Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීත නෞකා හා බැඳුණු අද්භූත සිදුවීම් 3ක්

නාවික ලෝකයේ බොහෝ අවස්ථාවලදී  අද්භූත සිදුවීම් වාර්තා වුවත් අප එයින් දැනසිටින ප්‍රමාණය ඉතා කුඩා ය. ඈත අතීතයේ මෙන්ම අදටත් ලොව වටා මහා සාගරය තම ගමන් මාර්ගය කර ගනිමින් නෞකා රාශියක් යාත්‍රා කරයි. මේ සියලු නෞකා තම ගමනාරම්භය හා ගමනාන්තය අතර දී පසු කර යන බාධක සහ ස්වාභාවික විපත් බොහෝම ය.

ඇතැම්විට අදහාගත නොහැකි සිදුවීම්වලට ද මෙම නෞකා මුහුණ දී ඇති බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එසේ සාගරය තම නිවහන කරගනිමින් ලොව වටා ගමන් කරන මෙම නෞකා හා බැඳි,  ඈත අතීතයේ පටන් මේ දක්වා  සිදුව  ඇති අද්භූත සිදුවීම් කිහිපයක් ම ඇති අතර ලොමුදැහැ ගැන්වෙන තරම් පුදුමාකාර  එම සිදුවීම් පිළිබඳ මෙමම ලිපියෙන් අවධානය යොමු කරමු.

යාත්‍රිකයන් සියලු දෙනා භීතියට පත් ව දෙඇස් විවෘත වී මියගොස් සිටිනු දක්නට ලැබිණි – aceh.tribunnews.com

 

නාවික ඉතිහාසයේ වාර්තා වන වඩාත් අද්භූත සහගත සිදුවීමක් ලෙස ඔරැන්ග් මෙඩාන් නෞකාවේ කතා පුවත සඳහන් කරන්නට පුළුවන්. බහාලුම් ප්‍රවාහන නෞකාවක් වූ මෙම නෞකාව වසර 1947 දී මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දුනීසියාවට ආසන්න ව ගමන් කරමින් සිටියදී සිදු වූ යම්කිසි අද්භූත සිදුවීම නාවික ලෝකයේ මේ  දක්වා  නොවිසඳුණු අභිරහසක් බවට පත්ව ඇත.

“මෙදාන්” යනු   ඉන්දුනීසියාවේ  සුමාත්‍රාහි විශාලත ම නගරයේ නම වූ අතර මෙම නෞකාවට ”මෙදාන් හී මිනිසා”  යන නාමය  ලබා දෙමින් එය ඔරැන්ග් මෙඩාන් ලෙස නම් කෙරිණි.

ඔරැන්ග් මෙඩාන් නෞකාවේ නාවිකයන්ගේ මරණය

වාර්තා අනුව මෙම සිදුවීම 1940, 1947, 1948 යන වසර තුනෙන් එකක දී සිදූවූ බව සැලකුණත් එම වර්ෂය 1947  ලෙසත්, ජුනි මාසයේ දවසක දී මෙය සිදුව ඇති බවටත්  පසුව පිළිගැනීමට ලක්විය. චීනයේ නම සඳහන් නොමැති කුඩා  වරායක සිට කොස්ටාරිකා  වෙත රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් විශාල ප්‍රමාණයක් රැගෙන යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවෙන් නිකුත් වූ  ආපදා දැනුම් දීමේ ඇමතුමක් ග්‍රහණය කරන ලද්දේ  ඒ අසලින් ගමන් කළ පෘතුගීසි නෞකාවක් වූ සිල්වර් ස්ටාර් ය. 

එම ඇමතුම  ” …..අපි පාවෙන්නෙමු, කපිතාන් ඇතුළු සියල්ලෝ ම මියගොස් ඇති බව සිතමි. බොහෝවිට සියලු කාර්‍ය මණ්ඩලයම  මිය යන්නට ඇත…..මම ද මියයමින් සිටිමි” යන පණිවිඩ හා තවත් හඳුනාගත නොහැකි සලකුණු සහිත ආකරයේ එකක් වූ බැවින් සිල්වර් ස්ටාර් නෞකාව එම සංඥා ඔස්සේ ඔරැන්ග් මෙඩාන් නෞකව සොයා ගමන් ඇරඹී ය.

දෙඇස් විවෘත වී ඉතා බියට පත්වූ ආකාරයක්

ඔරැන්ග් මෙඩාන් නෞකාව සොයා ගැනීමෙන් පසු එහි සිටි සියලු දෙනා කිසිදු තුවාලයක් හෝ ලේ ගැලීමක් නොමැති ව මිය ගොස් සිටි අතර ඔවුන් සියලු දෙනාගේ ම දෙඇස් විවෘත වී ඉතා බියට පත්වූ ආකාරයක් දක්නට ලැබිණි. ඊට අමතර ව ඔවුන් තම අත්වලින් යම් ආපාදාවක් වැලැක්වීමේ උත්සාහයක නිරත වී ඇති බව හඳුනා ගැනීමට හැකි වූ අතර නෞකාවට පිටතින් හෝ ඇතුළතින් කිසිදු හානියක් සිදු ව නොමැති බවත් පෙනී ගියේ ය.

නෞකාවට සිදුව ඇති මෙම අද්භූත සහගත සිදුවීමට හේතුව මේ දක්වා විසඳා ගැනීමට නොහැකි වුවත් මෙම නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ  රසායන ද්‍රව්‍ය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව සැලකෙයි. නෞකාව රැගෙන යමින් තිබූ රසායන ද්‍රව්‍ය අතර පොටෑසියම් සයනයිඩ් සහ නයිට්‍රෝ ග්ලිසරින් පවතින්නට ඇති බවත් මුහුදු වතුර මිශ්‍රවීමක් හේතුවෙන් විශ වායු නිකුත් වී නෞකාවේ ගමන් ගත් සියලු දෙනාගේ මරණ සිදුවෙන්නට ඇති බව දැනට පවතින එක් විශ්වාසයකි.

තවත් මතයක් වන්නේ නෞකාවේ බොයිලේරුවේ යම් දෝෂයක් මත හට ගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහණය වී මෙම අනතුර සිදුවන්නට ඇති බව ය. කෙසේ නමුත්  ඔරැන්ග් මෙදාන් නෞකාවට සිදුවූයේ කුමක්ද යන්න මේ දක්වා නොවිසඳුණු අභිරහසක් බවට පත්ව ඇති අතර මෙම නෞකාව පසුව පිපිරී විනාශ වී මුහුදුපත්ලේ ගිලී යන මොහොත දක්වා ද එය විසඳා ගැනීමට කිසිවකුටත් හැකිවූයේ නැත.

සියලු දෙනා අතුරුදහන් වූ මේරි සෙලෙස්ටි නෞකාව – guilfordvoyager.com

සියලු දෙනා අතුරුදහන් වූ මේරි සෙලෙස්ටි නෞකාව

නාවික ලෝකයේ සිදුවූ තවත් අද්භූත  සිදුවීමක් බැඳී පවතින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝක්වලින් 1872 නොවැම්බර් 7 වන දින ගමන් ආරම්භ කළ මේරි සෙලෙස්ටි නෞකාව සමඟ ය.

මෙම නෞකාව ඇල්කොහොල් අඩංඟු බහාලුම් රැගෙන යාත්‍රා කරමින් තිබූ අතර 1872 වසරේ දෙසැම්බර් මාසයේ දවසක සවස් කාලයේ දී අසෝරස්  හා පෘතුගාලය අතර මුහුදු සිමාවේදී එය අත්ලාන්තික් සාගරය හරහා ගමන් කරමින් තිබූ තවත් නෞකාවක් වූ ඩි ග්‍රාසියාගේ නිරීක්ෂණයට හසු විය.

ඩි ග්‍රාසියා නෞකාවේ කපිතාන්වරයා වූ මෝර්හවුස් එය  කපිතාන්  බ්‍රිග්ස් යටතේ මීට දින කිහිපයකට පෙර නිව්‍ යෝර්ක් වරායෙන්  දියත් කළ ලද මේරි සෙලෙස්ටි නෞකාව බව හඳුනා ගත්තේ ය. එය ඉතාලියේ ජිනෝවා වෙත යාත්‍රා කර ගමන් අවසන් කිරීමට නියමිත වූ බවත් යම් විපතකට ලක් ව ඇති බව හඳුනා ගත් බැවින් කපිතාන් මෝර්හවුස් තම නෞකාව මේරි සෙලෙස්ටි නෞකාව අසලට යාත්‍රා කරවී ය.

නෞකාව තුළ කිසිවකුත් නොමැති බව

ඩි ග්‍රාසියා නෞකාවෙන් ගලවා ගැනීමේ පිරිසක් මේරි සෙලෙස්ටි වෙත යොමු කළ පසු එම නෞකාව තුළ කිසිවකුත් නොමැති බවත්, යාත්‍රිකයන්ගේ බඩුභාහිරාදිය හා රැස්කර තිබූ ආහර ද්‍රව්‍ය ද  කිසිදු ආපදාවකින් තොරව පවතින බව නිරීක්ෂණය විය. මධ්‍යසාර බැරල් 1701 ක ප්‍රමාණයක් කිසිදු අඩුවකින් තොරව පැවති මෙම නෞකාවේ ජීවිතාරක්ෂක බෝට්ටුව සහ ලොග් සටහන් පොත  පෙනෙන්නට නොවී ය.

මේරි සෙලෙස්ටි නෞකාවට සිදුවූයේ කුමක්ද? ඔවුන් යම් කිසි පිරිසකගේ පැහැර ගැනීමට ලක්වූවා ද? කපිතාන් බ්‍රිග්ස් සහ ඔහුගේ පවුලේ අය මෙන්ම කාර්ය මණ්ඩලයට සිදුවූයේ කුමක්ද? කුණාටුවක් හෝ වෙනයම් කිසිදු අනතුරක් ඇතිවූ බව පෙනී නො ගිය වාතාවරණයක ඔවුන්ට සිදුවූයේ කුමක්ද? ඒ සියල්ලම මේ දක්වා ම අභිරහසක් ව පවතින අතර මේරි සෙලෙස්ටි නෞකාවේ මෙම අභිරහස ද අද්භූත නාවික සිදුවීම් අතරට එක් ව ඇත. 

බ්‍රිතාන්‍යයට අයත්  ඔක්ටාවියස්  නෞකාව – www.grunge.com

 

එක්වර ම එය අතුරුදහන් වූ ඔක්ටාවියස්  නෞකාව

1761  වසරේ දී බ්‍රිතාන්‍යයට අයත්  ඔක්ටාවියස්  නෞකාව චීනය වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයට නැවත ්ගමන් අරඹා තිබිණි.එහි කපිතාන් සහ ඔහුගෙ පවුලේ  පිරිස සමඟ සේවක මණ්ඩලය 28 දෙනකු සිටි බව සඳහන් ය.

මඳ උණුසුම් කාලගුණයෙන් බැහැර වී නෞකාව අයිස් සහිත ගමන් මාර්ගයක් ඔස්සේ වයඹ දෙසට හරවා ගමන් ගත් අතර එක්වර ම එය අතුරුදහන් ව ගොස් ඇත්තේ කිසිදු සංඥාවක් හෝ  ආසන්නයෙන් ගමන් ගත් නෞකා වෙත හෝ ලබා නොදෙමිනි. ඔක්ටාවියස් නෞකාව පිළිබඳ අනතුරුව තොරතුරු වාර්තා නොවූ අතර එයට සිදු වූයේ කුමක්ද යන්න කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි විය.

වර්ෂ 1775  ඔක්තෝබර් 11 වන දින, එනම් ඔක්ටාවියස් නෞකාවේ අතුරුදන් වීමෙන් වසර දහසයකට පමණ පසු එම මාර්ගයේ ම ගමන් ගත් හෙරල්ඩ් නෞකාවට ග්‍රීන්ලන්තය අසලදී දිරාපත් නැවක් දක්නට ලැබිණි. වඩාත් පරීක්ෂා කර බැලීම සඳහා හෙරල්ඩ් නෞකාවේ පිරිස මෙම සොයාගත් නෞකාවට ඇතුළු වූ පසු දක්නටලැබුණු දර්ශනයෙන් සියල්ල භීතියට පත් වූහ.

සීතලෙන් ගල්ගැසුණු කපිතාන්ගේ සිරුර  – www.quora.com

 

එම නෞකාව ඔක්ටාවියස් නෞකාව වූ අතර එහි සියලු දෙනා ම මිය ගොස්,  අධික සීතල හේතුවෙන් ඔවුන්ගේ සිරුරු ගල් වී තිබිණි. කපිතාන්වරයාගේ සිරුර ඔහුගේ ලියන මේසය අසල පුටුවක වූ අතර නෞකාවේ ලොග් සටහන් පොත මේසය මත දිග හැර ඔහු තම පෑනෙන් යමක් ලිවීමට සූදානම් ව සිටින ඉරියව්වකින් මරණයට පත්වී සිටියේ ය.

අධික සීතල හේතුවෙන් ගල් වූ සිරුරු

මෙම දසුනෙන් හෙරල්ඩ් නෞකා කාර්‍ය මණ්ඩලය බියපත් වූ අතර ඔවුන් ඔක්ටාවියස් නෞකාවේ ලොග් සටහන් පොත රැගෙන  යාමට උත්සාහා දරා ඇතත් එය අධික ශීතලයෙන් ගල් ගැසී තිබුණු බැවින් ඔවුන්ට ලබා ගැනීමට හැකිවී ඇත්තේ එහි මුල් සහ අවසන් පිටු දෙක පමණක් බව වාර්තා වේ. ලොග් සටහනේ අවසාන සටහන 1762 නොවැම්බර් 11 වන දින සටහන් කර ඇති අතර මෙම නෞකාව වසර ගණනක් ආක්ටික් සාගරයේ අතුරුදහන්ව තිබෙන්නට ඇතැයි සැලකේ.

දැඩි සීතල කාලගුණයක දී ගමන් මග වැරැදුණු ඔක්ටාවියස් කාර්‍ය මණ්ඩලයේ ඉරණම විසඳුණු ආකාරය අපැහැදිලි වූ අතර එය ද නොවිසඳුණු නාවික අභිරහස් කතා අතරට එක් ව ඇත.

නාවික ඉතිහාසය පුරා මෙවන් අද්භූත සිදුවීම් හේතුවෙන් කතාබහට ලක් වන නෞකා පිළිබඳ තොරතුරු වාර්තා වන අතර ඒවාට සිදුවුනේ කුමක්ද යන්න කිසිවකුත් මෙතෙක් තහවුරු කරගෙන නැත. විස්මිත සහ ඇදහිය නොහැකි සිදුවීම් ලෙස පෙනුණ ද ඒ කතා පුවත් ත්‍රාසය, කුතුහලය සහ  තැතිගැන්මෙන් යුතු සිදුවීම් පෙළ ගැසී ඇති බව  ඒ අනුව අපට පැහැදිලි ය.

නාවික ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස් තවත් කෙතරම් ද? – Perdurabo10.tripod.com

කවරයේ ඡායාරූපය - කුණාටු අවස්ථාවක සාගරයේ යාත්‍රා කරන නෞකාවක රුව රැගත් සිතුවමක් -  jones-aucunachatrequis.blogspot.com 

මූලාශ්‍ර:
 perdurabo10.tripod.com 
 www.boatinternational.com 
 www.grunge.com 
 www.quora.com 

Related Articles