කුරුඳුවත්තේ ඓතිහාසික සිහිවටන පිටුපස රසබර කතා

කොළඹ  7 කුරුඳුවත්තට යන එන අයට අදටත් එහි තිබෙන පැරණි ගොඩනැඟිලි කිහිපයක් දැක ගැනීමට පුළුවන්. නමුත් මේ ගොඩනැඟිලිවල ඉතිහාසය හාරාඅවුස්සන්නට නම් වැඩි දෙනෙක් උනන්දු නොවන්නට ඇති.

අතීතයේ කොළඹ අඩුවෙන් ම ජනාවාස ව තිබූ වනගහනයක් වගේම කුරුඳු වගාබිම් පැතිර තිබුණු කුරුඳුවත්තේ අදත් දකින්න ලැබෙන සුද්දගෙ කාලේ සිහිවටන කිහිපයක් දැන සොයාබැලීමටයි මේ උත්සාහය.   

 වර්ෂ 1870 වනවිට කුරුඳුවත්ත අවට- dinamina.lk

 

කුරුඳුවත්ත

ලන්දේසි කාලේ වනාන්තර පැතිරුණු කොළඹ කුරුඳුවත්තේ නිවාස තිබුණේ කලාතුරකින්. ඒ කාලයේ නගරයේ ධනවතුන් වාසය කළේ කොටහේන අවට බව යි ලන්දේසි වාර්තාවලින් පැහැදිලි වන්නේ. ඒ නිසයි කුරුඳුවත්ත යන නම ලැබුණේ.   1785 වසරේ  දී ලන්දේසි ආණ්ඩුකාර ඉමාන් ෆැල්ක් කොළඹ කුරුඳු වගාකිරීමට උනන්දුවක් දක්වා තිබෙනවා.   කුරුඳුවත්ත   කෙටිකලක් තුළ අක්කර 232 දක්වා වර්ධනය වී තිබෙනවා. වර්තමාන කොළඹ හත (කුරුඳුවත්ත) මෙන්ම රූපවාහිනී සංස්ථාව පිහිටි නිදහස් චතුරස්‍රය, බොරැල්ල, මරදාන සහ යුනියන් පෙදෙස අවට බේරේවැව ඉවුර දක්වා කුරුඳු වගාව ව්‍යාප්ත වී තිබෙනවා.

මේ නිසා එම පෙදෙස හැඳින්වීමට කුරුඳුවත්ත යන නම භාවිත වුණා.  ඉංග්‍රීසි පාලන කාලයේ  වර්ෂ 1850 වනවිට කුරුඳු වගාව අත්හැර දමා තිබුණා. මේ කාලයේ  කැලෑ වැදී තිබුණු කොළඹ කුරුඳුවත්තේ කුරුඳු ඉඩම් ක්‍රමයෙන් එළි පෙහෙළි වී ධනවතුන්ගේ නිවාස ඉදිකිරීම ආරම්භ වුණා. 1900 වසරේ දී එච්.ඩබ්ලිව්. කේව් ලියූ කෘතියක සඳහන් වන්නේ වර්තමාන කුරුඳුවත්ත කොළඹ පුරවරයේ ජේත්තුකාර නේවාසිකයන්ගේ ප්‍රදේශයක් බවට පත්ව ඇති බව යි.

 තැපැල් කන්තෝරුව අද – zaubee.com

 

කුරුඳුවත්ත තැපැල් කන්තෝරුව

කොළඹ පුරහල අසල ගහකොළින් පිරුණු බිමක පිහිටි දෙමහල් වික්ටෝරියානු ගෘහනිර්මාණ ලක්ෂණ සහිත රතු පැහැති ගොඩනැඟිල්ල තවමත් කොළඹ 7 තැපැල් කාර්යාලය ලෙස භාවිත කරනවා. මෙහි ඉදිරිපස අලංකාර පෝටිකෝවක් දැකගත හැකි යි. සෑම ජනේලයක් වටා ම බදාමවලින් කළ අලංකරණ ලීස්තර සහිත යි. ඇතුළත ඇති සිවිලිමත් පැරණි ආකාරයක් ගන්නවා. මෙම ගොඩනැඟිල්ල මුලින් ම තැනූවේ කොළඹ විදුලි සංදේශ කාර්යාලය සඳහා  බව වාර්තාවල සඳහන්. 

එය කුරුඳුවත්ත තැපැල් කාර්යාලය බවට පත් වුණේ 1908 දි යි. ඒ වනවිට අසල පිහිටි නගර සභා ගොඩනැඟිල්ල තිබුණෙත් නැහැ. අබලන් ව පැවති මෙම ගොඩනැඟිල්ල තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ අලුත්වැඩියා කර තිබෙනවා. තැපැල් සේවකයන් පවසන්නේ කොළඹට ආගන්තුකයන් මෙම ගොඩනැඟිල්ල පැරණි වලව්වක් යයි වරදවා වටහා ගන්නා බව යි. 

 පැරණි රෝහල් ගොඩනැඟිල්ලක්-  lankapura.com

 

කොළඹ රෝහල

කොළඹ නගරයට ඉඩකඩ ඇති  රෝහලක අඩුව සපිරීමට කුරුඳුවත්ත හා බොරැල්ල අවට  රෝහලක් ඉදිකිරීමටට බ්‍රිතාන්‍ය පාලකයන් තීරණය කළා. ඒ අවට ඉතා අඩු ජනගහනයක් ඇති විශාල ඉඩම් පිහිටි ප්‍රදේශයක් නිසා යි.  කුරුඳු වගාකළ අක්කර 32ක භූමියක රෝහලේ මුල් ම ගොඩනැඟිලි ඉදිවුණා. ඒ සඳහා මුල් වුණේ හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා යි. 1864 දී වාට්ටු 21ක් සහිත කොළඹ රෝහල විවෘත කිරීම සිදු වුණා.

අද ජාතික රෝහලේ එක් මායිමක් කොළඹ 7 වෝඩ්  වෝඩ් පෙදෙසේ පිහිටි අතර කින්සි පෙදෙස හා කින්සි පාර දක්වා එය පැතිර යනවා. අදත් ජාතික රෝහල් පරිශ්‍රය තුළ පැරණි ගොඩනැඟිලි දකින්නට පුළුවන්. 

අන්ද්‍රීයෙස් නෙල් නම් බර්ගර් ජාතික ලේඛකයා පසු ව ලියූ ග්‍රන්ථයක මේ ආරෝග්‍යශාලාවේ මුල් පරිසරය මෙසේ විස්තර කෙරෙනවා:

‘‘ කොළඹ මහ ඉස්පිරිතාලය1864 දී තැනුණේ ජන ශුන්‍ය පෙදෙසක ය. එහි පිටිසර ස්වභාවයක් ද විය. මරදානේ ප්‍රධාන ගොඩනැඟිලි දෙක වන ටිච්බෝන් ශාලාව හා ගතාරියම් යන නිවස ඒ අසල විය. ගතාරියම් යනු රාජපක්ෂ පවුල පදිංචි ව සිටි තවත් නිවසකි.

වැලිකඩ සිරගෙදර ද යාබද ය. ඒ අසල තරගයට මිනී පෙට්ටි සැපයූ නිවෙස් දෙකක් තිබූ බව මට මතක ය. නයනාරෝග්‍ය ශාලාව තව ම තැනී නැත. ඒ වන විට මැන්ගෝ ලොජ් නම් වූ බංගලාව එහි විය.

අවට පැතිරී තිබූ ඝන වනයේ සතුන් දඩයම සඳහා ලන්දේසි ආණ්ඩුකාරවරුන් පිටත් වූයේ මේ ස්ථානයෙනි. අද වෝඩ් වීදිය දුව යන්නේ මේ ඝන වනය හරහා ය. තවත් පාරක් කනත්ත වෙත ඇදිණි.

ආරෝග්‍යශාලාවේ ඇතැම් ගොඩනැඟිලි ද තැනුණේ එසේ පරිත්‍යාග වූ හෝ මුදල් දී ලබා ගත් ඉඩම්වල ය. දානපති චාල්ස් හෙන්රි ද සොයිසා, රාජපක්ෂ පවුලේ කුරුඳු වතු මිලට ගෙන මහජන හිත සුව පිණිස වෛද්‍ය ගොඩනැඟිලි ඉදි කළ අයෙකි.‘‘

 ඇස් රෝහලේ පැරණි සේයාරුවක්-  lankapura.com

 

වික්ටෝරියා අනුස්මරණ අක්ෂි රෝහල

කොළඹ 7 ලිප්ටන් වටරවුම අසලට පෙනෙන රතු පැහැති ගඩෙලින් තැනූ ඉන්දියානු මෝගල් ආකෘතියේ අලංකාර ගොඩනැඟිල්ල අද ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට අයත්. නමුත් මෙය මුලින් ම තනා ඇත්තේ ඇස් රෝහලක් ලෙසිනු යි. 

කොළඹට ඇස් රෝහලක් නැතිවීමේ අඩුව සපිරීමට මෙම අක්ෂි රෝහලට මුල්ගල තැබුවේ 1903 දී ආණ්ඩුකාර  වෙස්ට් රිජ්වේගේ ආර්යාවයි.  එංගලන්තයේ වික්ටෝරියා රැජන සිහිවීමට එයට වික්ටෝරියා අනුස්මරණ රෝහල කියා නම් කළා. මුහන්දිරම් එන්. එස්. ප්‍රනාන්දු, චාල්ස් පිරීස් ආදි ධනපතියන්ගේ මුදල් ආධාර හා මහජන ආධාරත් එයට ලැබී තිබෙනවා.

ගොඩනැඟිල්ලේ සැලසුම් ශිල්පියා වුණේ එඩ්වඩ් ස්කිනර්. රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් එහි ඉදිකිරීම් කළා. වර්ෂ 1906 වනවිට වැඩ නිම කර රෝහල ආරම්භ වුණා. අඩි 200ක දිගකින් යුතු දෙමහල් ගොඩැනැඟිල්ලක් ලෙස එය ඉදිවුණා. හින්දු, මෝගල් සහ වික්ටෝරියානු ගාශනිර්මාණ ලක්ෂණ මිශ්‍රවූ සැලසුමකින් එය යුක්තයි. එහි පහත මාලයේ පෝටිකෝවක්, කොරිඩෝවක්, ග්‍රිල් වැට සහ අර්ධ කවාකාර ගේබල්වලින් අලංකාර කර තිබෙනවා. 

ගොඩනැඟිල්ලේ වඩාත් අලංකාර අංගය වන්නේ මුදුනේ දක්නට ලැබෙන මෝගල් ශෛලියේ ඩෝමාකාර ශිඛර යි. රතු හා ගුරු පැහැයෙන් යුත් ගොඩනැඟිල්ලේ තැනින් තැන කහ පැහැයත් දකින්නට ලැබෙනවා. 

නව අක්ෂි රෝහල 1967 දී ඉදි කළ පසුව මෙම ගොඩනැඟිල්ල ජාතික රෝහලේ කටයුතුවලට භාවිත කෙරුණා.

 දවටගහ පල්ලිය – timeoutcom

 

දවටගහ මුස්ලිම් පල්ලිය

කොළඹ නගර සභා ගොඩනැඟිල්ලට යාබද ව පිහිටි මෙම දේවස්ථානය කොළඹ ඉස්ලාම් ආගමිකයන්ගේ කේන්ද්‍රස්ථානයක් වන ඓතිහාසික ස්මාරකයක්. 18 වන සියවසේ දී සවුදි අරාබියෙන් මෙරටට පැමිණ ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික කටයුතුවලට සහාය දැක්වූ අබ්දුල් රහමන් අල් සිද්දික් වාසය කළේ මෙම පල්ලිය පිහිටි තැන ලෙසට සැලකෙනවා. එම ස්ථානයේ ඇති පූජනීයත්වය සලකා 1890 දී පල්ලියක් ඉදිකර තිබෙනවා. මෙය ලංකාවේ පැරණි ම පල්ලියක් ලෙස සැලකෙනවා.

අල් සිද්දික් මිය ගිය පසු තැන්පත් කළ සොහොන අසල තිබූ දවට ගහක් නිසා මේ පල්ලියට දවටගහ පල්ලිය යන නම ලැබී තිබෙනවා. මුලින් ම තිබුණු පැරණි ගොඩනැඟිල්ල පසුකාලීනව ඉදිකළ උස් ගොඩනැඟිලිවලට යාබද ව පිහිටා තිබෙනවා. ඩෝමාකාර ශිඛර සහිත මෙම පල්ලිය අලංකාර පෙනුමකින් යුක්ත යි. උස් කුලුනු මත ඇති ශිඛර ද කූඩු මෝස්තර ද ගොඩනැඟිල්ලට ප්‍රෞඩ පෙනුමක් ලබාදෙනවා. කවුළු තනා ඇත්තේ ආරුක්කු හැඩයට යි. 

 ස්මාරකය සහිත වතුර මල අද – lankadeepa.lk

 

ජෝජ් වෝල් ස්මාරකය 

ලිප්ටන් වටරවුමේ වතුර මල් සහිත පොකුණක් මත පිහිටි කිරිගරුඬ ස්මාරකය කවුරුත් දකින තැනක්. මේ ස්මාරකය ගොඩනඟා ඇත්තේ ‘ජෝර්ජ් වෝල්’ නම් ඉංග්‍රීසි ජාතිකයා සිහිකිරීමට යි. ඉංග්‍රීසි ආණ්ඩුව විවේචනය කරමින් ලංකාවට නිදහස දිනා දීමට සහාය දැක්වූ සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ආරම්භ කළේ මේ ජෝර්ජ් වෝල් වැවිලිකරුවා යි. ඔහු  මෙරට ගොවියන් පීඩාවට පත්කළ කුඹුරු බද්ද අහෝසි කරන්නටත් කටයුතු කර තිබෙනවා. 

  ජෝර්ජ් වෝල්  රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු ලෙසත් කලක් කටයුතු කළා. ඔහු 1847 දී ඔහු මෙරටට පැමිණියේ    අවුරුදු 27 ක් වැනි වයස් පිරුණු තරුණයකු ව සිටිය දී යි. පසු කලෙක තම වෘත්තිය කටයුතු අසාර්ථක වී දිළිඳුභාවයට පත් වූ ඔහු  එදිනෙදා වියදම හෝ දැරිය ‍නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.

 ස්මාරකය 1900 වනවිට- awidimu.lk 

 

පසුව ඔහු සිය මවු රට වන එංගලන්තයට  නැවත යාමට තීරණය කරනවා. එහෙත් එහි යාමට ද ඔහු අත මුදල් තිබුණේ නැහැ. මේ තත්ත්වය වටහාගත් ඔහුගේ මිතුරන්, බ්‍රිතාන්‍යයට යාමට  මුදල් සපයා දී ඔහු  එරටට යැවීටම කටයුතු කළා. ජෝර්ජ් වෝල් ගේ අභාවය 1894 දී සිදු ව තිබෙනවා. ඒ කාලයේ ම  මෙරට වාසය කළ ඔහුගේ මිතුරන් එක්ව, ජෝජ් වෝල් සිහිපත් කිරීමට මෙම අලංකාර වතුර මල සහිත ස්මාරකය තනනවා.

වර්ණවත් පිඟන් ගඩොල් අල්ලා තැනූ මේ ස්මාරකය ඉන්දියන් මෝගල් ආකෘතිය සිහිපත් කරවීමට සමත්. ජල තටාකයක් මැද තිබෙන සේ තැනූ මෙහි   මුදුනේ ඩෝමාකාර ශිඛරයක් සහිත යි. එය නැඟී සිටින්නේ කුලුනු 8ක් මත යි. කුලුනු අතර රැලි සහිත ආරක්කු තිබෙනවා.  

 රේස්කෝස් ක්‍රීඩාමණ්ඩපය ප්‍රතිසංස්කරණයෙන් පසු -wikipedia.org

 

කොළඹ රේස්කෝස් පිටිය

ගාලු මුවදොර පිටියේ පැවැත්වූ අශ්ව රේස් පසු ව රැගෙන ආවේ කුරුඳුවත්තේ ඉදි කළ පිටියකට යි. එහි ක්‍රීඩා මණ්ඩපය මුලින් ම ඉදි කරන්නේ 1893 වර්ෂයේදී යි. කුරුඳුවත්ත ප්‍රදේශයේ හෙක්‌ටයාර් 11 පමණ වපසරියකින් යුත් භූමියක්‌ ඒ සඳහා තෝරා ගැනෙනවා. සිලෝන් ටර්ෆ් ක්ලබ් එහි ගොඩනැඟිලි සහ තරග පිටිය ඉදිකරනවා. කොළඹ 7 රීඩ් මාවතේ කුරුඳුවත්ත පොලිසියට නුදුරින් මෙම ගොඩනැඟිල්ල පිහිටා තිබෙනවා.

එහි ක්‍රීඩා මණ්ඩපය මුහුණත මහල් තුනක් ලෙසත් පිටියට මුහුණ ලා ඇති කොටස ක්‍රමයෙන් බෑවුම් වන ලෙසත් තනා තිබෙනවා. පෝටිකෝව, ආරුක්කු කොරිඩෝ, ඩොරික් ලක්ෂණ සහිත පහත මාලය ඉදිකර ඇත්තේ වික්ටෝරියානු ශෛලියට යි. ඉහළ මහල්වල බීරළු වැටවල් සහ කෝණාකාර මුදුන් දකින්නට ලැබෙනවා. 

 දෙවැනි ලෝක යුද සමයේ ගුවන් හමුදා කඳවුරක් පැවති කාලය –  wikipedia.org

 

දෙවන ලෝක සංග්‍රාමයත් සමඟ 1940 දශකයේ රාජකීය ගුවන් හමුදාවේ ගුවන් යානා ගොඩ බස්‌වන ගුවන් තොටක්‌ බවට තුරඟ තරග පිටිය පත් වෙනවා. 1958 දී ලංකාවේ තුරඟ තරග පැවැත්වීම අත්හිටුවනවා. පසුව විවිධ ආයතනවල කාර්යාල පවත්වාගෙන ගිය මෙම ගොඩනැඟිල්ල 2012 දී අලුත්වැඩියා කර සුපිරි සාප්පු හා කාර්යාල සංකීර්ණයක් බවට පත් කෙරෙනවා. 

රොස්මිඩ් වලව්ව

ජාතික රෝහල අසලින් වෝඩ් පෙදෙස දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් යන විට, දකුණු පසට දිවෙන විජේරාම මාවත හමු වෙනවා. බණ්ඩාරනායකවරුන් භාවිත කළ  මේ   නිවස පිහිටා තිබෙන්නේ විජේරාම මාවතේ ටික දුරක් යන විට හමුවන “රොස්මිඩ් පෙදෙස”  නාම පුවරුව අසලින් වම් පසට හැරුණු විට යි. මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස 1956 දී පත්වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ එම පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවස ලෙස අදත් රොස්මිඩ් වලව්ව ප්‍රසිද්ධියට  පත්ව තිබෙනවා.

 රොස්මිඩ් නිවස හෝටලයක් වී – kurumba galle srilanka facebook page

 

1929 දී ඉදිකර ඇති ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මේ දෙමහල් නිවස අයිති වුණේ වෛද්‍ය ලූෂන් ද සිල්වාට යි. දෙවන ලෝක යුද සමයේ එහි හිමිකරුට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නියෝග කළේ හමුදාවේ පරිහරණයට සති දෙකක් ඇතුළත නිවස ලබාදෙන ලෙස යි. එසේ සොල්දාදුවන්ගේ නවාතැනක් වූ මේ මන්දිරය පසුව අබලන් ව තිබුණා.

මේ අතර සිරිමා රත්වත්තේ සමඟ විවාහ වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, විවාහයෙන් අනතුරුව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වුණෘ. ඒ සිය දේශපාලන කටයුතු කරගැනීම සඳහා එය පහසු වීම නිසා යි. සිය පුත්‍රයා කුලී නිවෙසක ජීවත්වීම පිළිබඳව කනගාටුවට පත්වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලි, නව යුවළට ජීවත් වීම සඳහා සුදුසු නිවෙසක් කොළඹින් මිල දී ගැනීමට තීරණය කළා.   

 නිවසේ ඉදිරිපස පෝටිකෝව – paradiseroadhotels.com

 

ඔහුට රොස්මිඩ් පෙදෙසේ පිහිටි ටින්ටජෙල් නම් මන්දිරය ගැන  දැන ගන්නට ලැබෙනවා. සොලමන් ඩයස් බණ්ඩාරනායක 1940 දශකයේ අග භාගයේ දී, වෛද්‍ය ලූෂන් ද සිල්වාගෙන් මෙම නිවස රුපියල් 160,000කට මිලදී ගන්නවා. ටින්ටජෙල් නිවසට ඇමැති බණ්ඩාරනායක පදිංදචියට පැමිණීමෙන් පසුව ඡන්දදායකයන් මෙය හඳුන්වන්නට වුණේ ටින්ටජෙල් නිවස ලෙස නොවේ. රොස්මීඩ් වලව්ව කියලයි. පසුව අගමැති බවට පත් බණ්ඩාරනායකට 1959 සැප්තැම්බර් මස 25 වන දින වෙඩි තබා ඝාතනය කරන්නෙත් මෙම නිවසේදිම යි. 

2005 වසරේ දී මෙය සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් විසින් බදු පදනම මත ලබා ගත් අතර නවීකරණය කිරීමෙන් පසුව ටින්ටජෙල් නමින් හෝටලයක් බවට පත් කළා.  දේශීය විදේශීය සංචාරකයින් සඳහා නවාතැන් සහ ආහාර පාන පහසුකම් සපයන සංචාරක හෝටලයක් ලෙස මෙය භාවිත කෙරෙනවා.

කවරයේ ඡායාරූපය -වික්ටෝරියා අනුස්මරණ ඇස් රෝහල් ගොඩනැගිල්ල -  strvl2.com

 මූලාශ්‍ර:

පෞරාණික ස්ථාන සහ ස්මාරක- කොළඹ, සීවලී බණ්ඩර මනතුංග, පුරාවිද්‍යා දෙපා.

paradiseroadhotels.com

theisland.lk

dinamina.lk

Lankadeepa.lk

Related Articles