Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනුරාධපුර යුගයේ දී හමුවන වැව් 5ක අසිරිය

පුරාණ ලංකාවේ පැවති රාජධානි අතුරින් අනුරාධපුරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වසර 1400කට වැඩි කාලයක් පැවති මෙම රාජධානිය ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රබලම රාජධානිය යි. රජවරුන් 120කට වැඩි ප්‍රමාණයක් රජකම් කළ මෙම රාජධානි සමයේ දී වැව් විශාල ප්‍රමාණයක් ඉදිවුණේ එකල සිටම ශ්‍රී ලංකාව කෘෂි කර්මාන්තය සමග බද්ධව පැවති රටක් නිසා යි. එදා රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් රජ දරුවන් සැදූ වැව් අමුණු අදටත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ලබාදෙන්නේ ඉහළ දායකත්වයක්. 

බසවක්කුලම වැව (අභය වැව)

ක්‍රි.ව 437-367 කාලය තුළ අනුරාධපුරයේ රජකළ පණ්ඩුකාභය රජතුමා විසින් මෙම වැව තනවනු ලැබුවා. ලංකාවේ ඉදිවුණු මුල්ම වැව ලෙසින් සලකනු ලබන බසවක්කුලම වැව මුල් යුගයේ දී අභයවාපී නමින් හඳුන්වා තිබෙනවා. අක්කර 265ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතින බසවක්කුලම වැවේ ධාරිතාවය අක්කර අඩි 1900ක් පමණ වනවා. එසේම අඩි 3900ක් පමණ දිග බැම්මක් ඇති වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15 ½ පමණ වනවා. අක්කර 460ක වපසරියකින් යුත් මේ වැවට ඇත්තේ එක් සොරොව්වක් පමණ යි. ඊට අමතරව විවර 9කින් සමන්විත අඩි 100ක් දිග සැකිල්ලක් සහිත ස්වභාවික වානක් ද මෙහි පිහිටා තිබෙනවා. කෘෂිකාර්මික කටයුතුවලට අමතරව මෙම වැව මඟින් කෙරෙන විශාලම කාර්යයභාරය වී ඇත්තේ නගරයට පැමිණෙන වන්දනාකරුවන්ගේ අවශ්‍යතාවය සඳහා ජලය සැපයීම යි.

බසවක්කුලම වැව (aroundsl.blogspot.com)

තිසා වැව 

ක්‍රි.ව 307-267 කාලය තුළ අනුරාධපුරය පාලනය කළ දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉදිවුණු තිසා වැව මුල් යුගයේ තිස්සවාපී ලෙසින් හඳුන්වා තිබෙනවා. අතීතයේ සිටම පානීය ජලය ලබාගැනීමටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේට පැන් වැඩීමටත් තිසා වැව භාවිතා කර තිබෙනවා. එම නිසාම රජවරුන් පවා මෙම වැව ස්නානය සඳහා භාවිතා නොකළ බව සඳහන්. එසේම වසභ රජුගේ කාල සමයේ තිසා වැවේ සිට රන්මසු උයනට ජලය ගෙනයාම සඳහා උම්මග්ග ජල මාතිකා නමින් උමං ජල මාර්ග පද්ධතියක් තිබුණු බව සඳහන්. වර්තමානයේ දී ධාරිතාවය අක්කර අඩි 3500ක් පමණ වන තිසා වැවෙන් විශාල පිරිසකට ජල පහසුකම් සපයන නිසා මෙම වැව රැකගැනීම අප සැමගේ යුතුකමක්.

තිසා වැව (dinamina.lk)

මින්නේරි වැව 

අනුරාධපුර යුගයේ දී දක්නට ලැබෙන විශාල වැව් අතුරින් එකක් වන මින්නේරි වැව ක්‍රි.ව 276-303 අතර කාලයේ රජකම් කළ මහසෙන් රජතුමාගේ නිර්මාණයක්. මෙම වැව සම්පූර්ණයෙන් ම පිරුණු විට අක්කර 4560ක් පමණ වන නිසා එය කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයනවා. එසේම මහවැලි ගඟේ සිට ඇළහැර ඇළ ඔස්සේ මෙම වැව වෙත ජලය ලබාගැනීමේ අතීතයේ සිටම සකසා තිබුණා. පැරණි මූලාශ්‍රයන්ට අනුව මහා පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කර ඇති මෙම වැව නැවත 1903 සහ 1953 යන වසරවල දී ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. වාරිමාර්ග කටයුතු සම්බන්ධ දැඩි උනන්දුවක් දැක්වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හෙන්රි වෝඩ් 1856 දී වාරිමාර්ග ආරක්ෂා කිරීමට පනතක් ඉදිරිපත් කළා. එම නිසාම රජරට තිබුණු වැව් පිළිබඳව සොයා බැලූ හෙන්රි වෝඩ් වාර්තා කර තිබුණේ මින්නේරි වැව විස්මිත නිර්මාණයක් බව යි. 

මින්නේරිය වැව (flickr.com)

කලා වැව 

අනුරාධපුර යුගයේ දී ඉදිවුණු විශාලතම වැව වන කලා වැව ධාතුසේන රජුගේ නිර්මාණයක්. කලා සහ බළලු යන වැව් එකතු වී සැදුණු මෙම වැවේ විශාලත්වය අක්කර 6380ක්. එසේම අක්කර අඩි ලක්ෂයක පමණ ජල ධාරිතාවයක් ඇති මෙම වැව සොරොව් 6කින් සමන්විත යි. කිලෝ මීටර් 64.4ක් පමණ වට ප්‍රමාණයක් ඇති කලා වැවේ පිටවානේ දිග සහ පළල පිළිවෙලින් අඩි 170ක් සහ අඩි 216 වනවා. අතීතයේ දී පවා රජරට ස්වයංපෝෂිත කළ මෙම සුවිසල් ජලාශය පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඉන් අනතුරුව විලියම් ග්‍රෙගරි සහ ආතර් හැමිල්ටන් ගෝඩන් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයන් දෙදෙනා අතින් ප්‍රතිසංස්කරණය වුණු කලා වැව වර්තමානයේ දී සුන්දර ජලාශයක් ලෙසින් දිස්වනවා. අතීතයේ දී ධාතුසේන රජතුමා කලා වැවේ සිට තිසා වැව වෙතට ජලය ගෙනයාම සඳහා ජය ගඟ නිර්මාණය කළේ අනුරාධපුරයේ සිටි ජනතාවට ජලය සැපයීම සඳහා යි. පසුව ක්‍රියාත්මක වුණු කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ කලාවැවේ සිට අනුරාධපුරයට හා අමතර කුඹුරුවලට ජලය සැපයීම සඳහා නව ජයගඟ නමින් ඇළ මාර්ගයක්‌ හා වම් ඉවුරේ හා දකුණු ඉවුරේ තවත් ඇළ මාර්ගයන් 2ක්‌ ද ඉදිකළා. ලංකාවේ ඉහළ වාරි තාක්ෂණයක් පැවති බවට සාක්ෂි සපයන මෙම නිර්මාණය පෙර රජවරුන්ගේ විස්මිත හැකියාව ලොවටම පෙන්වනවා ඇති.

කලා වැව (News1st.lk)

පදවිය වැව 

පූජාවලියේ සඳහන් වන ආකාරයට සද්ධාතිස්ස රජුගේ කාල සමයේ ඉදිවුණු පදවිය වැව පසුව මහසෙන් රජතුමා ප්‍රතිසංස්කරණ කර තිබෙනවා. අනතුරුව ක්‍රි.ව 531-555 කාල සමය තුළ රජකම් කළ දෙවන මුගලන් රජතුමාගේ රාජ්‍ය සමයේ දී වඩාත් සුවිසල් ජලාශයක් ලෙස විශාල වුණු පදවිය වැව එම අවධියේ ලංකාවේ තිබුණු විශාලම වැව බව බවට පත්වුණා. අතීතයේ දී සැතපුම් 11ක් පමණ වුණු වැව් බැම්මක් තිබුණු වැවේ ධාරිතාවය අක්කර අඩි ලක්ෂ 3ක් පමණ වුණු බව පැරණි කතා පුවත්වල සඳහන් වනවා. නමුත් ඉන් පසුව අනුරාධපුරය සොළීන්ගේ ග්‍රහණයට නතුවුණු නිසා මෙම වැව විනාශයට ලක්වුණා. පසුකලෙක ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් ද මෙම වැව ප්‍රතිසංස්කරණයට ලක් කළ නැහැ. නමුත් 1950 වසරේ දී පමණ පදවිය වැව විනාශ වී තිබෙන අයුරු දුටු අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක එය ප්‍රතිසංස්කරණය කළා. ඒ අනුව වර්තමානයේ දී අක්කර අඩි 85000ක පමණ ධාරිතාවයක් ඇති මෙම වැවේ බැම්මේ දිග කිලෝමීටර් 3.5ක් පමණ වනවා. 

පදවිය වැව (happyfly.blogspot.com)  

කවරයේ ඡායාරූපය - කලා වැව (globallandscapeforum.org)

Related Articles