කොළඹ පැරණි පල්ලි වටා ගෙතුණු රසකතා

රටේම කතෝලික ජනතාව බලාපොරොත්තුවෙන් සිටින නත්තල ටිකින් ටික ළං වෙනවා. කොළඹට කියා එහි වෙනසක් නැහැ. මෙවර කොඩිව් අවදානම නිසා නත්තල සරුවට සැමරීමට බාධා එල්ල වුණත්, හැකි අයුරින් නත්තල සමරා ප්‍රීතිවීම කතෝලිකයන්ගේ බලපොරොත්තුව යි. යුරෝපීය ආක්‍රමණත් සමග ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් කොළඹ ඉදිවුණු පල්ලි යටත්විජිත සමයේ මතක සටහන් අප වෙත ගෙන එනවා. කොළඹ පිහිටි ඓතිහාසික පැරණි පල්ලි රාශියක් අතරින් කිහිපයක් ආරම්භ වූ අයුරු මේ නත්තල් සමයේ දැන ගනිමු.  

නරි කැලෑවේ තැනූ වුල්ෆන්ඩාල් පල්ලිය

වුල්ෆන්ඩල් පල්ලිය පැරණි චිත්‍රයකින් – wikipedia.org

මෙම පල්ලිය පිහිටා තිබෙන්නේ කොටහේන ආදුරුප්පු වීදිය හෙවත් වුල්ෆන්ඩාල් වීදියේ යි. පිටකොටුව ප්‍රදේශයේ සිට මෙන්ම ආමර්වීදිය පැත්තෙනුත් එයට ළඟා විය හැකියි. එය පෞරාණික ස්වභාවය වෙනස් නොවී ඉතිරිව පවතින කොළඹ පැරණිම පල්ලියයි.

ග්‍රීක ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සිව්පසට විහිදුණු කුරුසයක හැඩයට තනා ඇති මෙහි ඉතිහාසය වර්ෂ 1749 දක්වා ඈතට දිවයනවා. එයට එම වර්ෂයේ මුල්ගල් තැබූ බව සඳහන්. එය තැනීමට ඕලන්ද රෙපරමාදු සභාවට VOC හෙවත් පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ අනුග්‍රහය ලැබී තිබෙනවා. 1751 මාර්තු 6දා එහි පළමු කැපකිරීම් පූජාව පවත්වා ඇති බව පැරැණි ලේඛනවල සඳහන්.

ආදුරුප්පු වීදියේ කන්ද මත පිහිටි පල්ලිය අප සිත් සියවස් දෙකහමාරක් අතීතයට රැගෙන යන ඓතිහාසික සිහිවටනයක්. පල්ලිය හඳුන්වන “වුල්ෆන්ඩාල්” යන වචනයේ අරුත, “වෘකයන්ගේ තැන්න” යන අරුත රැගත් පෘතුගීසි වචනයක් වූ “ඇගුවාඩි ලුප්” යන වචනයේ ලන්දේසි පරිවර්තනයක්. එකල එම ප්‍රදේශය මඩවගුරුවලින් යුක්ත වූ අතර, ඒවායේ නරි බහුලව ගැවසුණා. මේ නිසා ලන්දේසි, නරි බහුල තැනිතලාව වෘකයන්ගේ තැන්න බවට පත්කළා. මෙහි මුලින්ම තිබුණේ පෘතුගීසි පල්ලියක්. ලන්දේසි සමයේ දී ආගම වෙනස් කළ හා රෙපරමාදු ආගම වැළඳගත් ලාංකිකයන්ගේ ප්‍රයෝජනයට යි මෙම පල්ලිය යොදා ගත්තේ. මෙහි දහසක පමණ පිරිසකට ආසන පහසුකම් තිබෙනවා.

ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ කළුගල් පදනමක් මත යි. බිත්ති අඩි 5ක් පමණ ඝනකම්. කබොක් ගල්වලින් බිත්ති බැඳ ඇත්තේ හිරිගල් සහ හුණු බදාම යොදාගැනීමෙන්. ආරුක්කු සහිත ස්ථාන පිළිස්සූ ගඩොල්වලින් තනා තිබෙනවා. එහි මුදුන් පියස්ස බදාම හා ගඩොල් යොදාගෙන අර්ධ ගෝලාකාර හැඩයෙන් නිර්මාණය කර තිබෙනවා.

“දේවස්ථානය දෙවියන්ට කැපකළ දිනයේ සිටම ලංකාවේ ඕලන්ද යුගයේ සමාප්තිය තෙක් වුල්ෆන්ඩෝල් පල්ලිය කොළඹ ප්‍රධාන ආගමික ස්ථානය විය. මේ පිළිබඳව ප්‍රධාන සාක්ෂ්‍ය නම් ආණ්ඩුකාරයාට ද සමාගමේ උසස් නිලධාරීන්ට ද මෙහි වෙන්කරන ලද ආසනය. විල්ලුද පෝරුව සහිතව විශිෂ්ට අන්දමින් අලංකෘත කරන ලද ආණ්ඩුකාරයාගේ ආසනය උත්සවාලංකාරයෙන් ඔහු මේ දේවස්ථානයට අවතීර්ණ වූ කාලයේ මෙන් අද ද නව්‍යතාවයෙන් යුක්තය.” 

(කොළොම්පුර පුරාවෘත්තය, 37 පිටුව)

මෙහි ඇති පැරණි සොහොන් පුවරු 30කට අධික සංඛ්‍යාවත් එහි පුරාවිද්‍යාත්මක අගය වැඩි කිරීමට හේතු වෙනවා. එහි ඇති පැරණිම පුවරුව 1607ට අයත්. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ සොහොන් පුවරුව ද මෙහි දැකගත හැකියි. රෙපරමාදු කතෝලික පල්ලියක් වන මෙය නැරඹීමට විදෙස් සංචාරකයන් නිතරම එනවා.

ශාන්ත පාවුළු දේව­ස්ථා­නය – මිලා­ගි­රිය

 මිලාගිරිය දේවස්ථානය- wikipedia.org

ගාලු පාරත්, ඩික්මන් පාරත් එකි­නෙක සම්බන්ධ වන කෝණා­කාර භූමියේ මෙම පල්ලිය පිහිටා තිබෙනවා. පෘතු­ගීසි පාලන සමයේ මිලාග්‍රෙස් නම් ස්වාමි දුවගේ (ප්‍රාතිහාර්යයයේ ස්වාමි දුව) නමින් රෝමානු කතෝලික දේවස්ථානයක් මෙම ස්ථානයේ  තනා තිබුණා. පසුව ඉංග්‍රීසින් 1853 දී ගොතික් ශෛලියේ කුඩා දේව­ස්ථා­න­යක් සමගම පාසැ­ලක් ද  ආරම්භ කර තිබෙනවා. දැන් එහි ඇති දේව­ස්ථා­නය 1890 දී ඉදිකළ විශාල ගොඩනැගිල්ලක්. එය ග්‍රීක බැසිලිකා ආකෘතිය අනුව තනා තිබෙනවා. උස් කෝණා­කාර මුදු­නක් සහිත වූ පල්ලිය දෙප­සට විහි­දුණු පල දෙකක වහ­ල­ය­කින් යුක්ත යි. ඉදි­රි­පස ප්‍රවේ­ශය විශාල ගොතික් ආරු­ක්කු­ව­කින් සමන්විත යි.

මිලාගිරිය පල්ලිය 1853 දී විවෘත කළ දින දැක්වෙන චිත්‍රයක්- කොළොම්පුර පුරාවෘත්තය- ආර් එල්. බ්‍රොහියර් කෘතියෙනි

ශාලාවේ දෙපස පටු ආරුක්කු පෙළ­ක් ද තනා තිබෙන්නේ පල්ලියට වඩාත් අලංකාර පෙනුමක් ලබාදීමට යි. මෙයත් ඇංග්ලිකන් පල්ලියක්.  මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය පිහිටා ඇත්තේ ද පල්ලියට යාබදව යි.

සියලු ශාන්තු­ව­රුන්ගේ දේව­ස්ථා­නය  – අලු­ත්කඩේ

දේවස්ථාන ගොඩනැගිල්ල- Trip adviser.com

අලුත්කඩේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ සංකී­ර්ණ­යට පසු­ප­සින් පිහිටා ඇති මෙය උස් කෝණා­කාර මුදුන් කොතක් සහිත දේවස්ථානයක්. එය ඉදිකර තිබෙන්නේ ගොතික් වාස්තු ­වි­ද්‍යා­වට අනුවයි. මෙම ගොඩනැගිල්ල 1865 දී ඉදිකිරීම ආරම්බභ කර 1870 දී තනා නිම කළ බව සඳහන් වෙනවා. එය තනා තිබෙන්නේ රජයේ වැඩ දෙපා­ර්ත­මේ­න්තු­වෙන්.

පල්ලිය ඇතුළත සිත්තම්- Sunday observer.lk

යටත්විජිත යුගයේ දී බණ්ඩාරනායක සහ ඔබේසේකර පවුල්වල අනුග්‍රහය මේ පල්ලියට ලැබී තිබෙනවා.  මෙය ඇංග්ලිකන් භක්තිකයන්ට ආගමික කටයුතුවලට ඉදිකළ පල්ලියක්. වර්ෂ 2015 දී මෙහි 150 වන සංවත්සරය පැවැත්වුණා.  මෙහි තිබෙන ලී බඩු ද අවුරුදු 145ක් පමණ පැරණි බව යි කියැවෙන්නේ. ඒවා අලංකාර ලී කැටයමින් යුක්ත යි.

එක්ලක්ෂ හැටදාහක් වැයවූ කොට­හේනේ පල්ලිය

ශාන්ත ලුසියා දේවස්ථානය –  wikipedia.org

කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානය කොළඹ නග­රයේ පිහිටි විශා­ල­තම දේව­ස්ථා­න­යක්. මෙහි 6000ක පිරිසකට රැස්විය හැකියි. වර්ෂ 1760 දී පල්ලිය මුලින් ආරම්භ වී ඇත්තේ පොල් අතු මඩු­වක් ලෙසින්. වර්ෂ 1782 දී නික­ලස් රොඩ්රි­ගුස් පිය­නම එය ස්ථිර ගොඩ­නැ­ගි­ල්ලක් බවට පත් කළා. ඊට පසු 1820 හා 1834 ප්‍රති­සං­ස්ක­රණ කටයුතුවල දී මේ ගොඩනැගිල්ල තවත් සංවර්ධනය වුණා.   ලංකාවේ පළමු ආසන දෙව් මැදුර බවට පත්වුණේ ශාන්ත ලුසියා දේවස්ථානය යි.  අද පල්ලියේ දැකගත හැකි බොහෝ අංග 1881 – 1909 වර්ෂ අතර විවිධ ප්‍රතිසංස්කරණවල දී එක­තු­ක­රන ලද ඒවා යි. ’ස්ටැනිස්ලූ තබ­රානි’ පියනමගේ ඉතාලි සැර­සිලි රටා අනුව මෙය ඉදිකර සැලසුම් කර තිබෙන්නේ  ගොඩ­නැ­ගිලි සැල­සුම් ශිල්පී එච්. එෆ්. තොම්ලන් හා ජේ. සී. හැමොන්ස් විසින්. වෝකර්ස් සමාගම ඉදි­කි­රීම් කොන්ත්‍රාත්තුව සිදු­කර තිබෙනවා .

දේවස්ථානය වෙනුවෙන් නිකුත් කළ මුද්දර මුල් දින කවරයක්- Stamps.gov.lk

දේව­ස්ථා­නයේ පළමු දේව මෙහෙය සිදුව තිබෙන්නේ 1881 දී යි. මෙහි ඉදිකිරීම් නිමවන විට රු. 160,000ක් වැයවී ඇති බව සඳහන්. ඒ මුදල් ලබාදී තිබෙන්නේ මෙරට කතෝලික ජනතාව යි. දේව­ස්ථා­නය මුදුන දක්වා උස අඩි 151ක්. 1924 දී පල්ලියට ප්‍රතිමා රාශියක් එකතු වූ අතර ඒවා නිර්මාණය කිරීමට මුල්වී තිබෙන්නේ කලාකරුවකු වූ ජේ. මිලිනර් පියනම විසින්.  ප්‍රධාන ඩෝමය හා පරි­වාර ඩෝමය ඉදි­රි­යෙන් ශාන්ත ලුසියා හා පරි­වාර ශාන්තු­ව­රුන්ගේ ප්‍රතිමා කීප­යක් සවිකර තිබෙනවා.

දේවස්ථානය ඇතුළත – Thekingburyhotel.com

ප්‍රංශයෙන් ගෙන්වන ලද, ලංකාවේ දැනට ඇති බරැතිම හා විශාලම ඝණ්ඨා­වක් ද මෙහි තිබෙනවා.  එහි බර රාත්තල් 4300ක් (කිලෝග්‍රෑම් 1950කට මඳක් වැඩිය). 1856 දී ශාන්ත බෙන­ඩික් විද්‍යා­ලය ද, 1869 දී යහ­පත් එඬේ­රාගේ කන්‍යා­රා­මය ද මෙම දේවස්ථානයට අනුබද්ධව ආරම්භ වුණා.

පල්ලිය අසල හටගත් කොටහේන කැරැල්ල- colombofort.com

දෙවන ලෝක යුද්ධ සමයේ 1942 දී ජපන් බොම්බ ප්‍රහාරයක් මෙම පල්ලියට ද එල්ල වුණා. එහිදී මෙහි ඩෝමයට හානි වූ අතර පසුව අලුත්වැඩියාවට ලක්කෙරුණා.

1883 මාර්තු 25 දා පාස්කු ඉරිදා දිනයේ පල්ලිය අසල කෝලහලයක් හටගත් අතර එය කොටහේන කැරැල්ල නමින් හැඳින්වුණා. බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ඇතිවුණු එම කෝලහලයෙන් බෞද්ධයෙක් සහ රෝමානු කතෝලිකයෙක් මිය ගියා. තිස්දෙනෙකු තුවාළ ලැබුවා.

මලබාර්වරුන්ට පිහිට වන්න තැනූ  ජින්තු­පි­ටිය පල්ලිය

ශාන්ත තෝමස් දේව­ස්ථා­නය-  wikipedia.org  

ජින්තුපිටිය ශාන්ත තෝමස් දේව­ස්ථා­නය  ශ්‍රී ලංකාවේ පළමු ඇංග්ලිකන් පල්ලිය ලෙස සැලකෙනවා. එය ඉදිකරන ලද්දේ කොළඹ පදිංචි මලබාර් ක්‍රිස්තියානි බැතිමතුන් වෙනුවෙන්. ඒ වන විට මලබාර් ක්‍රිස්තියානි බැතිමතුන් බම්බලපිටිය ශාන්ත පීතර පල්ලියට ගොස් ඇති අතර, ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිවීම නිසා වෙනම පල්ලියක් අවශ්‍ය වී තිබෙනවා. ආණ්ඩු­කාර රොබට් බ්‍රවු­න්රිග් විසින් 1815 දී මුල්ගල තබා මෙහි වැඩ ආරම්භ කර තිබෙනවා. පල්ලිය ඉදිකිරීමට ප්‍රධාන අනු­ග්‍රා­හ­කයා වූයේ ද ආණ්ඩුකාරයා බව සඳහන්. රජයේ මිනු­ම්පති ජී. ස්කින්ඩර්ගේ අධී­ක්ෂ­ණය යටතේ ඉදි වූ මෙම පල්ලිය එංග­ලන්ත සභාව යටතේ පාල­නය වුණා.

පල්ලිය ඇතුළත- wikipedia.org  

දේව­ස්ථා­න­යට අයත් පැරණි සුසාන භූමියේ කුරුස රූප හා මත්ස්‍ය රූප රැගත්, පෘතු­ගිසි පාලන සමයේ සිට පැව­තෙන සොහොන් පුවරු කීප­යක් තිබෙනවා. අද ප්‍රකට පාසලක් වන ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යා­ලය 1804 දී මුලින්ම ආරම්භ වූයේ ද මේ ස්ථානයේ උස් බිමක යි. 1903 දී දේව­ස්ථා­නය ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට ලක්වීමෙන් පසු එහි මුහු­ණත ත්‍රිකෝ­ණා­කා­ර ස්වරූ­ප­යට සකස් කර තිබෙනවා.

කොයි ආගමටත් පිහිට වන කොච්චිකඩේ පල්ලිය

පල්ලිය ඉදිරිපසින් -wikipedia.org  

කොච්චිකඩේ පල්ලිය කිතුණුවන්ගෙන් පමණක් නොව බොදුනු, මුස්ලිම්, සහ හින්දු බැතිමතුන්ගෙන් ද නිතර පිරී පවතිනවා. එයට හේතුව, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට වන්දනා කිරීමට, බාරහාර වීමට සෑම ආගමකම බැතිමතුන් පැමිණෙන හෙයින්.

කොච්චිකඩේ පල්ලිය වැඳපුදා ගැනීමට ශ්‍රී ලංකාවේ දුරබැහැරවලින් පවා කතෝලිකයෝ පැමිණෙනවා. 2019 පාස්කු ප්‍රහාරයෙන් මෙම පල්ලියට බරපතළ හානි සිදුවුණා. විශාල පිරිසක් මරණයට පත්වුණා. කොළඹ වරායට නුදුරින් මුහුදු සුළං වැදෙන සීමාවේ පිහිටි ශාන්ත අන්තෝනි පල්ලිය ධීවර ප්‍රජාව අතර වඩාත් ප්‍රකට පුදබිමක්. එහි මුහුණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටියක ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර තිබෙනවා. එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරකයක්. එම ප්‍රතිමාව 1822 වර්ෂයේ ගෝවෙන් රැගෙන එන ලද්දක් බව යි පැවසෙන්නේ. අද දක්නට ලැබෙන දේවස්ථාන ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ දී, එනම් 1832 දී, ඉදිකළ පසුව විවිධ නවීකරණවලට ලක්ව තිබෙනවා.

උත්සව සමයට සැරසෙන පල්ලිය – Ft.lk

දේවස්ථාන මුහුණත අලංකාර යි. මුදුන් කොත්, බීරළු වැට, ඩොරික් කුලුනුවලින් සමන්විත යි. මුහුණත දෙපසින් චතුරස්‍රාකාර සීනු කුලුනු දෙකක් සහිත යි. පහත භාගයේ දොරටු හා ජනේල ආරුක්කු ආකාරයට සකසා ඇත්තේ ගොතික් සම්ප්‍රදායට අනුව යි.

ඕලන්ද පාලන සමයේ දී ඉන්දියාවේ කොචින් නගරයේ සිට පියනමක ශ්‍රී ලංකාවට පැමිණ ස්වේච්ඡාවෙන් කතෝලික ආගම ව්‍යාප්ත කිරීම ආරම්භ කළ අතර, ඔහු මැලිබන් වීදියේ මාළු වෙළෙන්දකු වශයෙන් රහසිගතව දහවල් කාලයේ කටයුතු කළා. රාත්‍රියට කතෝලික පියනමක වශයෙන් පූජා පවත්වමින් ද ආශිර්වාද කරමින් ද සිටියා. මෙම පියනම පිළිබඳව ඕලන්ද පාලකයන් දැනගෙන ඔහු අත්අඩංගුවට ගත්තා. ඊට පසු පියතුමා ඕලන්දයන්ගෙන් මිදී පලාවිත් මුහුදුබොඩවත්ත නම් ප්‍රදේශයේ කතෝලික, බෞද්ධ, සහ හින්දු ජනකොටස් අතර වාසය කළා. පල්ලිය මුලින්ම ආරම්භ කර ඇත්තේ එම පියනම යි. කොච්චිකඩේ දේවස්ථානය කැප කර ඇත්තේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ නමට යි. ඔහු පෘතුගාලයේ ලිස්බන් නුවර උපන් පර්ඩිනන් බුලියන්. පසුව ශාන්තුවරයකු වූ ඔහු දේව වරමින් ප්‍රාතිහාර්යය කිරීමේ බලය ද අනාවැකි පළකිරීමේ හා විවිධ භාෂා කතා කිරීමේ හැකියාව ද ලබාගත් බව කතෝලිකයෝ අදහනවා. දුප්පතුන්ගේ ශාන්තුවරයා යන නාමයෙන් තමයි ඔහු හැඳින්වෙන්නේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

http://www.silumina.lk/2018/12/22 

colombofort.com

කොළොම්පුර පුරාවෘත්තය- ආර් එල්. බ්‍රොහියර් පරි. පද්මා එදිරිසිංහ

ඓතිහාසික ස්ථාන සහ ස්මාරක- කොළඹ දිස්. සීවලී බණ්ඩාර මනතුංග

කවරය - කොළඹ පැරණිම වුල්ෆන්ඩල් පල්ලිය-wikipedia.org

Related Articles