Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකීය රේල්ලුවේ ආරම්භය

ශ්‍රී ලාංකීය දුම්රිය සේවයේ ඉතිහාසය ගැන ලියැවෙන මේ ලිපි පෙළෙහි පළමුවන ලිපියෙන් ලංකාව තුල දුම්රිය මාර්ග පද්ධතියක් හා දුම්රිය සේවයක් ස්ථාපිත කරන්නට හේතු වුණු ආසන්නතම කාරණා කිහිපය අපි ඔබ වෙත ගෙන ආවා. 1857 වසරෙහි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ලංකාවේ ආණ්ඩුකාරවරයා වන ශ්‍රීමත් හෙන්රි වෝඩ් විසින් ශ්‍රී ලංකාව තුල රේල්ලුව ස්ථාපිත කිරීමට නිල වශයෙන් කටයුතු කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයකින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟුණා. ලාංකීය රේල්ලුව ස්ථාපිත කිරීම කිරීමට යෝජනා සම්මත කිරීම, වියදම් ඇස්තමේන්තු කිරීම, මාර්ගය සැළසුම් කිරීම හා මංගල පස් පිඬැල්ල කැපීම පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කරමු.

ලංකා දුම්රිය සමාගම පිහිටුවීම හා රේල්ලුවට පෙර සූදානම

උඩරට කෝපි වගා කරන්නන් 19 වන සියවසේ මැද හාගය පමණ වන විට ශ්‍රී ලංකාවේත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ වැදගත් කම හොඳින් තේරුම් ගෙන සිටියා. මේ කාලය වන විට ඉන්දියාවේ ද දුම්රිය මාර්ග ඉදිකිරීම පටන්ගෙන තිබුණු අතර, ශ්‍රී ලංකාවේ කොළඹ සිට මහනුවර දක්වා එවැන්නක් ඉදිකර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා. මහා බ්‍රිතාන්‍යයේ සිටින තමන්ගේ හිතමිත්‍රාදීන් මාර්ගයෙන් ඒ සඳහා අවශ්‍ය සංඛ්‍යා ලේඛණ ද, මූලික අරමුදල් ද සපයාගන්න උඩරට වැවිලිකරුවන් ක්‍රි.ව 1845 ඔක්තෝබර් මාසයේදී ‘ ලංකා දුම්රිය සමාගම’ ස්ථාපිත කරගන්නවා.

මහා බ්‍රිතාන්‍යයේ ලංඩන් නුවර ප්‍රධාන කාර්යාලය ඉදිකෙරුණු ලංකා දුම්රිය සමාගමේ ප්‍රධාන ඉලක්කය වුණේ ලංකාවේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමයි. ශ්‍රී ලංකාවේ හිතකර කාලගුණය හා සාරවත් පස නිසා යටත් විජිතයක් වශයෙන් ඉතාම වැඩි ප්‍රයෝජනයක් ගත හැකි මුත් ප්‍රවාහන අපහසුතා නිසා එය හරිහැටි යොදාගත නොහැකි බව පෙන්වා දුන් ඔවුන් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සැතපුමකට පවුම් 6000 ක මුදලක් වියදම් වනු ඇති බවද ඇස්තමේන්තු කළා. අනෙකුත් බොහෝ රට වල මෙන් නොව භූ විෂමතාව හා ස්වභාවික ව්‍යසන මදකම රේල්ලුවකට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන බව පෙන්වා දුන් ඔවුන් සම්පූර්ණ ව්‍යාපෘතියට පවුම් මිලියනයක් පමණ වැය වනු ඇතැයි ප්‍රකාශ කර සිටියා.

ලංකාව ඉතා සරුසාර භූමියකින් යුතු වුණත් ඉන් ප්‍රයෝජන ගැනීම අපහසු වී තිබුණේ නිසි ප්‍රවාහන මාර්ගයක් නොතිබුණු නිසායි- lanka.com

ක්‍රි.ව 1850 පමණ වන විට වාර්ෂිකව මහනුවර සිට කොළඹට කෝපි වැනි නිෂ්පාදන පුරවාගත් ගැල් 79000ක් පමණ ප්‍රවාහනය කෙරුණා. මේ සෑම ගැලකටම පවුම් 2 ක් හා සිලිං 10ක් වියදම් වූ අතර මේ නිසා සම්පූර්ණ වාර්ෂික වියදම පවුම් 179000 ක් පමණ වුණා. මේ නිසා වඩා කාර්යක්‍ෂම ප්‍රවාහන මාධ්‍යයක් වන දුම්රිය මාර්ගය ඉදි කිරීමට ඇස්තමේන්තු කළ මුදල ඊට වඩා පස් ගුණයක් පමණක් වීම මෙවැන්නක් ඉදි කිරීමේ ප්‍රායෝගික බව නැවතත් කියා පෑවා. කාලය ඉතිරි වීම මෙන්ම තැපැල් කටයුතු ද පුද්ගල ප්‍රවාහනය ද කාර්යක්‍ෂම වීම අමතර වාසි වුණා. මේ සියල්ල සංඛ්‍යාත්මකව බ්‍රිතාන්‍ය කිරීටයට ගෙන හැර පෑ ලංකා දුම්රිය සංගමය කෙමෙන් කෙමෙන් දුම්රිය මාර්ගයක් ඉදි කිරීම කෙරෙහි ඔවුන්ව නම්මවා ගැනීමට සමත් වෙනවා.

දුම්රිය මාර්ගය කෙරෙහි මූලික සමීක්ෂණ

ලංකාවේ ප්‍රවාහනය දියුණු කිරීමට යටත්විජිත රජය ගෙන ගිය උදාසීන ප්‍රතිපත්තිය පසෙක තබමින් ලංකා දුම්රිය සංගමය තමන් විසින්ම අරමුදල් සපයාගෙන, ඉතා පරිණත ඉංජිනේරුවන් යොදවාගෙන උඩරට දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා වූ ප්‍රාමාණ සමීක්ෂණය කිරීම අරඹනවා. ක්‍රි.ව 1846 මැයි මාසයේදී ඇරඹුණු මේ කටයුත්තේදී මේ දුම්රිය මඟ ඉදි කිරීම සඳහා සුදුසු යැයි මාර්ග තුනක් යෝජනා වෙනවා. මේ අතරින් හිඟුල නිම්නය වඩාත්ම සුදුසුයැයි යෝජනා කරන ඉංජිනේරු කණ්ඩායම ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලංකා දුම්රිය සමාගමට සපයනවා.ලංකා දුම්රිය සංගමය හැකි ඉක්මණින් මේ වාර්තාව ලංකාවේ යටත් විජිත රජයට සපයන අතර ඔවුන්ගෙන් ඒ සඳහා ලැබෙන්නේ ඒ තරම් කාර්යක්‍ෂම හෝ සුභවාදී ප්‍රතිචාරයක් නොවේ.

ටොරින්ටන් සාමි -wikipedia.org

මේ අතර ලංකාවේ පාලන තන්ත්‍රයේ යම් වෙනසක් සිදු වෙනවා. ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා ලෙස  ටොරින්ටන් සාමි  පත් වන අතර ව්‍යාපාරිකයෙක් වන ඔහුට දුම්රිය පිළිබඳව යම් දැනුමක් තිබුණා. මෙරටට පැමිණීමටත් පෙර ලංකා දුම්රිය සංගමය සමඟ සාකච්ඡා ඇරඹූ ඔහු දුම්රිය මාර්ගය ඉදි කිරීම කෙරෙහි යම් අනුකූලතාවයක් දක්වන බව පෙණුනත් ඒ වන විට රටෙහි ඇති වී තිබූ ආර්ථික පසුබැස්ම නිසා තත්ත්වය සාමාන්‍ය වන තුරු ඉදිරි කටයුතු දියත්කිරීම ප්‍රමාද කිරීමට ඔහු තීරණය කරනවා.

ලංකා දුම්රිය සංගමයේ යෝජනා නිළ වශයෙන් පිළි ගැනීමට ලක් වෙයි

උඩරට දුම්රිය මාර්ගය සැළසුම් කිරීම්ට 1846 වසරෙදී ලංකාවට පැමිණි ඉංජිනේරු කණ්ඩායම ඒ සඳහා පවුම් මිලියන 1.8 ක් වැයවන බව ගණන් බලා තිබුණා. රටෙහි පවතින දුර්වල ආර්ථික තත්ත්වය යටතේ ඒ සඳහා කිසිදු ලෙසකින් අනුමැතිය හිමි නොවන බව වටහාගත් ලංකා දුම්රිය සමාගම පළමු වන පියවර ලෙස දුම්රිය මඟෙහි කොටසක් පමණක් ඉදි කරන්නට යෝජනා කිරීමට තීරණය කරනවා. මේ අනුව පවුම් ලක්ෂ තුනක වියදමින් කොළඹ සිට සැතපුම් 32ක දුරකට දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජනා ඔවුන් ටොරින්ටන් ආණ්ඩුකාරතුමා හට බාර දෙනවා.  ඔහු එය පිළිගෙන 1847 වසරේදී බ්‍රිතාන්‍ය කිරීටයට ඉදිරිපත් කළත් යුරෝපයේ සිදු වූ ආර්ථික අවපාතය හා 1848 නිදහස් කැරැල්ල නිසා එම යෝජනා තාවකාලිකව හකුලා ගැනීමට සිදු වෙනවා.

1848 නිදහස් කැරැල්ල-bbc.co.uk

ක්‍රි.ව 1850 වන විට ටොරින්ටන් ආණ්ඩුකාරතුමාට ලංකාවෙන් ඉවත් වීමට සිදු වන අතර ඉන් පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි ඉන්පසුව පැමිණි ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා වැඩිපුරම ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍ය කිරීටයෙන් වන වියදම් කපා හැරීමට අවධානය යොමු කළ නිසා දුම්රිය ව්‍යාපෘතියට ඔහුගෙන් කිසිදු සෙතක් වෙන්නේ නැහැ. අනවශ්‍ය වියදමක් යැයි පවසමින් ඔහු එය කුණු කූඩයට දමනවා.

හෙන්රි වෝඩ් – en.wikipedia.org

ක්‍රි. ව 1855 වන විට ලංකාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් වූ හෙන්රි වෝඩ් ඉතා ඉක්මණින්ම දුම්රිය මාර්ගයේ අවශ්‍යතාවය වටහා ගන්නවා. ඔහු ඉක්මණින්ම එය පිළිබඳ යෝජනාව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කරන අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය රජය එකඟ වෙනවා. දුම්රිය මාර්ගය ඉදි කිරීමට 1857 වසරේදී කපිතාන් මුවර්සම් ලංකාවට පිටත් කර හැරෙන අතර කොළඹ සිට මහනුවරට සැතපුම් 79 ක් දිගු, 1846 දී යෝජනා කෙරුණු මාර්ගයට ඉතාම සමාන දුම්රිය මාර්ගයක් සැළසුම් කළ ඔහු ඒ සඳහා පවුම් 856,557 ක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කරනවා. මේ සඳහා අවසර ලැබෙන අතර ඉන් කොටසක් බ්‍රිතාන්‍ය මධ්‍යම රජයෙන්ද අනෙක් කොටස ලංකාවේ යටත් විජිත රජයෙන්ද යෙදවෙන පරිදි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවසානයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් අවසර ලැබෙනවා.

පළමු පස් පිඩැල්ල කැපෙයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා ලංකා දුම්රිය සමාගමේ සතුටට හේතු වෙමින් උඩරට දුම්රිය මාර්ගය ඉදි කිරීමර ඔවුන් මෙන්ම උනන්දුවකින් ආණ්ඩුකාර වෝඩ් මහතාත් කටයුතු කරනවා. ඔහුගේ දැනුවත් කිරීම් මත යෝජනා සම්මත වී කෙටි කාලයකින්ම එංගලන්තයෙන් ඩබ්ලිව්. ඩී ඩොයෝන් ඇතුළු කණ්ඩායමක් ලංකාවට පැමිණෙන අතර මුහුදු මට්ට්මේ ඇති කොළඹ සිට අඩි 1600 ක් පමණ උසකින් පිහිටා තිබෙන මහනුවරට ලඟා වීමේදී ගිරි හා වන දුර්ග රාශියක් තරණය කළ යුතු නිසා මේ ව්‍යාපෘතියේ අසීරු බව ඔවුන් ඉක්මණින්ම වටහා ගන්නවා. මේ නිසා වැඩ කටයුතු ඇරඹීමට පෙර ඉතා හොඳින් එය සැළසුම් කිරීමට ඩොයෝන් ඉටාගන්නවා.

හෙන්රි වෝඩ් පළමු පස් පිඬැල්ල කපමින් -newegg.com

ඩොයෝන්ගේ මඟ පෙන්වීම යටතේ 1858 වසරේදී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරුණු අතර ඒ වසරේදීම දුම්රිය මඟෙහි පළමු සැතපුම් 34 ඉදි කිරීම ඇරඹීමට සියළු කටයුතු සූදානම් කෙරුණා. දුම්රිය මඟෙහි ආරම්භක ස්ථානය ලෙස බේරේ වැව අසබඩ ස්ථානයක් තෝරා ගැණුනු අතර ක්‍රි.ව 1858 අගෝස්තු මස 3 වනදා උත්සවශ්‍රීයෙන් එහි මංගල පස් පිඬැල්ල කැපුණා. සවස 5.30 ට යෙදී තිබුණු සුබ මොහොතින් එම කර්තව්‍යය සිදු කළේ ආණ්ඩුකාර හෙන්රි වෝඩ් විසිනුයි.

ලාංකීය පළමුවන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම හා පළමු දුම්රිය ගමන් ගැන ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න

කවරයේ පින්තූරය- pinterest.com

Related Articles