Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොලරාඩෝ ගංගාව හරස් කොට ඉදිකරන ලද පාෂාණ බැම්ම හෙවත් “හූවර් බැම්ම”

බැම්මක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ගලා බසින ගංගාවක, එසේත් නොමැති නම් ඔයක හෝ වෙනත් ආකාරයේ ජල මාර්ගයක ජලය හරස් කොට සිදු කරන ලද ඉදිකිරීමක් නැතිනම් එලෙස සිදු කරන ඉදි කිරීමේ ආකෘතියක්. මේ ආකාරයට ඉදිකරන ලද ඉතාම ජනප්‍රිය බැම්මක් ලෙස ඇමරිකාවේ පිහිටා තිබෙන හූවර් බැම්ම දැක්විය හැකියි. හූවර් බැම්ම ස්ථාපිත කිරීමට පදනම් වූ පසුබිම, ඉදිකිරිම හා ඉදිකිරීමේදී දායකත්වය සැපයූ කම්කරු ශ්‍රමය, හූවර් බැම්ම මඟින් නිර්මාණය කළ මීඩ් විල හා ප්‍රයෝජන මෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන විවේචන ආදිය සම්බන්ධයෙනුත් මෙම ලිපියේදී කතා කරනු ලබනවා.

හූවර් බැම්ම ස්ථාපිත කිරීමට පදනම් වූ පසුබිම

en.wikipedia.org (කොලරාඩෝ ගංගාව)

හූවර් බැම්ම ඉදි කර තිබෙන්නේ කොලරාඩෝ නමැති ගංගාව හරස් කරමිනුයි. කොලරාඩෝ ගංගාවේ පිහිටීම ගැන සඳහන් කරන්නේ නම් එය කොලරාඩෝ ප්‍රාන්තයේ කොලරාඩෝ කඳු වැටියේ සිට ඇමරිකාවේ බටහිර පෙදෙස වන කැලිෆෝනියාවට ගලා එන ජල ප්‍රවාහයක්.

1800- 1900 අතර වකවානුවේදී මෙම කොලරාඩෝ ගංගාවේ ජල ප්‍රමාණය වැඩි වී ඉතිරීමක් සිදු වුණා. මේ හේතුවෙන් ගංගාව අසල වාසය කළ වැසියන් මෙන්ම තරමක් ඈත ප්‍රදේශවල ජනතාව හටත් ගංවතුරවලින් තර්ජන ඇති වුණා. එමෙන්ම මේ තත්ත්වය උග්‍ර වීමට බලපෑ තවත් හේතු වූයේ ශීත සෘතුවේ ගංගාව හිමෙන් වැසී යාමත්, ගිම්හාන කාලයේ ඒ ආකාරයට වැසී ගිය හිම දිය වී යාමත් වැනි කරුණුයි. පහත් බිම් යට වීමත්, එමඟින් සිදු වූ විපත්ද බොහෝමයක් වූ බැවින් ගංගාවේ ජලය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. එම නිසා ගංගාව හරස් කොට බැම්මක් ඉදි කිරීම සිදු කළ යුතු බවට තීරණයකට එළඹුණා.

නමුත් මෙහි මතු වූ ගැටළුවක් වූයේ ප්‍රාන්ත හතක් පමණ මෙයින් ඵල ප්‍රයෝජන ලබා ගැනීම හේතුවෙන් බැම්ම ඉදිකිරීමට නම් මෙම ප්‍රාන්ත හතේම කැමැත්ත අවශ්‍ය වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස 1922 අගෝස්තු මස 18 වන දින කොලරාඩෝ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ප්‍රාන්ත හතේම නායකයන්ගේ එකඟත්වය මත බැම්ම ඉදිකිරීමටයි.

ඉදිකිරීම් හා කම්කරු ශ්‍රමය

mashable.com(ඉදිකිරීම් අතරතුර)

ඇරිසෝනා- නෙවාඩා මායිමේ පිහිටා තිබෙන මෙම බැම්මේ උස අඩි 726 ක් වන අතර පළල 660ක් පමණ වනවා. සමාගම් හයක පමණ දායකත්වය මධ්‍යයේ 1931 වසරේදී වැඩ ආරම්භ කිරීම සිදු කෙරුණ අතර 1936 වන විට මෙහි වැඩ නිම කිරීමටත් හැකියාව ලැබුණා.

සේවක ශ්‍රමය ගැන කතා කිරීමේදී මේ සඳහා දොළොස් දහසක පමණ සේවයකයන් දායක වී තිබෙනවා. බැම්මේ ඉදිකිරීම් අතරතුර ශ්‍රමිකයන් 100 ක් පමණ අනතුරුවලට මුහුණ පා මරණයට පත් වුණා. දියේ ගිලීමෙන් විසි දෙනෙකුද, විදුලිසැර වැදීමෙන් පහළොස් දෙනෙකුද, පිපිරුම් වලින් දොළොස් දෙනෙකුද මරණයට පත් වූ අතර, සුන්බුන්වලට යට වීමෙන් ඉතිරි ශ්‍රමිකයන් මරණයට පත් වුණා. නමුත් ඇතැම් අවස්ථාවල මේ ආකාරයට මිය ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 96 ක් ලෙසයි දැක්වෙන්නේ.

අඩි 30ක පමණ උසට ප්‍රතිමා දෙකක් ඉදි කරනු ලැබුවේ මෙලෙස මියගිය ශ්‍රමිකයන් සිහිපත් කිරීම උදෙසායි. එමෙන්ම ප්‍රතිමා යටින් සඳහන්ව ඇත්තේ “ මෙය මිනිසාගේ ආත්ම විශ්වාසයත් මිනිස් ශ්‍රමයේ බල මහිමයත් විදහා දක්වන නිර්මාණයකි. මිනිස් වර්ගයා වෙනුවෙන් මිනිසා කළ කැප වීම හා පරිත්‍යාග සිහිපත් කරන්නකි. ඔවුන්ගේ ශ්‍රෙෂ්ඨ පරිත්‍යාග වෙනුවෙන් පිදෙන ජාතික බුහුමනකි” යනුවෙන්.

හූවර් බැම්ම මඟින් නිර්මාණය වී තිබෙන මීඩ් විල

houseboating.org(මීඩ් විල)

හූවර් බැම්ම ඉදි කිරීම නිසා එක්රැස් වූ ජල සම්භාරයෙන් අලුත් විලක් නිර්මාණය වූ අතර එය මීඩ් විල යැයි නම් කර තිබෙනවා. කොලරාඩෝ ගංගාව වසරක් පුරා මුදා හරින මුළු ජල පරිමාව මෙන් දෙගුණයක් පමණ රඳවා ගැනීමේ හැකියාවක් මෙම විලට තිබෙනවා. එමෙන්ම මේ මඟින් මිලියන 16කට අධික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සහ අනෙකුත් ජල අවශ්‍යතා ඉටු කිරීමට සමත් වනවා. එමෙන්ම මේ හරහා දකුණු දිග කැලිෆෝනියාවේ හා නිරිත දිග ඇරිසෝනාවේ අක්කර මිලියන 1 කට මෙන්ම මෙක්සිකෝවේ අක්කර 400,000 ට පමණ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සැපයීම සිදු කරනවා.

“හූවර්” බැම්ම ලෙස නම් කිරීම

en.wikipedia.org(හර්බට් හූවර් ජනාධිපතිතුමා)

එවකට ලේකම් වූ රේ. එල්. විල්බර් (Ray L. Wilbur)විසින් 1930 වර්ෂයේ දී පවත්වන සමාරම්භක උළලේදී “හූවර්” බැම්ම යනුවෙන් නම් කරනු ලැබුවත් 1947 වර්ෂය වන තෙක්ම මෙම නම නිල වශයෙන් භාවිතයට ගැනීමක් සිදු වූයේ නැහැ. කෙසේ නමුත් ඇමරිකාවේ 31 වන ජනාධිපතිතුමා වූ හර්බට් හූවර් නමින් මෙය නම් කර තිබෙනවා. මෙම බැම්ම විවෘත කිරීම සිදු වූයේ 1935 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වන දින ජනපති ෆ්රැන්ක්ලින් ඩි. රූස්වෙල්ට් මහතා අතින්.

1985 වර්ෂයේදී පමණ මෙය ජාතික ඓතිහාසික සලකුණක් ලෙසින් සලකනු ලැබුවා. එමෙන්ම 1994 වසරේදී ඇමරිකාවේ නවීන සිවිල් ඉංජිනේරුමය පුදුම 7න් එකක් ලෙසද සැලකුණා. වාර්ෂිකව මිලියන 7ක පමණ සංචාරකයින් මෙය නැරඹීම සඳහා පැමිණෙනවා.

ප්‍රයෝජන හා එල්ල වන විවේචන

ගොවීන් හට ජලය සැපයීම, ලොස් ඇන්ජලීස්, සැන් ඩියේගෝ ආදී නගරවලට අඩු මිලකට විදුලිය ලබා දීම, ගංවතුර පාලනය හා වාරිමාර්ග කටයුතු සඳහාද හූවර්බැම්ම මඟින් දායකත්වය ලබා දෙනවා.

නමුත් පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ මත්ස්‍ය විශේෂ වල පහත වැටීම ඇතුළු පරිසර පද්ධති වල රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවල සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇති බවයි.

කවරයේ පින්තූරය: history.com

Related Articles