Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චිලී දේශය විනාශ කළ ඒකාධිපතියා

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් චිලී දේශය දිගු ඉතිහාසයක් තිබෙන රටක්. චිලී දේශයේ මෑත ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ දී 1973 වසරට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එම වසරේ දී චිලී රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණා. එරට ජනාධිපතිවරයා බලයෙන් පහකළ ඔගස්ටෝ පිනෝචේ නම් හමුදා නායකයා වසර 16ක් චිලී දේශයේ ඒකාධිපති පාලනයක් ගෙනගියා. 

එසමය චිලී ඉතිහාසයේ අඳුරුම කාල පරිච්ඡේදය බවට පත්වුණා. එනිසා අදටත් බොහෝ දෙනෙකු පිනෝචේ නම් පාලකයා පිළිබඳ කතා කරන්නේ දැඩි අප්‍රසාදයකින්. 

ජීවිතයේ මුල් අවධිය 

1915 නොවැම්බර් 25 වැනිදා චිලී දේශයේ වල්පරයිසෝ නම් ප්‍රදේශයේ දී පිනෝචේ උපත ලැබුවා. 18 වන සියවසේ දී ප්‍රංශයෙන් චිලී රටට සංක්‍රමණය වුණු පවුලකින් පැවත ආ පිනෝචේට බාල සහෝදර සහෝදරියන් පස්දෙනෙකු සිටියා. පිනෝචේගේ පියා මධ්‍යම පන්තික රජයේ සේවකයෙකු වුණු නිසා ඔවුන්ට යහමින් මුදල් තිබුණේ නැහැ. සැන් රෆායෙල් දෙව්සත්හලෙන් ප්‍රාථමික සහ ද්වීතික අධ්‍යාපනය ලබාගත් ෆිනෝචේ කුඩාකල සිටම හමුදා භටයෙකු වීමට කැමැත්තෙන් සිටියා. හමුදා භටයෙකු සතුව තිබුණු ගාම්භීර පෙනුමට කුඩා පිනෝචේ ආශාවක් දැක්වූවා. 

පිනෝචේ 18 හැවිරිදි වියේ දී චිලී යුධ ඇකඩමියට ඇතුළත් වුණා. වසර 4ක් එහි පුහුණුව ලැබූ ඔහු උප ලුතිනන්වරයකු බවට පත්වුණා. උප ලුතිනන් පිනෝචේ 1937 සැප්තැම්බර් මාසයේ දී චකාබුකෝ රෙජිමේන්තුවේ සේවයට අනියුක්ත කෙරුණා. ඒ දිනවල චිලී යුද හමුදා භටයන්ට සටන් කිරීමට නොතිබුණු නිසා පිනෝචේ එරට කොමියුනිස්ට් සිරකරුවන් රඳවා සිටි කඳවුරක අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළා.

පිනෝචේ හමුදා නිලධාරියෙකු ලෙස (Wikipedia)

1943 වසරේ දී ඔගස්ටෝ පිනෝචේ විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ලුසියා මරියා හිරියාර්ට් රොඩ්‍රිගුස් නම් තරුණිය සමග යි. එම විවාහයෙන් පසුව පිනෝචේට සහ ඔහුගේ බිරිඳට දරුවන් පස් දෙනෙකු බිහිවුණා. ඔවුන් ඉනෙස් ලුසියා, මාරියා වෙරෝනිකා, ජැකලින් මාරි, ඔගස්ටෝ ඔස්වල්ඩෝ, මාර්කෝ ඇන්ටෝනියෝ යන නම්වලින් හැඳින්වුණා. 

පිනෝචේ විවාහ වුණු දිනය (20 Minutos) 

පිනෝචේ සහ අයියන්දේ අතර හිතවත්කමක් ඇතිවීම 

වෛද්‍ය අයියන්දේ කියන්නේ දිගු කාලයක් චිලී රටේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටි සමාජවාදියෙක්. අයියන්දේ 1938 දී පමණ එරට රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත්වූ අතර, 1945 දී සෙනෙට් සභාව නියෝජනය කළා. 

1948 වසරේ එක්තරා දිනයක සෙනෙට් සභික අයියන්දේ කොමියුනිස්ට් සිරකරුවන් ගාල්කර සිටි කඳවුරක් නැරඹීමට ගියා. එම කඳවුර භාරව සිටියේ ඔගස්ටෝ පිනෝචේ යි. දෙදෙනා කතාබහේ යෙදුනු අතර, එයින් පසුව අයියන්දේ සහ පිනෝචේ අතර යම් හිතවත්කමක් ඇතිවුණා. එලෙස ඇතිවුණු හිතවත්කම නිසා අනාගතයේ දවසක තම ජීවිතය අහිමිවනු ඇති බව එදා අයියන්දේට නොසිතෙන්නට ඇති.

පිනෝචේ සහ අයියන්දේ (Gettyimages)

5) ත්‍රිවිධ හමුදාවට අණදෙන නිලධාරියා බවට පත්වීම 

1950 සහ 1960 දශකවල දී හමුදා සේවය තුළ තනතුරෙන් තනතුරට ඉහළ ගිය පිනෝචේ 1968 වසර වන විට බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුර දක්වා උසස් වුණා. ඒ වන විට චිලී යුද ඇකඩමියේ සිසුන්ට දේශන පැවැත්වූ පිනෝචේ දේශපාලනය සහ යුද්ධය පිළිබඳව පොත් 5ක් පමණ ලියා තිබුණා. 1970 චිලී ජනාධිපතිවරණය පැවැත්වුණේ පිනෝචේ හමුදා සේවයේ ඉහළ තනතුරක සිටි අවස්ථාවක යි. එවසරේ සැප්තැම්බර් 4 වැනිදා පැවති එම මැතිවරණයෙන් සැල්වදෝර් අයියන්දේ ජය ලැබුවා. පිනොචේගේ මිතුරෙකු වූ අයියන්දේ සිය ජයග්‍රහණයෙන් පසුව සන්තියාගෝ බලකොටුවේ අණදෙන නිලධාරියා ලෙස පිනෝචේ උසස් කරනු ලැබුවා.   කෙසේ නමුත්, 1970 ජනාධිපතිවරණයෙන් අයියන්දේගේ නායකත්වයෙන් යුත් වාමාංශික සන්ධානය ජයග්‍රහණය ලබාගත්ත ද කොංග්‍රස් මණ්ඩලයේ බලය හිමිව තිබුණේ දක්ෂිණාංශිකයන්ගෙන් සමන්විත වුණු විරුද්ධ පක්ෂයට යි. 

චිලී රටේ දුප්පත් ජනතාවගේ අයිතීන් ලබාදීම වෙනුවෙන් පෙනී සිටි අයියන්දේ විශාල ඉඩම් හිමියන් සතුව තිබුණු කෙත්වතු මෙන්ම ධනපතියන් සතුව තිබුණු ව්‍යාපාර ද ජනසතු කළා. මෙය චිලී ධනවතුන් දැඩි ලෙස කෝපයට පත්කරන්නක් වුණා. එඔවුන් එරට විරුද්ධ පක්ෂය හා එකතු වී අයියන්දේගේ රජය පෙරළීමට සැලසුම් සකස් කළා. එහි දී ඔවුන්ට ඇමරිකාවේ CIA ඔත්තු සේවයේ සහාය ද ලැබුණා. 

අයියන්දේට විරුද්ධව රට පුරා විරෝධතා ඇතිවෙද්දී ඉදිරියේ දී සිදුවිය හැකි හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව ඔහුට ඉව වැටුණා. එනිසා ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරි තනතුර සඳහා විශ්වාසවන්ත කෙනෙකු පත්කරගැනීමේ අවශ්‍යතාව මතුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1973 අගෝස්තු මාසයේ දී ඔගස්ටෝ පිනෝචේ චිලී දේශයේ ත්‍රිවිධ හමුදාවට අණදෙන නිලධාරියා වශයෙන් පත්වුණා. ඒ වෙද්දී, අයියන්දේ සහ පිනෝචේ අතර දශක 2කට වැඩි කාලයක් හිතවත්කම පැවතුනා. 

ත්‍රිවිධ හමුදා ප්‍රධානියා බවට පත්වීම (Gettyimages)

චිලී දේශයේ පාලනය බලය ලබාගැනීම

උපතින් මධ්‍යම පාන්තික පවුලකට අයත් වුණු පිනෝචේ ධනය සහ බලයට මහත් සේ ආශා කළා. එනිසා ඔහුව ලෙහෙසියෙන්ම අයියන්දේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණය සඳහා යොදාගැනීමට හැකියාව ලැබුණා. පිනෝචේ වැනි කෙනෙකු එවැනි කුමන්ත්‍රණයකට එකතු කරගැනීම වාසියක් වුණේ ඔහු ජනපති අයියන්දේගේ හිතවතෙකු වුණු නිසා යි. එම හිතවත්කම නිසා අයියන්දේ ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා වුණු ෆිනෝචේ පිළිබඳව සැක නොකරනු ඇති බව කුමන්ත්‍රණකරුවන්ගේ අනුමානය වුණා. 

එලෙස රහසිගතව සැලසුම් කළ කුමන්ත්‍රණය 1973 සැප්තැම්බර් 11 වැනිදා ක්‍රියාත්මක වුණා. එදා ඔගස්ටෝ පිනෝචේ ඇතුළු පිරිස ජනපති අයියන්දේව බලයෙන් පහකරමින් එරට බලය අල්ලා ගත්තා. පිනෝචේ තමාට විරුද්ධ වුණු බව දැනගැනීමත් සමගම අයියන්දේ දැඩි ලෙස කෝපයට පත්වුණා. පිනෝචේගේ පාලනයක් යටතේ තමාට දිවිගෙවීමට අපහසු බව තේරුම්ගත් ඔහු වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා. නමුත් ඒ මොහොතේ දී ඔහු වෙඩි තබාගත්තා ද, ඔහුට වෙඩි තැබුවා ද යන සැකය අදටත් ඉතිරිව පවතිනවා.

චිලී රටේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණය (Gettyimages)

රට තුළ ඝාතන රැල්ලක් පැතිර යාම 

කුමන්ත්‍රණයකින් පාලන බලය අල්ලාගැනීමෙන් පසුව පිනෝචේ ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත වුණු කණ්ඩායමක් චිලී දේශයේ පාලන කටයුතු සිදුකළා. නමුත් ක්‍රමයෙන් සිය බලය පැතිරවූ පිනෝචේ 1974 දෙසැම්බර් මාසයේ දී චිලී දේශයේ ජනාධිපතිවරයා වශයෙන් පත්වුණා. පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි කළ ඔහු ඒකාධිපති පාලනයක් රට තුළ ගෙන ගියා. 

ස්වභාවයෙන්ම දරුණු පුද්ගලයෙකු වුණු පිනෝචේ චිලී රටේ පාලකයා බවට පත්වීමෙන් පසුව ඔහුගේ කුරිරු ගතිගුණ තවත් ඉස්මතු වුණා. ඔහු සිය විරුද්ධවාදීන්ගෙන් දරුණු ලෙස පළිගැනීම ආරම්භ කළා. එම පළිගැනීම් සඳහා පිනෝචේ පත්කළ වෙනම හමුදා කල්ලි සිටියා. ඔවුන්ට පැවරී තිබුණු රාජකාරිය වුණේ පිනෝචේගේ විරුද්ධවාදීන්ව දඩයම් කිරීම යි. 

මේ හමුදා කල්ලි පිනොචේගේ විරුද්ධවාදීන් 70000ක් පමණ සිරකඳවුරුවල රඳවාගෙන සිටියා. ඉන් 30000කට පමණ දරුණු වධහිංසා ලබා දී තිබුණා. එයින් 3500ක් පමණ මරණයට පත්වුණා. මරණයට පත්වුණු පිරිස අතර ප්‍රසිද්ධ ජනතාවාදී ගායකයෙකු වුණු වික්ටර් හාරා ද සිටියා. පිනෝචේගේ සිරකඳවුරුවල සිටි පිරිස අතරට ශිෂ්‍යයන්, මාධ්‍යවේදීන්, පූජකයන්, විනිසුරුවන් මෙන්ම විදේශිකයන් ද අයත් වුණා. එම යුගයේ දී පිනෝචේගේ හමුදා කල්ලි රටපුරා පැතිර වූ භීෂණය නිසා චිලී වැසියන්ට දශකයකටත් වැඩි කාලයක් බියෙන් ජීවත් වන්නට සිදුවුණා. 

(වික්ටර් හාරා ගැන මේ ලිපියෙන් කියවන්න: වික්ටර් හාරා – සොඳුරු ජන ගී ගායකයා)

පිනෝචේගේ හමුදාවේ මර්ධනය (Speed of Life)

ආර්ථිකය පරිහානියට පත්වීම

එකල ඔගස්ටෝ පිනෝචේ හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. පාන් රාත්තලක මිල එස්කුදෝ 11 සිට 40 දක්වා වැඩිවීම ඊට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. භාණ්ඩවල මිල වැඩිවන අතරතුර රටේ දරිද්‍රතාවය ද වැඩිවුණා. රටේ උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යන විට එය පාලනය කිරීම සඳහා සේවක වැටුප් අඩු කිරීමට පිනෝචේගේ රජය කටයුතු කළා. එනිසා රටේ පිරිසක් අන්ත දිළිඳුභාවයට පත්වුණා. 

ඔගස්ටෝ චිලී දේශය පාලනය කළ සමයේ එරට ජනගහනයෙන් 85%ක් පමණ දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමට වැටුණා. නමුත් චිලී රටේ වැසියන් දුක්ඛිත ජීවිතයක් ගතකරන විට පිනෝචේ සහ ඔහුගේ පවුලේ උදවිය සුඛෝපභෝගි ජීවිතයක් ගතකළා. 

පිනෝචේගේ පාලනයට එරෙහිව පැවති විරෝධතාවයක් (Gettyimages)

පිනෝචේගේ වසර 16ක පාලන කාලය තුළ ඔහු ඩොලර් මිලියන 28ක පමණ ධනයක් උපයාගත් බව සඳහන් වනවා. ඔහුගේ පවුලේ උදවිය ද විවිධ දූෂණ වංචා සිදුකරමින් විශාල මුදලක් උපයාගත් බවට චෝදනා එල්ල වුණා. පිනෝචේගේ එක් දියණියකගේ සැමියා වුණු ජුලියෝ පොන්ස් රාජ්‍ය අනුග්‍රහයෙන් රිදී, තඹ, සහ රන් පතල් කුණුකොල්ලයට මිල දී ගත්තා. පිනෝචේගේ දුව ද එම දූෂිත ක්‍රියාවන් සඳහා සම්බන්ධ වුණා. රටේ බහුතර පිරිසක් දරිද්‍රතාවයෙන් පීඩාවිඳිද්දී දිනෙන් දින පොහොසත් වුණේ පිනෝචේ, ඔහුගේ පවුලේ උදවිය, සහ හෙන්චයියන් පමණ යි.

ජූලියෝ පොන්ස් (Alchetron)

පිනෝචේගේ අවසානය 

1988 වසරේ දී චිලී දේශයේ පැවති ජනමත විචාරණයෙන් පිනෝචේ පරාජයට පත්වුණා. නමුත් ඔහු 1990 වසර වන තුරු ජනාධිපති තනතුරේ රැඳී සිටියා. ඉන් පසුව පැට්‍රිකෝ ඇල්වින් චිලී රටේ ජනාධිපති තනතුරට පත්වුණත් පිනෝචේ 1998 වසර දක්වාම හමුදාපතිවරයා ලෙසින් රාජකාරි කළා. 1998 වසරේ දී ශල්‍යකර්මයක් සඳහා පිනෝචේ ලන්ඩන් නුවරට ගියා. එම අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට පත්වුණා.

එදා සිට වසර 4ක් හිර අඩස්සියේ සිටි පිනෝචේ 2002 වසරේ දී ප්‍රතිකාර සඳහා යළි මුදාහැරුණා. අනතුරුව යළි චිලී දේශය වෙත පැමිණි පිනෝචේට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ පාලන කාලය තුළ සිදුකරන ලද අපරාධ සම්බන්ධව නඩුවක් ගොනු කෙරුනා. යි. එම නඩුව විභාග කරන ලද කාලය තුළ පිනෝචේ වරින් වර අසනීපවලට ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2006 දෙසැම්බර් 10 වැනිදා හෘදයාබාධක් වැළඳීමෙන් ඔගස්ටෝ පිනෝචේ නම් ඒකාධිපතියා මරණයට පත්වුණා. 

මියගිය ඔගස්ටෝ පිනෝචේ (The Tico Times) 

 

කවරයේ ඡායාරූපය- ඔගස්ටෝ පිනෝචේ (Gettyimages)

Related Articles