Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ පෙරමුණට ටැක්සිවලින් හමුදා යැවූ ජෙනරාල්වරයා

පළමු ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාසයේ විවිධ සුවිශේෂී සිදුවීම් පිළිබඳ ව වාර්තා වෙනවා. ඒ අතරින් එක් සිද්ධියක් වාර්තා වුණේ යුද්ධයේ මුල් කාලයේ දී ම යි. ඒ කුලී රථ​, එහෙමත් නැත්නම් ටැක්සිවලින්, යුධ පෙරමුණට හමුදා ප්‍රවාහනය කළ ප්‍රංශ ජෙනරාල්වරයෙකු පිළිබඳ ව යි. මේ අරුම පුදුම පියවර ගන්නා ලද්දේ ජෙනරාල් ජෝසෆ් ගැලියෙනි විසින්.

ඒ කතාව කියන්නට කලින්, අපි ගැලියෙනි ගැන ටිකක් සොයා බලමු.

කවුද මේ ගැලියෙනි?

ජෝසෆ් ගැලියෙනි උපන්නේ 1849 අප්‍රේල් 24 වන දා යි. ඔහු කෝර්සිකානු සහ ඉතාලි සම්භවයකින් යුතු වුණා. තරුණ කාලයේ හමුදා සේවයට බැඳුණු ඔහු ප්‍රංශ​-ප්‍රශියා යුද්ධයේ දී සටන් වැදුණා. එහි දී ප්‍රංශය පරාජයට පත් වූ සීඩාන් සංග්‍රාමයේ දී ඔහු සිරභාරයට ගනු ලැබුණා.

ජෙනරල් ගැලියෙනි (Public Domain)

ගැලියෙනි ප්‍රංශ යටත් විජිතයන් හි සේවයට යවන ලද්දේ 1876 දී. ඔහු මුලින්ම සෙනගාලයේ සේවය කළ අතර පසු ව රියුනියන්, මාර්ටිනික් ආදී ප්‍රදේශයන් හි සේවය කොට 1886 දී ප්‍රංශ සූඩානයේ ආණ්ඩුකාර ධූරයට පත් වුණා. එහි දී ඔහු ප්‍රංශ යටත්විජිත පාලනයට එරෙහි කැරැල්ලක් මැඩ පැවැත්වූවා.

1890 දශකයේ දී ඔහු වර්තමාන වියට්නාමයේ කොටසක් වන ටොන්කිං හි සේවය කළා. ඔහු මැඩගස්කරයේ ආණ්ඩුකාර ධූරයට පත් කරන ලද්දේ 1896 දී.

අසාර්ථක වෙමින් පැවති ප්‍රංශ යුධ ප්‍රයත්නය ගැලියෙනි විසින් නැවත පණ ගන්වනු ලැබ මැඩගස්කරයේ ප්‍රංශ පාලනය ස්ථාවර කරනු ලැබුණා. මැඩගස්කරයේ දී ගැලියෙනි කුප්‍රකට වූයේ එරට අවසන් රැජින ව බලයෙන් පහ කර පිටුවහල් කිරීම හේතුවෙන්. ඔහු 1905 දක්වා එහි සේවය කළා.

මැඩගස්කරයේ අවසන් රැජිණ වන රනවලෝනා සිය ලේලියක සමග 1901 දී (Getty Images)

1911 දී ගැලියෙනිට ප්‍රංශ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ප්‍රදානය කිරීමට සූදානම් වුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඊට හේතු කිහිපයක් බලපෑ බව සිතන අතර වයස ද ඉන් ප්‍රධාන යි. ඔහු 1914 දී විශ්‍රාම ගැනීමට නියමිත ව සිටියා.

ඔහු විශ්‍රාම ගත්ත ද යුරෝපයේ යුද්ධය ඇරඹි අවස්ථාවේ යළි සේවයට පැමිණියා.

ජර්මන් ආක්‍රමණය

අගෝස්තු මස මුල දී ජර්මන් හමුදා බෙල්ජියම හරහා ප්‍රංශයට කඩා වැදුණා. හිටපු ජර්මන් යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ඇල්ෆ්‍රඩ් ෆොන් ෂ්ලීෆන් විසින් පිළියෙල කරන ලද “ෂ්ලීෆන් සැලසුම​” අනුව මෙම යුධ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ජර්මන් හමුදාවන් හි බලාපොරොත්තුව වූයේ බෙල්ජියමේ සිට ප්‍රංශයට කඩා වැදී පැරිස් අගනුවර දෙසට හැරීම යි.

මෙසමයෙහි ගැලියෙනි පැරිසියේ යුධ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබුණා. ඔහු හා ප්‍රංශ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ජෝසෆ් ජොෆ්‍රෙ අතර යහපත් සබඳතාවක් තිබුණේ නැහැ​. යුධ පෙරමුණේ වූ පසුබෑම් හමුවේ ප්‍රංශ හමුදා පැරිසිය දෙසට පසු බසින්නට වුණා. ගැලියෙනි පැරිසියේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරමින් සිටියා. මේ අතර 1914 සැප්තැම්බර් 2 වන දා ප්‍රංශ රජය බෝර්ඩෝ නගරය වෙත ගෙන යනු ලැබුවා.

මේ අවස්ථාවේ ජර්මන් යුධ උපක්‍රමවල තීරණාත්මක වෙනසක් සිදු වුණ අතර එය යුධ ඉතිහාසයට අතිශයින්ම තීරණාත්මක වුණා.

මුලින්ම සැලසුම් කර තිබුණේ පැරිසිය ද වටලමින් ජර්මන් හමුදා මෙහෙයවීමට යි. නමුත් පැරිසියට නැගෙනහිරින් වූ ප්‍රංශ සේනා වටලෑම පිණිස ජෙනරල් ඇලෙක්සැන්ඩර් ෆොන් ක්ලක්ගේ පළමු ජර්මන් හමුදාවත්, ජෙනරල් කාර්ල් ෆොන් බ්‍යුලෝගේ දෙවන ජර්මන් හමුදාවත් ඉදිරියට පැමිණියා. දෙවන හමුදාව සම්පූර්ණ වශයෙන් ද පළමු හමුදාවෙන් අඩක් ද මාර්න් නදිය තරණය කළා.

මාර්න් නදී සංග්‍රාමය (Public Domain)

මේ අවස්ථාවේ පළමු හමුදාව සහ දෙවන හමුදාව අතර හිඩැසක් නිර්මාණය වූ අතර ජර්මන් සේනාංක දකුණත දිශාවෙන් නිරාවරණය වුණා. මෙම වරද දුටු ජොෆ්‍රෙ ප්‍රංශ හමුදාව එදෙසට යොමු කළා. ප්‍රදේශයේ වූ බ්‍රිතාන්‍ය කාර්යය සාධන බලකායේ සේනාංක පළමු සහ දෙවන හමුදා අතර වූ හිඩැස වෙත ළඟා වුණා.

මෙහිදී සිදු වූ සටන මාර්න් නදී සංග්‍රාමය ලෙස ලෝක ප්‍රකට වී තිබෙනවා​. පැරිසිය ගලවා ගැනීම සඳහා මෙය අතිශයින්ම තීරණාත්මක වුණා.

ටැක්සිවලින් යුධ පෙරමුණට

මේ අවස්ථාවේ සටන තීරණාත්මක වූ නිසා හැකි පමණ සේනාංක ඉක්මණින් පෙරමුණට යැවීම වැදගත් වුණා. ජෙනරාල් ජෝසෆ් ගැලියෙනි මේ අවස්ථාවේ කුලී රථ ඒ සඳහා යොදාගැනීමට තීරණය කළා.

මෙකල විශාල මෝටර් රථ ප්‍රමාණයක් භාවිතයේ වූයේ නැහැ. පැරිසියේ තිබුණ සම්පූර්ණ කුලී රථ ප්‍රමාණය 400ක් පමණ වුණා. එමෙන්ම ප්‍රංශ සෙබළුන් බොහෝ දෙනෙකු ඊට පෙර කිසිදු දිනෙක මෝටර් රථයක ගමන් කර තිබුණේ ද නැහැ. මේ නිසා ඔවුනට එය අලුත්ම අත්දැකීමක් වුණා.

පැරිසියේ සිට යුධ පෙරමුණට වූ දුර කිලෝමීටර 50ක් පමණ වූ අතර මේ දුර හමුදා සෙබළුන් ගෙන යාමට කුලී රථ යොදා ගැනුණා. මෙම කුලී රථවලට කුලිය ගෙවනු ලැබුණා.

සමස්ථයක් ලෙස ගත් කළ කුලී රථවලින් ප්‍රවාහනය කරන ලද සෙබළුන් සංඛ්‍යාව එතරම් විශාල වූයේ නැහැ. එම නිසා එහි බලපෑම කෙතරම් වැදගත් වූයේ ද යන්න විවාදාත්මක යි.

මාර්න් නදී සංග්‍රාමය මිත්‍ර හමුදා විසින් ජය ගන්නා ලද අතර ජර්මන් සේනා මාර්න් නදිය හරහා පසුබැස ඊට තරමක් උතුරින් වූ අයින් නදියෙන් ද, එහා ඉවුර වෙත පසු බැස්සා. ඒ අනුව පැරිසිය කෙරේ වූ තර්ජනය මඟ හරිනු ලැබුණා.

ජෝසෆ් ගැලියෙනි 1915 දී යුධ කටයුතු ඇමති ලෙස පත් කරනු ලැබ මාස කිහිපයක් එම තනතුරෙහි රැඳුණා. ඔහු 1916 දී මරණයට පත් වූ අතර 1921 දී මාර්ෂල් තනතුරට උසස් කරනු ලැබුණා.

කවරයේ පින්තූරය: පැරිසියේ එකල වූ ටැක්සි (history.com)

මූලාශ්‍රයයන්:

  • Great War – Youtube Channel
  • History of the First World War – B.H. Liddell Hart

Related Articles