බොරු සෙල්ලිපියකින් ඉතිහාසය වෙනස් කළ තන්තිරිමලේ

අනුරාධපුරයේ සිට මහවිලච්චිය පාරේ කිලෝමීටර 36ක් දුරින් තමයි තන්තිරිමලේ රජමහා විහාරය පිහිටා තිබෙන්නේ. කොටි කලබල කාලේ මායිම් ගම්මානයක අවදානමට පත්ව තිබූ තන්තිරිමලේ, මේ වනවිට විශාල බැතිමතුන් පිරිසක් ඇදී එන රමණීය පූජනීය ස්ථානයක්. මෙහි පූජනීයත්වය වැඩිකර ගැනීමේ අරමුණින්, පුරාණ බ්‍රාහ්මී අකුරුවලින් සෙල්ලිපියක් මෑත අතීතයේ දී කොටා තිබෙනවා. එමෙන්ම අෂ්ටපලරුහ බෝධියක් ඇති බවට වැරදි මතයක් සමාජගත කිරීමටත් එම විහාරයෙන් කලකට පෙර කටයුතු කර තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර මෙන්ම මහාචාර්ය ටී. ජී. කුලතුංග ද සඳහන් කරනවා.

විහාරයේ නමින් හඳුන්වන ගම

ගල් පව්ව මත පිහිටි දාගැබ – Kusumsiri Wijayawardhana

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 366, තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසය රටම හඳුනන්නේ එහි පර්වත ආශ්‍රිතව පිහිටි රජමහා විහාරය නිසයි. විලච්චි කෝරලයේ කඩවත් තුලානෙහි අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ පුදබිම, උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයෙන් ද, බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙන් ද, දකුණින් මහවිලච්චිය ගොවි ජනපදයට දිවෙන මාර්ගයෙන් ද සීමා වී තිබෙනවා.

රිටිගල කන්දේ සිට ඇරඹෙන මල්වතු ඔය, කනදරා ඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරීම නිසා නිර්මාණය වී ඇති, වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩට උතුරින් ගලා බසිනවා. තන්තිරිමලේ විහාරයට එපිටින් පැතිර යන වනය විල්පත්තුව හා බද්ධ වෙනවා. පුරාවිද්‍යා රක්ෂිත බිම අක්කර 121ක් විශාල යි.

බුදුදහම ලැබුණු කාලයේ සිට වාසභූමියක්

පර්වත අතර පැතිරුණු පොකුණු- Kusumsiri Wijayawardhana

මේ ප්‍රදේශය බුදුදහම ලැබුණු කාලයේ සිටම බෞද්ධ ජනතාවකට වාසභූමිය වූ බව එම ආසන්න සමයට අයත් සෙල්ලිපි පැහැදිලි කරනවා. තන්තිරිමලේ ලෙන්වලින් හමුවන ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපිවල නාගා උපාසිකාව, ස්වාමි සුමන, පිණ්ඩපාතික තිස්ස තෙරුන් වැනි නම් සඳහන්.

දෙවැනි සේන (ක්‍රි.ව. 853-887) රාජ්‍ය සමයට අයත් ටැම් ලිපියක් ද මින් හමුවී තිබෙනවා. දැන් එය විහාර බිමේ පිහිටි පුරාවිද්‍යා කටුගෙයි තැන්පත් කර තිබෙනවා. ඉහළ බිලිවැවෙහි මත්ස්‍ය බද්ද අවුරුදු පතා කිසියම් ආයතනයකට ලබාදිය යුතු බවත්, එය කඩකරන අය මතු ආත්මවල දී බලු කපුටන් වී උපදින බවත් තමයි ටැම් ලිපියේ කොටා තිබෙන්නේ.

මැටියෙන් කළ පහන් කණු, ප්‍රතිමා කොටස්, මුරගල්, යන්ත්‍ර ගල්, කරඬු ඇතුළු අවටින් හමුවූ පුරාවස්තු රැසක් තන්තිරිමලේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී දැකගත හැකියි.

ව්‍යාජ මතයක්

පර්වතයේ පුරාණ දාගැබ මත වැවුණු බෝධිය- Kusumsiri Wijayawardhana

මහාචාර්ය ජේ. බී. දිසානායකගේ ‘සිංහල වෙහෙර විහාර’ නම් ග්‍රන්ථයේ දැක්වෙන ‘එදා තිවක්ක බමුණුගම අද හැඳින්වෙන්නේ තන්තිරිමලේ නමිනි’ හා ‘මෙහි බෝධි ප්‍රාකාරය අසල තිවක බමණ ගම අටපල බෝ යනුවෙන් සඳහන් සෙල්ලිපියක් ද වේ’ යන ප්‍රකාශවලින් වැරදි මතයක් සමාජගත වන පැහැදිලියි. මහාවංශයෙහි දඹකොළපටුනේ සිට ශ්‍රී මහා බෝධිය රැගෙන එන විට වඩා තැබූ ස්ථානයක් ලෙස තිවක්ක බමුණු ගම්දොර දැක්වෙනවා.

වර්තමානයේ විහාර පව්ව මත පිහිටි බෝධිය අෂ්ටඵල බෝධිය බවටත්, මෙගම තිවක්ක බමුණුගම බවටත් දැන්වීම් පුවරු ද යොදා තිබෙනවා. නමුත් හෙළිවී ඇත්තේ මෙම සෙල්ලිපිය පසුකලෙක කොටවා ඇති බව යි. තන්තිරිමලේ රෝපණය කර ඇත්තේ දෙතිස්ඵලරුහ හෙවත් පසුව හටගත් පැළ 32න් එක් බෝධියක් බව සිංහල බෝධි වංශයේ පැහැදිලිව දැක්වෙනවා. පූජනීයත්වය ඉහළ නංවා ගැනීමට එහි අෂ්ටඵලරුහ බෝධියක් බවට නාම පුවරු සවිකළ බව යි පෙනෙන්නේ.

අද බෝධිය අවුරුදු 140ක් පරණ යි

අඩක් නිම කළ බුදු පිළිම- Kusumsiri Wijayawardhana

1883 පමණ මේ ස්ථානයේ සතියක් පමණ රැඳී සිටිමින් භූමිය අධ්‍යයනය කළේ පුරාවිද්‍යා ගවේශක ජෝන් ස්ටීල්.  ඔහු බෝධියක් ගැන වාර්තා කරන්නේ නැහැ.

1896 දී පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තාවේ තන්තිරිමලේ පිළිබඳ සඳහන් කරන පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ද එහි සැතපෙන හා හිඳි බුදුපිළිම, පොත්ගුල, දාගැබ ආදිය සඳහන් කළත්, තන්තිරිමලේ පිහිටි ඓතිහාසික වශයෙන් සැලකිය හැකි බෝධියක් ගැන කිසිදු සඳහනක් දක්වන්නේ නැහැ. පුරාවිද්‍යා කොමසාරිස් ඒ. ඇම්. හෝකාර්ට් ද 1923 දී රාජකීය ආසියාතික සමිතිය (ලංකා ශාඛාව) සඟරාවට තන්තිරිමලේ පිළිබඳ ලිපියක් සපයා ඇතත්, ඉපැරණි බෝධියක් පිළිබඳ එහිත් ලියා නැහැ. මන්නාරමේ රජයේ සහකාර ඒජන්ත එස්. හෆ්ටන්ගේ දිනපොතේ 1883 ජූලි 15 දින සඳහනේ, “පහත කැලයෙන් ගෙනෙන ලද පස් මත රෝපණය කරන ලද බෝ ගසක් සහිත දාගැබක් පර්වතයේ උසම ස්ථානයේ ඇත” යනුවෙන් ලියා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ නටබුන්ව ගිය පැරණි දාගැබ් ගොඩැල්ල මත 1880 ගණන්වල දී දැනට දැකගත හැකි බෝධිය සිටුවා ඇති බව යි. අද වනවිට මේ ස්ථානය දාගැබේ නටබුන් වෙනුවට බෝධිඝරයක් ලෙස හඳුන්වා තිබෙනවා.  එම බෝධීය ද විශාල ගසක් බවට පත්ව තිබෙනවා. පැරණි දෙතිස් ඵලරුහ බෝධිය පුරාණයේ විනාශ වී යන්න ඇති බව යි පෙනෙන්නේ.

වනගත වෙහෙර යළිත් දියුණුවට

මෑතක දී ඉදිකළ දාගැබ- Kusumsiri Wijayawardhana

1960 දශකයේ දී, වනාන්තරගතව තිබුණු මෙම පූජාභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ නැවත ජනාවාස ඇතිකොට, විනාශ වී ගිය වැව් 81ක් පිළිසකර කරවීමට මූලික වී ඇත්තේ මෙම පුදබිමේ විහාරාධිපතිව වැඩවිසූ කෝන්ගස්කඩ විමලඥාන ලොකු හාමුදුරුවන්වහන්සේ යි. මෙසේ කැලෑ කපා ජනතාව පදිංචි කරවූ සෑම ගමක්ම තන්තිරිමලේ විහාරයේ දායක ගම් වුණා. වනගත පුරාවිද්‍යා උරුමයක් වූ තන්තිරිමලේ එළිපෙහෙළි කරවා වර්තමාන දියුණුවට මඟ සැලසුවේ උන්වහන්සේ බව අදටත් වැඩිහිටියන් ගෞරවයෙන් සිහිපත් කරනවා. එවක අඩි පාරක්ව පැවැති පුදබිමේ ප්‍රවේශ මාර්ගය අද මනා සේ කාපට් අතුරා සංවර්ධනය කොට තිබෙනවා. අද දහස් ගණනින් වන්දනාකරුවන් පැමිණෙන පුදබිමක් බවට එය පත්ව තිබෙනවා.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා දිවෙන මතක සටහන් සහිත තන්තිරිමලේ සොඳුරු බිම්කඩක්. මේ ආශ්‍රිතව පුරාණ ගොඩනැගිලි 12ක නටබුන් හමුවී තිබෙනවා.

පුරාණ ශෛලමය ප්‍රතිමා

සුන්දරත්වය ඔප කරනා නෙළුම් පොකුණු- Kusumsiri Wijayawardhana

මෙම පුදබිමේ නෙළුම් පොකුණුවලින් සුසැදි අලංකාර වටපිටාව, පර්වත මත පිහිටි බුද්ධ ප්‍රතිමා නිසා තවත් ඔපවත් වෙයි. තන්තිරිමලේ පර්වතයක ආබද්ධ ප්‍රතිමාවක් සේ නෙළූ හිඳි බුදු පිළිමය, මෙරට ප්‍රතිමා කලාවේ වැදගත් ස්ථානයක් ගන්නවා. අනුරාධපුර යුගයට අයත් මෙම බුදු පිළිමය ස්වරූපයෙන් පොළොන්නරු ගල් විහාරයේ විජ්ජාධර ගුහා හිඳි බුද්ධ ප්‍රතිමාවට සමාන යි. මේ ප්‍රතිමා මහායානික බෞද්ධයන් වූ තාන්ත්‍රිකයන් නෙළන ලද බවට පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. හිඳි බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 7 යි අඟල් 6ක්. ගල් පර්වතය ඇතුළට හාරා නිර්මාණය කර තිබෙනවා. ප්‍රතිමාව වටාම යන සේ තොරණක් සහිත යි. බුදුහු පර්යාංකාසන ක්‍රමයට වම්පස නවා තිරස් අතට ආසනය මත තබා ,දකුණු පය නවා ඒ මත වම් අත තබාගෙන සිටිනවා. ධ්‍යාන මුද්‍රාවෙන් යුත් පිළිමය සමාධි ගුණය පෙන්නුම් කරන්නක්. ක්‍රි.ව. 10 වැනි සියවසේ අගභාගයට අයත් මෙම ප්‍රතිමාව දෙපස ගලෙහි අඩක් නෙළූ කුඩා ප්‍රමාණයේ බුදු පිළිම හතරක් ද දැකගත හැකියි.

සැතපෙන බුදු පිළිමය- Kusumsiri Wijayawardhana

ගල් පර්වතයක නෙළූ තන්තිරිමලේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව දිගින් අඩි 45ක්. මේ ප්‍රතිමාව ද ලංකාවේ අනෙක් තැන්වල දක්නට ලැබෙන සැතපෙන බුදු පිළිමවලට බෙහෙවින්ම සමාන වන නමුදු එය හොඳින් නිමකරන ලද්දක් නොවේ. ප්‍රතිමාව නෙළා ඇති ආසනය පොළොව මට්ටමට බොහෝ ආසන්නයෙන් පිහිටා තිබෙනවා. මුල් කාලයේ දී ඊට පිළිමගෙයක් ද වූ බවට සාධක තිබෙනවා. 

(ලක්දිව බුද්ධ ප්‍රතිමාව, මාලිංග අමරසිංහ 116 පිට) 

තන්තිරිමලෙන් හමුවූ ටෙරාකොටා නිර්මාණ කිහිපයකින් ද පෙනී යන්නේ අටවැනි නවවැනි දහවැනි සියවස්වල දී තන්ත්‍රයානය එහි පැතිරී තිබූ බවක්යැ යි මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර පවසනවා. 

(ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග, 249 පිට)

පධානඝරයේ නටබුන් – Kusumsiri Wijayawardhana

පධානඝර භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා බවුන් වැඩූ ගොඩනැගිලි විශේෂයක්. අරන්කැලේ, රිටිගල, මානාකන්ද, රජගල වැනි පුරාණ වනගත ආරණ්‍ය රාශියකින් පධානඝර නටබුන් හමුවෙනවා. තන්තිරිමලේ පර්වතය මත පිහිටි පධානඝරයෙන් පැහැදිලි වන්නේ මෙය මුල් කාලයේ අරණ්‍යවාසී විහාරයක් වූ බව යි.

ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර

ප්‍රධාන පර්වතයට එපිටින් වනය තුළ ටික දුරක් යනවිට ලෙන් දෙකක් හමුවෙනවා. ඒවායේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිත්තම් රැසක් දැකගත හැකියි. සූර්ය වන්දනාව පිළිබඳව මුල්වරට සාක්ෂ්‍ය ලැබෙන්නේ තන්තිරිමලේ ප්‍රාග් ඓතිහාසික චිත්‍රවලින් බව ඩී.බී. නන්දදේව සඳහන් කර තිබෙනවා. මෙයින් හමුවූ එක් සටහනක් සූර්යයාගේ බව සැලකෙනවා. හිරු අසලම මානව රූප තුනක් ඇඳ තිබෙනවා. මිනිස් රූප, පක්ෂීන්, දුන්න අනිත් ගත් මානව රූප ද එහි නිරූපිතයි.

නවීකරණය

කැණීම්වලින් හමුවූ පුරාවස්තු – Kusumsiri Wijayawardhana

1960 වර්ෂයේ විහාරස්ථානය නැවත සොයාගෙන දියුණු කිරීමේ දී එහි වන්දනාව සඳහා දාගැබක් නොමැති වීම විශාල අඩුපාඩුවක් වුණා. විමලඥාන හිමියන් මේ පිළිබඳව කොළඹ කොටුව ප්‍රදේශයේ පදිංචි ජේ.පී. ප්‍රේමදාස මහතාට සහ එම මැතිනියට දැනුම් දීමෙන් අනතුරුව එම දෙපළ විසින් මුලින්ම විහාරස්ථානයට ඝණ්ඨාර කුලුනක් ද, පසුව 1976 වර්ෂයේ දී දාගැබ ද කරවා දී තිබෙනවා. වනගැබ අතරින් ඈතට පෙනෙන මේ දාගැබ අද තන්තිරිමලේ මඟ සලකුණක් වෙලා.

පුරාවිද්‍යා කැණීම්

මෑතක දී විහාරය අවට කොන්ගරායන්කුලම (ඇහැළවැව) ප්‍රදේශයේ කළ කැණීම් නිසා වටිනා පුරාවිද්‍යාත්මත සාධක රැසක් ද මතු වුණා. මෙම කැණීම් කටයුතු අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරන ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ අතින් සිදුකෙරුණා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්: 

  1. රජමහා විහාරාරාම- කුසුම්සිරි විජයවර්ධන

සිංහල වෙහෙර විහාර- ජේ. බී. දිසානායක

ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග- ඉන්ද්‍රකීර්ති සිරිවීර, 249 පිට

silumina.lk/2018/11/24

කවරය- හිඳි බුදු පිළිමය- Kusumsiri Wijayawardhana

Related Articles