එච්. රයිඩර් හැගාඩ් කියන්නෙ ශ්‍රී ලාංකිකයින්ට නුපුරුදු ලේඛකයෙක් නොවෙයි. ඉංග්‍රීසියෙන් පොත් කියවන අයට බොහෝ කාලයක සිටත්, සිංහල පරිවර්තන කියවන පිරිසට අඩුම තරමින් දශක දෙක තුනක සිටවත් හුරු පුරුදු ලේඛකයෙකුයි මේ රයිඩර් හැගාඩ්. 19වන සියවසේ අග භාගයේත් 20වන සියවසේ මුල් භාගයේත් නවකතා සහ ලිපි බොහොමයක් රචනා කළ ඔහු, තම වීර කතා වලට බොහෝ විට පාදක කරගත්තේ අප්‍රිකානු මහද්වීපය යි.

හෙන්රි රයිඩර් හැගාඩ් (Wikimedia Commons)

“Allan’s Wife and Other Tales”, “Child of Storm”, “Nada the Lily”, “Marie”, “Finished”,”The Holy Flower”, “King Solomon’s Mines”, “She”, “She and Allan”, සහ “Allan Quatermain” ආදී පොත් ඔහු අප්‍රිකාව, අප්‍රිකානු ගෝත්‍ර හා සංස්කෘතියත්, 1800හි අවසන් දශකවල අප්‍රිකාවේ යටත් විජිත පාලනයත් පසුබිම් කරගෙන ලියා තිබෙනවා. මෙම පොත් විවිධ නම්වලින් විවිධ කතුවරයන් අතින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා. “ඈ”, “ඈ සහ ඇලන්”, “කුණා‍ටුවෙන් උපන් දැරිය”, “ශිබා ‍රැජිනගේ මුදුව” සහ අැලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව ආදිය එයින් සමහරක්.

Nada the Lily කෘතියේ 1898 දී මුද්‍රණය කළ පිටපතක් (Ranchi Arts & Antiquarian Books)

ඔහුගේ අප්‍රිකාව පිළිබඳව වන කෘතීන් බොහොමයක “මසායි”, සහ “සූලු” ආදී ගෝත්‍රයන් කීපයක් ගැන නිතර සඳහන් වෙනවා. මෙයිනුත් සූලු නම් ගෝත්‍රයක් ගැන ඔහු වැඩි බරක් යොදා ඇති බව ඔහුගේ කෘතීන් කියවන්නෙකුට දක්නට හැකියි. උම්ස්ලොපොගාස්, සිකාලි, සහ මමීනා ආදී සූලු ගෝත්‍රික චරිත ඔහුගේ පොත් බොහොමයක වරින් වර පෙනී සිටිනවා.

සූලු ගෝත්‍රිකයින්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන්ගේ රාජ්‍ය පාලනය, ඔවුන්ගේ යුද්ධ සහ වීරත්වය පිළිබඳව ඔහු පොත් ගණනාවක් ලියා තිබෙනවා. මෙම සූලු නම් ගෝත්‍රයේ නැගීම සහ වැටීම පිළිබඳව ඔහු විසින් “Marie”, “Child of Storm”, සහ “Finished” යනුවෙන් වෙනමම පොත් ත්‍රිත්වයක් රචනා කළා. සැබැවින්ම සූලු නමින් ගෝත්‍රයක් තිබුණා ද / තිබෙනවා ද? හැගාඩ් සඳහන් කරන රජවරු සහ යුද්ධ ඇත්තටම පැවතුණා ද? මේවා ඔහුගේ පොත් කියවූ ඔබ අප කාටත් ඇති වූ ගැටළු. මේ ලිපියෙන් සරල ලෙස විස්තර කිරීමට උත්සාහ කරන්නේ හැගාඩ් සඳහන් කරන එම සූලු ගෝත්‍රය ගැනයි.

රයිඩර් හැගාඩ් සූලුලන්තයේ උලුන්ඩි හි දී (Ian Knight)

සූලු ආදිතමයින්ගේ ආගමනය

“මහා ස්වර්ගයේ ජනතාව” යන අරුත දෙන ‘අමසූලු’ යන නමින් හැඳින්වුණු මහා ගෝත්‍රය බිහිවන්නේ ‘බන්‍ටු’ භාෂා කතාකරන “ඟුනි” (Nguni) නම් ජනතාවකගෙනුයි. ගව ආදී සතුන් පාලනය හා දඩයම තම ජීවිකාව කරගත් මොවුන් රතු මුහුද තරණය කර ඊජිප්තුව හරහා දකුණු අප්‍රිකාවේ සූලුලන්තය නමින් හැඳින්වුණු ප්‍රදේශයට පැමිණෙනවා. ඉන්දියානු සාගරයට මායිම්ව උතුරින් පොන්ගෝලා නදියටත්, දකුණින් ‍තුගේලා නදියටත් මායිම්ව, නතාලයට ආසන්න ප්‍රදේශයක මොවුන් තමන්ගේ වාසස්ථාන පිහි‍ටුවා ගන්නවා. වර්තමානයේ එම ප්‍රදේශය ක්වසූලු- නටාල් යනුවෙන් හැඳින්වෙනවා.

1879 වන විට සූලුලන්තය (The British Empire)

මොවුන් මෙම ප්‍රදේශය පුරාම කුඩා කණ්ඩායම් ලෙස වාසය කළා. මෙම කණ්ඩායම්වල නායකයින් ‘මලන්දෙලා’ යනුවෙන් හැඳින්වුණු අතර, කණ්ඩායම් සියල්ල පාලනය කළ රජෙකු සිටියේ නැහැ. මෙම එක් මලන්දෙලා කෙනෙකුගේ පුත්‍රයෙකු වූ ‘සූලු’ ගෙන් සූලු ජනතාව ආරම්භ වූවා යැයි සැලකෙනවා. ‘සූලු’ යන නමෙහි තේරුම වන්නේ ‘ස්වර්ගය’ හෝ ‘මහා ආකාශය’ යන්නයි.

මහා ආකාශයේ ජනතාව

සූලු පුරාවෘත්තයන්ට අනුව සූලුගෙන් පැවත එන අමසූලු, එනම් “මහා ආකාශයේ ජනතාව” මුලින්ම පදිංචි වන්නේ ‘උම්ෆොලොසි’ මිටියාවතේ, සූලුගේ මී මුණුපුරු “ඳබා කෆුන්ගා” (Ndaba kaPhunga) ගේ නායකත්වය යටතේයි. අමසූලු ගෝත්‍රිකයන් අතර කුඩා, ශක්තිමත් නොවන පිරිසක්ද සිටි අතර ඔවුන්ගේ ගෝත්‍රය “න්ද්වන්ද්වේ” (Ndwandwe) නම් වුණා. ඔවුන් වඩා බලවත් “ම්තෙත්වා” (Mthethwa) නම් ගෝත්‍රයේ බලපෑමට ද වරින් වර හසුවෙමින් වාසය කළා.

18 වන ශතවර්ෂයේ අවසන් භාගයේ ම්තෙත්වා නායක “දින්ගිස්වයෝ” (Dingiswayo) ඳබාගේ මුණුපුරා වූ න්ද්වන්ද්වේ නායක “සෙන්සන්ගඛෝනා” (Senzangakhona) සමඟ ගිවිසුම් කීපයක් ඇතිකර ගත්තේ න්ද්වන්ද්වේ ජනතාවට යම් නිදහසක් ලබා දෙමින්. කෙසේ නමුත් 1817 දී ඇති වූ සිවිල් යුද්ධයකින් දින්ගිස්වයෝ මරා, වඩා බලවත් ම්තෙත්වා ගෝත්‍රය ද පරාජය කරමින් න්ද්වන්ද්වේ ගෝත්‍රය ජය ලබා පොන්ගොලෝ හා තුගේලා නදීන් අතර මුළු ප්‍රදේශයේම තම සූලු රාජ්‍යය පිහි‍ටුවා ගන්නවා.

කෙන්යාවේ මසායි මාරා හි සූලු කාන්තාවන් පිරිසක් – 1910 (Black Liberation Love of N Unity – WordPress.com)

සූලුවරුන්ගේ නැගීම ආරම්භ වන්නේ සෙන්සන්ගඛොනාගේ සහ නීත්‍යානුකූල නොවන බිසවක් වන නන්දි ගේ පුත්‍රයෙකු වූ “මහා ශාකා” ගෙන්.

ශාකාගේ සමය සහ සූලුන්ගේ නැගීම

ශාකා සූලුන්ගේ පළමු රජතුමා ලෙස සැලකෙනවා. 1787 උපන් ඔහු රාජ්‍ය බලයට පත්වන්නේ 1816 දී යි. රාජධානිය තුළ සමාජීය, සංස්කෘතික හා දේශපාලනමය වශයෙන් විශාල වෙනස්කම් ‍රැසක් සිදු කරන ඔහු වඩා කාර්යක්ෂම ආයුධ සහ සාර්ථක යුධ උපක්‍රම හඳුන්වාදෙමින් සූලු හමුදා ශක්තිමත් කරනවා. ඔහුගේ පාලනය යටතේ යුද්ධයේ දී පරාජය වූ අනෙකුත් ගෝත්‍ර සූලු ගෝත්‍රයට එක්කරගන්නේ සමානාත්මතාවය ලබා දෙමින් සහ හමුදාවට ද බඳවාගනිමිනුයි. ඔහු විසින් කාන්තා බලකායන් ද හඳුන්වා දුන් අතර, හමුදා සෙබලුන් මෙම සෙබලියන් හා විවාහ වීමට ද දිරිගන්වනු ලැබුවා. 1825 වන විට ශාකා විසින් යුධ වැදීම හරහා සූලු රාජ්‍යයට අවට ප්‍රදේශ විශාල කොටසක් ඈඳාගෙන තිබුණා.

ශාකා රජු (Wikimedia Commons)

1828 දී ශාකාගේ සුළු සොහොයුරෙක් වූ “ඩින්ගාන්” (Dingane), “ම්ලන්ගනා” (Mhlangana) සහ “ම්බොපා” (Mbopa) නම් සුළු සොයුරන් සමඟ කුමන්ත්‍රණය කර ශාකාව මරා දමා රජකම පැහැර ගත්තා. රජකම අත්පත් කරගැනීමෙන් අනතුරුව ඔහු ම්ලන්ගනා ඇතුළුව රජකමට සිටි උරුමකරුවන් සියල්ලන්වම ඝාතනය කළ අතර නොමරා ඉතිරි කරනු ලැබුවේ දුර්වල යැයි සැළකුණු “ම්පෑන්ඩ්” (Mpande) නම් එක් සුළු සොයුරෙක් පමණයි.

මේ සමය වන විට නතාලයේ සුදු ජනගහනය ඉහළ යමින් තිබීම පිළිබඳව ඩින්ගාන් සතුටට පත්වුණේ නැහැ. බ්‍රිතාන්‍යයන් ඩින්ගාන්ගේ පාලනයෙන් පලා ගිය සූලුවරුන්ට ආරක්ෂාව සැපයීම මෙම අප්‍රසාදය ඉහළ නංවන්නක් වුණා. මේ අතර බ්‍රිතාන්‍ය පාලනයෙන් ගැලවී ආ බෝයර්වරුන් (දකුණු අප්‍රිකානු බර්ගර් වරුන්) පිරිසක් 1837 දී තමාට ජීවත්වීමට සූලුලන්තයෙන් ප්‍රදේශයක් වෙන්කර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. බෝයර්වරුන් ඔවුන් එන මග දී කළු ජාතික භටයන් හමුදා දෙකක් පරාජය කර පැමිණි බව සැල වීම නිසා ඩින්ගාන් මොවුන් දෙබිඩි පිරිසක් ලෙස සැලකුවා. 1938 ඉඩම් බෙදා දීමට නියම කරගත් දිනයේ දී ඩින්ගාන් විසින් බෝයර් නායක පීට් රෙටීෆ් සහ ඔහුගේ අනුගාමිකයන් 70 දෙනෙකු ඝාතනය කළා.

පීට් රෙටීෆ් සහ තුගේලා සටනින් මියගිය අනෙක් බෝයර්වරුන්ගේ සිරුරු කොටස් මිහිදන් කළ සොහොන (Panoramio)

දිවි බේරාගෙන පලාගිය බෝයර්වරුන් මාස 10කට  පසු හමුදාවක් තනා පැමිණ සූලුවරුන්ට පහර දුන්නා. සූලු සෙබලු 3000ක් පමණ ඉන් මියගිය අතර ඩින්ගාන් සේනා සංවිධානය පිණිස උතුරට පලාගියා. මාස 6කට පසුව ඔහු නැවතත් බලය අත්පත් කරගැනීමට උත්සාහ කළත් බෝයර්වරුන් අතින් පරාජයට පත් වෙන්න සිදු වුණා. ඔහුගේ සුළු සොයුරු ම්පෑන්ඩ් සෙබලුන් 17000ක් සමඟ බෝයර්වරුන්ට එක්වූ අතර ස්වාසිලන්ත දේශ සීමාවේදී ඩින්ගාන් අල්ලා මරා දැමීමට ඔවුන් සමත් වුණා. ම්පෑන්ඩ් රජකම අත්කර ගත්තා.

ම්පෑන්ඩ් සහ ඔහුගේ පුතුන්.

1842 දී බෝයර්වරුන් බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වුණා. මෙහිදී බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතීත්වය ප්‍රකාශ කළ ම්පෑන්ඩ් ඔවුන් සමඟ ගිවිසුමක් අත්සන් කර තමා සූලුලන්තයේ රජු බවත්, සූලුලන්ත දේශ සීමාව මෙය බවත් තහවුරු කළා. මේ අතර ම්පෑන්ඩ් විසින් සුළු සොයුරෙක් සහ ඔහුගේ පවුල ඝාතනය කරවීම නිසා බියට පත් දහස් ගණනක් සූලු ජනතාව සහ සෙබලුන් තුගේලා නදිය තරණය කර බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශවලට පලා ගියා.

ම්පෑන්ඩ් ජීවතුන් අතර සිටියදී ම ඔහුගේ පුතුන් රාජ්‍ය බලය සඳහා යුධ වැදීමට තීරණය කළා. ඒ පිළිබඳව මෙම ලිපියේ දෙවන කොටසින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

කවරයේ රූපය : zulu-zulus.jpg (Jonathan Rosenbaum)

මූලාශ්‍ර:

  1. www.Zulu.org.za