අතීතයේ දී ලංකා භූමිය තුළ රාජධානි රැසක් පැවතුණා. එම රාජධානි පාලනය කළ රජවරුවන් කළ සුවිසල් නිර්මාණවල නටබුන් අදටත් ඉතිරිව තිබෙනවා. එලෙස ශේෂව පවතින නටබුන් අතුරින් ස්තූපවලට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. ලොව කිසිම රටක මෙවැනි ආකාරයේ ස්තූප දක්නට නොමැති නිසා ඒවාට හිමිව තිබෙන්නේ ඉහළම වටිනාකමක්. එලෙස ලංකාවේ තිබෙන ස්තූප වීවිධ හැඩවලට අනුව නිමවා තිබෙනවා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ ලංකාවේ තිබෙන විවිධ ස්තූප හැඩයන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

බුබ්බුලාකාර හැඩය 

දිය බුබුළක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් බුබ්බුලාකාර ස්තූප නමින් හඳුන්වනු ලබනවා. දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය නිර්මාණය කර වූ අවස්ථාවේ දී ගඩොලු වඩුවන් සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනු ලැබුවා. එහි දී එක් වඩුවෙකු දිය බඳුනක් ගෙන්වා එය අතින් කැලතීමෙන් පසුව නැගි දිය බුබුළ රජුට පෙන්වා එම හැඩයට දාගැබ නිර්මාණය කළ යුතුයැ යි පවසා සිටියා. ඒ අනුව බුබ්බුලාකාර හැඩය අනුව නිමැවුණු ලංකාවේ මුල්ම ස්තූපය ලෙසින් සැලකෙන්නේ රුවන්වැලි මහා සෑය යි.

රුවන්වැලි මහා සෑය (gettyimages)  

අනුරාධපුර යුගයේ දී නිමවුණු බුබ්බුලාකාර දාගැබ් අර්ධ ගෝලාකාර හැඩය ගත්තත්, පොළොන්නරුව යුගයේ දී දක්නට ලැබෙන බුබ්බුලාකාර දාගැබ්වල හැඩයෙහි යම් වෙනසක් දක්නට ලැබෙනවා. එහි දී ගර්භයේ ඉහළ කොටස තරමක් පැතලි ස්වරූපයක් පෙන්නුම් කරනවා. පොළොන්නරු යුගයේ දී ඉදිවුණු රන්කොත් වෙහෙර සහ කිරි වෙහෙර යන ස්තූපවල මෙම ලක්ෂණය පැහැදිලිවම දක්නට ලැබෙනවා.

රන්කොත් වෙහෙර (mahaviharaya.lk)

ඝණ්ටාකාර හැඩය 

ඝණ්ටාරයක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් ඝණ්ටාකාර ස්තූප නමින් හඳුන්වනු ලබනවා. අනුරාධපුරයේ පිහිටා තිබෙන ථූපාරාම දාගැබ මුල් යුගයේ දී ධාන්‍යාකාර හැඩයට නිමවා තිබුණු බව මහාවංශයේ සඳහන් වනවා. නමුත්, 1862 වසරේ දී අවසන් වරට ස්තූපය ප්‍රතිසංස්කරණ කිරීමෙන් පසුව එය දිස්වන්නේ ඝණ්ටාකාර හැඩයට යි. එසේම ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ මතයට අනුව මහියංගන දාගැබත් ඝණ්ටාකාර හැඩය අනුව නිමවුණු ස්තූපයක් ලෙසින් හඳුන්වනවා. පසුගිය කාල සමයේ ශ්‍රී ලංකාවේ විහාරස්ථාන ආශ්‍රිතව නිර්මාණය වුණු දාගැබ් බොහෝමයක් මෙම හැඩය අනුව නිමවා තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව ඝණ්ටාකාර හැඩයේ ස්තූප දක්නට ලැබෙන රටවල් වන්නේ මියන්මාරය සහ තායිලන්තය යි. මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ ඝණ්ටාකාර ස්තූප රැසක් නිර්මාණය වීමට බුරුම සහ තායිලන්ත ආභාසය බලපෑම් ඇති කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතය යි. 

ථූපාරාම ස්තූපය (airbnb.com)  

ධාන්‍යාකාර හැඩය 

වී ගොඩක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් ධාන්‍යාකාර ස්තූප නමින් හඳුන්වනු ලබනවා. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශාලතම ස්තූප කිහිපය අතරට අයත් වන ජේතවනාරාමය සහ අභයගිරිය නිමවා ඇත්තේ ධාන්‍යාකාර හැඩය අනුව යි. ඊට අමතරව කැළණි ස්තූපය ද ධාන්‍යාකාර හැඩයට නිමවා තිබෙනවා. ලංකාව තුළ මුල් යුගයේ ඉදිවුණු ප්‍රධාන දාගැබ් රැසක් මෙම හැඩය අනුව නිර්මාණය වුණත්, පසු යුගයේ දී මෙම හැඩයට නිර්මාණය වුණු දාගැබ් විශාල වශයෙන් දක්නට ලැබුණේ නැහැ.

ජේතවනාරාම දාගැබ (gettyimages)

ඝටාකාර හැඩය 

කළයක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් ඝටාකාර ස්තූප නමින් හඳුන්වනු ලබනවා. ටිබෙටයේ මෙම හැඩය ඉතාමත් ජනප්‍රිය එකක් වුණත්, ලංකාව තුළ මෙම හැඩයේ ස්තූප වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නැහැ. ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ මතය අනුව කතරගම කිරි වෙහෙර, සෝමාවතී ස්තූපය, සිතුල්පව්ව ස්තූපය, සහ මගුල් මහා විහාරයේ ස්තූපය මේ හැඩය ගෙන තිබෙන බව යි.

සෝමාවතී ස්තූපය (sasunkethaaswadduma.blogspot.com) 

පද්මාකාර හැඩය 

නෙළුම් මලක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් පද්මාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම හැඩයේ දාගැබ් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. දැදිගම කොට වෙහෙරේ කැණීම් සිදුකළ අවස්ථාවේ ධාතු ගර්භයේ තිබී මෙම හැඩයේ කුඩා ස්තූපයක් හමුවුණු බව සඳහන් වනවා. එසේම මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ දෙමළ මහා සෑය සහ යුදගනාව ස්තූපය මෙම හැඩයෙන් යුක්තව තිබී ඇති බව යි.

යුදගනාව ස්තූපය (amazinguva.wordpress.com)

ආමලකාකාර හැඩය 

නෙල්ලි ගෙඩියක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් ආමලකාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම හැඩයේ ස්තූප ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත්, ආචාර්ය රෝලන්ඩ් සිල්වා සඳහන් කරන්නේ දැදිගම කොට වෙහෙරේ සිදුකළ කැණීම්වල දී මෙම හැඩයෙන් යුත් ධාතු කරඬුවක් හමුවුණු බව යි.

දැදිගම කොට වෙහෙර (dinamina)

පලාණ්ඩවාකාර හැඩය 

ළූණු ගෙඩියක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් පලාණ්ඩවාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම හැඩයේ ස්තූපයේ ඉතාමත් විරලයි. නමුත්, නැදිගම්පල ස්තූපය මෙම හැඩයට අයත් එකක් බව ආචාර්ය. රෝලන්ඩ් සිල්වාගේ මතය යි.

අණ්ඩාකාර හැඩය 

බිත්තරයක හැඩයට නිර්මාණය කරන ලද දාගැබ් අණ්ඩාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබයි. මෙම හැඩයේ ස්තූප ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයට  රුවන්වැලි සෑයෙන් හමුවුණු ධාතු කරඬුවක් මෙම හැඩය ගෙන තිබෙනවා. 

චතුරස්‍රාකාර හැඩය 

සමස්ත ස්තූපයම චතුරස්‍රයක් ලෙසින් නිර්මාණය කරන දාගැබ් චතුරස්‍රාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබනවා. මෙම ස්තූප වර්ගය නිර්මාණය වී තිබෙන්නේ මහායාන ආභාසය ඇතිව යි. අනුරාධපුරයේ නඛා වෙහෙරත් පොළොන්නරුවේ සත් මහල් ප්‍රාසාදයත් මෙම හැඩය අනුව නිර්මාණය වී තිබෙනවා. 

නඛා වෙහෙර (Nishan weerasooriya-amazinglanka.com)

සිලින්ඩරාකාර හැඩය 

සමස්ත ස්තූපයම සිලින්ඩරයක ලෙසින් නිර්මාණය කරන දාගැබ් සිලින්ඩරාකාර ස්තූප ලෙසින් හඳුන්වනු ලබනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් හමුවුණු ස්තූපය මෙම හැඩය ගන්නා බව පුරා විද්‍යාඥයන්ගේ මතය යි.

කුඩුම්බිගල ස්තූපය (buddhistvision.net)

කවරයේ ඡායාරූපය- රුවන්වැලි මහා සෑය (gettyimages)