කොළඹ කොටුවේ ඉපැරණි බිල්ඩිංවල හැංඟුණු රහස්

සියවස් හතරකට වැඩි කලක් යුරෝපීය ජාතීන් තුනකට යටත්වී පැවති කොළඹ කොටුව, යටත්විජිත යුගයේ මතක අදටත් අපට ළං කිරීමට සමත් තැනක්. කොටුවට යන වැඩි දෙනෙක් ඒවා ගැන උනන්දුවක් නොදැක්වුවත් මේවායේ අතීත පුවත් විමසා බැලීම කුතුහලය දනවන වැඩක්. මේ එවැනි ගොඩනැගිලි කිහිපයක් ගැන සොයාබැලීමක්.

සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලට නම ලැබුණේ කොහොම ද?

ගොඩනැගිල්ලේ පැති පෙනුම- Lego.lk

අද අහස සිඹින ගොඩනැගිලි පිරිලා තිබුණත්, කොළඹ උසින් වැඩිම ගොඩනැල්ල ලෙස කලක් පැවතියේ සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යි. එය පිහිටා ඇත්තේ මහ බැංකුවට නුදුරින්, ඉදිරිපිට චැතැම් වීදියේ. එය අයිති ශ්‍රී ලංකා මහ බැංකුවට යි. අද එහි ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය පිහිටා තිබෙනවා. මහල් හතකින් යුත්, ඉංග්‍රීසි හා ග්‍රීක රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තැනුණු මෙම ගොඩනැගිල්ලට 1996 මහ බැංකු බෝම්බයෙන් හානි පැමිණෙනවා. පසුව එය තාවකාලික හමුදා බැරැක්කයක් ලෙස පාවිච්චි කළ අතර යළිත් 2013 දී ප්‍රතිසංස්කරණය කර නැවත මහ බැංකුවේ භාවිතයට යොදා ගත්තා.

ගොඩනැගිල්ල පැති කිහිපයකින්- attractionsrilanka.com

මෙම ගොඩනැගිල්ල  මහජනයා වෙත විවෘත වූයේ 1914 වර්ෂයේ දී යි. එවකට ගෝලීය රක්ෂණ සමාගමක් වූ නැෂනල් මියුචුවල් ලයිෆ් ඇසෝසියේෂන් ඔෆ් ඔස්ට්‍රලේෂියා ලිමිටඩ්හි කර්යාලය පිහිටි ගොඩනැගිල්ල මෙය වුණා. කොළඔ කොටුවේ පැරණි ඔරලෝසු කණුවට යාබදව පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ඒ නිසා  සෙන්ට්‍රල් පොයින්ට් ලෙස හැඳින්වෙනවා. එම ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ “සෙන්ට්‍රල් පොයින්ට්”  ලෙස සැලකෙනවා.

ලාල් චාන්ද්ස් කඩ කාමරය පැරණිම කඩේ ද?

ලාල් චාන්ද්ස් කඩ කාමරය නමින් හැඳින්වෙන්නේ චැතැම් වීදියේ බටහිර දෙසින් පිහිටා ඇති දේශීය ශෛලියේ පැරණි ගොඩනැගිල්ලක් මෙය 1815 තරම් ඈත කාලයකට අයත්යැ යි සැලකෙනවා. පැරණි තනි මහලේ සිල්ලර කඩයක් වශයෙන් යොදාගත් ස්ථානයක්. පෙනුම ඉතා සරල යි. ඉදිරිපස පිල්කඩක් හා එය ආවරණය කිරිමට යෙදූ දැව කුලුනු 4ක් මත වහලය ඉදිවී තිබෙනවා. ඇතුළු කාමරය වෙන් කර තිබෙන්නේ දැව දොරටුවලින්. පසුකාලිනව මෙහි බිමට සිමෙන්ති යොදා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අද දකින්න ලැබෙන ලංකාවේ පැරණිම කඩය විදිහටත් මේක සලකන්න පුළුවන්.

ආනන්දෙ මුලින්ම තිබුණු ඕල්කට් නිවස

හෙන්රි ස්ටීල් ඕල්කට්- Wikipedia.org

ඕල්කට් පාරෙන් මල්වත්ත පාරට ඇතුළු වී ඇතුළු වී වරාය දෙසට යන විට දකුණට ඇති මාර්ගය මැලිබන් වීදිය යි. මැලිබන් වීදියේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වන ඕල්කට් නිවස ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන්නක්. ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයට මුල්වූ පුද්ගලයෙක් වන අමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්  ලංකාවට ආවේ 1880 මැයි 16 වැනිදා කොළඹ වරායෙන් බව සඳහන් වෙනවා. 1881- 85 අතර කාලයේ මෙම ගෙඩනැගිල්ල ඉදිව තිබෙන්නේ ඔහුට මෙරට ජීවත්වීමට යි. පසු කාලයක පිටකොටුව ඉංග්‍රිසි පාඨශාලාව ඔහු මෙහි ආරම්භ කළා. ළමුන් 20කගෙන් ආරම්භ වූ එය පසුව ආනන්ද විද්‍යාලය ලෙස මරදානේ ස්ථාපිත වුණා.

ඕල්කට් නිවස- lankadeepa.lk

පරම විඥානාර්ථ සමාගමේ මූලස්ථානය වූයේ ද මෙම ගොඩනැගිල්ල යි. අද ඕල්කට් නිවස ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ යි. ඕල්කට්තුමා පරිහරණය කළ භාණ්ඩ මෙහි සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. පහත මාලය ආරුක්කු සහිත කොරිඩෝරයක්, ඩොරික් ශෛලියේ කුලුනුවලින් යුක්ත යි. ඉහළ මාලයට යාමට දැව තරප්පු පෙළක් තනා තිබෙනවා. පහත මාලය කාමර කිහිපයක් සහිත යි. ඒවා සමාගමේ මුද්‍රණාලය ලෙස මුල දී භාවිතා කර තිබෙනවා. පසුකාලීනව මෙම කාමර කඩ කාමර ලෙස භාවිත කළත් පුරාවිද්‍යා ස්මාරයක් කිරීමෙන් පසු ඒවා ඉවත්කර තිබෙනවා.  ඕල්කට් නිවස ගොඩනගන්නට යොදාගෙන ඇත්තේ කබොක්ගල් හා ගඩොල්. මෙය ඉදිකිරීමට  තේක්ක, නැදුන්, කොස්  යන දැව භාවිත කර තිබෙනවා. 1929 දී පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ කටයුතු සඳහා මෙයට යාබදව බෞද්ධ මන්දිරය නමින් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම නිසා මෙහි භාවිතය අඩුවුණා.

ආභරණ විකුණූ ගෆුර්  ගොඩනැගිල්ල

ගොඩනැගිල්ල 1900 දී – lankapura.com

ලේඩ්න් බැස්ටියන් මාවතට යාවන පරිදි  බාරොන් ජයතිලක මාවතේ පිහිටි අලංකාර ගොඩනැගිල්ලක්. මෙය ඉදිවුණේ 1907 දී යි. එක් පැත්තක දිග මීටර් 100ක්. මුලින්ම මෙම ගොඩනැගිල්ලේ එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ සංචාරක හා ආගමික පතපොත ප්‍රකාශනය සිදුවුණා. ක්‍රීඩා භාණ්ඩ, සංගීත භාණ්ඩ, පිඟන් හා වීදුරු අලෙවියත් මෙහි සාප්පුවල සිදුවුණා. පසුව ගොඩනැගිල්ල  ලංකාවේ ප්‍රකට මැණික් හා රන්ආභරණ ව්‍යාපාරිකයකු වන අබ්දුල් ගෆුර් විසින් මිලට ගෙන නවීකරණය කළා. ඊට පසු ඔහුගේ ව්‍යාපාර කටයුතු සඳහා මෙය යොදාගත්තා.  

මෙය වර්ෂ 2000 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්ව තිබෙනවා. පසුගිය දා කොළඹ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම යටතේ දිරාපත්ව තිබූ මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කෙරුණා. එහි කාමර 70ක හෝටලයක් ආරම්භ කිරීමට යෝජිත යි. ඒ සඳහා රු. මිලියන 620ක් වෙන්කර ඇති බව සඳහන්.

මෑතක දී ගෆුර් ගොඩනැගිල්ල – Wikipedia.org

ත්‍රිකෝණාකාර සැලසුමකට අනුව තැනූ මෙම ගොඩනැගිල්ල ඉදිරිපස මුදුනේ බුබුලාකර ශිඛරයකින් යුක්ත යි. ප්‍රධාන මහල් හතරකින් යුත් ගොඩනැගිල්ල ශිඛරය හා බැඳුණු කවාකාර කුටියකින් සමන්විත යි. අඩකව, ආරුක්කු සහිත කවුළු, කොරිඩෝර හා විශාල ජනේල ගොඩනැගිල්ලට ප්‍රෞඪ පෙනුමක් ගෙන දෙනවා.

කාගිල්ස් – මිලර්ස් ගොඩනැගිල්ලේ කතා

කාගිල්ස් ගොඩනැගිල්ලේ පැරණි සේයාරුවක් –  lankapura.com

යෝක් වීදිය සහ බාරොන් ජයතිලක මාවතට යාබදව පිහිටි ආරුක්කු රැසකින් සහ පුළුල් කොරිඩෝරයකින් යුත් රතු පැහැති දෙමහල් ගොඩනැගිල්ල කොටුවේ පුරාණ ගොඩනැගිලි අතර කැපී පෙනෙනම තැනක්. ලංකාවට පැමිණි විලියම් මිල්නේ නම් ව්‍යාපාරිකයා මෙම ස්ථානයේ තිබූ ඕලන්ද ගොඩනැගිල්ලක් කඩා ඉවත්කර 1844 දී නව ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඔහු එහි තොග හා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහි අයිතිය 1896 දී ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් සයිම් කාගිල්ට පවරා දුන් අතර, ඊට පසුව ලොව පුරා ප්‍රකට කාගිල්ස් සමාගම එහි ආරම්භ කළා. කොළඹ වරායෙන් ගොඩබසින මඟීන් සහ කොළඹ ජිවත්වූ ධනවත් ජනතාව ඉලක්ක කර ඹෟෂධ, ඇඟලුම්, පාවහන්, කුඩ, දුම් පයිප්ප ඇතුළු සිල්ලර භාණ්ඩ වෙළෙඳාම මෙහි පවත්වාගෙන ගොස් තිබෙනවා. දැනට දක්නට ලැබෙන ගොඩනැගිල්ල මෙහි ඉදිකළේ 1902- 04 අතර කාලයේ දී යි. පුනරුද ශෛලියේ සැලසුමකට අනුව එය සැලසුම් කළේ එඩ්වඩ් ස්කීන් විසින්. ගොඩනැගිල්ල ඉදිකළේ වෝකර්ස් සමාගම යි.

කාගිල්ස් ගොඩනැගිල්ල අද පවතින ආකාරය- smritidanielcom

1907 දී මෙම ගොඩනැගිල්ලට යාකර තවත් ගොඩනැගිල්ලක් ඉදිවුණා. එයත් ස්කීන්ගේම සැලසුමකට අනුව යි තැනුණේ. විලියම් ක්‍රැමන්ඩ් මිලර්ට අයිති වූ එහි මිලර්ස් සමාගම ආරම්භ කළා. එහි පිටරටින් ගෙනා ආහාර ද්‍රව්‍ය සහ රටබීම අලෙවි කෙරුණා. පසුව වීදුරු බඩු අලෙවියත් මිලර්ස් සමාගම ආරම්භ කළා.

1946 දී දේශීය ව්‍යාපාරික චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මෙම ව්‍යාපාරය මිලට ගත් අතර කාගිල්ස් නමින්ම සිල්ලර බඩු ව්‍යාපාරයක් ලෙස අදටත් එය පවත්වාගෙන යනවා. ඉදිරිපස බිත්තිවල අර්ධ කවාකාර ඩෝම සහිත විසිතුරු මල්, ලියවැල්, හා සිමෙන්ති බිරළු සහිත ඉංග්‍රිසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන ආකර්ශනීය ගොඩනැගිල්ලක්. චතුරස්‍රාකාර ජනේල 50කට අධික සංඛ්‍යාවක් මෙහි අලංකාරත්වය ඉහළ නංවනවා.

පෙරදිග හොඳම ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

1900 දී පමණ හෝටලය අවට දැක්වෙන පින්තුර පතක්- hippostcard.com

පෙරදිග ඉදිවූ ප්‍රථම ඉහළ පන්තියේ හෝටලය ලෙස සැලකෙන්නේ යෝක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යි. මුලින්ම 1832 දී ඉදිවූ මෙම ගොඩනැගිල්ල 1837 දී බ්‍රිතාන්‍ය හමුදා බැරැක්කයක් ලෙස භාවිත වුණා. එය 1873 වඩාත් විශාල කර නවීකරණයකින් අනතුරුව හමුදා නේවාසිකාගාරයක් බවට පත් කෙරුණා. පසුව එය හෝටලයක් බවට පත් කිරීමට තීරණය කෙරුණා. ඒ සඳහා ගොඩනැගිල්ල විශාල කර නවීකරණය කිරීමට පවුම් 1868ක් වැයවූ බව සඳහන්. හෝටලයේ සැලැස්ම ජේ. ජී. ස්මිදර්ගේ වන අතර ඉදිකළේ රැල්ෆ් මැක්ඩොනල්ඩ් සමාගම යි. එය කොළඹ වරායෙන් මෙරටට පය තබන සංචාරකයන්ගේ පළමු නවාතැන වුණා. 

1875 නොවැම්බර් 5 දා හෝටලය නිල වශයෙන් විවෘත වුණා. එය නවීන පහසුකම් සපිරි හෝටලයක් ලෙස එංගලන්තයේ පවා ප්‍රචලිත වුණා. පසුව 1912 සහ 1924 වර්ෂවල ද එහි ප්‍රතිසංස්කරණ සිදුවුණා. එවකට වරාය මඟී පර්යන්තයේ සිට කෙළින්ම හෝටලයට පැමිණිය හැකි පරිදි මාර්ගයක් විවෘතව පැවතියා. නමුත් අවට උස් ගොඩනැගිලි ඉදිවීම නිසා අද වරාය දර්ශනය වන්නේ හාබර් රූම් නම් ස්ථානයට පමණ යි. රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් 1890 නොවැම්බරයේ ලංකාවට පැමිණි අවස්ථාවේ නවාතැන් ගෙන ඇත්තේ මේ හෝටලයේ යි. ඔහු නවාතැන් ගත් කාමරය අදත් දැකගත හැකියි.

ඇන්ටන් චොකොෆ් කාමරය අද දිස්වන අයුරු- Wikipedia.org

හෝටලය පිළිබඳ පින්තූර කාඩ්පත් මුද්‍රණය කරවා රට රටරටවලට පුරා බෙදාහැර ඇති අතර ඒ ගැන දැන්වීම් ද ප්‍රචාරය කර තිබෙනවා. මේ එවන් දැන්වීමක් කොටසක්:

කොළඹට පැමිණෙන අමුත්තන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ නවාතැන් ගත යුතු ය. 

එය ලෝකයම හඳුන්වන්නේ GOH යනුවෙනි. 

නවීන කාණු පද්ධති

නිදන කාමර සහ නාන කාමරවලට උණු සහ සීත ජලය. විදුලියෙන් ක්‍රියාකරන පංකා, පොත් කියවීමේ සහ  චිත්‍ර ඇඳීමේ කාමර, සෑම දිනකම සංගීත කණ්ඩායමක නාද සංධ්වනි විශේෂාංග කිහිපයක් පමණ යි.

පෙරදිගකරයේ හොඳම හෝටලය (https://www.grandoriental.com/history)

හෝටල ගොඩනැගිල්ල-  lankapura.com

1907 දී හෝටලයේ යුගල කාමරයක් රු. 6ක් වූ අතර උදේ ආහාරයට අමතර රු. 2ක් අයකරනු ලැබුවා. පැයක නගර සංචාරයකට කරත්තයට අය කළ මුදල රු. 1ක්. මෙය වර්ෂ 2000 දී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරයක් ලෙස නම් කෙරුණා.

පැරණිම පාර්ලිමේන්තුව තිබූ ජනරජ ගොඩනැගිල්ල

ජනරජ ගොඩනැගිල්ල ඉංග්‍රීසි යුගයේ- hippostcard.com

 

අපේ  රාජ්‍ය සභාව හෙවත් පාර්ලිමේන්තුව සුද්දගෙ කාලෙ මුලින්ම තිබුණු තැන තමයි කොටුවේ ජනාධිපති මාවතේ කෙළවර පිහිටා තිබෙන ජනරජ ගොඩනැගිල්ල. තරමක් දිගටි දෙමහල් ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගෘහනිර්මාණ ශිල්පය සිහිපත් කරනවා. ඉංග්‍රීසින් විසින් 1860 දී එවකට පැවති පැරණි ඕලන්ද ගොඩනැගිල්ලක් ඉවත් කිරීමෙන් පසු යි මෙය ඉදිකර තිබෙන්නේ. ඒ, බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් කාර්යාලය ලෙස යි. පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර කාර්යාලය, ජාතික රාජ්‍ය සභාව, අග්‍රාමාත්‍ය කාර්යාලය, විගණකාධිපති කාර්යාලය, රාජ්‍ය ලේඛනාගාරය වැනි ආයතනත් විදේශ කටයුතු අමාත්‍යාංශය,  ආරක්ෂක අමාත්‍යාංශය වැනි අමාත්‍යංශත් මෙහි පවත්වාගෙන ආවා. 1948 දී මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට ලක්කරනවා. මැදින් පෝටිකෝ දෙකක් ද දෙපසින් දිගු කොරිඩෝ දෙකක් ද වන සේ ජනරජ ගොඩනැගිල්ල සැලසුම් කර තිබෙනවා.

1933 දී ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකළ පසු ජාතික රාජ්‍ය සභාව එයට ගෙන ගියා. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වන අවස්ථාවේ සෙනෙට් කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාලය ආදී ජනරජ පරිපාලන ගොඩනැගිලි මෙහි පවත්වාගෙන ගිය නිසා එය ජනරජ ගොඩනැගිල්ල නමින් හැඳින්වුණා. ‍

Related Articles