Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙන්රි රජුට අභියෝග කළ – ඈන් බොලීන්

ඈන් බොලීන්, එංගලන්ත රාජකීය ඉතිහාසයේ බලවත් ම කාන්තාවක ලෙස ද, ස්ත්‍රීවාදිනියක ලෙස ද, රජ මැදුරේ ප්‍රේම පුරාණයේ අපුරු ක්‍රීඩිකාවක ලෙසින් ද හැඳින්වෙනවා. ඉංග්‍රීසි රජ පවුල සහ රෝමයේ කතෝලික සභාව අතර වූ සබඳතාවය බිඳ දැමීමට ද හේතුපාදක වන්නේ ද, ඈන්. වාසනාවන්ත උපතක් සහිත ව ජීවිතය ගෙවුණ ද, ඈන්ගේ ජීවිතය අවසන් වන්නේ අවාසනාවන්ත අයුරකින්. මේ ඈන් බොලීන්ගේ කතාව.

ඈන් බොලීන්ගේ ජිවිතයේ මුල් අවධිය

සර් තෝමස් බොලීන් සහ එලිසබෙත් හොවාර්ඩ් ආර්යාවගේ දෙවන දියණිය වන ඈන්, මෙලොව එළිය දුටු වර්ෂ ලෙසින් සැලකෙන්නේ 1501 අවුරුද්ද යි. ඒ එංගලන්තයේ නොර්ෆොක් දී.

තෝමස් බොලීන් භාෂාවන් කිහිපයක් ම ප්‍රගුණ කළ උගත් පුද්ගලයෙකු බව ඉතිහාසයේ ලියවෙනවා. ඔහු සිය උගත්කම නිසාවෙන් ද රාජ්‍ය සභාව තුළ ද දස්කම් දැක්වූ අයෙක්. එකල අටවන හෙන්රි රජු සමග අසරු පොරයේ යෙදුණු රජුගේ ප්‍රියතම හිතවතුන් අතරින් කෙනෙකු වන්නටත් සර් තෝමස්ට වාසනාව ලැබෙනවා. එසේ ම සර් තෝමස් පසුකාලීන ව විල්ට්ෂයර් සහ ඕර්මන්ඩ් හි අර්ල්වරයා බවට ද පත්වෙනවා.

ඈන් බොලින් – www.hrp.org.uk 

මෙවන් පවුල් පසුබිමක් යටතේ සිය ජිවිතයේ මුල් අවධිය එංගලන්තයෙත් තරුණ අවධිය නෙදර්ලන්තයේ සහ ප්‍රංශයේ ගත කරපු ඈන්, 1522 දී නැවත එංගලන්තයට පැමිණෙනවා. ඒ සිය ඥාති සොහොයුරෙකු වූ ඔර්මන්ඩ් හි නවවෙනි අර්ල් ජේම්ස් බට්ලර් සමගින් විවාහ වීමට යි. නමුත් පවුල් දෙකේ අර්බුදයක් මත විවාහ සැලසුම් සියල්ල බිඳ වැටෙන්නේ කවුරුත් නොහිතපු විදියට. ඒ වගේ ම 1523 දී ඈන් අර්ල්වරයෙකුගේ පුතෙකු වූ හෙන්රි පර්සි සමගින් රහසිගත ව විවාහ ගිවිස ගත්තත් ඒ ගිවිස ගැනීම ද බිඳ වැටෙනවා. ඒ පර්සිගේ පියා එම ගිවිස ගැනීමට අකැමැත්ත පලකිරීම හේතුවෙනුයි.

සියල්ල ඒ ලෙසින් සිදුවෙද්දී ඒ කාලයේ ම හෙන්රි රජුගේ බිරිඳ වූ ආර්ගොන්හි කැතරින් රැජිනගේ සහායිකාවන් අතරට එක්වන්නට ඈන්ට හැකිවෙනවා. ඈන් ප්‍රංශයේ සිටිනා කාලයේ දී ද ප්‍රංශයේ පළමු වන ෆ්‍රැන්සිස් රජුගේ බිරිඳ වුණු ක්ලෝඩ් රැජිනගේ පරිවාර කාන්තාවක ලෙසින් වසර හතකට ආසන්න කාලයක් කටයුතු කර තිබුණා. ඒ වගේ ම ප්‍රංශයේ සිටිය දී ක්ෂේත්‍ර ගණනාවක හසල දැනුමක් ලබා ගන්නා ඈන් බුද්ධිමත් කාන්තාවක් ලෙස එකල සමාජයේ ද පිළිගැනීමකට ලක් වෙනවා. සිය සොහොයුරිය මේරි බොලීන් තරම් රූමත් නොවුනත් පසුකාලීන ව හෙන්රි රජු වහ වැටෙන්නේ ද ඈන්ගේ බුද්ධිමත් නිර්භීත පෞර්ෂයට බව පැවසෙනවා.

මේරි බොලීන් සහ රජු අතර ප්‍රේමය

තෝමස් බොලීන් සහ එලිසබෙත් හොවාඩ්ගේ වැඩිමහල් දියණිය මේරි බොලීන්. තම සහෝදරිය ඈන් තරම් බුද්ධිමත් නොවුණත් මේරි ඉතා රූමත් කාන්තාවක් ලෙස සඳහන්. 1514 දී ප්‍රංශය වෙත යැවෙන මේරි, එහි රැඳී සිටි කාලයේ දී ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් රජුගේ ප්‍රියාවියන් කිහිපදෙනාගෙන් කෙනෙක් වූ බව පැවසෙනවා. මේරිගේ සුන්දරත්වය සරාගී බව හේතුවෙන් රජු හා ඇය අතර වූ සබඳතාවයේ දී රජු විසින් “මඟේ ඉංග්‍රීසි වෙළඹ” යන සුරතල් නාමයක් ද මේරි හැඳින්වීමට භාවිතා කර තිබෙනවා. 1520 දී පමණ නැවත එංගලන්තය වෙත පැමිණෙන මේරි සර් විලියම් කේරි සමගින් විවාහ වෙනවා. මෙම විවාහයට අටවෙනි හෙන්රි රජතුමන් ද සහභාගී වූ බව පැවසෙනවා.

Mary_Boleyn – httproyalcentral.co.uk

අටවෙනි හෙන්රි රජු කාම මිත්‍යාචාරය සහ දුරාචාරයට අතිශයින් ප්‍රකට ව සිටි රජෙක්. වැඩිකලක් යන්නට මත්තෙන් මේරි බෝලින් රජුගේ ඇස ගැටෙනවා. මේරිගේ විවාහයෙන් වැඩි කාලයක් යන්නට කලින් මේරි, අටවෙනි හෙන්රි රජතුමන්ගේ ද ප්‍රියාවියන් අතරට එක් වූ බව ප්‍රසිද්ධ කතාවක්. මේරි දෙවන දරුවා සමගින් ගැබිනියක බවට පත් වන තුරු ම වසර තුනක කාලයක් රජු හා මේරි අතර සබඳතාවයක් පැවති බව පැවසෙනවා. රජු සහ මේරි අතර සබඳතාව පවතින කාලයේ දී මේරිගේ සැමියාට දීමනා ගණනාවකුත්, මේරිගේ පියාට උසස්වීම් ගණනාවකුත් ලැබුණු බවට එකල ඉංග්‍රීසි සමාජයේ කටකතාවක් සෑදෙනවා. මේරිට ලැබෙන පළමු දරුවා කැතරින් ලෙසත් දෙවෙනි දරුවා හෙන්රි ලෙසත් නම් තැබෙනවා. ඉංග්‍රීසි සමාජයේ පවතින තවත් මතයක් වන්නේ, මේරිගේ දරුවන් දෙදෙනා ම හෝ නිසැකව ම කුඩා හෙන්රි, අටවෙනි හෙන්රි රජතුමාගේ දරුවෙකු විය යුතු බව යි.

අටවෙනි හෙන්රි රජු , කැතරින් රැජින, සහ ඈන් බොලීන්ගේ තුන්කොන් ප්‍රේමය

මේරිගෙන් අනතුරුව හෙන්රි රජුගේ ඉලක්කය වන්නේ මේරිගේ සහෝදරිය ඈන්. 1526 පෙබරවාරියේ පටන් අටවෙනි හෙන්රි රජු ඈන් පසුපස යනවා. නමුත් රජු සිදුකරන සෑම බලපෑමක් ම ඈන් මඟ හරින්නේ රජුගේ අනියම් පෙම්වතියක් වීමට තමන් අකමැති බව පවසමින්. රජුගේ ලිංගික ආශාවන් සපුරාලීමට දැඩි සේ විරෝධය පාන ඈන් බොලීන් රජු විසින් එවන සියලුම තෑගී බෝග ද හරවා යවනවා.

ඒ වගේ ම ඇය හෙන්රි රජු වෙත කොන්දේසි පනවන්නේ ඔහු සමග යහන්ගත වීමට නම් තමන් ව රැජින ලෙසින් විවාහ කරගන්නා ලෙස කියමින්. තමන්ගේ සහෝදරිය මේරිගේ සහ රජුගේ අනෙකුත් පෙම්වතියන්ගේ ඉරණම ඈන් දැන සිටි නිසාවෙන් මෙම තීරණය ගත් බව පැවසෙනවා.

නමුත් අර්ගොන් හි කැතරින් රැජින දික්කසාද කොට ඈන් විවාහ කරගැනීමට එවකට පැවති රෝමානු කතෝලික පල්ලිය හෙන්රි රජුට අවසර ලබා දුන්නේ නැහැ. රෝමානු පල්ලිය සේම, එකල සමාජය ද මෙය නින්දිත විවාහයක් ලෙසින් සැලකුවා.

අටවෙනි හෙන්රි රජු – © National Portrait Gallery, London

නමුත් ඈන් පිළිබඳ රජු තුළ වූ ආශාව කෙතරම් ද කිවහොත් ඈන් විවාහ කරගැනීමට කතෝලික පල්ලිය සමගින් පවතින සබඳතාවය බිඳ දැමීමට අටවන හෙන්රි රජු කටයුතු කරනවා. එංගලන්ත රජ පවුල සහ රෝමයේ කතෝලික සභාව අතර වූ දැඩි සබඳතාවය බිඳ වැටීම රාජකීය ඉතිහාසයේ තීරණාත්මක සහ මතභේදයට ලක් වූ සිදුවීමක්.

හෙන්රි රජු සහ ඈන් බොලීන් රැජින

1532 නොවැම්බර් 14 වෙනි දා රහසිගත විවාහයකින් අනතුරුව 1533 ජනවාරි 25 හෙන්රි රජු සහ ඈන් ප්‍රසිද්ධියේ යළි විවාහ වෙනවා. ඈන් හා රජු අතර එකල තදබල ප්‍රේමයක් පැවති බව ඔවුන් අතර හුවමාරු ලිපි සාක්ෂ්‍ය දරන බවට ඉතිහාසඥයෝ පවසනවා.

Cardinal Wolsey and courtiers with, on the right, the King meeting Anne Boleyn at the Cardinal’s residence, York Place, later Whitehall Palace. Royal Collection Trust/© Her Majesty Queen Elizabeth II 2017

කෙසේ නමුත් ඔවුන්ගේ විවාහයෙන් අනතුරුව කැතරින් රැජිනට සිය ස්ථානය අහිමි වෙනවා. අටවෙනි හෙන්රි රජු සහ විවාහ වීමට පෙර කැතරින් රැජින, හෙන්රිගේ සොහොයුරු සහ වේල්සයේ කුමරු වූ ආතර්ගේ බිරිඳ. නමුත් විවාහයෙන් සුළු කාලයකින් ආතර් මිය යැමත් සමගින් කැතරින් රැජිනට හෙන්රි සමගින් විවාහ වීමට සිදුවෙනවා. ඒ හෙන්රිගේ පළමු බිරිඳ ලෙසින්. නමුත් ඈන් රජුගේ දෙවන බිරිඳ සහ රැජින බවට විවාහයෙන් අනතුරුව පත් වෙනවා.

ඈන් එංගලන්ත රැජිනිය ලෙසින් අභිෂේක ලබන්නේ විවාහයෙන් මාස හයකට පසුව යි. ඒ, එම වසරේ ම ජුනි මස පළමුවෙනි දා. එයින් මාස තුනකට පසු ව එලිසබෙත් කුමරිය උපත ලබනවා. සියල්ල ඇරඹෙන්නේ එතැන් පටන්. පුතෙකු බලාපොරොත්තුවෙන් හිටපු අටවන හෙන්රි රජු එලිසබෙත් කුමරියගේ උපතත් සමගින් සතුටට පත් වන්නේ නැහැ. ඈන් බොලීන්ට ද ඔහුගේ ආශාව කෙදිනකවත් ඉටුකළ නොහැකි වන්නේ ඇය තෙවරක් ම ගබ්සාවන්ට ලක් වන නිසාවෙන්.

ඈන් බොලින් සහ හෙන්රි රජු එක්ව දඩයමේ යෙදුන අවස්ථාවක් නිරූපිත සිතුවමක්. මෙම සිතුවම විසිවන දශකයේ මුල් භාගයට අයත් ය

මේ සියලු කරුණු කාරණා නිසාවෙන් රජු කෙමෙන් කෙමෙන් ඈන්ගෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. එලිසබෙත් කුමරියට යන්තම් අවුරුදු තුනක් පිරෙන්නත් කලියෙන් ම 1536 මාර්තුවේ දී හෙන්රි රජු, ජේන් සේයිමර් නමැති තරුණියක සමගින් හාදකමක් ආරම්භ කරන්නේ ඈන් ව දික්කසාද කර ජේන් ව රැජිනිය කර ගැනීමේ මඟක් කල්පනා කරමින්.

මේ කාලයේ දී ම ඈන් සිය සොහොයුරිය වූ මේරි සමගින් වූ සබඳතා අත්හැර දමන්නේ මේරිගේ දෙවෙනි විවාහයට විරුද්ධ වෙමින්. මේරිගේ පළමු සැමියාගේ මියයාමත් සමගින් මේරි සමාජ පන්තියෙන් පහළ හමුදා සෙබළෙකු සමගින් විවාහ වෙනවා. නමුත් පවුලට වූ අපකීර්තියක් ලෙස සලකමින් එවකට ඈන් රැජින සිය සහෝදරිය සමගින් සියලු සබඳතා අත්හැර දමනවා. නමුත් ඉතිහාසඥයන් පවසන පරිදි මේ අතහැර දැමීමට හේතු කාරණා වන්නේ සිය සොහොයුරිය වූ මේරි යළි රජුගේ පෙම්වතියන් අතරට එක් වී තමන්ට තර්ජනයක් වේවියැ යි ඈන් තුළ පැවති සැකය බව පැවසෙනවා.

අටවෙනි හෙන්රි රජු විසින් ඈන් අත්හැර දැමීම

මේ අතර ඈන්ගෙන් ගැලවීමේ මඟක් කල්පනා කරමින් සිටි හෙන්රි රජු 1536 අප්‍රේල් මාසයේ දී ඈන් රාජද්‍රෝහී වූ බව කියමින් චෝදනාවකට ලක් කරමින් ඇය ගැන විමර්ශනයක් පවත්වන්නට නියෝග කරනවා.

Anne Boleyn by William Nelson Gardiner, © National Portrait Gallery, London

අනතුරුව මසක් ගෙවීයත් ම මැයි දෙවෙනි දා රජුගේ නියෝගයෙන් අත්අඩංගුවට ගන්නා ඈන් බොලීන්, ලන්ඩන් බලකොටුවෙහි සිර කර තබන්නේ කාම මිත්‍යාචාරය සහ රජු ඝාතනයට කුමන්ත්‍රණය කළායැ යි චෝදනා නඟමින්. මැයි 15 වෙනි දා ඇය ව එකී චෝදනාවන්ට වරදකරු කරන අතර, ඉනුත් දින සතරකින් ඇයගේ හිස ගසා මරණයට පත් කරනවා. ඇය සමගින් වරදෙහි බැඳුණායැ යි චෝදනා එල්ලවන්නේ ඇයගේ ම සොහොයුරා වූ ජෝර්ජ් බොලීන්ට. ඔහුව ද මරණයට පත් කරන්නට රජු කටයුතු කරනවා.

ඈන් මරණයට පත් කරන ආකාරය දැක්වෙන සිතුවමක් – www.mrallsophistory.com

අනතුරුව විසි අට හැවිරිදි ජේන් සේයිමර් රජු හා වාසයට පැමිණි බව සඳහන්. මේ ආකාරයට හෙන්රි රජුගේ ජිවිත කතාව තුළ බිරින්දෑවරුන් සය දෙනෙකුත්, අනියම් පෙම්වතියන් බොහෝමයකුත් සිටි බව පැවසෙනවා.

පළමු වන එලිසබෙත් රැජින

හෙන්රි රජුගේ සහ ඈන් බොලීන් රැජිනගේ දියණිය වුණු එලිසබෙත් එංගලන්ත රැජිනිය ලෙස අභිෂේක ලබන්නේ 1559 ජනවාරි මස 15 වෙනිදාවක යි. සිය අභිෂේකයෙන් අනතුරුව සිය මව වුණු ඈන් බොලීන්ගේ නාමය වීරවරියක වශයෙන් ගෞරවයට ඔසවා තබන්නට පළමු එලිසබෙත් රැජින කටයුතු කරනවා.

කාලයත් සමගින් ඈන් බොහෝ කලාකරුවන්ගේ නිර්මාණ තුළින් කතා බහට ලක්  වෙනවා. ඇය ගැන බොහෝ සිතුවම් නිර්මාණය වෙනවා සේම, විවිධ කෘති ද ලියවෙනවා. ඒ වගේ ම ඈන් ගැන පසුකාලීන ව ඉතිහාසය ලියා තබන්නේ “එංගලන්ත ඉතිහාසයේ එදා මෙදා තුර සිටි වැදගත් ම සහ බලවත් රැජිනිය ලෙසින්”.

ඈන් බොලින්ගෙත් අටවෙනි හෙන්රි රජුගෙත් දියණිය පළමුවන එලිසබෙත් රැජිණ – .pinterest.com

 

කවරයේ පින්තුරය: ඈන් දැක්වෙන නිර්මාණ සහ සිතුවම් ඇසුරෙනි

Related Articles