Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වන වැදුණු ළමයින් පස්දෙනෙක් ගැන විස්මයජනක කතා පුවත්

මිනිස් සමාජයෙන් වෙන් ව වනාන්තරවලට වැදී ජීවිතය ගත කළ පුද්ගලයන් පිළිබඳ කතාන්දර- නවකතා, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වැනි නිර්මාණ ගණනාවක- අපට හමු වේ. එවැනි පුද්ගලයන් සැබෑ ජීවිතයේ හමු වීම වර්තමාන සමාජයේ ඉතා දුර්ලභ සිදුවීමකි. කෙසේ වෙතත් මීට සියවස් ගණනකට පෙර සැබැවින් ම එවැනි පුද්ගලයන් හමු වී ඇත. මෙම ලිපිය ලොව විවිධ රටවලින් හමු වූ, දීර්ඝ කාලයක් වනගත ව සිටි එවැනි පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව යි.

1. බෙල්ජියමේ ජෝර්ජ්

දීර්ඝ කාලයක් තිස්සේ වනගත ව සිටි පුද්ගලයකු පිළිබඳ වන පැරැණිත ම සටහන්වලින් එකක් බෙල්ජියමේ ජීවත් වූ ජෝර්ජ් නම් තරුණයකු වටා ගෙතී තිබේ. 1644 දී ලියැවී ඇති සටහනක සඳහන් වන්නේ ජෝර්ජ්ට වයස අවුරුදු පහේ දී පමණ එක්තරා හමුදා සෙබළුන් පිරිසකගෙන් ගැලවීමට ඔහු (ජෝර්ජ්), පවුලේ සාමාජිකයන් සහ ගම්වැසියන් අසල පිහිටි වන ලැහැබකට පලා ගොස් ඇති බව යි. එම හමුදා සෙබළුන් පිරිස වෙනත් ප්‍රදේශයකට ගිය පසු ජෝර්ජ්ගේ පවුලේ අය සහ ගම්වැසියන් නැවතත් ගම්බිම් බලා පැමිණ තිබේ.

ජෝර්ජ් පිළිබඳව සටහන් තැබූ පුද්ගලයාගේ සිතුවමක් – www.history.com

කෙසේ වෙතත් වන ලැහැබේ ඈත කෙළවරකට ගොස් සිටි ජෝර්ජ්, වල්බෙරි සහ වෙනත් පලතුරු වර්ගවලින් කුස පුරවා ගනිමින් වසර 16ක කාලයක් එහි ම රැඳී සිට ඇත. වයස අවුරුදු 21 දී ඔහු එක්තරා ගොවිපොළකින් ආහාර සොරා ගැනීමට තැත් කිරීමේ දී ගම්වැසියන්ට හසු විය. ඒ වන විට ඔහු නිරුවතින් සිටි බවත් මුළු ශරීරය ම රෝමවලින් වැසී තිබුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. වසර ගණනාවක් තිස්සේ කිසිවෙක් සමග කතාබහ කර නොතිබූ බැවින් ඔහුට සියලු ම භාෂා අමතක වී තිබිණි. ඒ වන විට ඔහුට ඈත ස්ථානයක ඇති ආහාරවල සුවඳ පවා දැනෙන ඉවක් තිබූ බව කියැවේ.

2. ජර්මනියේ පීටර්

1725 ග්‍රීෂ්ම ඍතුවේ දී උතුරු ජර්මනියේ වනාන්තරයක කතා කිරීමට නොහැකි නව යොවුන් වියේ පිරිමි දරුවෙක් හුදෙකලාව ජීවත් වන බව වාර්තා විය. ඔහු බ්‍රිතාන්‍යයේ පළමු ජෝර්ජ් රජු හමුවට ගෙන ආ අතර ඔහුගේ වෙනස් හැසිරීම දැක රජු ඔහුට කැමැත්තක් දක්වන්නට විය. රාජකීය අමුත්තන් සඳහා සංවිධානය කළ සාදවල විනෝදාස්වාදය සඳහා පීටර් යොදා ගත් අතර ඔහුගේ වෙනස් හැසිරීම, බොහෝ දෙනෙක් ප්‍රිය කළහ. පීටර් ප්‍රසිද්ධියේ, බලහත්කාරයෙන් මෙන් කාන්තාවන් සිප ගත්තේ ය.

පීටර් ගේ සිතුවමක්/ www.pinterest.com

වෙනස් පුරුදුවලින් බැහැර ව සාමාන්‍ය පුද්ගලයකු ලෙස ජීවත් වීමට ඔහු හුරු කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බැවින් අවසානයේ ඔහු ගම්බද ප්‍රදේශයකට පිටත් කර හැර තිබේ. ඔහු එහි 1785 දී මිය යන තුරු ජීවත් විය. ඔහු මුලින් ම වනගත වූ හේතුව කුමක්දැයි නිශ්චිතව අනාවරණය වී නොමැති වුවත් බොහෝ දෙනෙක් පවසන්නේ එක්තරා ස්නායු ආබාධයකින් පෙළුණු ඔහු කුඩා කාලයේ දී ම අත්හැර දමන්නට ඇති බව යි.

3. ප්‍රංශයේ මාරි-ඇන්ජලික් මෙම්මි ලී බ්ලැන්ක්

1731 වසරේ එක්තරා දිනෙක, ලී මුගුරු අතින් ගත් වනගත ව සිටි තරුණියක් දැකීමෙන් ප්‍රංශයේ සොන්ගි ගම්මානයේ ගම්වැසියෝ මවිතයට පත් වූහ. සත්ත්ව හම්වලින් සකස් කළ ඇඳුමකින් සැරසී සිටි ඇගේ පෙනුම වයස අවුරුදු 18ක පමණ දැරියකගේ පෙනුමට සමාන විය. කෙසේ වෙතත් ශරීර ප්‍රමාණයට සාපේක්ෂව පුදුම සහගත ලෙස ශක්තිමත් වූ ඇය වරෙක අත රැඳී මුගුරෙන් පහර දී දඩයම් බල්ලෙක් පවා මරා දමා තිබේ. පසුව ගම්වැසියෝ එක් ව ඇය වනාන්තරයෙන් පිටතට රැගෙන ඒමට කටයුතු කළහ. ඇය වඩාත් ප්‍රිය කළේ අමු මස් ආහාරයට ගැනීමට බැවින් එය ගම්වැසියන් පුදුමයට පත් කළ කරුණක් විය.

මාරි අයත් වූ ජනකොටස දැක්වෙන සිතුවමක් -MPI- Getty Images

ටික කලක් යන විට මෙම දැරිය ප්‍රංශ භාෂාව කතා කිරීමට ඉගෙන ගෙන වඩාත් ශිෂ්ට සම්පන්න ලෙස ජීවත් වූවා ය. මාරි-ඇන්ජලික් මෙම්මි ලී බ්ලැන්ක් නමින් බව්තීස්ම ලැබූ ඇය එතැන් පටන් එක්තරා කන්‍යාරාමයක ජීවත් වූවා ය. ඇය සඳහන් කර ඇත්තේ වහල් සේවිකාවක ලෙස තමන් යුරෝපයට රැගෙන ආ බවත් එම කාලය තුළ වනාන්තරයකට පලා ගොස් ජීවත් වූ බවත් ය. පසුකාලින පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ඇය අමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන විස්කොන්සින් ප්‍රදේශයේ උපත ලැබූ දේශීය ජනකොටසකට අයත් අයකු බව යි.

4. ප්‍රංශයේ වික්ටර්

දීර්ඝ කාලයක් ප්‍රංශයේ ඇවේරොන් ප්‍රදේශයේ වනගත ව සිටි වික්ටර් පිළිබඳ තොරතුරු මුලින් ම අනාවරණය වන්නේ 1800 දී ය. ඒ වන විට ඔහුට ආසන්න වශයෙන් වයස අවුරුදු 12ක් විය. සොයා ගන්නා අවස්ථාව වන විට ඔහු නිරුවතින් සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ වන විට ඔහුට කතා කිරීමේ හැකියාවක් ද නොවී ය. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අනතුරුවලට ලක් වී ඇති බව පිළිබිඹු කරන කැළැල් ගණනාවක් ද ඔහුගේ ශරීරයේ විය.

ඔහු ස්නානය කිරීමට හෝ වෙනත් පුද්ගලයන් අතින් ස්පර්ශ වීමට ද කැමැත්තක් නොදැක්වී ය. තවත් විශේෂත්වයක් වූයේ ඔහු තෝරාගත් ශබ්ද කිහිපයක් සඳහා පමණක් අවධානය යොමු කිරීම යි. උදාහරණයක් ලෙස වෙඩි හඬක් ඇසුණු විට පවා අවධානය යොමු නොකළ ඔහු සිය ප්‍රියත ම ආහාරය වූ වොල්නට් ගෙඩියක් බිමට වැටෙන හඬට අවධානය යොමු කළේ ය.

වික්ටර් ගේ කල්පිත සිතුවමක් – www.history.com

කථන ආබාධ තත්ත්වයන් සහිත දරුවන් සඳහා වූ පාසලක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙම දරුවාට ‘වික්ටර්’ යනුවෙන් නම් තබා, ඔහු සමග සමීප වී කතා කිරීමට ඉගැන්වීමට තැත් කළ නමුත් එය සාර්ථක නොවී ය. කෙසේ වෙතත් ටික කලක් ගත වන විට වික්ටර් ස්නානය කිරීමට සහ යම් යම් හැඟීම් මුහුණෙන් නිරූපණය කිරීමට හුරු විය. වික්ටර් වයස අවුරුදු 40 දී පමණ මිය ගිය අතර ඒ වන විටත් ඔහුට සම්පුර්ණ වාක්‍යයක් පැවසීමට හැකියාවක් නොවීය.

5. ජර්මනියේ කැස්පර්

1828 මැයි 26 දින ජර්මනියේ නියුරම්බර්ග් නගරයෙන් මතු වූ නව යොවුන් පිරිමි ළමයෙක්, ඔහුට හමු වූ අයට ඇදහිය නොහැකි කතන්දරයක් කියන්නට විය. ‘කැස්පර් හෝසර්’ නමින් තමන් හඳුන්වා දුන් ඔහු පැවසුවේ වසර 13ක් තිස්සේ තමන් කුඩා කාමරයක සිර වී සිටි බව යි. එම කාලය තුළ සිය මිතුරන් වූයේ දැවමය සෙල්ලම් භාණ්ඩ කිහිපයක් බවත් ඔහු පැවසුවේ ය.  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තරමක අද්භූත පෙනුමක් ඇති පුද්ගලයෙක් සෑම දිනක ම පැමිණ තමන්ට ආහාර සහ ජලය ලබා දුන් බව යි.

ඔහුගේ කතාන්දරයේ තිබූ පුදුම සහගත බව නිසාම එය ඉතා වේගයෙන් යුරෝපය පුරා පැතිර යන්නට විය. සමහරුන් ඔහු පැවසු දෑ විශ්වාස කළ නමුත් තවත් සමහරුන් චෝදනා කළේ ඔහු ගෙතූ කතන්දරයක් පවසන බව යි. ඔහු ඉතා ඉක්මනින් ලිවීමට සහ කියවීමට ඉගෙන ගත් බවත්, ඔහුගේ ශරීර වර්ණය දීර්ඝ කාලයක් තිස්සේ හිරු එළියට නිරාවරණය නොවූ අයකුගේ ශරීර වර්ණයට වඩා බොහෝ සෙයින් වෙනස් බවත් සමහරු තර්ක කළහ.

කැස්පර්ගේ සිතුවමක් – www.history.com

ඊට වසර පහකට පසු, එනම් 1833 දී ඔහු ම සිදු කරගත් පිහිඇනුම් තුවාලයක් නිසා කැස්පර් ජීවිතක්ෂයට පත් විය. එතැන් පටන් ඔහු පිළිබඳව විවිධ කටකතා පැතිරෙන්නට වූ අතර සමහරුන් පැවසුවේ ඔහු රජ පවුලකට අයත් කුමාරයකු බව යි. ඔහු රාජ්‍යත්වයට පත් වීම වැලැක්වීමේ අරමුණින් කාමරයක සිර කර තබන්නට ඇති බවත් ඔවුහු තර්ක කළහ. 

 

කවරයේ ඡායාරූපය- වනගත ළමයෙක් සහ වලසෙක් දැක්වෙන ඡායාරූපයක් - www.dinoanimals.com

මූලාශ්‍ර:

www.history.com

Evan Andrews

Related Articles