Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනප්‍රවාද පිරිවරා ගත් හෙණකඳ බිසෝ බණ්ඩාර පන්සල

වෑගම රජමහා විහාරය කියන්නේ පුරාණ කන්ද උඩරට පස් රටට අයිති උඩහේවාහැට රටේ පිහිටි පුදබිමක්. මෙය විහාරයක් මතු නොව අපූරු ජනප්‍රවාද සහ ඉතිහාස පුවත් රාශියක් ද පිරිවරා ගත් ස්ථානයක් බව ඒ ගැන තොරතුරු විමසීමේ දී පැහැදිලි වෙනවා. බෙලිගෙඩියකින් උපන් බව කියන හෙණකඳ බිසෝ බණ්ඩාර කුමරිය ගැන කතා වගේ ම දළදා වහන්සේ සඟවා තැබූ ස්ථානයක් ලෙසිනුත් වෑගම සැලකෙනවා. එපමණක් නොවේ, මෑත අතීතයේ දී හත්වරක් නිදන් හොරු කැඩූ ලෙන් විහාරයක්.

ගමන් මඟ

මහනුවර සිට කිලෝ මීටර් 31ක් දුරින් පිහිටි හගුරන්කෙතට පැමිණ එහි සිට රිකිල්ලගස්කඩ පසුකර රහතුන්ගොඩ දක්වා දිවෙන මාර්ගයේ ගමන් කළ යුතු යි. රහතුන්ගොඩ මහා විද්‍යාලය අසලින් දකුණට හැරී යන මාවත වෑගම දක්වා ඇදී යනවා. මේ පාරේ කිලෝ මීටර් 3ක් දුරින් කඳු බෑවුමක තමයි වෑගම රජ මහා විහාරය පිහිටා තිබෙන්නේ.

 පූජනීය බිම සහ විහාරාධිපති හිමි- Dinamina.lk

ඉතිහාසය

 ගල්පර්වත ඇසුරු කරගෙන වෑගම ලෙන් විහාරයක් තනවා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1356 – 1374 ගම්පොළ රජ කළ තුන්වන වික්‍රමබාහු රජුගේ බිසවක ලෙස සිටි ගම්පොළ  හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් යැයි ජනප්‍රවාදවල කියවෙන කතාවක්. ඉන් පසු ඇය අවට පිහිටි විල්වල, පල්ලේබෝවල යන විහාරත් කරවා තිබෙනවා.

විහාරයේ ඇති ප්‍රවේණි ඉඩම් පිළිබඳ ලේඛනයකට අනුව විහාරයට ඉඩම් පූජා කිරීමෙන් අනුග්‍රහය දැක් වූ රජවරුන් අතර දෙවන රාජසිංහ සහ දෙවන විමලධර්මසූරිය රජවරුන් ද සිටිනවා. ඒ රජවරුන් විහාරයට කුඹුරු ඉඩකඩම් පූජා කර ලෙන් විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කළ බව ද සඳහන්. පසුව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ද වෑගම විහාරයට අනුග්‍රහය දැක්වූ බව මන්දාරම්පුර පුවත කාව්‍යයේ  කියවෙනවා.

ඒ රජු විහාර මන්දිරය පිළිසකර කරවා විහාරයට යාමට පියගැට පෙළක් ද කරවා තිබෙනවා. අදත් එම පියගැට පෙළ දැකගත හැකි යි. ශ්‍රී විජය රාජසිංහ සහ කීර්ති ශ්‍රී රාජසිංහත් විහාරයේ දියුණුවට වැඩ කළ බව මන්දාරම්පුර පුවතේ විස්තර වෙනවා. මෙම විහාරය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ද නම්කර තිබෙනවා.

ලෙන් විහාර බිම-, හගුරන්කෙත අපි faceboook page

සෙල් ලිපිය           

විහාර බිමේ පිහිටි කොටසක් විනාශ වූ සෙල්ලිපිය මෙහි ඉතිහාසය ගැන යම්තාක් නිවැරදි විස්තරයකට උපකාරී වෙනවා. සෙල්ලිපිය අයත් දිනය ලෙස දැක්වෙන්නේ ශක වර්ෂ 1507 ( ක්‍රිස්තු වර්ෂ 1585) යි.

වෑගම පංගු ය…කුඹුර වෑගම විහාරෙට පූජා කළයි ශක එක්වා දහස් පන්සිය හතට…ලෙස එහි සදහන් වන්නේ විහාරයට කුඹුරක් පූජා කිරීම ගැනයි. පූජා කළ පුද්ගලයාගේ නම මැකී ගිහින්.

සංරක්ෂණය කළ හෙණකඳ බිසෝ ප්‍රතිමාව- Dinamina.lk

හෙණකඳ බිසෝ බණ්ඩාර

උ‍ඩහේවාහැට මෙන් ම උඩුනුවර ද බොහෝ විහාර කර වූ බව පැවසෙන හෙණකඳ බිසෝ බණ්‌ඩාර දේවිය රූ සම්පත්තියන් අගතැන් පත් කාන්තාවක් ලෙස සැලකෙනවා. ජනප්‍රවාදයේ ඇය ගැන පැවසෙන්නේ බෙලි ගෙඩියකින් උපන් දේවියක ලෙස යි. එම කතාව අනුව උඩුනුවර සේන්දෙණියයේ පිහිටි විහාරයේ හාමුදුරු නමකට බෙලිගෙඩියක් මල් ආසනයක තබා ආරක්ෂා කරන්නැයි දෙවිවරුන් පෙනී සිට පැවසුවේ ලු. ඒ  අනුව ආරක්ෂා කරමින් තිබූ බෙලි ගෙඩිය රාත්‍රියක හෙණහඬ නඟමින් පුපුරා ගොස් එතුළින් කුමරියක් බිහි වූවා යැයි ජනප්‍රවාදයේ කියවෙනවා. මෙහි සත්‍යතාවක් නැතත්  ඇගේ තිබුණු විස්මිත ගතිගුණ සහ රූප සම්පත්තිය නිසා එවන් කතාවක් ගොතන්නට ඇති බව පේනවා.

 ආගම දහමට දැඩි ඇල්මක් දැක් වූ හෙණකඳ බිසෝ බණ්ඩාර  දෙවඟනක් ලෙසත් හඳුන්වා තිබෙනවා. ඇගේ  ප්‍රතිමාවක් තිබෙන්නේ ද වෑගම රාජ මහා විහාරයේ පමණයි. මෙම ප්‍රතිමාව උසින් මීටර 1.3ක්. මේ ප්‍රතිමාවේ උඩුකය නිරුවත් වන අතර දෑත් කැඩි ගොස් තිබෙනවා. යටිකයට දෝතියක් හැඳ සිටිනවා. හෙණකඳ බිසෝ දේවිය කාන්තාවක් වුණත් මෙහි දැකගත හැක්කේ පුරුෂ විලාසයක්. මෙම ප්‍රතිමාව ගම්පොළ සමයට දින නියම කළ හැකි බව ආචාර්ය සෙනරත් දිසානායක සදහන් කරනවා. කෙසේ වුවත් පසුකාලීන අවලස්සන වර්ණ ගැන්වීම් නිසා මේ ප්‍රතිමාව ඇතුළු විහාර චිත්‍රවලට හානි සිදු ව තිබෙනවා.

හෙණකඳ බිසෝ බණ්ඩාර දෙවඟනගේ ප්‍රතිමාව නිදන් හොරු කඩා දැමූ පසු 1957 දී  ආසන්න ගම්මානයේ කොටසක් විශාල නාය යාමකට ලක් වී ඇති අතර එහි පදිංචි වූවෝ වෙනත් තැන්වල පදිංචි කරවීමට ද සිදු වී ඇති බව පැවසෙනවා. එම නායයාමෙන් නිවාස 15ක් හා කුඹුරු අක්කර 150ක් පමණ විනාශ වී තිබෙනවා. බොහෝ ගැමියන් තුළ ඇත්තේ හෙණකඳ බිසෝ බණ්ඩර ගැන බියමුසු ගෞරවයක්. එම දේවිය ඉදිකළ අවසාන විහාරස්ථානය වන්නේ  වෑගම රාජ මහා විහාරය බවටත් විශ්වාසයක් පවතිනවා.

විහාර දාගබ- faceboook

නිදන් හොරුන්ගේ අතවර

 මේ වන විට නිදන් සොරුන් විහාරස්ථානය සත් වතාවක්  කඩා බිඳ දමා තිබෙනවා. විහාර ගෙයි තැන්පත් කර තිබුණු  බොහොමයක් පුරාවස්තු සොර සතුරන් රැගෙන ගොස් හෝ විනාශ කොට හෝ තිබෙනවා.  විහාරයේ හිදි බුදු පිළිමය මෙන් ම මකර තොරණ ද අතවරයට පත් වූ දේවල් අතර වෙනවා. විහාරයේ නිදන් වස්තු ඇතැයි යන බරපතළ විශ්වාසය නිසයි මෙසේ වරින් වර විහාරය බිඳ දැමීමට හොරු පෙලඹී සිටින්නේ.හොරුන්  විහාරය අවසන් වතාවට බිඳ දමා ඇත්තේ 2007 අවුරුදේදි යි.

දළදාව සැඟවූ තැනක්

1802 අවුරුද්දෙදි ඉංග්‍රීසි උඩරට ආක්‍රමණයකට සූදානම් වන බව ආරංචි වූ විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ඉංග්‍රීසීන්ගෙන් බේරෙන්න හඟුරන්කෙතට පලා ගොස් තිබෙනවා. ඒ වගේම දළදා වහන්සේ ඉංග්‍රීසීන්ගෙන් ආරක්ෂා කරගන්නට මහනුවරින් ඈත රහසිගත ස්ථානවල තැනපත් කර තිබෙනවා.  ඒ අවදානම හමුවේ රිකිල්ලගස්කඩට නුදුරු කිතුල්පේ රන්පත්ගේ විහාරයේ තැන්පත් කර තිබුණු දළදා වහන්සේ වැඩි ආරක්ෂාව සඳහා වනාන්තරය මැද තිබුණු උඩහේවාහැට වෑගම ගල් ලෙනට වැඩම වූ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක සඳහන් වන කරුණක්.

දළදා විත්තියේ සඳහන් වන ආකාරයට දින කිහිපයක් තමයි වෑගම ගල්ලෙනේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ අතර ම විහාර බිමේ තිබුණු සපු ගහක දළදා වහන්සේ සඟවලා තිබුණු බවකුත් තවත් කතාවක පැවසෙනවා. ජනප්‍රවාදයට පාදක වුණු සපු ගස මහා වෘක්ෂයක් සේ අදත් විහාර බිමේ දී දැකගත හැකි යි.  

ලෙන් විහාරයට පහළින් දැකගත හැකි මී අඹ ගස වටා ද අපූරු කතාවක් ගෙතී තිබෙනවා. දළදා වහන්සේ වෑගම තැන්පත් කර තිබුණු කාලෙදි පූජා කළ  මී අඹ ගෙඩියකින් වීසි කළ ඇටයකින් මේ ගහ හැදුණු බවයි විශ්වාස කරන්නේ.

 ලෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමා- faceboook

ලෙන් විහාරය‍

රමණීය වටපිටාවක පිහිටි ගල්ලෙන් පන්තියක් ඇසුර කර ලෙන් විහාරය සකස් කරවා තිබෙනවා. ලෙන් විහාරය ඇතුළු ගර්භයකින් සහ පිට මාලයකින් යුක්ත යි. එය ඉදිරිපසින් පිහිටි විවෘත ආලින්දය 1918ට ආසන්න කාලයක තැනූ කොටසක්. එහි පෙනුම නම් විහාරයට නොගැළපෙන බවක් පළ කරනවා.

ලෙන් විහාරයේ දොරටුව ඉදිරියෙන් සඳකඩ පහණක් දැකගන්න ලැබෙනවා. විහාර මුර්ති අතර අලංකාර මකර තොරණක් යට වැඩසිටින හිඳි බුදු පිළිමය විශේෂිත යි. ප්‍රතිමාව දෙපස චාමර අතින් ගත් දිව්‍ය රූප දෙකක් තිබෙනවා. ඒ දෙපස දැවයෙන් සැකිල්ල තනා බදාම ගැල්වූ හිටි බුදු පිළිම දෙකක් දැකගත හැකි යි.  පිට මාලයේ තැන්පත් කර තිබෙන දැව සැකිල්ලකින් යුත් බදාම පිළිමය හෙණකඳ බිසෝ බණ්ඩාරගේ බව විශ්වාස කෙරෙනවා.

විහාර ලෙනේ එක් කොටසක මහනුවර අවධියට අයත් වෙනස් කර නැති ලියවැල් රටාවක කොටසක් දැකිය හැකි යි. අනෙක් සිතුවම් සියල්ල නවීකරණයට ලක් වූ සිතුවම්. මෙම ප්‍රතිමා සහ සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සංරක්ෂණය කර තිබෙනවා.

විහාරයේ පිට මාලයේ දක්නට ලැබෙන චිත්‍ර සහ මූර්ති සියල්ල පසුගිය සියවසේ මුල් කාලයේ කරවන ලද නූතන නිර්මාණයි.

 පිට මාලයේ නූතන මූර්ති- Dinamina.lk

 

ලෙනට ඉහළින් මළුවක පිහිටා තිබෙන්නේ පොහොය ගෙය සහ දාගබ යි. ඒ අසල ම පුරාණ බෝධිවෘක්ෂය සහ නූතන කාලෙට අයත් ධර්ම ශාලාවත් දැකගැනීමට පුළුවන්. විහාර මන්දිරයට පිටතින් පියගැට පෙළට ආසන්න ව ගල් පර්වත මුහුණතෙහි නෙළූ සිරිපතුලකුත් පිහිටා තිබෙනවා.

කටාරම් කොටපු මේ ලෙනේ බාහිර පෙනුමත් හරිම සුවිශේෂ යි. එකක් උඩ එකක් අයුරින් පිහිටපු ගල් තට්ටු කීපයක් යට ලෙන පිහිටලා තියෙන ආකාරයක් තමයි පෙනෙන්නේ. එම ස්වභාවික පිහිටීම ඉතා අලංකාර ගල් රටාවක් වගේ.                                                  

කවරයේ ඡායාරූපය- ගල් පර්වත අතර ලෙන් වෙහෙර, හගුරන්කෙත අපි faceboook page 

මූලාශ්‍ර:

සිරිලක දළදා මාලිගා- කුසුම්සිරි විජයවර්ධන‍

දියතිලක  නුවර- පැරණි ස්මාරක, සෙනරත් දිසානායක

දළදා විත්තිය- සංස්. පුංචි බණඩාර සන්නස්ගල‍

Dinamina.lk

Related Articles