Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්විට්සර්ලන්ත චොකලට් කර්මාන්තයේ ඉතිහාසය

චොකලට්, ඈත අතීතයේ දී මධ්‍යම ඇමරිකාව ආශ්‍රිතව ජීවත්වුණු මායාවරුන්ගෙන් පැවත එන බවට විශ්වාස කෙරෙන ආහාරයක්. මෙම රසවත් ආහාරය මධ්‍යම ඇමරිකාවෙන් පැමිණ යුරෝපයේ ජනප්‍රිය වුණේ බොහෝ කලකට පෙර යි. එම නිසා ලෝකයේ බහුලවම චොකලට් නිෂ්පාදනය කරන රටවල් කිහිපය අතර ජර්මනිය, ස්විට්සර්ලන්තය, සහ බෙල්ජියම වැනි යුරෝපීය රටවල් රැඳී සිටිනවා. ඒ අතරින්  ස්විට්සර්ලන්තයේ චොකලට්වලට ලෝකයේ ඇත්තේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්. ඒ ඔවුන් වසර 100කට වඩා වැඩි කාලයක සිට හොඳම චොකලට් නිපදවන නිසා යි.

යුරෝපයට චොකලට් පැමිණි හැටි  

15 වන සියවස අග භාගයේ එක්තරා දිනයක, ස්පාඤ්ඤ දේශ ගවේශකයෙකු වුණු ක්‍රිස්ටෝපර් කොළොම්බස් මධ්‍යම ඇමරිකානු ප්‍රදේශ කරා මුහුදු ගමනක යෙදෙමින් සිටියා. එම ගමන අතරතුර දී ඔහුගේ කණ්ඩායමට නන්නාඳුනන වෙළඳ නැවක් හමුවුණා. කොළොම්බස් ඇතුළු පිරිස එම වෙළඳ නැව අල්ලාගත්තා. එම නැවෙහි තිබී ඔවුන්ට කොකෝවා ඇට හමුවුණා. එහි දිගුවක් වශයෙන් යුරෝපයේ කොකෝවා වගාව ආරම්භ වුණා.

ක්‍රිස්ටෝපර් කොළොම්බස් (History.com)  

මධ්‍යම ඇමරිකාවේ වාසය කළ ඇස්ටෙක්වරුන් අතර ආහාරයක් සහ පානයක් ලෙසින් චොකලට් ප්‍රචලිතව තිබුණු බව යුරෝපීයයන් දැන සිටියා. එම නිසා 1600 වසර පමණ වන විට ඉතාලිය, ප්‍රංශය වැනි රටවල ප්‍රාථමික මට්ටමෙන් චොකලට් නිෂ්පාදනය කෙරුණා. එලෙස නිෂ්පාදනය කරන ලද චොකලට් යුරෝපයේ අනිකුත් රටවලට ද බෙදාහැරියා. 

චොකලට් යුරෝපය පුරා ජනප්‍රිය වෙද්දී විවිධ රටවල් ඒවා නිෂ්පාදනය කිරීමට උත්සාහ කළා. 17 වන සියවස වන විට ස්විට්සර්ලන්තයේත් ඇතැම් ගම්මානවල ජීවත්වුණු මිනිසුන් චොකලට් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළේ මේ ප්‍රසිද්ධිය නිසා යි. නමුත් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවුණේ නැහැ.

ස්විට්සර්ලන්ත චොකලට් කර්මාන්තයේ ආරම්භය 

ස්විට්සර්ලන්තය තුළ මහා පරිමාණයෙන් චොකලට් නිෂ්පාදනය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ ලුවී කෙයිලර් නම් පුද්ගලයාට යි. ඔහු 1819 වසරේ සිට යන්ත්‍රානුසාරයෙන් රළු චොකලට් වර්ගයක් නිෂ්පාදනය කළා. රළු නමුත් ඒවා රසවත් බවින් යුක්තවුණු නිසා ඒවා සාධාරණ මිලකට අලෙවි කිරීමට ඔහුට හැකිවුණා. 

1824 වර්ෂය පමණ වන විට ස්විට්සර්ලන්ත ජාතිකයන් විවිධ ආකාරයට චොකලට් නිෂ්පාදනය කිරීමට උත්සාහ කර තිබුණා. එසේම චොකලට් කර්මාන්තය සඳහා නව තාක්ෂණය යොදාගත හැකි ආකාරය පිළිබඳවත් ඔවුන් කල්පනා කළා. 

1929 වසරේ දී නිෂ්පාදනය වුණු කෙයිලර් චොකලට් එකක් (gettyimages) 

චොකලට් කර්මාන්තය දියුණු වීම 

1826 වසරේ දී පිලිප් සුචාර්ඩ් සීනි සහ කොකෝවා පිටි මිශ්‍ර කිරීම සඳහා යන්ත්‍රයක් නිර්මාණය කළා. එමඟින් රසයෙන් වැඩි චොකලට් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණා. නමුත් එම චොකලට්වල රළු ගතිය එලෙසම පැවතුණා. 

ඒ වන විට ඉස්තරම් චොකලට් නිෂ්පාදනය කිරීම සඳහා තරගයක් නිර්මාණය වී තිබුණු නිසා ස්විස් චොකලට් නිෂ්පාදකයන් විවිධ අත්හදා බැලීම් සිදුකළා. චාල්ස් කෝලර් නම් පුද්ගලයාත් ඒ අතුරින් කෙනෙක්. ඔහු තමන්ගේ චොකලට් නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා ලෝසැන් නගරයේ පිහිටා තිබුණු කර්මාන්තශාලාවක් 1830 දී මිල දී ගත්තා. එහිදී ඔහු විවිධ ආකාරයේ අත්හදාබැලීම් ද සිදුකළා. ඔහු ලා දුඹුරු පැහැයෙන් යුත් චොකලට් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව සොයාගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. එම චොකලට් හොඳ රසයකින් සහ පෙනුමකින් යුත්වුණා. නමුත් එහි රළු ගතිය එලෙසම පැවතුණා. 

නැන්දම්මාගෙන් චොකලට් හදන්න ඉගෙනගත් අපූරු බෑණා

1819 වසරේ දී මහා පරිමාණයෙන් චොකලට් සෑදීම ආරම්භ කළ ලුවී කෙයිලර්ට දියණියක් සිටියා. ඇය විවාහ වුණේ ඩැනියල් පීටර් නම් තරුණයා සමග යි. පීටර් තරුණයා එකල වේව් නගරයේ ඉටිපන්දම් ව්‍යාපාරයක් සිදුකරමින් සිටියා. මුල් යුගයේ දී හොඳින් ලාභ ලැබූ ඉටිපන්දම් ව්‍යාපාරය ක්‍රමයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වුණා. එම නිසා පීටර් තරුණයා වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා උත්සාහ කරමින් සිටියා. 

ඒ වන විට ලුවී කෙයිලර් මියගොස් සිටි නිසා ඔහුගේ චොකලට් ව්‍යාපාරය අඩපණ වී  තිබුණා. තම බෑණා වුණු පීටර් පත්ව සිටි තත්ත්වය තේරුම්ගත් කෙයිලර් මහත්මිය ඔහුට චොකලට් සාදන ආකාරය පිළිබඳව දැනුම ලබාදුන්නා. නැන්දම්මා කියාදුන් චොකලට් සෑදීමේ පාඩම අවබෝධ කරගත් පීටර් ඉක්මනින්ම චොකලට් නිෂ්පාදනය ආරම්භ කළා. මුලින්ම ඔහු සුළු පරිමාණයෙන් චොකලට් නිෂ්පාදනය සිදුකළත්, එයට ලැබුණු ඉල්ලුම නිසා නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවුණා. 

එම නිසා ඔහු වේව් නගරයේ චොකලට් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට තීරණය කළා. පීටර් වාසය කළ නිවසට අසල්වැසි නිවසේ සිටි හෙන්රි නෙස්ලේ ජර්මනියේ සිට ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. ඒ වන විට නෙස්ලේ නම් සමාගම ආරම්භ කර තිබුණු නෙස්ලේ ළදරු කිරි නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබුණා. පීටර් සහ නෙස්ලේ  ටික කලකින් අතිජාත මිතුරන් දෙදෙනෙකු බවට පත්වුණා. එසේ ආරම්භ වුණු මිතුදම නිසා ස්විට්සර්ලන්ත චොකලට් කර්මාන්තයේ පෙරළිකාර වෙනසක් සිදුවුණා 

හෙන්රි නෙස්ලේ (gettyimages) 

පීටර් සහ නෙස්ලේ සොයාගත් අපූරු චොකලට් වර්ගය 

වසර කිහිපයක් ඇතුළත විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වුණු නෙස්ලේ අවසානයේ දී පිටි කිරි වර්ගයක් සොයාගැනීමට සමත් වුණා. එම සොයාගැනීම නිසා උද්යෝගයට පත්වුණු වුණු නෙස්ලේ එය තම මිතුරාට පැවසීමට අමතක කළේ නැහැ. නෙස්ලේ පිටි කිරි වර්ගයක් නිෂ්පාදනය කළ බව දැනගැනීමත් සමගම පීටර්ට අළුත් අදහසක් පහළ වුණා. ඒ, නෙස්ලේගේ පිටි කිරි යොදාගෙන චොකලට් නිෂ්පාදනය කිරීම යි. පීටර්ගේ අළුත් අදහසට අනුව  චොකලට් සෑදුවත් ඉන් බලාපොරොත්තු වුණු රසය ලැබුණේ නැහැ. 

නමුත් ඉන් නොසැලුණු පීටර් විවිධ අනුපාතයන්ට අනුව කිරි සහ චොකලට් මිශ්‍ර කරමින් පර්යේෂණවල නිරත වුණා. අවසානයේ දී ඩැනියල් පීටර්ගේ උත්සාහය සාර්ථක වුණු නිසා රසයෙන් ඉහළ මිල්ක් චොකලට් නිෂ්පාදනය කිරීමට හැකිවුණා. 

ඩැනියල් පීටර් මිල්ක් චොකලට් සොයාගැනීම ස්විස්ටර්ලන්ත චොකලට් කර්මාන්තය නවතම මඟකට යොමු කළා. සිය මිතුරාගේ නව සොයාගැනීම ගැන සතුටට පත්වුණු නෙස්ලේ ඔහු සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1879 වසරේ දී නෙස්ලේ මිල්ක් චොකලට් කරළියට පැමිණියා.  

20 වන සියවසේ මුල් භාගයේ දී නෙස්ලේ කර්මාන්තශාලාව (gettyimages) 

ස්විස් චොකලට් කර්මාන්තය අද තිබෙන තත්ත්වයට පත්වුණු හැටි

1830 වසරේ දී ලා දුඹුරු චොකලට් නිෂ්පාදනය කළ චාල්ස් කෝලර්ගේ කර්මාන්තශාලාවේ රුඩොල්ෆ් ලින්ඩ්ට් නම් තරුණයෙකු සේවය කළා. ටික කලක් යන විට චොකලට් නිෂ්පාදනය ගැන ඉහළ දැනුමක් ලබාගත් ලින්ඩ්ට් තමන්ගේම චොකලට් කර්මාන්ත ශාලාවක් ආරම්භ කළා. ඒ වන විට නෙස්ලේ සහ පීටර් මිල්ක් චොකලට් නිෂ්පාදනය කළත් ඒවායේ රළු ගතියක් තිබුණා. එම නිසා ලින්ඩ්ට් උත්සාහ කළේ වඩාත් මෘදු ගතියෙන් යුත් චොකලට් නිෂ්පාදනය කිරීමට යි. 

ඒ වන විට වෙළඳපොලේ තිබුණු චොකලට් රළු ගතියෙන් යුක්තවීම එහි මිශ්‍රණයේ ගැටළුවක් නිසා සිදුවන බව ලින්ඩ්ට්ට අවබෝධ වුණා. එම නිසා ඔහු චොකලට් මිශ්‍ර කිරීම සඳහා යන්ත්‍රයක් සෑදීමට විවිධ පර්යේෂණ සිදුකළා. අවසානයේ දී ලින්ඩ්ට්ගේ මහන්සියේ තරමට ප්‍රතිඵල  ලැබුණා. එදා ඔහු සොයාගත් යන්ත්‍රය මඟින් නිෂ්පාදනය කළ චොකලට් මෘදු බවින් යුක්ත වුණා. ඒවා කටේ දියවන තරමට මෘදු වුණා. 

ඉන් පසුව 1908 වසරේ දී බර්න් නගරයේ විසූ තියදෝර් ටොබ්ලර් ආමන්ඩ් සහ මී පැණි සහිත කිරි චොකලට් නිෂ්පාදනය කළා. වර්තමානයේ දී ටොබ්ලරෝන් ලෙසින් අලෙවි වන්නේ එම චොකලට් වර්ගය යි. එසේම 1930 වසරේ දී නෙස්ලේ සමාගම සුදු චොකලට් නිෂ්පාදනය ආරම්භ කළා.

එදා සිට අද දක්වා ගෙවුණු කාලය තුළ විවිධ වර්ගයේ චොකලට් වෙළඳපොලට පැමිණියා. ඒ අනුව අද වන විට නෙස්ලේ, ටොබ්ලරෝන්, කෙයිලර්, තේෂර්, ලේඩරැක්, ෆ්රේ, ලින්ඩ්ට්, සහ ස්ප්‍රැන්ග්ලි යන ස්විස් චොකලට් වර්ගවලට වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ස්විට්සර්ලන්තය ලෝකයේ ප්‍රමුඛ පෙළේ චොකලට් නිෂ්පාදකයෙකු බවට පත්ව සිටිනවා.

ටොබ්ලරෝන් චොකලට් (amazon)  

කවරයේ ඡායාරූපය- ස්විට්සර්ලන්ත චොකලට් (blog.radissonblu.com)

මූලාශ්‍රයයන්- alpenwild.com 

Related Articles