Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්දිව පළමු රැජිණ: කුප්‍රකට අනුලා දේවිය

ක්‍රිස්තු පූර්ව 538 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා ගෙවුණු වසර 2358ක කාලය තුළ පාලකයන් 184 දෙනෙකුට  මෙරට රජකම උරුම වුණා. ඒ අතරට රැජිණියන් සිව්දෙනෙකු අයත් වුණා. මේ රැජිණියන්ගෙන් අනුලා සහ සීවලී අනුරාධපුර රාජධානි සමයේ ද, ලීලාවති සහ කළ්‍යාණවතී පොළොන්නරු රාජධානි සමයේ ද අප රට පාලනය කළා. 

ලක්දිව පළමු රැජිණ බවට පත්වුණු අනුලා පිළිබඳව අපූරු කරුණු රැසක් ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා. ඇය පිරිමින් වසඟයට ගනිමින්, ඔවුන්ව අභිරහස් ලෙස  මරා දමමින් සල්ලාල ජීවිතයක් ගතකළ බව මේ පොත් අපට කියන්නෙ යනවා. එනිසා ලංකා ඉතිහාසය තුළ ඇය මතුකර ඇත්තේ කළු චරිතයක් ලෙසින්.  

ඛල්ලාටනාග රජුගේ මරණය

දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වුණු සද්ධාතිස්සට පුතුන් සිවුදෙනෙකු සිටියා. එනිසා ක්‍රි. පූ. 119 දී පමණ සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව රජකම උරුම වුණේ ලඤ්ජිතිස්ස නම් වැඩිමහල් පුත්‍රයාට යි. නමුත් ඔහුට ලැබෙන්නට තිබුණු රජකම බලෙන් උදුරාගත් ථුල්ලත්තන දින 40ක් පමණ රට පාලනය කළා. සිය සේනාව රැස්කර, සිය සොයුරාගෙන් තමාගේ රජකම පැහැරගත් ලඤ්ජිතිස්ස වසර 10ක් බලයේ රැඳී සිටියා. ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වීමෙන් පසු සද්ධාතිස්ස රජතුමාගේ තෙවන පුත්‍රයා වුණු ඛල්ලාටනාගට සිහසුන හිමිවුණා. ඔහුගේ අග බිසව බවට පත්වුණේ අනුලා බිසව යි (අප කතා කරන්නට යන අනුලා රැජිණ නොවෙයි). ඛල්ලාටනාග රජුගෙන් අනුලා බිසවට උපන් කුමරාට මහාචූලි යන නම තැබුවා.

ඛල්ලාටනාග රාජ්‍ය සමයේ දී රජු බලයෙන් පහකරන්නට කුමන්ත්‍රණ 2ක් ක්‍රියාත්මක වුණා. ඉන් පළමු කුමන්ත්‍රණය සාර්ථකව මැඩපැවැත්වීමට රජතුමාට හැකියාව ලැබුණා. නමුත් මහා රත්තක සෙනෙවියා විසින් ක්‍රියාත්මක කළ දෙවන කුමන්ත්‍රණය ඉතාමත් රහසිගතව සිදුවුණා. සෙනෙවියා ඛල්ලාටනාග රජතුමා මරා රජකම ලබාගන්නට සමත් වුණා. නමුත් ඔහුට අනුරාධපුරයේ රජකම් කරන්නට ලැබුණේ දින කිහිපයක් පමණ යි. සිය සොහොයුරා මැරූ පළිය ගත් වට්ඨ ගාමිණී අභය කුමාරයා මහා රත්තක මරා දමා වළගම්බා නමින් රජකමට පත්වුණා.

වලගම්බා රජතුමා ගතකළ දුෂ්කර ජීවිතය 

වලගම්බා රජතුමාගේ අග මෙහෙසිය වුණේ සෝමා දේවිය යි. නමුත් වලගම්බා රජතුමා සිය වැඩිමල් සොයුරු ඛල්ලාටනාගගේ බිසව වුණු අනුලා ද සිය බිසවක් කරගත්තා. එසේම අනුලාගේ පුත් මහාචූලි කුමාරයා සිය පුතෙකු මෙන් රැකබලා ගැනීමට රජතුමා කටයුතු කළා. නමුත් වලගම්බා රජකමට පත්ව මාස 5ක් ගතවද්දී දකුණු ඉන්දීයයන් සත්දෙනෙකු ලංකාව ආක්‍රමණය කළා. ආක්‍රමණිකයන්ට බියේ වලගම්බා රජතුමා, සෝමා දේවිය, අනුලා බිසව, නාග කුමාරයා, සහ මහාචූලි කුමාරයා ඇතුළු පිරිස අශ්ව රථයක නැගී පළායන්නට වුණා. 

සතුරන් ක්‍රම ක්‍රමයෙන් වලගම්බා රජතුමා පළාගිය රථය වෙත සමීප වෙද්දී එහි වේගය වැඩි කිරීමට අවශ්‍ය වුණා. ඒ වන විට අනුලා බිසව අසනීපයෙන් සිටි නිසා සෝමා දේවිය රථයෙන් බිමට පැන්නේ, කරත්තයේ බර අඩුවී වේගයෙන් ගමන් කිරීමට හැකිවීමෙන් වලගම්බා රජතුමාගේ ජීවිතය ආරක්ෂා කිරීමට යි. 

සෝමා දේවිය අල්ලාගත් පිරිස ඇය සොළී රටට ගෙන ගියා. එලෙස ගෙනයන අතරතුර ඔවුන් සෝමා දේවිය අනාවරණය කරගත්තේ මහළු සොළී රජතුමාගේ දියණිය බොහෝ කලකට පෙර රෝගයක් වැළඳීම හේතුවෙන් මියගිය බව යි. එය හොඳින් මතකයේ තබාගත් සෝමා දේවිය මහළු සොළී රජු හමුවූ විට පවසා සිටියේ ඇය පෙර භවයේ දී සොළී රජුගේ මියගිය දියණිය බව යි. එය විශ්වාස කළ සොළී රජතුමා ඉන්පසු සෝමා දේවිය සිය දියණියක් සේ හොඳින් රැකබලාගත් බව ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා. 

සෝමා දේවියගේ ඉරණම එසේ විසඳෙද්දී වලගම්බා රජතුමා අනුලා බිසව සහ දරුවන් දෙදෙනා සමග විවිධ ප්‍රදේශවල සැඟවී සිටිමින් දුෂ්කර ජීවිතයක් ගතකළා. නමුත් සතුරන් රටින් පළවා හැරීමට අධිෂ්ඨාන කරගත් වලගම්බා රජතුමා හොර රහසේම සේනාව රැස් කළා. එදා ලංකාවට පැමිණි ද්‍රවිඩයන්ගෙන් දෙදෙනෙකු සෝමා දේවිය සමග ආපසු සොළී රටට ගිය නිසා අනුරාධපුරයේ රජකම් කළේ සොළීන් පස්දෙනෙකු පමණ යි. ඔවුන් එකිනෙකා මරා ගනිමින් වසර 14ක් පමණ අනුරාධපුරය රජකම් කළා. අවසානයේ දී වලගම්බා රජුගේ සේනාව දාඨිය නම් ද්‍රවිඩ රජුව පරාජය කරමින් අනුරාධපුරයේ බලය යලි අල්ලා ගත්තා.

චෝළ ආක්‍රමණයක් දැක්වෙන සිතුවමක් (tamil invaders.com)

මහාචූලි කුමරාට රජකම උරුම වෙයි 

ක්‍රි. පූ. 89 දී යළි අනුරාධපුරයේ රජු වශයෙන් අභිෂේක ලැබූ වළගම්බා රජතුමා උපායශීලිව සෝමා දේවිය මෙරටට ගෙන්වාගෙන අග මෙහෙසි තනතුරේ තබා වසර 12ක් රට පාලනය කළා. වළගම්බා රජතුමාගේ පුත්කුමරා වුණු නාගට කුඩාකල සිටම මව් සෙනහස අහිමි වුණා. එනිසා ඔහු හිතුවක්කාර ගතිගුණ තිබුණු දඩබ්බර පුද්ගලයෙකු බවට පත්වුණා. නාගගේ එම අශීලාචාර ගති පැවතුම් නිසා වළගම්බා රජුගෙන් පසුව රජකම උරුම වුණේ ඛල්ලාටනාග රජුගේ සහ අනුලා දේවියගේ  පුත්‍රයා වුණු මහාචූලි කුමාරයාට යි. ඔහු “මහාචූලි මහා තිස්ස” යන නමින් රජකමට පත්වුණා.

දෝව පන්සලේ වළගම්බා රජුගේ පිළිමය (Trip Advisor)

සිහසුන අහිමිවීම නිසා කෝපයට පත් මහානාග කුමරා තවත් පිරිසක් සමග එක්ව රට පුරා යමින් දාමරිකකම් කරන්නට වුණා. ඔහු අනුන්ගේ වස්තුව සොරකම් කරමින්, මිනිසුන්ට අඩන්තේට්ටම් කරමින් තමා වෙත තිබුණු ජනතා අප්‍රසාදය තවත් වැඩිකර ගත්තා. මේ හේතු නිසා නාග කුමරාට “චෝරනාග” යන නම පටබැඳුණා. ධාර්මික රජ කෙනෙකු වුණු මහාචූලි මහා තිස්සට ඔහුගේ ඥාති සහෝදරයා පාලනය කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. චෝරනාගගේ ක්‍රියා කලාපය නිසා රටවැසියන් පීඩාවට පත්ව සිටියා.

චෝරනාග රජකමට පත්වෙයි 

ක්‍රි. පූ. 62 දී මහාචූලි මහා තිස්ස රජතුමා මරණයට පත්වීමෙන් චෝරනාග රජකමට පත්වුණා. ඔහුට කිසිවෙකුගෙන් බාධාවක් එල්ල වුණේ නැහැ. කාමයට ලොල් තැනැත්තෙකු වුණු චෝරනාග අනුලා නම් රූමත් තරුණිය සිය අග මෙහෙසිය කරගත්තා. 

චෝරනාග දාමරික ක්‍රියාවල නිරත වෙමින් සිටි යුගයේ ඇතැම් පන්සල්වලට ඔහුව ඇතුළු කරගත්තේවත් නැහැ. තවත් සමහර ප්‍රභූවරුන් ඔහුගේ වැඩවලට එළිපිටම විරෝධය පළ කළා. එනිසා චෝරනාග රජකමට පත්වීමෙන් පසුව ඔහුට නවාතැන් ලබා නොදුන් පන්සල් 18ක් විනාශ කළ බව මහාවංසයේ සඳහන් වී තිබෙනවා. ඔහුට එරෙහි වුණු අනිකුත් උදවියගෙන් ද පළිගන්නට චෝරනාග පසුබට වුණේ නැහැ.

චෝරනාග රජුගේ අවසානය 

චෝරනාග සහ අනුලා යන දෙදෙනාම කාමයට ලොල්ව සිටි බව වංශ කතාවල ලියැවී තිබෙනවා. එනිසා එකිනෙකාට හොඳින් ගැලපුනු මේ දෙදෙනා වසර ගණනාවක් යහපත් ජීවිතයක් ගත කළා. එකල නිතරම මධුවිතින් මත්ව සිටි චෝරනාග සහ අනුලා විනෝදකාමී ජීවිතයක් ගෙවූ බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන්. 

එක්තරා දිනයක අනුලා බිසවට රජ වාසලේ කසළ ශෝධකයෙකු දක්නට ලැබුණා. ඔහුගේ ශක්තිමත් සිරුරට මහත් සේ ආශා කළ අනුලා ඔහු සමග හොර රහසේම රතිසුව වින්දා. චෝරනාග කෙසේ හෝ මේ ගැන දැනගත්තා. ඔහු අනුලා බිසවට තදින්ම තරවටු කළා. අනුලා බිසව චෝරනාග රාජද්‍රෝහීකමක් කළත් ඔහු අනුලාට දඬුවම් පැමිණවූයේ නැහැ.  

අනුලා බිසව සහ කසළ ශෝධකයා අතර ඇති වුණු සම්බන්ධය චෝරනාග රජු දැනගැනීමෙන් බිසව දැඩි ලෙස කලබලයට පත්වුණා. චෝරනාග රජු ඉතාමත් දරුණු පුද්ගලයෙකු බව ඇය දැනගෙන සිටියා. එනිසා රජුට පෙර ක්‍රියාත්මක වීමට අනුලා තීරණය කළ බිසව ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළා. 

අනුලා බිසව කසළ ශෝධකයා ලවා දරුණු වසක් ගෙන්වා ගෙන රජුගේ මධු බඳුනට එකතු කළා. එදින සිරි යහන් ගබඩාවට රජු පිවිසි මොහොතේ දී ඔහුට මධු බඳුන පොවන්නට අනුලා බිසව සමත්වුණා. විෂ ශරීර ගතවීමෙන් චෝරනාග රජු මියගියත්, රජ වාසල පුරා පැතිර ගියේ පුවත වූයේ රජු අසනීප වී මියගිය බව යි.

අනුලා බිසව චෝරනාග රජුට වස දෙන අවස්ථාව දැක්වෙන සිතුවමක් (Silumina)

අනුලා තවත් රජෙකුට වස දී මරා දමයි  

වසර 12ක කාලයක් රජකම් කළ චෝරනාග මියයාමෙන් පසුව රජකමට පත්වුණේ මහාචූලි මහා තිස්ස රජුගේ පුත්‍රයා වුණු කුඩා තිස්ස යි. ඔහු ද රූමත් අනුලා බිසව සිය අග මෙහෙසිය ලෙස තබාගත්තා. ඒ වන විට මහාචූලි මහා තිස්ස රජුගේ තවත් පුතෙකු වුණු මකලන් තිස්ස භික්ෂූන්වහන්සේනමක් ලෙස අප්‍රසිද්ධියේ ජීවත් වුණා. ඔහු ශාසනයට ඇතුළත් වුණේ චෝරනාගට සහ අනුලාට තිබුණු බිය නිසා යි. 

කුඩා තිස්ස රජකමට පත්ව වසර 3ක් පමණ ගතවෙද්දී අනුලා ශිව නම් දොරටු පාලකයා සමග පෙමින් බැඳුණා. කුඩා තිස්ස මරා දැමීමට සැලසුම් කළ අනුලා බිසව අවසානයේ කුඩා තිස්ස රජුගේ රාජකීය භෝජනවලට වස මුසුකර, ඔහු මරා දමනු ලැබුවා.

අනුලා බිසවගේ සැමියන් වැල

කුඩා තිස්සගේ මරණයෙන් පසු අනුලා බිසව ශිවට නාමික රජකම ලබාදුන්නා. නමුත් අනුලා බිසවට ලොල් වුණු ශිවට ජීවත්වීමට වාසනාව ලැබුණේ මාස 14ක කාලයක් පමණ යි. ශිවට ද වස දී මරා දැමූ අනුලා බිසව, වටුක නම් වඩු කාර්මිකයෙකු පුරුෂ තනතුරට ගත්තා. වටුක ද අනුරාධපුරයේ නාමික රජු වශයෙන් පෙනී සිටිමින් අනුලා බිසව සමග වාසය කළා. නමුත් වටුකට ද ජීවත්වීමට වාසනාව තිබුණේ මාස 14ක් පමණ යි. 

වටුකගේ මරණයෙන් පසු අනුලා බිසවට තෝරාගත්තේ රජ මාළිගයට දර රැගෙන ආ පුද්ගලයා යි. දරකැටිතිස හෙවත් දාරුභාතික තිස්ස නම් වුණු එම පුද්ගලයා මාස 13ක කාලයක් අනුලා බිසව සමග ජීවත් වුණා. ඔහුගේ මරණයෙන් පසුව, අනුලා බිසව නීළිය නම් බමුණා සමග මාස 6ක් පෙම්සුව විඳි බව ඉතිහාස පතපොතේ සඳහන්.

අනුලා බිසව දැක්වෙන සිතුවමක් (Silumina)

අනුලා බිසව ලක්දිව පළමු රැජිණ බවට පත්වෙයි 

නීළිය මරා දැමීමෙන් පසු අනුලා තමාම රජකමට පත්වුණා. නමුත් ඇය පිරිමින් වසඟයට ගැනීම දිගටම සිදුකර ගෙන ගියා. පිරිපුන් සිරුරක් ඇති පුරුෂයෙකු ඇස ගැටුණු විගස ඔහුගේ පහස ලබාගැනීමට අනුලා දෙවරක් සිතුවේ නැති බව ඉතිහාසය කියනවා. පෙර සේම, ඇය ස්වාමි තනතුරට පත්කරගත් පුරුෂයන් කාලයක් ගතවුණු පසුව හොර රහසේම මරා දැමුනා. ඇය පුරුෂයන් තිස් දෙදෙනෙකු පමණ මරා දැමූ බව ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා. 

අනුලා බිසව විනෝදකාමී ජීවිතයක් ගතකිරීමට ක්‍රියා කළා මිස රාජ්‍ය පාලනය ගැන තැකීමක් කළේ නැහැ. එනිසා රට විශාල ලෙස පරිහානියට පත්වුණා. එසේම රටේ භාණ්ඩාගාරය ක්‍රමයෙන් හිස්වන්නට පටන්ගත්තා. රට අගාධයට යන ආකාරය තවදුරටත් බලාසිටින්නට නොහැකි වුණු එක්තරා පිරිසක් අනුලා බලයෙන් පහකිරීමට සැලසුම් කළා.

අනුලා රැජිණගේ අවසානය 

චෝරනාග රජුට සහ අනුලා බිසවට බියෙන් මහණ වී අප්‍රසිද්ධ ජීවිතයක් ගතකරමින් සිටි, මහාචූලි රජුගේ පුතෙකු වුණු කූටකණ්ණ තිස්ස හෙවත් මකලන් තිස්ස සිවුරු හැර, අනුලා බලයෙන් නෙරපීමට සැලසුම් කළා. භික්ෂූන්වහන්සේගේ සහාය ද ඔහුට ලැබුණා. අනුලා මරා දැමූ කූටකණ්ණ තිස්ස හෙවත් මකලන් තිස්ස ක්‍රි. පූ. 42 දී පමණ අනුරාධපුරයේ රජකමට පත්වුණා. ඉන් පසුව ඔහු වසර 22ක් රජකම් කරමින් අනුරාධපුර රාජධානිය අරාජිකත්වයෙන් මුදවාගත්තා. 

අනුලා රැජින සැබැවින්ම ඉතිහාසයේ මවා පෙන්වන ආකාරයේ තැනැත්තියකදැ යි අද අප දන්නේ නැහැ. එය සත්‍ය හෝ අතිශයෝක්තිය හෝ අසත්‍යය විය හැකියි. කෙසේ නමුත් පිරිමින්ම රට පාලනය කළ, පුරුෂමූලික සමාජයක් තිබූ යුගයක, රජකමට පත්වුණු පළමු කාන්තාව රටේ අප්‍රසාදය ලැබූ බව නම් අපට අනුමාන කළ හැකියි.

කවරයේ ඡායාරූපය- අනුලා රැජිණගේ සිතුවමක් (Mawbima)

මූලාශ්‍රයයන්- මහාවංසය 

                        ශ්‍රී ලංකාවේ ඉතිහාසය පළමු කොටස 

Related Articles