දෙවන ලෝක යුද්ධයෙන් පසු මිලියන 8ක් ඇමරිකානු සෙබළුන් නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම – Operation Magic Carpet

1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව යුරෝපයේ, ආසියාවේ හා පැසිෆික් කලාප වල ඒ වනතුරු රැදී සිටි මිලියනයකට ආසන්න ඇමරිකානු යුධ භටයන් ප්‍රමාණය නැවතත් ඉක්මනින්ම මව් රටට ගෙන්වා ගැනීම, ඇමරිකානු රජයට අභියෝගයක් බවට පත්වෙනවා. එම අභියෝගයට පිළිතුරක් ලෙස ඇමරිකානු යුධ දෙපාර්තුමේන්තුව හා ඇමරිකානු යුධ නාවික හා ගුවන් හමුදා එකතු වී මෙහෙයුමක් දියත් කරනවා. ඉතින් Operation Magic Carpet ලෙස හැදින්වූ එම මෙහෙයුම පිළිබඳවයි අද ලිපිය දිග හැරෙන්නේ.

දෙවන ලෝක යුද්ධයට ඇමරිකාව සම්බන්ධ වීම හා එහි අවසානය

පර්ල් වරායට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරය (The National Interest)

ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් අනතුරුව අක්ෂ පාර්ශවයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට අවතීරණය වෙනවා. ඉතා ඉක්මනින්ම යුද ශක්තිය ගොඩනගාගත් ඇමරිකා එක්සත් ජනපදයේ වේගය කොතරම්ද කියනවානම් තොල් ආලේපන නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ක්ෂණිකව ජීව උණ්ඩ නිෂ්පාදනය කරන කම්හල් බවට පත්වෙනවා. ටයිප් රයිටර් නිෂ්පාදනය කළ කම්හල් යුධ ටැංකි නිෂ්පාදනය කරන කම්හල් බවට පරිවර්තනය වෙනවා.

මීට සාපේක්ෂව ඇමරිකානු  යුධ, නාවික හා ගුවන් හමුදා වල සෙබළ ප්‍රමාණයද ඉතා ඉක්මනින් ඉහළ ගිය අතර 1939 වසර වන විට එම ප්‍රමාණය 170,000ක් පමණද, 1945 වසර වනවිට එය මිලියන 16ක් දක්වාද ඉහළ යනවා. ඉන් හරි අඩක්ම එනම් මිලියන 8ක් පමණ සොල්දාදුවන් පිරිසක් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලොවවටා විසිරී විවිධ මෙහෙයුම් වල නිරත වෙනවා. 1945 වසරේ බර්ලින් සටනින් පසුව ජර්මනියේ යටත් වීම ප්‍රකාශ කරන අතර හිරෝෂිමා හා නාගසාකි නගරයන්වලට පරමාණු බෝම්බ හෙළා දින කිහිපයකින් පසුව ජපානයද කොන්දේසි විරහිතව යටත් වෙනවා.

1945 වසරේ ජර්මනිය, ජපානය හා ඉතාලිය වැනි අක්ෂ පාර්ශවයේ රටවල් යටත් වීමෙන් අනතුරුව යුරෝපයේ, ආසියාව හා පැසිෆික් කලාප වල රැදී සිටින මිලියන අටක් පමණ වූ යුධ භටයින් නැවත ඇමරිකාව වෙත ගෙන්වා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භ වෙනවා.

Operation Magic Carpet සැළසුම් කිරීම 

ඇමරිකානු හමුදාව දෙවන ලෝක යුධ සමයේ (History Collection)

ලෝකයේ විවිධ රටවල රැදී සිටි ඇමරිකානු යුධ සෙබළුන් නැවත ගෙන්වා ගැනීමේදී එවකට ඇමරිකානු නාවික කටයුතු පාලක මණ්ඩලය ( War Shipping Administration) හා ඇමරිකානු යුධ දෙපාර්තමේන්තුව (War Department) විසින් මෙහෙයුම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මෙසේ ප්‍රකාශ කරනවා. “ඇමරිකාව වෙත අපේ සියළු සෙබළුන් ගෙන්වා ගැනීම හැකි ඉක්මනින් සිදු කරන අතරම වඩා ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ වඩා වැඩි කාලයක් ඉතාමත් දුෂ්කර යුධ බිමේ සිටි නිළධාරීන්ට හා සෙබළුන්ටයි” 

ප්‍රමුඛතාවය සළකා බැලීමේදී නිර්ණායකය ලැයිස්තුවක් සකස් කිරීම සිදුකරනවා. සේවා කාලය, මව් රටින් පිටවී සිටි කාලය, ලබාගත් යුධ පදක්කම් ගණන, විවාහක අවිවාහක බව හා විවාහක නම් තමන්ගෙන් යැපෙන දරුවන් ගණන ආදිය මෙම නිර්ණායකයන් අතරට අයත් වන කිහිපයක්. මෙම නිර්ණායකයන් සදහා ලකුණු ලබාදීමක් සිදුකළ අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා සෙබළුන් ප්‍රථමයෙන් ඇමරිකාව වෙත ගෙන්වීම සිදුකෙරෙනවා.

මෙහෙයුම සදහා සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන්නේ නෞකායි. ඇමරිකානු නාවික හමුදා මේ සදහා ප්‍රවාහන නෞකා, විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක නෞකා, විශාල ප්‍රමාණයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා හා වෙළද නෞකා යොදාගන්නවා.

මාස 14ක් තිස්සේ ක්‍රියාත්මක වූ Operation Magic Carpet

USS Saratoga නෞකාව සෙබළුන් ප්‍රවාහනය කරමින් (Wikimedia Commons)

දෙවන ලෝක යුද්ධය නිමාවීමට ආසන්න වන විට එනම් 1945 වසරේ ජූනි මාසය වන විට මේ සදහා සැළසුම් සකස් කළ අතර මේ සදහා යොදාගනු ලබන නැව් මොනවාද යන්න ඊට පෙර සාකච්ඡා කර තිබුණි.

සියළුම යුධ නෞකා සෙබළුන් ප්‍රවාහනයට උචිත ආකාරයට සකසන අතර මේ සඳහා 370කට අධික නෞකා ප්‍රමාණයක් යොදාගන්නවා. නමුත් මේවා මගී ප්‍රවාහනය සදහා සුදුසු නොවූ අතර සෙබළුන්ව තෙරපෙන අයුරින් ඉතා විශාල සංඛ්‍යාවක් පටවනු ලබනවා. ගමනාන්තය වන තුරු ඔවුන්ට තට්ටු පහේ ඇදවල් වල රැඳී සිටීමට සිදුවෙනවා.

තවද මේ සදහා සුවපහසු මගී ප්‍රවාහන නෞකා ලෙස භාවිතා කරන්නේ Queen Elizabeth හා Queen Mary යන යාත්‍රා දෙක පමණයි.  කුඩා යත්‍රා වල සෙබළුන් 300ක් පමණ ප්‍රවාහනය කළ හැකි අතර Queen Elizabeth හා Queen Mary යන යාත්‍රාවන්හි එක් යාත්‍රාවකින් 15,000ක් පමණ ප්‍රවාහනය කළ හැකිවිය.

මෙම මෙහෙයුමේදී වැඩිම සෙබළුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ Saratoga නම් ගුවන් යානා ප්‍රවාහන කරනු ලබන ඇමරිකානු යාත්‍රාවයි. එය විසින් සෙබළුන් 29,204 ක් එකවර රැගෙන එනවා. මෙහෙයුම තුළ වැඩිම දුර ප්‍රමාණයක් ගමන් කළ නෞකාව වන්නේ පිලිපීනයේ සිට කැනඩාව හරහා ඇමරිකාව දක්වා සැතපුම් 6000කට වඩා වැඩි දුරක් ගමන්කළ HMS Glory නම් බ්‍රිතාන්‍යට අයත් ගුවන් ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවයි.

1945 වසරේ සැප්තැම්බර් මාසය වනවිට පැසිෆික් කලාපයේ හා ගිනිකොණදිග ආසියාවේ සිටි සියළු සෙබළ බළමුළු නැව්නැගිය හැකි ආකරයෙන් ස්ථානගත කරනවා.මේ සඳහා යුධ නෞකා 4ක්, ගුවන් යානා ප්‍රවාහන නෞකා 2ක් පිටත්කර හරින අතර එම නෞකා ටෝකියෝ බොක්ක, ඔකිනාවා හරහා යාත්‍රා කරමින් සෙබළුන් රැගෙන ඇමරිකාවට ළගාවෙනවා. මාස 14ක් තිස්සේ ක්‍රියාත්මක වීම සඳහා සැලසුම් කළ මෙහෙයුමේදී මසකට සෙබළුන් 435,000ක් මව් රටට රැගෙන ඒමට සැලසුම් කෙරෙනවා.

නත්තල් සැමරීමට ඇමරිකාවට

සොල්දාදුවන් නෞකා තුළ (History Collection)

1945 වසරේ දෙසැම්බර් මාසය වන විට ඇමරිකාවට ආසන්නව පිහිටි රටවල සිටින සෙබළුන් නත්තල් උත්සවය සැමරීමට සිය නිවෙස් වලට ගෙන්වීම සදහා සැළසුම් කළ අතර එම මාසය තුළදී 435,000 වෙනුවට පැසිපික් කලාපයෙන් පමණක් ඇමරිකාව වෙත රැගෙන ආ සෙබළුන් ප්‍රමාණය 700,000ක් විය. ඇමරිකාවට පැමිණි නමුත් ඉන් බොහෝ සෙබළුන් ප්‍රමාණයකට නත්තල් දින සිය නිවස බලා යාමට දැඩි බාධකයක් වූයේ නැගෙනහිර හා බටහිර ප්‍රදේශ වල අධික ලෙස ඇති වූ දුම්රිය තදබදයයි. දුම්රිය ප්‍රමාද වීම් හා අවශ්‍ය පරිදි දුම්රිය නොමැති වීම හේතුවෙන් විශාල භට කණ්ඩායමකට තම නිවෙස් බලා යාමට නොහැකි වෙනවා.

නමුත් වාසනාවකට මෙන් එම ප්‍රදේශ වල සිවිල් වැසියන් තම නිවෙස් හමුදා සාමජිකයන් වෙනුවෙන් විවෘත කළ අතර නිවෙසට යාමට නොහැකි වූ හමුදා සාමාජිකයන්ට අතරමග නිවෙසක නත්තල් සැමරීම සිදුකළ හැකි විය.

තවද දහස් ගණන් කුලීරථ රියදුරන් හා ට්‍රක් රථ රියදුරන් විසින් හමුදා සෙබළුන්ව ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන යාමට ඉදිරිපත් වූ අතර ඔවුන් විසින් Los Angeles සිට Chicago දක්වා සැතපුම් 2000කට අධික දුරක් සෙබළුන්ව ප්‍රවාහනය කරනවා. Los Angeles සිට Bronx හා Manhattan දක්වාද සෙබළුන්ව ප්‍රවාහනය කරන්නේ ඉන්ධන​ සඳහා යන වියදම පමණක් සෙබළුන්ගෙන් අයකරගනිමින්.

මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම 

සෙබළුන් ප්‍රවාහනය (time.com)

මේ ආකාරයට මාස 14ක් තිස්සේ සිදුකළ මෙහෙයුම මගින් මිලියන අටක සොල්දාදුවන් පිරිසක් මව් රටට ගෙන්වා ගන්නවා. මෙහිදී සෙබළුන් ඇමරිකාවට ගෙන්වීමට අමතරව මිලියන භාගයකට අධික ජර්මානු, ඉතාලි හා ජපන් යුධ සිරකරුවන් නැවතත් සිය රටවල් බලා පිටත් කරවීමද සිදු කරනවා. මෙසේ යුරෝපයේ රැදීසිටි සියළු යුධ භටයන් 1946 පෙබරවාරී වන විට ගෙන්වා අවසන් කරන අතර මෙහෙයුමේ අවසන් කොටස ලෙස පැසිපික් කලාපයේ රැදීසිටි භටයන් සියළු දෙනා 1946 වසරේ සැප්තැම්බර් මාසය වනවිට ගෙන්වාගනු ලබනවා.

ඇමරිකානු ආරක්ෂක අංශ සිදුකල ඉතා සාර්ථක මෙහෙයුමක් ලෙස මෙය හදුන්වන අතර සැලසුම් කිරීම​, ක්‍රියාත්මක කිරීම හා නිම කිරීම අතින් ඉතා සාර්ථක වූ මෙහෙයුමක් වුණා.

කවරයේ ජායාරූපය – Wikimedia Commons

Related Articles