභෝගිකයන්ට සපයන බීමත් තිබුණේ බාල මට්ටමක. එපමණක් ද නොව මෙම අපරාධ කල්ලිය එහි පැමිණෙන සමාජයේ පිළිගත්, ධනවත් අනුග්‍රාහකයන්ගෙන් කප්පම් අය කළා. එසේ වුව ද, ස්ටෝන්වෝල් තානායම ග්‍රීනිච් විලෙජ් විලේජ් ප්‍රදේශයේ ඉතා වැදගත් තැනක් බවට පත්වුණා. ස්ටෝන්වෝල් සාපේක්ෂව ලාභදායී ස්ථානයක් වූ අතර විවිධ හේතු නිසා නිවෙස්වලින් පලායන හා නිවාස නොමැති සමලිංගික තරුණයින්ට එය රාත්‍රී නිවහනක් වුණා.

ස්ටෝන්වෝල් කැරැල්ල ඇරඹෙයි..!

LGBT ප්‍රජාවේ සාමාජිකයන් ඒකරාශී වන සමාජ ශාලා වටලෑම එවකට නිව් යෝර්ක් නගරයේ සුලභ සිදුවීමක් වුණත්, මෙවැනි ස්ථාන කරගෙන යන මාෆියා සංවිධාන ගෙවන මුදල්වලින් පෝෂණය වන දූෂිත පොලිස් නිලධාරීන්, පොලිසිය මෙම ස්ථාන වටලන්නට පෙර මාෆියාවට වැඩ කරන්නන්ට ඔත්තු සපයන නිසා, බොහෝ විට ස්ටෝන්වෝල්වලට පැමිණෙන පිරිස ආරක්ෂා වුණා.

තත්ත්වය මෙසේ වූ නිසා, වර්ෂ 1969 ජුනි 28 වෙනිදා අළුයම පොලිසිය ස්ටෝන්වෝල් තානායම වැටලූ විට එය පුදුමයට කරුණක් වුණා. කෙසේ හෝ මෙවර වැටලීමේ ඔත්තුව තානායමේ කළමණාකාරීත්වයට ලැබී තිබුණේ නැහැ. වරෙන්තුවක් සමග සන්නද්ධ පොලිස් නිලධාරීන් සමාජ ශාලාවට ඇතුළු වී මෙම ස්ථානය පවත්වා ගෙන යන පිරිස, සේවකයින්, සහ පැමිණි පුද්ගලයන් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මෙවැනි වැටලීම් සහ අත්අඩංගුවටගැනීම් එවකට නගරයේ LGBT ප්‍රජාවට අමුතු දෙයක් නොවුණත්, සමාජ අසාධාරණකම්වලින් පමණට වඩා පරිපීඩිතව සිටි ග්‍රීනිච් විලෙජ් ප්‍රදේශයේ LGBT ප්‍රජාවට තවත් මෙය ඉවසුම් දුන්නේ නැහැ. නිරන්තර පොලිස් හිරිහැර කිරීම්, අපහාසකිරීම් සහ සමාජයේ කොන්කොට සැළකීම්වලින් හෙම්බත් වූ මොවුන් එදා පළා යනවා වෙනුවට, අත්අඩංගුවට පත් වූ තම සහෘදයන් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළා. ඔවුන් ස්ටෝන්වෝල් ගොඩනැගීල්ල අවට රැස්කමින් පොලීසියට විරෝධය පෑවා. 

1970 ජුනි 28 වන දින “ක්‍රිස්ටෝපර් වීදියේ විමුක්ති දිනය” සැමරුණු ආකාරය​/ timeout.com

එක් අවස්ථාවක පොලිස් නිලධාරියෙකු සමලිංගික කාන්තාවකගේ හිසට පහරක් එල්ල කළ අතර, ඇයව පොලිස් වෑන් රථයට බලෙන් පටවා ගන්නට ක්‍රියා කළා. එවිට ඇය අවට රැස්කමින් සිටි අයවලුන් හට තමා වෙනුවෙන් පෙනී සිටින්නැ යි කෑගසමින් ඉල්ලා සිටියා. එයට පිළිතුරු ලෙස අවට රැස් කමින් සිටි පිරිසෙන් වරින් වර පොලිස් නිළධාරීන් දෙසට ගල් මුල්, බෝතල් ප්‍රහාර එල්ල වෙන්න පටන් ගත් අතර මිනිත්තු කිහිපයක් ඇතුළත සිය ගණනක් ජනයා සම්බන්ධ වූ කැරැල්ලක් දක්වා මෙම කෝලාහලය වර්ධනය වුණා.

දිගින් දිගටම විරෝධතාකරුවන් ගෙන් එල්ලවූ ප්‍රහාර හමුවේ ආරක්ෂාව පතා ස්ටෝන්වෝල් තුළට වැදුණු, අත් අඩංගුවට පත්වූ මාෆියා කල්ලියේ සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ගොඩනැගීල්ල තුළට කොටුවුණා. එවිට විරෝධතාකරුවන් උත්සාහ කළේ ගොඩනැගීල්ලට ගිනි තැබීමට ය. එය සාර්ථක වුණත්, ගිනි නිවන දෙපාර්තමේන්තුවට සහ කැරලි මර්ධන කණ්ඩායමට අවසානයේ දී ගින්න මැඩපැවැත්වීමට, ස්ටෝන්වෝල් තුළ සිටි අය බේරා ගැනීමට, සහ පිරිස විසුරුවා හැරීමට හැකි වුණා. නමුත් දහස් ගණන් ජනයා සහභාගී වූ විරෝධතා තවත් දින පහක් එම ප්‍රදේශයේ දිගටම පැවතුණා. මේ විරෝධතාවලට සම්බන්ධ වුණේ සමලිංගික හා සංක්‍රාන්තී ලිංගික නැඹුරුවක් තිබුණු අය පමණක්ම නොවෙයි. සමාජ සාධාරණත්වය සහ සමතැන අපේක්ෂා කළ දරිද්‍රතාවයේ පත්ළටම වැටී සිටි මිනිසුන්, සංක්‍රමණිකයන්, වර්ණ භේදයෙන් පීඩාවට පත් වූවන් මෙන්ම ජාතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික නැමියාව අනුව නොබෙදෙන, සැමට එක හා සමානව සළකන සමාජයක් පිළිබඳ සිහින දකින මිනිසුන් මෙම සුළු කෝලාහලයෙන් ඇරඹුණු විරෝධතා ව්‍යාපාරවලට එකතු වුණා.

විලේජ් වොයිස් නම් පුවත්පතක් විසින් මෙම කැරලි කෝලාහල පිළිබඳ විස්තරය ප්‍රකාශයට පත් කිරීමත් සමග යි මෙම සිදුවීම නිව් යෝර්ක් පුරා ප්‍රචාරය වුණේ. කෝලාහලය සිදුවන අතරතුර විලේජ් වොයිස්හි වාර්තාකරුවෙක් පොලිස් නිලධාරීන් සමග ස්ටෝන්වෝල් ගොඩනැගිල්ලේ සිරවුණ නිසා ඇසින් දුටු සාක්ෂ්‍යකරුවෙකු පරිද්දෙන් මෙම සිදුවීම වාර්තා කිරීමට එම පුවත්පතට හැකි වුණා. මෙම සවිස්තරාත්මක වාර්තා කිරීමත් මෙම විරෝධතා පැතිරීමට හේතුවක් වුණා.

“ස්ටෝන්වෝල් පිබිදීම” සමලිංගික අයිතිවාසිකම් උදෙසා වූ ව්‍යාපාරවල ආරම්භය සනිටුහන් නොකළත්, එය LGBT දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රබල බලවේගයක් ඇති කිරීමට හේතු වූ අතර The Gay Liberation Front, Human Rights Campaigns, GLAAD (Gay and Lesbian Alliance Against Defamation), PFLAG (Parents, Families and Friends of Lesbians and Gays) ඇතුළු සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසකට මඟ පාදන්න හේතු වුණා.

1970 ජුනි 28 වන දින, එනම් ස්ටෝන්වෝල් කැරැල්ල සිදු වී වර්ෂයකට පසු එහි පළමු සංවත්සරය සැමරීම පිණිස, ඇමරිකාවේ පළමු සමලිංගික අභිමානවත් පෙළපාළිය ලෙස හැඳින්වෙන “ක්‍රිස්ටෝපර් වීදියේ විමුක්ති දිනය” වෙනුවෙන්, දහස් ගණන් වූ ජනයා ස්ටෝන්වෝල් තානායමේ සිට සෙන්ට්‍රල් පාර්ක් දක්වා මෑන්හැටන්හි වීදිවල පෙළපාලි සංවිධානය කළා. වර්ෂ 2016 දී එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරක් ඔබාමා විසින් මෙම කැරළි කෝලාහල සිදු වූ ස්ටෝන්වෝල් තානායම, ක්‍රිස්ටෝපර් උද්‍යානය සහ අවට වීදි ඇතුළු ප්‍රදේශය, සමාජ සාධාරණත්වයට ස්ටෝන්වෝල් සිදුවීම හරහා වූ උන්නතියට ගෞරවයක් වශයෙන් ජාතික ස්මාරකයක් ලෙස නම් කළා. එයිනුත් එපිටට යමින් 2019 ජුනි 6 වන දින නිව්යෝක් නගරයේ පොලිස් කොමසාරිස් වන ජේම්ස් පී. ඔනීල් විසින් 1969 දී ස්ටෝන්වෝල් වෙත එල්ල කළ අමානුෂික ප්‍රහාරය පිළිබඳව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සමාව අයැදුවා.

 ස්ටෝන්වෝල් චිත්‍රපටයේ නිළ ප්‍රචාරක දැන්වීම්/alchetron.com]

සිනමාවට නැඟුණු ස්ටෝන්වෝල්

ස්ටෝන්වෝල් සමාජ ශාලාව මූලික කරගෙන ඇති වූ මෙම කෝලාහලය සහ පසුව ප්‍රදේශය පුරා ඇති වූ විරෝධතා රැල්ල පදනම් කරගනිමින් 2015 දී එම නමින්ම චිත්‍රපටයක් එළිදැක්වෙනවා. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රෝලන්ඩ් එමරිච් විසින්. චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ 1960 දශකයේ අග භාගයේ දවසක ඉන්ඩියානා ප්‍රාන්තයේ ගතානුගතික ගම්බද ප්‍රදේශයක ඉපදුණු ඩැනී වින්ටර්ස් නම් තරුණයෙක් වටා යි. ඔහු පසුකලෙක නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වෙනවා.ඔහුගේ සංක්‍රමණය පිටුපස තියෙන්නේ දුක්බර කතාවක්.

ඩැනී කියන්නේ වැඩිදුර ඉගෙන ගන්න ආශාවක් දක්වන, කඩවසම් සහ බොහොම නිහතමානී හොඳ ගතිගුණ තියෙන තරුණයෙක්. තමන්ගේ නැගණියට පණ ඇරලා ආදරය කරන හොඳ සහෝදරයෙක්. ඔහුත් ඕනෑම පුද්ගලයෙක් වගේම අවංක බැඳීම් ඇතුළේ සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවන්න ආශා කරන මනුස්සයෙක්. ඒත් එක තැනක දී ඩැනීගේ ලිංගික දිශානතිය ලෝකයට හෙළිදරව් වෙනවා. ඔහුගේ සමලිංගිකත්වය නිසා ඔහු පවුලෙන් ප්‍රතික්ෂේප වෙනවා. තමා උපන් ගමෙන් ඩැනී ප්‍රතික්ෂේප වෙනවා. මනුෂ්‍යයෙක් විදිහට ඔහු අත්පත් කරගත් හැම යහපත් ගුණාංගයක්ම සමාජය ඔහුගේ ලිංගික දිශානතියෙන් නිර්දය විදිහට වහලා දානවා. අවසානයේ දී ඩැනී තමාව ප්‍රතික්ෂේප නොකරන තැනක් සොයා නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වෙනවා. ගම්බද මධ්‍යම පාංතික පවුලක ඉපදුණු ඩැනී එච්චර දුක් විඳපු හාදයෙක් නෙවෙයි. නමුත් ඔහු නිව් යෝර්ක් නගරයේ ග්‍රීනිච් විලෙජ් ප්‍රදේශයට පැමිණි පසු මෙතෙක් ඇසුරු කරන්න නොලැබුණු සමාජ ස්ථරයක් ඩැනීට ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. 

Stonewall චිත්‍රපටයේ පෙන්වන ස්ටෝන්වෝල් කැරැල්ලේ සිදුවීම් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නේ ගම්බද මධ්‍යම පාංතික පවුලකින් එන මෙම තරුණයා කේන්ද්‍ර කරගෙන යි.

අපටත් යමක් උකහා ගත හැකියි…

සමලිංගිකත්වය හෝ ඒ මත පදනම්ව ඇති අයිතිවාසිකම් ගැන අප අතර විවිධ මතිමතාන්තර ඇති. මෙම ලිපියේ අරමුණ වන්නේ මේ සියළු මතිමතාන්තර අතරේ කිසිදු පැත්තකට ආන්තික නොවී, මෙම ඉතිහාසගත සිදුවීමෙන් මධ්‍යස්ථ ලෙස අපට යමක් උකහා ගත හැකි දැයි විමසා බැලීම යි. පොදුවේ ගතහොත් සමාජ අසාධාරණයන් ඉදිරියේ නිහඩව සිටීමේ ආදීනව ශ්‍රී ලාංකිකයන් ලෙස අපි පමණට වඩා බුක්ති විඳිමින් සිටිනවා.

ස්ටෝන්වෝල් තානායම සහ සමාජ ශාලාව – වර්ෂ 1969/ liberationschool.org

උදාහරණයක් ලෙස මෑතක දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ඇමරිකානු ජාතිකයා, එක්සත් ජනපදයේ පොලිස් නිලධාරියෙකු අතින් ගෙල සිරවී මරණයට පත් වීමෙන් පසු ඇමරිකාවේ කළු සුදු වර්ණ භේදවාදය නම් පිදුරු ගොඩට නැවත ගිනි ඇවිළුණා. එදා ඇමරිකානු පුරවැසියන් නැඟී සිටියේ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් නොව ෆ්ලොයිඩ් හරහා ඇතිවූ සමාජ අසාධාරණයට එදිරිව යි. ස්ටෝන්වෝල් සිදුවීමෙන් සමරිසියන්ට සිදු වූ අසාධාරණකම් හරහා ඔවුන් ගැන පමණක් නොව වෙනත් සමාජ විෂමතා ගැනත් කරළියට පිවිසුණු අතර ෆ්ලොයිඩ්ගේ සිදුවීම ඉතිහාසය නැවත වතාවක් අප හමුවට එන බවට කදිම නිදසුනක්. 

සමානාත්මතාවය, අපගේ සිත් තුළ පැවතිය යුතු දෙයක්. අන්‍යයන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීම, සමාජ විවිධත්‍වයට ගරු කිරීම වැනි සරල කාරණා එහි මුල් අත්පොත් තැබීම්. එවිට කුමන හෝ භේදයක් මත යැපෙන (ආගම්, ජාති, ස්ත්‍රී පුරුෂ සමාජභාවී හෝ අපව නිර්දය ලෙස බෙදා වෙන් කරන ඕනෑම භේදයක්) දූෂිත පුද්ගලයින්න් හමුවේ අපට දිගින් දිගටම අසාධාරණයට පත් වීමට සිදු නොවේ. ස්ටෝන්වෝල් චිත්‍රපටයේ එන එක් දෙබසක් සටහන් කරමින් මෙම ලිපියේ අවසානය සනිටුහන් කරන්නම්.

“අප එකිනෙකාගෙන් වෙනස් විය හැකි නමුත්, අප සැවොම කරන්නේ එකම සටනකි…”

කවරයේ පින්තූරය: ස්ටෝන්වෝල් (2015) චිත්‍රපටයේ දර්ශනයක් (gagaoolala.com)

history.com

villagevoice.com

nytimes.com

imdb.com

Related Articles