1990 කොකාවිල් සටන පිළිබඳ අඳුරු මතකය

80 දශකයේ මුල් භාගයේ දී කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ ඉදිකරනු ලැබුවා. එම කුළුණ ඉදිකරනු ලැබුවේ උතුරු පළාත තුළ රූපවාහිනී, ගුවන් විදුලි, සහ හමුදා සංනිවේදන කටයුතු පහසුවෙන් සිදුකිරීම සඳහා යි. උසින් මීටර් 174ක් පමණ වුණු කොකාවිල් කුළුණේ ආරක්ෂාව සඳහා කුඩා යුධ හමුදා කඳවුරක් පිහිටුවා තිබුණා. එම යුධ හමුදා කඳවුර අනිත් හමුදා කඳවුරුවලින් වෙන්ව හුදෙකලාව පිහිටා තිබුණු නිසා එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබුණා. කොකාවිල් කඳවුර මුහුණ පා තිබුණු අවදානම් තත්ත්වය නිසා එහි ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුනා. 

කොකාවිල් කඳවුරේ ආරක්ෂාව තර කළ හැටි 

1990 වසරේ මැයි 18 වැනිදා නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බලකායේ රාජකාරිවල නිරතව සිටි සෙබළුන් පිරිසක් කොකාවිල් කඳවුර වෙත අනුයුක්ත කරනු ලැබුවා. ඊට අමතරව සංඥා බලකාය, සේවා බලකාය, වෛද්‍ය බලකායට අයත් වුවන් මෙන්ම සිවිල් සේවකයන් පස් දෙනෙක් ද කොකාවිල් කඳවුර වෙත යවනු ලැබුවා. එලෙස කොකාවිල් බලා පිටත්ව ගිය හමුදා අනුඛණ්ඩය භාර අණදෙන නිලධාරියා වුණේ 3 වන සිංහ රෙජිමේන්තුවේ ස්වේච්ඡා බලකායේ දෙවන ලුතිනන්වරයෙකු ලෙසින් කටයුතු කළ සාලිය අලදෙණිය යි. එම කාල සමය වන විට කොකාවිල් කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙසින් කටයුතු කළ ජයන්ත රත්නායක කඳවුර වෙත අලුතින් පැමිණි භට පිරිසට පවසා සිටියේ ඉදිරි සති කිහිපය තුළ කොටි ත්‍රස්තවාදීන්ගෙන් දරුණු ප්‍රහාරයක් එල්ල වීම සඳහා වැඩි ඉඩක් පවතින බව යි.

කොකාවිල් කුළුණ (Mapio.Net) 

කොටි ත්‍රස්තවාදීන් සටන් විරාම ගිවිසුමෙන් ප්‍රයෝජන ගනියි 

1990 වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකා රජය සහ L.T.T.E සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණු නිසා සටන් විරාම කාලයක් ක්‍රියාත්මක වුණා. ඉන් ප්‍රයෝජන ලබාගත් කොටි ත්‍රස්තවාදීන් උතුරුකරයේ තිබුණු සමහර හමුදා කඳවුරු වටකරමින් බංකර් තනා තිබුණා. එම නිසා හමුදා භටයන්ට කඳවුර පිටතට ඒමට අපහසු වාතාවරණයක් නිර්මාණය වී තිබුණා. අනිත් හමුදා කඳවුරුවලින් වෙන්ව පිහිටා තිබුණු කොකාවිල් කඳවුර ගැන වැඩි අවධානයක් යොමු කළ කොටි ත්‍රස්තවාදීන් 1990 වසරේ ජූනි 10 වැනිදා වන විට එම කඳවුර වටා ස්ථානගතව සිටියේ එය අත්පත් කරගන්නා අරමුණ ඇතිව යි. කඳවුර වටා තිබුණු ඝන කැලෑව නිසා කොටි ත්‍රස්තවාදීන්ට පහසුවෙන්ම බංකර් සාදාගැනීමට අවස්ථාව ලැබී තිබුණා. ඒ වන ක්‍රියාත්මක වෙමින් තිබුණු සටන් විරාම කාලය නිසා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරීයා ලෙසින් කටයුතු කළ ජයන්ත රත්නායක නිවාඩු ලබා සිටියා. එම නිසා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළේ සාලිය අලදෙණිය යි.  

ත්‍රස්තවාදීන් කඳවුරට පහරදීම අරඹයි

කොකාවිල් කඳවුර තුළ සිටි හමුදා භටයන් බංකර් සෑදීම සඳහා අවශ්‍ය ලී කොට ගැනීම සඳහා කඳවුරෙන් පිටතට පැමිණි අවස්ථාවේ සැඟවී සිටි කොටි ත්‍රස්තවාදීන් ඔවුන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේ දී යළි සෙබළුන්ට කඳවුර තුළට පැමිණීමට සිදුවුණා. කොකාවිල් කඳවුර හුදෙකලා වී පැවති නිසා එයට අමතර භට සේනා එවීමට අපහසු වුණා. එය මනාව තේරුම් ගත් කොටි ත්‍රස්තවාදීන් හමුදා භටයින්ට කඳවුරෙන් පිටතට ඒමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. හමුදා භටයන් කඳවුරෙන් පිටතට පැමිණි අවස්ථාවල දී ත්‍රස්තවාදීන්ගෙන් ස්නයිපර් ප්‍රහාර සහ අත් බෝම්බ ප්‍රහාර එල්ල වුණා.

කොකාවිල් කඳවුරේ සෙබළුන් එලෙස අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයකින් පසුවෙද්දී කොටි ත්‍රස්තවාදීන් සිංහල භාෂාවෙන් නිවේදනය කළේ අවි බිම තබා යටත් වන ලෙස යි. නමුත් ලෙහෙසියෙන් පසුබැසීමට අකමැති එඩිතර නිලධාරියෙකු වුණු සාලිය අලදෙණිය යටත් වීමට සූදානම් වුණේ නැහැ. ඔහු අවධාරණයෙන් සිය සෙබළුන් හමුවේ පවසා සිටියේ අවසන් මොහොත දක්වාම සතුරා සමග අභීතව සටන් කළ යුතු බව යි.

ලුතිනන් සාලිය අලදෙණිය (Daily News)

ආහාර සහ ජල හිඟයක් ඇතිවෙයි

කොකාවිල් කඳවුරට ජලය සපයන ලිඳ කඳවුරෙන් පිටත පිහිටා තිබුණා. හමුදා සෙබළුන්ට ලිඳෙන් ජලය ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණේ කඳවුරෙන් පිටත පිහිටි ඝන කැලෑවේ සිට කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කිරීම නිසා යි. කඳවුර තුළ තිබුණු ජලය සහ ආහාර ක්‍රමයෙන් අවසන් වෙමින් පැවතුණු නිසා ලුතිනන් අලදෙණිය සංඥා මැදිරියේ සිට අසල තිබුණු ප්‍රධාන කඳවුරක් සම්බන්ධ කරගෙන ආහාර, ජලය, පතරොම්, ඖෂධ වැනි දේවල් කොකාවිල් කඳවුර වෙත එවන මෙන් ඉල්ලා සිටියා. ලුතිනන් අලදෙණිය විසින් එම පණිවිඩය යවා පැය කිහිපයක් ගතවන විට කොටි ත්‍රස්තවාදීන් කඳවුර වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කළා. එවිට කඳවුරේ සිටි හමුදා සෙබළුන් ප්‍රති ප්‍රහාර එල්ල කළා. එදා ත්‍රස්තවාදීන් එල්ල කළ ක්ෂණික ප්‍රහාරයේ අරමුණ වුණේ කඳවුර තුළ තිබුණු උණ්ඩ අවසන් කිරීම යි. කොකාවිල් කඳවුර වෙත පහසුවෙන් ආධාර එවීමට නොහැකි නිසා කඳවුර තුළ තිබුණු උණ්ඩ අවසන් වුණොත් එය යටත් කරගැනීමට අපහසු නොවන බව ත්‍රස්තවාදීන් දැනගෙන සිටියා.

හමුදා ආධාරක යානාවලට කොටි ප්‍රහාර 

ලුතිනන් සාලිය අලදෙණියගේ ඉල්ලීම මත ආහාර, පතරොම්, ඖෂධ වැනි දේවල් රැගත් හෙලිකොප්ටර් යානා කොකාවිල් කඳවුර වෙත පැමිණියත් ඒවාට කඳවුර අසලට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ සැඟවී සිටි කොටි ත්‍රස්තවාදීන් දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා යි. එම නිසා කඳවුර තුළට ආහාර, පතරොම් සහ අනිකුත් ද්‍රව්‍යය ලබාදීමට සිදුවුණේ උඩු ගුවනේ ස්ථානගත කර තිබුණු හෙලිකොප්ටරයක සිට යි. එලෙස උඩු ගුවනේ සිට පහළට දැමූ පතරොම්, ආහාර ද්‍රව්‍යය සහ අනිකුත් දේවල් විශාල ප්‍රමාණයක් කඳවුරෙන් පිටතට වැටුණු නිසා සෙබළුන්ට ඒවා එකතු කරගැනීමට හැකිවුණේ නැහැ. එහි දී සෙබළුන්ට අත්‍යවශ්‍ය වුණු ජලය උඩු ගුවනේ සිට පහතට දැමීමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා අයිස් කැට විශාල ප්‍රමාණයක් කඳවුර වෙත පතිත කළා. එහි දී බොහෝ සෙබළුන් වැලි ගෑවුණු අයිස් කැට පවා අහුලාගෙන මුඛය තුළට දමාගත්තේ දිය පිපාසය දරාගැනීමට නොහැකි වුණු නිසා යි. එදා ආධාරක හමුදා භට පිරිස්  පැමිණ කොකාවිල් කඳවුර බේරාගැනීමට උත්සාහ කළත් ඔවුන් පැමිණි මාර්ග ත්‍රස්තවාදීන් විසින් අවහිර කර තිබුණා. ඒ අනුව ගුවනින් සහ ගොඩබිමින් කොකාවිල් කඳවුර වෙත ආධාරක භට පිරිස්වලට පැමිණීමට තිබුණු සියළුම මාර්ග වැසී තිබුණා. 

කොකාවිල් කඳවුරේ සෙබළුන් ජීවිතයත් මරණයත් අතර සටනක 

කඳවුරේ ආහාර ක්‍රමයෙන් අවසන් වෙමින් පැවති නිසා කෝප්‍රල්වරයෙකු කඳවුරෙන් පිටතට පැමිණියේ කඳවුර ආසන්නයේ තිබුණු පැපොල් ගසෙන් අමු පැපොල් ගෙඩි කඩාගැනීම සඳහා යි. අමු පැපොල් තම්බා කා බඩගින්න නිවාගැනීමට සිතාගෙන පැපොල් ගසට නැගි කෝප්‍රල්වරයා කොටි ත්‍රස්තවාදීන්ගේ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරු වුණේ සහෝදර සෙබළුන්ගේ නෙතට කඳුළක් එක් කරමින්. ඒ වන විට කඳවුරේ තිබුණු ආහාර ප්‍රමාණය දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් වුණු නිසා ඔවුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගැනීමට තීරණය කළා. පසුව ඔවුන් ලුණු කැඳ, තැම්බූ කොළ වර්ග වැනි දේවල් ආහාරයට ගනිමින් සතුරා හමුවේ නොසැලෙමින් සටන් කළා. ඒ අතරතුර කොටි ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ හමුදා සෙබළුන් පිරිසක් තුවාල ලැබුවා. ඝන කැලෑවේ සිටි ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් කඳවුර වෙත ළඟාවන්නට වුණේ ඒ අතර යි. 

පිට පිටම දැවැන්ත ප්‍රහාර දෙකක් 

1990 වසරේ ජූලි 10 වැනිදා වන විට කොටි ත්‍රස්තවාදීන් කොකාවිල් කඳවුර ආසන්නයටම පැමිණ තිබුණා. හමුදා සෙබළුන්ට ඒ පිළිබඳව ඉඟියක් ලැබුණේ විශාල සුනඛයන් පිරිසක් කඳවුරු වෙත පැමිණි නිසා යි. ඒ වන විට සති 3කට වැඩි කාලයක් නිරාහාරව සටන් කරමින් සිටි හමුදා භටයන් අසීරු තත්ත්වයකට පත්ව සිටියා. නමුත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳ නොවැටී තිබුණු නිසා සතුරාට පහරදීමට සූදානම් වුණා. එහි දී ලුතිනන් සාලිය අලදෙණිය සිය සෙබළුන්ට මනාව අණ ලබාදෙමින් ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා. නමුත් එම ප්‍රහාරය හේතුවෙන් සෙබළුන් කිහිපදෙනෙකු මියගොස් තවත් 12ක් පමණ තුවාල ලැබුවා. ඒ වන විට කඳවුරේ තිබුණු වෙඩි ද්‍රව්‍යය අවසන් වී තිබුණු නිසා කඳවුර අතහැර යාමට සෙබළුන් තීරණය කළේ ජූලි 11 වැනිදා දහවල් වරුවේ යි. නමුත් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලැබුණේ නැහැ. 

ඒ ජූලි 11 වැනිදා රාත්‍රියේ නැවතත් ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා යි. එම ප්‍රහාරය නිසා කඳවුර තුළ සිටි තුවාලකරුවන් ගණන තවත් වැඩිවුණු නිසා කඳවුර හැරදා යාම තවත් අසීරු වුණා.

ලුතිනන් අලදෙණියට ඉහළින් උපදෙස් ලැබෙයි 

කොකාවිල් කඳවුරට කිසිදු ආකාරයකින් ආධාරක භට පිරිස් එවීමට නොහැකි වුණු නිසා එය ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා ලුතිනන් අලදෙණියට ඉහළින් නියෝග ලැබුණේ එහි සිටින සෙබළුන් සමගින් කඳවුර අතහැර යන ලෙස යි. නමුත් ඒ වන විට තුවාල ලබා සිටි සෙබළුන් ඉවතට ගෙනයාමට හැකියාවක් තිබුණේ නැහැ. එවැනි වාතාවරණයක් කඳවුර තුළ තිබිය දී ලුතිනන් අලදෙණිය තුවාල ලැබූ සෙබළුන් අතහැර දමා යාමට කැමති වුණේ නැහැ. ඉන් පසුව තුවාල වුණු සෙබළුන් සංඥා මැදිරියට රැගෙන යන ලෙස අණ කළ ලුතිනන් අලදෙණිය සෙසු සෙබළුන්ට පවසා සිටියේ අවසන් මොහොත දක්වාම එකට සටන් කළ යුතු බවයි.

කොකාවිල් සටනේ ඛේදජනක අවසානය 

1990 වසරේ ජූලි 12 වැනිදා පාන්දර වන විට කොටි ත්‍රස්තවාදීන්ට කොකාවිල් කඳවුර අත්පත් කරගැනීමට හැකි වුණා. කඳවුර තුළට පැමිණි ත්‍රස්තවාදීන් එහි තිබුණු තෙල් ටැංකියට ප්‍රහාර එල්ල කිරීම නිසා විශාල ගින්නක් ඇතිවුණා. ඒ වන විට ලුතිනන් අලදෙණිය රැඳී සිටියේ රූපවාහිනි මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ යි. කඳවුර සතුරා අතට පත්වීමෙන් පසුව මරාගෙන මැරීමට තීරණය කළ ලුතිනන්වරයා ගුවන් හමුදාව සම්බන්ධ කරගත්තේ රූපවාහිනි මධ්‍යස්ථානයේ සිට යි. ඔහු ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීම වුණේ කොකාවිල් හමුදා කඳවුර විනාශ වී යන පරිදි බෝම්බ හෙලන ලෙස යි. සති ගණනාවක් පුරාවට නිරාහාරව සිටිමින් ද කොකාවිල් කඳවුර බේරාගැනීම සඳහා සටන් වැදුණු ලුතිනන් උපුල් සාලිය අලදෙණිය ඇතුළු භට පිරිස 1990 වසරේ ජූලි මස 12 වැනිදා අවසන් හුස්ම වා තලයට මුසුකරනු ලැබුවා. 

එදා ලුතිනන් අලදෙණියට කඳවුර අතහැර යාමට හැකියාව තිබිය දීත් ඔහු පෙන්වූ සටන්කාමීත්වය නිසාම පසුකලෙක පරම වීර විභූෂණ නම් පදක්කම හිමිවුණා. ලුතිනන් සාලිය අලදෙණිය ඇතුළු පිරිස සිය මව්බිම බේරාගැනීම සඳහා අභීතව සටන් කළ දිවිපිදූවන් අතර සදාකල් අමරණීය ය.

ලුතිනන් අලදෙණියගේ බිරිඳට පරම වීර විභූෂණ පදක්කම පිරිනැමුණු අවස්ථාව (army.lk)

කවරයේ ඡායාරූපය- 2011 වසරේ දී කොකාවිල් කුළුණ යළි පිළිසකර කිරීමෙන් පසුව (gettyimages)

මූලාශ්‍රයන්- අමරණීය සොල්දාදුවන් 29- ප්‍රසාද් පොල්වත්ත 

                      කොකාවිල් කඳවුරේ ඇත්ත කතාව- ප්‍රසාද් කුමාර 

Related Articles